Sathjana 2020.

Sathjana 2020.
SJB ප්‍රවෘත්ති සදහා මෙම ඛේතය "ක්ලික්" කරන්න.

සංස්කෘතික යාගය - Cultural Yajna.

තදාසන්න සමකාලීන කලාව තුල මුල් බැස ගෙන ඇති මිත්‍යාවන් පුපුරවා හැරීම..
විකෘති වූ තදාසන්න සමකාලීන කලාව තුල මුල් බැස ගෙන ඇති මිත්‍යාවන් පුපුරවා හැරීම 'සංස්කෘතික යාගය' (Cultural Yajna) නමැති හිසින් අදින් ඇරබෙන ලිපි මාලාවෙහි මූලික කාර්‍ය ලෙස සැලකිය හැකි වන අතර මෙම ලියවිලි වල අන්තර්ගතයන් ඇතැම්විට ඔබේ විශ්වාස පද්ධතියට හානි කර විය හැකි බැවින් ඔබ දැනටමත් දැඩි ලෙස 'කිසියම් විශ්වාස පද්ධතියක' එල්බ සිටින අයෙක් නම් තමාගේ යහ සෞක්‍ය ගැන කල්පනා කර 'සංස්කෘතික යාගය' (Cultural Yajna) කියවීමෙන් වැලකී සිටින මෙන් මුලින්ම ඔබෙන් ඉල්ලා සිටින්නට කැමතියි. කලාව තුල මුල් බැස ගෙන ඇති මිත්‍යාවන් බිද හෙළමින් ඒ හරහා විවර වන ඉඩෙන් පොදු රසිකයා කලාව තුලට ඇතුළු කර ගැනීම උදෙසා මගක් විවර කරගැනීමට උත්සාහ කිරීම මෙම ලිපි මාලාවෙහි අරමුණයි. මක් නිසාද යත් කලාත්මක මනසකින් හෝ පරිකල්පනයකින් තොර 'ජන සමූහයක්/ප්‍රජාවක්' යනු තවත් බැටළු රංචුවකට එහා ගිය 'යමක්' නොවිය හැකි බැවිනි. එවැනි ප්‍රජාවක් ඇස වසා කතිරය ගසනු ඇති අතර අනතුරුව ගොපල්ලා විසින් ඔවුන්ව කොහේ හෝ දක්කනු ලබනු ඇති. ඊට වඩා වෙනස් වෙනත් යමක වියහැකියාවක් නම් පෙනෙන්නට නැත. දැන් කළු බැටළු පැටවාගේ මෙටෆරය ඔබේ හිසට වේගයෙන් අනිනු ලබනවා නම් මෙන්න ඒ පිළිබද මගේ සත දෙක.. ඔබ රංචුවේ කළු බැටළු පැටවා වී පිටතට ආවා යයි සිතමු.. ඔබ සිස්ටම් එකෙන් පිටතට විත් කුමක් කරන්නද? අනිත් උන් ඔබ පසුපස පැමිණෙනු ඇතැයි ඔබ බලාපොරොත්තු වන්නේද? එසේ වන්නේ වේ නම් ඔබත් ගොපල්ලාත් අතර වෙනස පහදා ගන්නට අපට අලුත් විද්‍යාවක් සොයා දෙන්න. එසේ නොවේ නම් 'ඔබත් ඔහොම ඔතැන ඉන්න මමත් මෙහෙම මෙතැන ඉන්නවා' යන ප්‍රේමකීර්තියානු පද පේළිය බහුඅර්ථ ගන්වා සන්දේශාකෘතියෙන් ඔබ වෙත එවනු මිස වෙන කුමක් කරන්නද? සමූහයක් ලෙස වෙනස් මගක් සොයා ගනු මිස.. වෙනත් දේශපාලන විමුක්තියක් කොහෙද? ඔන්න 'කලාවෙන් පටන් ගෙන සුපුරුදු ලෙස දේශපාලන මැක්කාට ඇවිත්' යැයි දැන් ඔබ කියනු ඇත. වටහා ගත යුතු මූලික කරුණ නම් කලාවට දේශපාලන අර්තයක් ද ඇති බවයි. කලාව කොහෙත්ම අහිංසක නැත!

'මිනිසා වනාහි කලාත්මක සත්වයෙකි' (Man is an artistic animal).
හොදයි, කලාව කොහෙත්ම අහිංසක නොවන නිසාම මම කැමතියි මූලික ප්‍රවේශයේදී ඇරිස්ටෝටල්ගෙ 'මිනිසා වනාහි දේශපාලන සත්වයෙකි' ය (Man is a political animal) යන සුප්‍රකට කියමන මගේ 'කුප්‍රකට' කියමනක් බවට හරවා ගන්න. එහෙනම් මෙන්න මගේ 'කුප්‍රකට' කියමන.. 'මිනිසා වනාහි කලාත්මක සත්වයෙකි' (Man is an artistic animal). ඇරිස්ටෝටල් තම දේශපාලනයේ දී මිනිසා වනාහි 'දේශපාලන සතෙකු' යැයි විශ්වාස කළේ ඔහු (මිනිසා) කථන ශක්තියෙන් හා සදාචාරාත්මක තර්කනයෙන් යුත් සමාජ ජීවියෙකු වන හෙයින්.. එහෙයින් රාජ්‍යය සොබාදහමේ නිර්මාණයක් බවත් මිනිසා ස්වභාවයෙන්ම දේශපාලන සත්වයකු බවත් පැහැදිලි යි. දැන් අපි මගේ 'කුප්‍රකට' කියමන වෙතට හැරෙමු. ඉහත සන්දර්භයම ටිකක් එහාට මෙහාට කරලා ගත්තොත් එන්නෙ මෙන්න මේ වගේ අදහසක්.. 'මම (නදී) මගේ (නදීගේ) අදහස් දැක්වීම් වලදී මිනිසා 'කලාත්මක සතෙකු' යැයි විශ්වාස කරන්නේ ඔහු (මිනිසා) සිතීමේ ශක්තියෙන් හා සොබාවික තර්කනයෙන් යුත් සමාජ ජීවියෙකු වන හෙයිනි.. එහෙයින් 'කලාව' මිනිසාගේ නිර්මාණයක් බවත් මිනිසා සොබාවයෙන්ම 'කලාත්මක' සත්වයකු බවත් පැහැදිලි යි. ඒ අනුව 'මිනිසා වනාහි කලාත්මක සත්වයෙකි' (Man is an artistic animal).

කලාව කියන්නෙ මිනිසාගේ සිතීමේ අග්‍රපලය යි.
මගේ තර්කය නම් කලාව යනු මිනිසාගේ සිතීමේ අග්‍රපලය යන්නයි. මිනිසාගේ චින්තන විශ්වයේ සවුන්දර්ය කලාවයි. 'ආර්ටිස්ට් කෙනෙක් වෙන්න හැමෝටම බෑ', 'කලාව දෙවියන් වහන්සේගේ දායාදයක්', 'කලාව පාරම්පරික උරුමයක්', 'කලාව පෙර සංසාරෙ ඉදල අරගෙන එන දෙයක්' වගේ කතා ඔබේ චින්තන විශ්වය වටා බැදපු  සංස්කෘතික තාප්ප! සිතීමේ අග්‍රපලය නමැති 'ඉතා රසවත් පළතුර' නිකංම නිකං 'තහනම් ගෙඩියක්' බවට පත්කරන ප්‍රලාප. මේව පුපුරවා හැරි දා සිට ඔබ නිදහස් චින්තකයෙක් වේවි. එතෙක් ඔබ අනුන්ගේ දේශපාලන අජෙන්ඩාවක ගොදුරක් පමණයි!

කලාව කියන්නෙ බල දේශපාලනයෙ මෙහෙයුම් මධ්‍යස්ථානයක්.
චින්තකයෙක් කියන්නෙ සොබාවික සත්වයෙක්. මේ සොබාවික සත්වයා, නිතැතින්ම කලාත්මකයි. 'මිනිසා වනාහි කලාත්මක සත්වයෙකි' (Man is an artistic animal). ඒ ඔහු (මිනිසා) සිතීමේ ශක්තියෙන් හා සොබාවික තර්කනයෙන් යුත් සමාජ ජීවියෙකු වන නිසා. ඇයි එම වැකිය මම පුනරුච්චාරණය කරන්නෙ? ඒ, 'සිතීම' නමැති අනර්ඝ උරුමය ගැන කතා කරන්න.. 'සිතීම' නැත්නම් පරිකල්පනයේ අග්‍රපලය ඔබට පුහුණු කල හැකි යමක්. ඔබට යමක් කල යුතු යැයි සිතෙනවා නම් මුලින්ම  ඔබ කරන්න ඕන ඔබේ පරිකල්පනය අවදි කරගන්නෙක. දැනටමත් ඔබේ සිතීම 'ඔවුන්' මොට කරලද කියන්න දන්නෙ නෑ. මොකද, මම ඔබට කලිනුත් කිව්ව.. කලාව ඔබ සිතන තරම් අහිංසක නෑ. කලාව කියන්නෙ බල දේශපාලනයෙ එක් මෙහෙයුම් මධ්‍යස්ථානයක්. ඔබේ සිතීම මොට කරල ඔබව කලාවෙන් ඈත් කරන්න ඔවුන් ඕනෑම දෙයක් කරාවි. මක් නිසාද යත් පරිකල්පනය නිදහස් චින්තකයින් බිහිකරන නිසාත්, නිදහස් චින්තකයින් බල දේශපාලනයේ සතුරන් වන නිසාත්!

කලාව කියන්නෙ අදහස් ලෝකය තුළ ඇතිවන 'කැරැල්ලක්'.
අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මෙහෙම දෙයක්, ප්‍රතිභාවෙන් කලාව කල යුගය ඉකුත් වෙලා බොහෝ කල්. කලාව කියන්නෙ දැන් අදහස් ලෝකය තුළ ඇතිවන 'කැරැල්ලක්'. මේ කැරැල්ලට පාලක පන්තිය වගේම එලිට් එකත්, ඒ විතරක් නෙමෙයි ඇකඩමියාවත් බයයි. කොටින්ම කිව්වොත් ගුරුකුළ පවා බයයි. සෑහෙන කාලයක් කලාව තිබුණෙ මේ කියන අයගෙ බලධූරාවලිය ඇතුළෙ නැත්නම් ඒ යටතෙ. නමුත් වර්තමාන ලෝකයේ මේ තත්වය බොහෝ දුරට වෙනස් වෙලා. කලාකරුවා විසින් කල අනවරත අරගලයකින් අනතුරුව පල්ලියෙන්, ඒ කියන්නේ ආගමික සංස්ථාවෙන් වගේම රාජ්‍යත්වයෙනුත් කලාව වෙන් වෙලා කැඩිල ඇවිත් අද කිසියම් ස්වාධීනත්වයක් දරාගෙන ඉන්න සමත් වෙලා තියෙනව. එම ස්වාධීනත්වය ඔවුන් ළගා කරගත්තේ කෙසේද..  එය සැබෑ ස්වාධීනත්වයක් ද.. සමකාලීන කලාව තුල අපේ සහ රටේ ඉරණම කුමක්ද.. ලබන සතියේ කතා කරමු.

- නදී වාසලමුදලිආරච්චි. 

Comments