Sathjana 2020.

Sathjana 2020.
SJB ප්‍රවෘත්ති සදහා මෙම ඛේතය "ක්ලික්" කරන්න.

ජාත්‍යන්තර කම්කරු දිනයකදී කම්කරු රැළියක් අතරතුර සිය ජීවිතය මහජනතාව නමින් පූජාකල ලෝකයේ එකම රාජ්‍ය නායකයා වූ දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ 27වෙනි ගුණානුස්මරනය වෙනුවෙනි.

අතීතයට, වර්තමානයට මෙන්ම අනාගතයට ද පාඩම් කියාදෙන ප්‍රේමදාස චින්තනය
දුප්පත්කම තුරන් කිරීම මූලික කරගත් තිරසර සංවර්ධනයක් කරා   ගමන කළ දර්ශනයක් ඔස්සේ රටට සේවය කිරීම.
01. ගම්උදා වැඩසටහන.
මේ තුළින් ස්වයංපෝෂිත වූ ග්‍රාම රාජ්‍ය සංකල්පයක් ගොඩනැගීම ආරම්භ කළ අතර සියලු සම්පත්වලින් පරිපූර්ණ වූ ගම්මානයක් නිර්මාණය කිරීමත් එම ගම්මානය අවට ප්‍රදේශ ද සංවර්ධනය කර උදාගම කේන්ද්‍ර කර ගනිමින් නව නිවාස ඉදිකිරිම, නිවාස වැඩිදියුණු කිරිම, වැසිකිළි කැසිකිළි පහසුකම් වැඩිදියුණු කිරිම, ඇළ වේලි ප්‍රතිසංස්කරණය කරමින් කෘෂි නිෂ්පාදන සඳහා ශක්තියක් ලබාදීම, ගෙවතු වගා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, මාර්ග පද්ධති වැඩිදියුණු කිරීම, ග්‍රාමීය කර්මාන්ත පණගැන්වීම ඔස්සේ ස්වයංපෝෂිත ග්‍රාමීය ආර්ථිකයකට අඩිතාලම යෙදීම.

02. ගමට කර්මාන්ත රැගෙන යාම.
ගම ද, නගරයට නොදෙවෙනි ආකාරයට සියලු සම්පත්වලින් පරිපූර්ණ කිරීමේ පරමාර්ථය පෙරදැරි කර ගනිමින් ඒ ඒ ප්‍රදේශවලට ආවේණික නිෂ්පාදන කේන්ද්‍ර කරගත් කර්මාන්ත ශාලා ආරම්භ කර, (ඇඟළුම් ක්‍ෂේත්‍රය, කිරි නිෂ්පාදන, තේ, පොල්, රබර්, කුළුබඩු වැනි නිෂ්පාදන) ප්‍රදේශයේ දුවා දරුවන්ට තම පවුලේ සාමාජිකයින් ද රැකබලා ගනිමින් තමන්ගේ ප්‍රදේශය තුළම රැකියාවක නිරත වීමේ භාග්‍ය උදා කරදීමට හැකියාව ඇති කරන ලද නමුත් වර්ථමානයේ දී එම ආර්ථික මරමස්ථාන නගරයට සීමා වීම ඔස්සේ ජන ජීවිතයේ ගැටළුකාරී තත්වයන් මෙන්ම මේ වන විට අප මුහුණ දෙමින් පවතින වසංගත රෝග වැනි තත්වවලදී නගරයේ සේවය කරන ගමේ මිනිසුන්ට සේවා ස්ථානයට වාර්තා කිරීමට නොහැකි වීමෙන් රටේ ආර්ථික හැකියාවන් දුර්වල වී සියල්ල අඩපන වන ආකාරය දෙස කරකියා ගත නොහැකිව බලා සිටීමට සිදුව ඇත.

03. රැකියා සඳහා තෝරා ගැනීමේ දී විභාග ක්‍රමය හඳුන්වා දීම.
මෙතුළින් දේශපාලනීකරණයෙන් තොර වූ රැකියා වැඩසටහනක් නිර්මාණය වීම හා දක්‍ෂතාවය මත සුදුස්සාටම රැකියා බෙදී යාම සිදු වූ අතර තරුණ තරුණයින් හට මෙම විභාග ක්‍රමය ඔස්සේ තමන්ගේ අධ්‍යාපනයට සරිලන රැකියාවකට පියමං කිරීමේ භාග්‍ය උදාවීමෙන් තරුණ තරුණයින් මුහුණපාන සමාජ අසහන තත්වයන්ට පිළියම් නිර්මාණය විය. නමුත් වර්තමානයේ දී මෙම තත්වය ක්‍රියාත්මක වීමක් දක්නට නොලැබීම හේතුවෙන් උද්ගත වී ඇති විවිධාකර වූ අසහනකාරී තත්වයන්ගෙන් තරුණ පරපුර බේරා ගැනීමට ප්‍රේමදාස ක්‍රියාකලාපය මොනතරම් දායක කරගත හැකිදැයි වටහා ගත හැක.

04. රැකියා ලබාදීමේ දී දුප්පත්කමට වටිනාකම් එක් කිරීම.
ගමේ ජීවත් වන දුගී දුප්පත් පවුල් ඉලක්ක කර ගනිමින් එම පවුල්වල තරුණ තරුණයින් වෙනුවෙන්ම ක්‍රියාත්මක වූ රැකියා ලබාදීමේ වැඩසටහන තුළින් කාලයක් ගත වීමෙන් එම පවුල්වල දුප්පත්කම පහව ගොස් නුතන සමාජය ඔස්සේ කරට කර තරග කිරීමේ හැකියාවෙන් යුත් පරපුරක් නිර්මාණය වීමට මෙම වැඩසටහන මහත් සේ දායක විය.

05. දුප්පත්කමින් එගොඩ කිරීමට ජනසවිය ලබාදීම.
අඩු ආදායම්ලාභී ජන කොටස් වෙනුවෙන් ක්‍රියාත්මක වූ ජනසවිය වැඩසටහන තුළින් වසර කිහිපයකින් පසුව ආර්ථික අතින් සංවර්ධනය වූ ජන කොටසක් නිර්මාණය වූ අතර ඒ අනුව වාර්ෂිකව දුප්පත්කම පිටුදැකීම සිදු විය. නමුත් කාලයාගේ ඇවෑමෙන් මෙම වැඩසටහන නතර වීමත්, වර්තමානයේ බිහි වී ඇති දුප්පත්කම පිටුදැකීමේ ප්‍රායෝගික නොවන විවිධ වැඩසටහන් සමාජගත විමත් හේතුවෙන් අඩු ආදායම්ලාභී ජනකොටස් සදාකාලිකවම දුප්පතුන් බවට පත් වී සිටීම ඛේදජනකය.

06. සෙවණ මා පිය කැපකරු ක්‍රමය
දුප්පත් පවුල්වල ඉගෙනීමට දක්‍ෂතා ඇති දරුවන්ට අත හිත ලබාදීම සඳහා ඇතිහැකි පිරිස් හා ව්‍යාපාරික ප්‍රජාව දායක කරගනිමින් එම දරුවන්ගේ අධ්‍යාපනය සාර්ථක කරගැනීම සඳහා  කැපකරුවන් යොමු කිරිම.

07. පරිසර සංරක්‍ෂණය
සියක් ලක්‍ෂයක් රුක් සෙවන යට දස ලක්‍ෂයක් නිවහන් බිහි කිරිම. (සෑම ගම්උදා ප්‍රදේශයකම 
රුක් රෝපණ වැඩසටහන් ක්‍රියාත්මක කිරිම හා ප්‍රධාන මාර්ග දෙපස රුක් රෝපණ 
වැඩසටහන් ආරම්භ කිරීම.) අද ද මෙම වැඩසටහන්වල  ජීවමාන ඵලප්‍රයෝජන දැකගත හැකි 
වන අතර කතරගම සිට සෙල්ලකතරගම දක්වා මාර්ගය දෙපස ඇතුළු මාර්ග ගණනාවක රුක් 
රෝපණ වැඩසටහන්හි සිසිලස දැනටත් අප හට අත්විඳිය හැක. 

08. ග්‍රාමෝදය මණ්ඩල බිහි කිරීම.
අද වන විට සුබසාධනය හා සංවර්ධනය දේශපාලනීකරණය වී ඇති නමුත් එවකට මෙම තත්වයක් අවබෝධ කර ගත් ප්‍රේමදාස චින්තනය හරහා ගම තුළ ග්‍රාමෝදය මණ්ඩල ඇති කරලීමට අවශ්‍ය වපසරිය ගොඩනංවන ලදී. ඒ ඔස්සේ ගමේ ජීවත් වන පවුල්වල ස්වභාවය මැනවින් දන්නා ග්‍රාමෝදය මණ්ඩල හරහා රජය මගින් ක්‍රියාත්මක සුබසාධන වැඩසටහන්වලට දායක කරගත හැකි ප්‍රජාව හඳුනා ගැනීමට හැකියාව උදාවීමෙන් ගම තුළ කිසිසේත්ම ගැටුම් ඇති නොවීය. වර්තමානයේ ඇති වී ඇති වසංගත තත්ව හේතුවෙන් ලබාදෙන ප්‍රතිලාභ යම් යම් පිරිස් වෙත නොලැබී යාමේ තත්වයන් මගහරවා ගැනීම සඳහා එවකට පැවති මෙම ග්‍රාමෝදය මණ්ඩල ක්‍රමය කොතරම් ප්‍රායෝගික ද යන්න වර්තමානය තුළින් අවබෝධ වනු ඇත.

09. ජනාධිපති ජංගම සේවා.
රජය මගින් සාමාන්‍ය ජන ප්‍රජාව වෙත සලසන සියලු සේවාවන් ගමින් ගමට ගෙන ගොස් එම සේවාවන් ගමට සමීප කරමින් සෑම මිනිසෙකු හටම රජයේ ප්‍රතිලාභ හා සේවාවන් ලැබෙන ආකාරයේ ජංගම සේවා වැඩසටහන් ක්‍රියාත්මක කිරිම හා එම සේවාවන්හි ඵලප්‍රයෝජන නිසි ආකාරයට ජනගත වූවාද යන්න සොයා බැලීමේ පසු විපරුම් ද ක්‍රියාත්මක කළ ප්‍රේමදාස මහතා අදටත් මිනිසුන් අතර ජීවමාන නායකයෙකු වී ඇත. 

10. වටර්හොල් රඟහල පදනම වැනි ආයතන ගොඩනැංවිම තුළින් කලාකරුවන් ශක්තිමත් කිරීම.
කලාව ඔස්සේ විහිදී යන විෂයන්ගෙන් සුපෝෂිත කලාකරුවන් උදෙසා මෙන්ම ශිෂ්‍යයින් වෙනුවෙන් සමාජය තුළ තැනක් ලබාදීම මේ ඔස්සේ සිදු වූ අතර තමන්ගේ රසඥතාවය විහිදාලීමට මාර්ගය හා සෙනග රැස් වෙන ස්ථාන තෝරාගත් වීදි කලාකරුවන් වෙනුවෙන්ම වෙන් වූ වේදිකාවක් සකස් කර දී වටිනාකම් ඇති කිරීම.

11. ආගමික කාර්යභාරය.
·        සර්ව ආගමික සහජීවනය ගොඩනැගීම උදෙසා ගම්උදා වැඩසටහන ඔස්සේ සියලුම ආගම් සඳහා ආගමික ස්ථානයක් වෙන්කර, එම ආගමික ස්ථාන දියුණු කිරීමට අනුග්‍රහය ලබාදෙමින්, පසු විපරම් ද සිදු කරමින් රටේ ජීවත් වන සියලු ආගමිකයින් අතර සුහදතාවය වර්ධනය වන ආකාරයේ වැඩසටහන් ආරම්භ කිරිම.

12. ලංකාවේ පමණක් නොව ඉන්දියාවේ ද ගෙවල් හැදූ ප්‍රේමදාස මැතිඳුන්.
බුද්ධගයාවේ ජය ශ්‍රී මහා බෝධියේ සිට මිටර් 100ක දුරින් බුද්ධගයාගම” නමින් නිවාස 100ක් ඉදිකිරීම. (වැසිකිළි භාවිතය පවා නුපුරුදු ජනතාවක් වෙනුවෙන් වැසිකිළි ද ඇතුළත් නිවාස ඉදිකර, ඔවුන් වෙත එම නිවාස ලබාදීම.)

මෙවන් ජනාධිපතිවරයෙකුගේ දැක්ම හා ක්‍රියාකලාපය වර්තමාන වසංගත උවදුර තුළින් උද්ගත වී ඇති ඛේදජනක හා මූල්‍යමය දුෂ්කරතා මෙන්ම ආර්ථික පරිහානී තත්වයන්ගෙන්, පවුලේ ආර්ථික ව්‍යසනයන්ගෙන් මිදීමට බෙහෙවින් ප්‍රායෝගික හා කාලෝචිත වන අතර මානසික බිඳවැටිම්, චිත්වේගීය කලහකාරී තත්වයන්, පවුල් ආරවුල්, සමාජ දුරස්ථභාවය, මෙන්ම ගමත් නගරයත් අතර ඇති සීමා මායිම් බිඳදැමීම උදෙසා අතීතයට, වර්තමානයට මෙන්ම අනාගතයට ද ප්‍රේමදාස චින්තනය බෙහෙවින් ප්‍රායෝගික වන බැවින් මැයි මස 01 වන දිනට යෙදෙන එතුමන්ගේ 27 වන ගුණ සැමරුම සිහිගන්වමින් මෙලෙස මතක ආවර්ජනය කරමි.
පී.සමරසිංහ,
දිවංගත ජනාධිපති ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස ගුණානුස්මරණ කමිටු සාමාජික.

Comments