Sathjana 2020.

Sathjana 2020.
SJB ප්‍රවෘත්ති සදහා මෙම ඛේතය "ක්ලික්" කරන්න.

කර්තෘ සටහන


අද මැයි පලවෙනිදා.
මෙවර; 2020 කම්කරු දිනය සමරන්න කිසිම කම්කරුවෙකුට, කම්කරු නායකයෙකුට ඉඩක් ලැබෙන්නේ නෑ.
කෝවිඩ් වෛරසය විසින් කම්හල් අක්‍රියකරලා. වැඩ බිම් පාළුවට ඇරලා. දහදිය හෙලන මිනිස්සු සමාජ දුරස්ථීකරණය විසින් එකිනෙකාගෙන් ඈත් කරලා. ලෝකයේ අතිබහුතරයක් ශ්‍රම හමුදාව, නිවාස අඩස්සියට පත්කරලා.

මේ වැනි දුෂ්කර නියඟ කාල මීට පෙරත් ලෝක ඉතිහාසයේ සටහන් වී තියෙනවා. එවන්  තවත් එක් අන්ධකාර පරිච්ඡේදයක් ලෙසින් 1929-1930 කාළ වකවානුව හඳුන්වාදෙන්න පුළුවන්. ඒ, "ග්‍රේට් ඩිප්‍රෙෂන් " ( Great Depression ) ලෙසින් නම්කළ යුගයයි. එය, දැඩි වෙළඳපළ කඩාවැටීමක් ඔස්සේ ඇමෙරිකාව තුළ ඇතිවු නිර්වින්දනීය අවදියක් මුත්, මේ මොහොතේ ලෝකවාසී ජනතාව මුහුණදෙමින් ඉන්නා කුරිරු යතාර්ථයේම තවත් මුහුණුවරක්  සිහිගන්වමින්, කොටස් වෙළඳපල කඩාවැටීම, මුදලේ අගය පහත වැටීම, කර්මාන්ත බිඳවැටීම, විරැකියාව රජකිරීම හා මිනිසුන් පොදුවේ ආර්ථික අහේනියෙන් බැට කෑම වැනි ප්‍රථිපල අත්කරදුන් දුෂ්කරවූ කාලපරිචේදයක් ඒ යුගයේද වැඩ කරන ජනතාවට උරුමකරදුන් බව ඉතිහාස පොතේ සටහන්ව තියෙනවා. ඒ පීඩනය තුළ  ඇමෙරිකානුවන් දැඩිව, ආර්ථික, සාමාජීය, දේශපාලනික වශයෙන් සේම මානසික අතින්ද තැලුම්කෑ වකවානුවක් බව යලි අපට සිහිකැඳවමින් ඉඟි කරන්නේ, ලෝක ස්වභාවය තුළ කලින් කලට මෙවැනි අකාරුණික යතාර්ථයන් චක්‍රයක්‌ ලෙසින් බලගැන්වෙන බවක්දැයි විඥඥානවාදීන් මේ මොහොතේ ප්‍රශ්න කරනවා.

එහෙත්, ඒ සියලු තර්ක -විතර්ක අභියෝගයක්‌ ලෙස ජයගනිමින් ඇමෙරිකාව යලි ලෝක බලවතා වීමේ සටනට එළඹ ඉන් ජයගන්නේ, සුවිශේෂී සැළස්මකට අනුව ක්‍රියා කිරීමත්, රටක් වශයෙන් සාමුහිකව නිශ්චිත අරමුණක්‌ පසූ පස  හඹායාමත් තුළින් ජයගත නොහැක්කක් නොමැත  යන ආදර්ශය, ලොවට පෙන්නුම් කරමින්.

එහෙත්, රටක් ලෙස ලොව ජයග්‍රහණය කිරීම තුළ, ඒ මෙහෙයුම ජයගැන්වූ  "බලකාය " ද  ජයගනු ලබන බවක් ඉන් හැඟවේද?  මෙහෙයුම ජයගනු ලැබුවා මිස, මෙහෙයුමේ පෙරගමන් ගත් නායකයින් ජයග්‍රාහකයින් බවට පත්වුවා මිස, මෙහෙයුම්කරුවන් ජයග්‍රහණය කරනු දැකීම මිත්‍යාවක්‌ වන්නේ, ලිබරල්වාදය හෝ නව ලිබරල්වාදය තුළින් පාලකයා මිස පාලිතයා ජයගත් ඉතිහාසයක්‌ තවම ලියවී නොමැති නිසාය. මන්දයත්, බලවන්තයා හැම විටම පිටුපස සැඟවී සිටියදී, "ජයග්‍රාහී පළකය " ගැනීමට වේදිකාවට ගොඩ වන්නේ "මහා අනෙකා" පමණක් වීමයි. ජැක් ලකාන්ට  ( Jacques Lacan) අනුව, "මහා අනෙකා" යනු "මිත්‍යාවයි" (illusion). අප හොඳින් දන්නා හඳුනන පරමාදර්ශී ජීවියා වන්නේ " කුඩා අනෙකා " (Small other ) මිස සංඛේතීය  " මහා අනෙකා " ( Big other ) නොවේ. මන්ද, මහා අනෙකා යනුවෙන් භෞතික ශරීරයක්‌ නොවන අතර, නාමික බලවතා නොහොත් පාලකයා වනාහී ශරීරයක්‌ නොව බාහිරව ගොඩනැගූ භෞතික වටිනාකම් සමුදායක ප්‍රතිභිම්බය මිස අනෙකක් නොවේ. ප්‍රතිභිම්බය යනු සැමවිටම පවතින සජීව වස්තුවක අජීවී රූපය නොව, රුපකයයි ( signified ). වැඩිදුරටත් එය පැහැදිලි කරනවානම් "ධනවතා විසින් ධනවතෙකු වන්නේ, "ධනය " තුළිනි. එහිදී " ධනය " යන බළ ප්‍රභවය නොවන්නට ඔහුට ස්වීය වටිනාකමක්‌ නොමැත. මන්ද එය පුද්ගලානුබද්ධ ශක්තියක් හෝ සඛ්‍යතාවයක් නොවන බැවිනි. ඒ අර්ථයෙන් බලන විට, ධනවතාට වඩා ධනය උපයාදෙන ශ්‍රමිකයාට ඒහා සමග කිට්ටු සම්බන්දයක් පවතියි. 

එනිසා, ශ්‍රමය වපුරන, බර උසුලන, ගැහැට විඳින ශ්‍රමිකයා, හැම විටම මිත්‍යා රුපකයක්‌ වු මහා අනෙකාගේ දැවැන්ත සෙවනැල්ලට යටවේ. මන්ද, මිත්‍යාවකට හැඩයක්, නියත විලාසයක් නොමැති නිසා, තම ස්වරුපය වහා වෙනස්කරගත හැකිවේ. එවිට එවන්  ගණුදෙනුවක වගකීමක් හෝ වගවීමක් නොමැති නිසා, ප්‍රතිලාභ සඳහා හිමිකරුවන් දෙදෙනෙක් හෝ කිහිපදෙනෙක් අතර ගැටුමක් නැත. ආත්මයකට වඩා " බලය " හෝ " ධනය "වැනි රුපකයක් විසින් හිමිකාරිත්වය හෝ අධිකාරිත්වය දරන විට අත්වන එකම හා අවසාන ප්‍රතිපළය වන්නේ, පද්ධතියේ බර උසුලන්නා පද්ධතියේ බර විසින් ම මඩිනුලබන අතර, ඔහු /ඇය " බහිරව ප්‍රතිමාවක් "ලෙස පමණක් සැම විටම වන්දනාමානවන්නේ සංඛේතීයවයි. ඒ, උත්කර්ශනීය නිමේෂය වන්නේ මෙවැනි කම්කරු දිනයන්ය. එකී උත්කර්ෂවත් නිමිත්ත" 1882 මැතිවු මැග්වර් විසින් අරමුණක්‌ ලෙස නම් කළ අවස්ථාවෙන් අරඹා, 1886 මැයි 1වෙනිදා නිත්‍යානුකූලත්වයට පත් දිනයේ පටන්, ලොව පුරා රටවල් 80කට   වැඩි ප්‍රමාණයක්‌ වාර්ෂිකව සමරනු ලබයි. එය උත්කර්ෂයට නංවන්නාවූ සැමරුම්  අවස්ථාවක් ලෙසින් වාර්ෂිකව  පවත්වනුලබන්නේ, සම්ප්‍රදායට ගරුකිරීමක් වශයෙන් මිස සැබෑ පරමාර්තයකින්ද යන්න පැහැදිලි නොවේ.

මෙකී සම්ප්‍රදාය, ගෞරවනීය ප්‍රායෝගික වගකීමක් දක්වා ගොඩනැගීමට තවත් සියවස් කීයක කාලයක්‌ ගතවේදැයි අප කිසිවෙකුත් නොදැනසිටීම කිසියම් ඛේදවාචකයක්ද, නොඑසේනම් පවත්නා සම්ප්‍රදායේම කොටසක්දැයි මා නගන්නාවූ අවසාන ප්‍රශ්නයි.

- ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද

➤ මෙය, දේශපාලන මති මතාන්තර, අදහස් හා සංවාද සදහා වෙන්වූ නිදහස් අවකාශයක් වන අතර, මෙහි ප්‍රකාශයට පත්වන ලිඛිත සහ ඩිජිටල් ලේඛන තුල අන්තර්ගත අදහස්, අදාල ලේඛකයාගේ ස්වීය ප්‍රකාශනයක් ලෙසින් ඉදිරිපත්වන බව කරුණාවෙන් සලකන්න. 

Comments