Sathjana 2020.

Sathjana 2020.
SJB ප්‍රවෘත්ති සදහා මෙම ඛේතය "ක්ලික්" කරන්න.

ජාත්‍යන්තර කම්කරු දිනය , පැරැණි වම්මු සහ අලුත් වම්මු.


අද ලෝක කම්කරු දිනයයි.


කම්කරු දිනයේ  අයිතිවාසිකම් සහ ජයග්‍රහණ සමරමින් අනාගත අභිලාෂයන් ඉටු කරගැනීම උදෙසා  වන අර්ථපූර්ණ මැයි දින සැමරුමක් කරන්නට අද මේ රටේ කිසිදු  වමේ පක්ෂයකට හැකියාවක්  නැත. එබැවින් කාලයක සිට සිදු කෙරන්නේ බස් රථලින් කොළඹට අහිංසක කම්කරුවන් කැඳවා, ගිනි අව්වේ වීදි දිගේ ඇවිද්දවා, තම තමන් කඩේ යන පක්ෂ සහ පාට වෙනුවෙන් ඔවුන් ලවා   සටන් පාඨ කියවා ඒ ඒ පක්ෂවල ශක්තිය  පෙන්වීම පමණකි.

සැබැවින්ම මේ රටේ  මැයි දිනය  සදාචාරාත්මකව සමරන්නට පූර්ණ අයිතියක් ඇත්තේ ධනේෂ්වර ගැති පක්ෂවලට නොව  කම්කරු අයිතින් වෙනුවෙන් අරගල කරමින්, ඔවුන්ගේ වෘත්තීය අයිතීන් දිනා දුන් වාමාශික ව්‍යාපාරයට පමණි. ඔවුන්ගේ කීර්තිමත් සටන් ඉතිහාසයන් පැවැති සමයේ  විලිබිය නැතිව ඔවුන්ට එසේ  මැයි දිනය සමරන්නට හැකි වූයේය.

එහෙත් දැන් ඒ පැරැණි වම කුඩේ කුඩුය. එහි ඉතිරිව සිටින අවසාන පොල් කුඩ්ඩන් වන ඩිව් ගුණසේකර, තිස්ස විතාරණ, වාසුදේව නානායක්කාර වැන්නන් පවතින අධිපතිමතවාදය ඉදිරියේ නගුට වනමින් ජනතා අයිතිවාසිකම් වෙනුවෙන් හෝ, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් හෝ කිසිදු හඩක් නොනඟා  බඩගෝස්තරය වෙනුවෙන්ම බැල මෙහෙවර කරමින් සිටිති.

මේ රටේ පැරැණි වමේ කාර්ය භාරය අවසන් වී ජනතා කුණු බක්කියට යෑම ආරම්භ කෙරුණේ  1964 ශ්‍රි. ල. නි. පය සමග සභාග ආණ්ඩුවකට  ගිය දා සිටය. එතැන් පටන් සම සමාජ- කොමියුනිස්ට් පක්ෂ  හුදු  යු.ඇන්. පී. විරෝධින් ලෙස පමණක් කටයුතු කරමින් හැම වි‍ටෙකම ධනේෂ්වර ගැති ශ්‍රි.ල.නි.ප.ය   සමග සන්ධානගත වෙමින් මැතිවරණයෙන් මැතිවරණයට ඔවුන් ප්‍රමුඛ විවිධ පෙරමුණුවල ගිවිසුම්වලට ප්‍රසිද්ධියේ නිර්ලජ්ජිතව අත්සන් තබමින් ස්වකීය දේශපාලන බංකොලොත්භාවය ප්‍රදර්ශනය කළ ආකාරය ඉතිහාසය   සාක්ෂි දරයි.

ඒ පැරැණි වම පතුරු ගසමින් කාලාන්තරයක් මුළුල්ලේ තරුණයන්ගේ ආකර්ශණයට ලක්වෙමින් සිටි ජනතා විමුක්ති පෙරමුණද  අද වනවිට පැරැණි වමට නොදෙවනි වෙමින් මේ අධිපතිමතවාදය ඉදිරියේ මුනිවත රකිමින් සිටි. මේ වනවිට කොරෝනා උවදුරින් රට යළි ගොඩගැනීම පිලිබඳ බරපතල අභියෝගය  මැද  දැඩි ව්‍යවස්ථා අර්බුදයකටද  මුහුණ දී සිටී.  එම අර්බුදයට  විසදුමක් ලෙස යළි පාර්ලිමේන්තුව කැඳවිම හැර මේ අවස්ථාවේදී  වෙනත් විකල්පයක් නැති බව ඇස්පනාපිට පෙනෙන්නට තිබියදී, ඒ පිළිබඳ මහජන මතයක් ඇතිකිරීම සඳහා පෙරමුණ ගැනීම විපක්ෂය ඇතුළු වමේ පක්ෂවල ප්‍රධාන කාර්යභාරය වී තිබියදී, එය වුමනාවෙන් කර හැර සිටින කලින් නම් සදහන් කළ පොල් කුඩ්ඩන් හැරුණු විට මේ මොහොතේ වමක් හැටියට පෙනී සිටින ජනතා විමුක්ති පෙරමුණ ඒ සදහා වන සක්‍රිය දායකත්වය කුමක්ද?

වඩාත් භයානක තත්ත්වය නම් ඉදිරියේදී පාර්ලිමේන්තුවක් වෙනුවට හමුදා පාලනයක් අවශ්‍ය යයි  මතයක් ජනතාව තුලින් මතුවීම සහ එය මතුවන්නට ඉඩ හැර ඇති වාතාවරණයක් තුළ  ඊනියා වම නිහඩව සිටීමයි. මෙසේ හමුදා ආණ්ඩු ඉල්ලා සිටින සාමාන්‍ය ජනතාව අඩුම තරමින් හමුදා පාලනයක ස්වභාවයවත් දන්නේ නැත. ලොව දරුණුම  හමුදා පාලනයන් ගෙන් මිදී ප්‍රජාතන්ත්‍රවාදය දිනාගැනීම උදෙසා  ඒ ඒ රටවල ජනතාව දහස් ගණනින් ජීවිත පූජා කළ බවක් අසා නැත. එහෙයින් ප්‍රජාතන්ත්‍රවාදයේ වටිනාකම සහ හමුදා පාලනවල ස්වභාවය පිළිබදවද දැනුවත් කිරීම සහ මේ මොහොතේ දේශපාලන වශයෙන් ජනතාව පෝෂණය කිරීම වමේ පක්ෂවල වගකීම වී තිබේ. ඒ සදහා සම්මත මාධ්‍ය අභිබවා යමින් සිටින සමාජ ජාලා මාධ්‍ය යොදා ගත හැකිවි තිබියදී ඒ කාර්ය භාරය කරන්නට ජ. වි.පෙ. වත් සූදානම් නැත.

අඩුම තරමින් පාර්ලිමේන්තුව යළී රැස් කරන්නැයි ඉල්ලීමක් කරමින්  පසුගියදා විපක්ෂය ජනපතිට යැවූ ලිපියට අත්සන් තබන්නටවත් ජ. වි. පෙ ඉදිරිපත් නොවූයේ ඊට අත්සන් තැබීම යූ. ඇන්. පී. බළල් අතක් වීමක් ලෙස පක්ෂ සාමාජිකයන්ගෙන්  නැඟේවි යයි යන චෝදනාවකට බියෙන් නම්, එය දේශපාලන පක්ෂයක් හැටියට කොන්දක් නැති බව සහ  තීරණාත්මක   අවස්ථාවකදී  සෘජු ප්‍රතිපත්තියක් නැති බව සනාථ කිරීමකි. විපක්ෂයේ එම ඉල්ලීමට  අත්සන් තබන්නට නොහැකි නම් පක්ෂයක් ලෙස වෙනම ඉල්ලීමක් කරන්නට හෝ මේ අවස්ථාවේදී ගතයුතු ක්‍රියාමාර්ග ගැන පුළුල් මට්ටමින් ජනතාව දැනුවත් කිරීමක් හෝ ඒ සම්බන්ධයෙන් ප්‍රබල හඩක් නංවන බවක් හෝ දකින්නට නැත. මේ මොහොතේ මහ මැතිවරණයක් පැවැත්වීමට විරුද්ධව ජ.වි. පෙ. නායකයන් රුපවාහිනි නාලිකවල මත දැක්වීමක් කොට ඇතත් ඊට  එහා ගිය  සක්‍රීය හා සෘජු දේශපාලන වැඩපිළිවෙලක් ගැන විශේෂ අවධානයක් යොමු කරන බවක් පෙනෙන්නට නැත.

එබැවින් මේ අවස්ථාවේ පාලකයන් තමන්ට අවශ්‍ය තැනට ජනතාව දක්කාගෙන යැම සදහා රාජ්‍ය හා පෞද්ගලික  සියලු මාධ්‍ය පාවිච්චි කරමින් සිටි. කිසියම් පක්ෂයක් කෙරෙහි ජනතා විශ්වාසය රැඳෙන්නේ  තීරණාත්මක අවස්ථාවලදී ඉතිහාසයෙදී ඔවුන් විසින් ගනු ලබන දේශපාලන තීන්දු මතය. එහෙත් ආරම්භයේ සිට ජ.වි. පෙ.  පක්ෂයක් ලෙස ගත් තීන්දු තීරණ කිසිවක් ඔවුන්ටවත් රටටවත් ඵලක් වූයේද,? 1971 කැරැල්ල සහ 89 කැරැල්ල මොහොතකට අමතක කොට ප්‍රජතන්ත්‍රවාදී ප්‍රවාහයට පිවිස පසු  ජ. වි. පෙ. දේශපාලන ක්‍රියාකාරකම් මඳක් විමසන්න.

ජ.වි. පෙ. සිය විප්ලවීය දේශපාලනය දිය කරගැනීමේ පළමු පියවර තැබුවේ චන්ද්‍රිකා කුමාරතුංගගේ ආණ්ඩුව කඩා වැටෙන්නට ගිය අවස්ථාවේදී ඊට මුක්කු ගසමින් ‘පරිවාස’ ආණ්ඩුවකට ගොස් එහි ඇමැති පට්ටම්ද ගෙන අවසානයේ උතුරේ සුනාමි සහන මණ්ඩල පිහිටුවීම් ප්‍රශ්නය මත මහා සද්දයක් දමා දොට්ට බැසීමය. එම තීරණයද   මාක්ස්වාදී යැයි කියා ගන්නා  වමේ  පක්ෂයකට තරම් නොවූ පොදු ජනතා විඥාණයට ආවඩන සුළු  වූ  වර්ගවාදී  මානසික තත්ත්වය පිළිබිඹු කිරීමකි.

එතැනින් නොනැවතුණු ජ.විපෙ. ඉන්පසු  පැරැණි වාමංශික පක්ෂවල ප්‍රතිසංස්කරණවාදී මාවත දිගේ බඩ ගාමින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහාද, එය රැකගැනීම සඳහාද සෑහෙන ශ්‍රමයක් දැරුවේය. මේ සියල්ලෙන් සිදුවූයේ තමන්ට තනිව පක්ෂයක් ලෙස ගොඩනැඟෙමින් ජනතා විශ්වාසය දිනාගන්නට තිබූ අවස්ථාව අහිමිකර ගැනීමය. ඒ ජනතා විශ්වාසය කෙතරම් දුරට  අහිමිවී  ගොස් ඇත්ද යන්න පසුගිය ජනාධිපතිවරණයේදී සනාථ වූයේය. එහිදී  ඇතැම් ජ.වි. පෙ. හිතවතුන් අපේකෂා කළේ ලක්ෂ දහයකට වැඩි ඡන්ද ප්‍රමාණයකි. එහෙත් එය ලක්ෂ තුන දක්වා පල්ලම් බැස ගොස් තිබිණි.

මේ වනවිට ජ.වි. පෙ. කරන සක්‍රීය දේශපාලනයක් නැත. එබැවින්  ජ.වි. පෙ. සමග අලුත් තරුණ තරුණයන් රොද බැද ගන්නේ නැත. ශිෂ්‍ය ව්‍යාපාර තුළ අද ඔවුන්ගේ හඩක් නැත. වෘත්තීය සමිති ව්‍යාපාරය තුළද හඩක් නැත. 

මෙසේ  අලුත් වම හැටියට ජනතා විමුක්ති  පෙරමුණ කෙරෙහි අපේක්ෂා දල්වා ගෙන සිටින සුළුතරයද අනාගතයේදී ඔවුනට අහිමිවී යෑමේ ඉඩකඩ තුළ පාලක පක්ෂයට හිතුමතේ පිනුම් ගසන්නට හැකි විමේ අනතුර  අත ළඟය.

-අකිල අරවින්ද

Comments

  1. "උද්ඝෝෂණය නොකලාට මිනිස්සු තනියෙන් වෙනස්වීමත් අරගලයක්.."
    -සහෝදරයා ටෙලි නාට්‍යය-

    ReplyDelete

Post a Comment