Sathjana 2020.

Sathjana 2020.
SJB ප්‍රවෘත්ති සදහා මෙම ඛේතය "ක්ලික්" කරන්න.

කොරෝනා වෛරසය: කෝවිඩ් 19 නිසා පිළිසරණක් නැති වූ ලිංගික ශ්‍රමිකයන්ගේ කතාව


කොරෝනාවෛරසයේ ප්‍රතිවිපාකයක් වශයෙන් බල පැවැත්වෙන සමාජ දූරස්ථභාවයට අදාළ රෙගුලාසි සමග සමාජ ශාලා සහ ලිංගික ශ්‍රමික නිවාස (brothels) වසා දමනු ලැබීමෙන් එක ම එක රාත්‍රියක් ඇතුළත ලොවපුරා ලිංගික වෙළෙඳ ක්‍ෂේත්‍රයේ නිරතවන්නන්ගේ ආදායම් ඔවුන්ට අහිමි විය.

එවැනි වාතාවරණයක් තුළ ඇතැම් ලිංගික ශ්‍රමිකයෝ සිය ශරීර සෞඛ්‍යය Covid 19 වෛරසයෙන් ආරක්ෂා කර ගැනීමේ සහ අනිත් අතින් තම ජීවිකා වෘත්තීන් රැක ගැනීමේ ක්‍රියාමාර්ගයක් වශයෙන් අන්තර්ජාලය ඔස්සේ සිය සේවාවන් පවත්වා ගැනීමට යොමුව සිටිති. ඒ අතර තවත් පිරිසක් ශුභසාධක ආයතනවල පිහිට ඉල්ලා ඇත.

එස්ටෙල් ලූකාස් (Estelle Lucas) පසුගිය වසර දහයක කාලය තුළ ඔස්ට්‍රේලියාවේ 'මෙල්බර්න්' නගරයේ තම සේවය සපයමින් සිටි ලිංගික ශ්‍රමික කාන්තාවකි (sex worker). දුරකතනය මගින් ගිවිස ගත් පරිදි සිය සේවාදායකයා විසින් කැඳවනු ලබන ස්ථානයට ගොස් සිය සේවය සැපයීම (an escort) ඇයගේ රැකියාවයි.

බෙහෙවින් ප්‍රවේශම් සහගතව ගොඩනගා ගන්නා ලද ගනුදෙනුකරුවන් පිරිසක් ඇය සතු විය.

එහෙත් Covid 19 වසංගතය පැතිර යාමත් සමග බල පැවැත්වෙන සමාජ දූරස්ථභාවය ලිංගික ශ්‍රම සේවාවන් කෙරෙහි තහංචි දමනු ලැබ ඇති අතර එස්ටෙල්ගේ ජීවිකා වෘත්තියත් ඉතා ම අයහපත් අඩියකට වැටෙන තත්ත්වයක් උදා වී ඇත.

"මම මාස හයක් මේ රැකියාවෙන් ඈත්ව සිටියොත්, මගේ බොහෝ ගනුදෙනුකරුවන්ට මාව අමතක වෙලා යාවි," එස්ටෙල් පවසන්නීය.

"මට මගේ ගනුදෙනුකරුවන් සමග එක්වෙන්න අවසරයක් නැහැ. දැන් තියෙන්නේ කතාබහක් විතරයි. ඒකෙන් මගේ රැකියාව අතින් තේරුමක් නැහැ. අපට අවශ්‍ය හමු වී කරන ආශ්‍රය. ඒත් අද පවතින වාතාවරණය යටතේ ඒක කරන්න පුළුවන් දෙයක් නොවෙයි."

කොරෝනා වසංගතයට පෙර තමා සාමාන්‍ය මට්ටමට වඩා හොඳ ආදායමක් ඉපැයූ බව එස්ටෙල් පවසයි. එමගින් 'මෙල්බර්න්'හි සිය නිවසේ උකසෙහි ඉතිරිය ගෙවා දැමීම ඇයගේ බලාපොරොත්තුව වී තිබිණි.

එහෙත් මේ වන විට එස්ටෙල්ගේ සියලු ආදායම් මාර්ග ඇණහිට ඇත. දැන් ඇයගේ බලාපොරොත්තුව සිය සේවාව අන්තර්ජාලය ඔස්සේ සැපයීමය. නමුත් ගැටලුව, ශාරීරික මට්ටමින් යළි සබඳතා ගොඩනගා ගැනීම අසීරු වීමය.

"අවාසනාවකට, පැවති තත්ත්වයෙන් තවත් තත්ත්වයකට පරිවර්තනය කරන්න බැරි දේවල් තියෙනව. මම අන්තර්ජාලය තුළින් මගේ සබඳතා පවත්වා ගන්න යොමුවුණා. නමුත් හැම කෙනෙකුට ම තාක්ෂණික මට්ටමේ හැකියාවන් නැහැ. මගේ සමහර සේවාදායකයන්ට නවීන ජංගම දුරකතනයක් පාවිච්චි කරන්නේ කොහොම ද කියලවත් හරි දැනුමක් නැහැ," එස්ටෙල් තමා මුහුණ දී ඇති අභියෝගය විස්තර කළාය.

මෙල්බර්න් නගරය අයත් ප්‍රාන්ත ආණ්ඩුව ආපන ශාලා, කැෆේ, වැනි ස්ථාන යළි විවෘත කිරීමේ මාර්ග සිතියමක් ඉදිරිපත් කර ඇති නමුත්, ලිංගික කර්මාන්තය ගැන එහි සඳහන් නොවේ. ඒ අතර ම, බොහෝ දෙනෙකු වෛරසයෙන් ඔබ්බෙහි තොරතුරු කිසිවක් නොදැනීම පවතින අවිනිශ්චිතභාවය දෙගුණයක් වීමට හේතු වී ඇති අතර, එමගින් බොහෝ ලිංගික ශ්‍රමිකයන් ගැඹුරු අවුල්සහගත තත්ත්වයකට හෙළා ඇත.

"මගේ රැකියාව බිංදුවට ම වැටෙයි කියන බයෙන් මම ඉන්නේ. මම මේ රැකියාව පළමු වරට ආරම්භ කරපු අවස්ථාවේ වගේ ආයෙත් ඉතා දුෂ්කර තැනකින් පටන් ගන්න වේවි," එස්ටෙල් පවසයි.

එපමණක් නොව සිය සේවාදායකයන් 'Covid 19' ආසාදිතයන් විය නොහැකි ද? ඔවුන්ගේ සෞඛ්‍යය සම්බන්ධයෙන් ද ඇයට බියක් පවතී.

කොරෝනාවෛරසය නිසා රැකියා අහිමි වූවන්ට මූල්‍ය ආධාර සැපයීමේ වැඩපිළිවෙළක් ඔස්ට්‍රේලියානු ආණ්ඩුව විසින් පෙරට තබනු ලැබ ඇති නමුත්, ඒ සඳහා සුදුසුකම් ලැබීමට ඔවුන් විසින් එතෙක් රජයට ගෙවනු ලැබ ඇති බදු පිළිබඳ තොරතුරු ඉදිරිපත් කළ යුතුව ඇත. ලියාපදිංචියක් නොමැති ලිංගික ශ්‍රමිකයන්, ලිංගික සංක්‍රාන්තිකයන් සහ සංක්‍රමණිකයන් වැනි සමාජ කණ්ඩායම්වලට එවැනි බදු තොරතුරු ඉදිරිපත් කිරීම කළ නොහැක්කකි.

''එය ලොව පුරා ලිංගික ශ්‍රමිකයන් රාශියක් මුහුණ දී ඇති ගැටලුවක්'' ලෙස්ටර් සරසවියේ අපරාධ විද්‍යාව පිළිබඳ මහාචාර්ය ටීලා සැන්ඩර්ස් පෙන්වා දෙන්නීය.

''විශේෂයෙන් ම, ස්වයං-රැකියාවන්හි නිරතවන්නන් ඇතුළුව, සමාජයේ බහුතරයට ආණ්ඩු මගින් සමාජමය සුරක්ෂිතභාවයක් ලබා දීම යහපත්. නමුත්, ලිංගික ශ්‍රමිකයන් ඊට ඇතුළත් කරලා නැහැ," මහාචාර්යවරිය පෙන්වා දුන්නාය.

එවැනි තත්ත්වයක් යටතේ හදිසි අරමුදලක් වෙනුවෙන් දායක වෙන ලෙස ලිංගික ශ්‍රමිකයන්ගේ හවුලක් සහ උපදේශන කණ්ඩායම් මහජනයාගෙන් ඉල්ලීමක් කර තිබිණි.

එහිදී, 'ලාස් වේගාස්'හි ලිංගික ශ්‍රමිකයන්ගේ සංවිධානයක් විසින් කරන ලද ඉල්ලීමක් අනුව, ඇමෙරිකානු ඩොලර් 19,000 ක් මුදලක් එකතු විය. ඉතාලියේ උපකාර කණ්ඩායම්වල සන්ධානයක් විසින් දියත් කරන ලද ව්‍යාපාරයකින් යුරෝ 21,700 ක මුදලක් එක්රැස් කෙරිණි.

"ඇත්තෙන් ම, ඒක ලිංගික ශ්‍රමිකයන්ගේ හදිසි බිල්පත් ගෙවීමට සහ ආහාර ටිකක් මිලට ගැනීමට සැබෑ ආධාරයක් වෙනවා'' මහාචාර්ය ටීලා සැන්ඩර්ස් සඳහන් කළාය.

මේ අතරවාරයේ, කොරෝනාවෛරසය අමතක කොට එම අනතුර භාර ගනිමින් හෝ, ජීවත්වීම වෙනුවෙන් මුදලක් උපයා ගනු පිණිස සිය රැකියාව දිගට ම කරගෙන යාමට ඇතැම් ලිංගික ශ්‍රමිකයන්ට බල කෙරී ඇත.

දිළිඳු රටවල් ගත් විට ලිංගික ශ්‍රමිකයා ඔවුන්ගේ පවුල්වල එක ම උපයන්නා බවට පත්වෙයි. ඔවුන්ට ඔවුන්ගේ දරුවන්, පමණක් නොව, සිය සහෝදර සහෝදරියන් ඇතැම්විට ඔවුන්ගේ මව්පියන්ගේ දෙමව්පියන් පවා පෝෂණය කිරීමට සිදුවෙයි. එවැනි තත්ත්වයක් යටතේ දැන් උද්ගතව පවතින තත්ත්වය ලිංගික ශ්‍රමිකයාගේ සමස්ත 'විසිරුණ පවුලකට' බල පා ඇත.

එංගලන්තයේ ලිංගික ශ්‍රමිකයන් සමූහයක් නියෝජනය කරන නිකී ඇඩම්ස් (Niki Adams) BBCයට අදහස් දක්වමින් මෙසේ සඳහන් කළාය.

"එංගලන්තයේ බොහෝ ලිංගික ශ්‍රමිකයන් දරුවන් ඉන්න මව්වරුන්. ඔවුන් තවමත් රැකියාව කරනවා නම්, ඒ අන් කිසි ම දෙයක් නිසා නොවෙයි, ජීවත්වෙන්න මුදල් අවශ්‍ය කරන නිසා."

එහෙත් රැකියාව කරගෙන යාමට අවශ්‍ය කරන නමුත්, ඇතැමුන්ට දිගට ම වෘත්තීය කරගෙන යාම අසීරු වී ඇත.

බංග්ලාදේශයේ 'ඩෝලට්ඩියා' (Daulatdia) ලිංගික සේවා නිවාසයකට ගනුදෙනුකරුවන් පැමිණීම වැළැක්වීම සඳහා එහි දොරටුවෙහි පොලිස් මුරකාවල් යොදා ඇත.

එම ස්ථානය ලෝකයේ විශාලතම ලිංගික ශ්‍රමික මධ්‍යස්ථානවලින් එකකි. ටින්කොළවලින් වහල ආවරණය කර ඇති පැල්පත් නගරයේ පිහිටි නිවාස සමූහයේ ලිංගික ශ්‍රමය විකිණීමේ නිරත කාන්තාවන් 1300කි. ඔවුන් සමග වෙසෙන දරුවන් ගණන හාර සියයක් පමණ වෙති.

පසුගිය මාර්තු මාසයේ එම ලිංගික ශ්‍රම මධ්‍යස්ථානය වසා දමනු ලැබිණි. ඒ සමග එහි මව්වරුන්ට පවුලේ යැපීමට අවශ්‍ය අත්‍යවශ්‍ය දේවල් මිලදී ගැනීම අභියෝගයක් වූ අතර, ආධාර ආයතනවලින් ලැබෙන උපකාර මත ජීවත්වීමට ඔවුන්ට සිදුව ඇත.

''අපට දැන් අපේ රස්සාව කරගෙන යන්න බැහැ. කිසි ම ආදායමක් නැහැ. හරි ම නරක කාලයක්'' නෂ්මා පවසන්නීය. එහෙත් එය ඇයගේ සැබෑ නම නොවේ.

'නෂ්මාට' තම උපන් ගමේ වෙසෙන සිය සහෝදරිය ළඟ රඳවනු ලැබ සිටින සිය දරුවන් තිදෙනා පෝෂණය කළ යුතුව ඇත.

ඇය මෙම ලිංගික ශ්‍රම මධ්‍යස්ථානයට රැගෙනවිත් තිබෙන්නේ මෙයින් අවුරුදු තිහකට පෙර ඇය අවුරිදු හතක කුඩා දැරියකව සිටියදීය. මුදල් අවශ්‍ය කරන නමුත්, කොරෝනා වසංගතය මැද රැකියාව කරගෙන යාමේ අනතුර සම්බන්ධයෙන් නෂ්මා කනස්සල්ලට පත්ව සිටින්නීය.

''අපට දිගට ම සේවා සපයන්න පුළුවන් වුණත් මහජන ජීවිත තියෙන්නේ අනතුරුදායක අඩියක. අපි අපේ සේවාදායකයන් එක්ක ඇඳට යන්න බයයි. අපි දන්නේ නැහැ - කාට ද වෛරසය ආසාදනය වෙලා තියෙන්නේ කියල?'' නෂ්මා ප්‍රකාශ කළාය.

'ඩෝලට්ඩියා' (Daulatdia) පිහිටා තිබෙන්නේ ප්‍රධාන මගී පාරු තොටුපොළක් වන 'පද්මා' ගංගා ඉවුරෙහිය. රටේ දකුණු දිසාවේ දිස්ත්‍රික්ක සහ 'ඩකා' අගනුවර සම්බන්ධ කෙරෙන ප්‍රධාන ප්‍රවාහන නාභිය (transport hub) මෙම ස්ථානයයි.

'ඩෝලට්ඩියා' (Daulatdia) ලිංගික සේවා නිවාස පේළියේ වෙසෙන බොහෝ කාන්තාවන් සහ දරුවන් එම රියැදුරන්ගේ ගොදුරුබවට පත්වූවෝ වෙති.

"ඔවුන්ගෙන් වැඩි දෙනෙක් ළමා වියේදී පැහැර ගනු ලැබ මෙහි ගෙනැවිත් විකුණන ලද අයයි," ඩකා අගනුවර නීතිවේදිනියක සහ මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන ශ්‍රාබන්ති හුඩා (Srabanti Huda) පවසන්නීය.

බංග්ලාදේශ් ආණ්ඩුව සහ දේශීය ආධාර සංවිධාන කාන්තාවන් සඳහා ඇතැම් සහන අරමුදල් සපයන නමුත් ඒවා ප්‍රමාණවත් නොවන අතර ම ඇතැම් කාන්තාවන්ට ඒවා කොහෙත් ම නොලැබෙන බවත් ශ්‍රාබන්ති හුඩා (Srabanti Huda) පෙන්වා දෙන්නීය.

"ආණ්ඩුවෙන් ලැබෙන ආධාරය ඔවුන්ට කිරිපිටි පැකට් එකක් අරගන්න තරම්වත් සෑහෙන එකක් නොවෙයි," ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

ශ්‍රාබන්ති හුඩා (Srabanti Huda) පසුගිය මැයි මාසය මුලදී, එම ලිංගික ශ්‍රමික මධ්‍යස්ථානයේ ලියාපදිංචි කාන්තාවන් 1300ක් සඳහා අත්‍යවශ්‍ය සැපයුම් පාර්සලයක් ලබාදීමේ පෞද්ගලික ආධාර ව්‍යාපෘතියක් සංවිධානය කළාය.

එහි එක් කාන්තාවක්, ඇයට 'ඉන්සියුලින්.හෝ දියවැඩියාවට ගනු ලබන වෙනත් ඖෂධ පවා මිලට ගැනීමට නොහැකි වූ බව ශ්‍රාබන්ති සමග පවසා තිබිණි.

''මාස දෙකකට පෙර 'ලොක්ඩවුන්' කරනු ලැබීමෙන් පසු තමාට අධි රුධිර පීඩනය සඳහා ගනු ලබන ඖෂධ මිලට ගැනීමට නොහැකි වූ," බව තවත් කාන්තාවක ශ්‍රාබන්තිට කියා තිබිණි.

මහාචාර්ය සැන්ඩර්ස් පෙන්වා දෙන පරිදි, ලොවපුරා ලිංගික ශ්‍රමිකයන් මුහුණ දී ඇති බලවත් ගැටලුවක් වන්නේ සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීමට ඔවුන්ට ඇති සීමිත ඉඩකඩ පිළිබඳ ගැටලුවයි. HIV සමග ජීවත්වෙන පුද්ගලයන්ට අවශ්‍ය වෛරස් පාලන ඖෂධ අඛණ්ඩව ලබා ගැනීම සඳහා පවතින අධිඉල්ලුම නිසා කලාපයන්හි මේ ප්‍රශ්නය තවත් බරපතළ වෙයි.

ලිංගික ශ්‍රමිකයන්ට ''ඌබර්'' පන්නයේ ඇප් (app) මෙවලමක් පාවිච්චි කරමින් දුරකතන මගින් ඇණවුම් කර නිවසට ම ඖෂධ ගෙන්වා ගැනීම සංවිධානය කරන 'නයිරෝබි' නගරයේ කණ්ඩායමක් සමග මහාචාර්ය සැන්ඩර්ස් කටයුතු කරයි.

''රෝගියා පෞද්ගලික මට්ටමින් චිකිත්සාගාරයට නොපැමිණ එය කෙලින් ම ප්‍රවාහනය කර ගන්න පුළුවන්,'' මහාචාර්යවරිය ප්‍රකාශ කළාය.

අපි දැන් යළිත් 'ඩෝලට්ඩියා' (Daulatdia) ලිංගික සේවා නිවාස කරා අවධානය යොමුකරමු.

සිය වෘත්තියේ නිරත කාන්තාවන්ගේ දරුවන් නතර කරනු ලැබ ඇති එම ස්ථානය ආසන්නයේ පිහිටි, නිවසක ජීවත්වෙන සිය දියණිය බැලීම සඳහා ගොස් ආපසු පැමිණෙමින් සිටි සිය නම සඳහන් නොකළ ලිංගික ශ්‍රමික කාන්තාවක් කියා සිටියේ, තම සේවා මධ්‍යස්ථානය නැවත ආරම්භ කළත්, කර්මාන්තය යථා තත්ත්වයට පත්වීමට තවත් දීර්ඝ කාලයක් ගත විය හැකි බවය.

'මිනිස්සු අපි ළඟට එන්න බය වේවි - අපට කොරෝනා ආසාදනය වෙලා ඇති කියල. ඒ වගේ ම, ඔවුන්ගෙන් අපට කොරෝනා බෝ වේවි කියල අපිත් බයයි. ආසාදනය වීම ගැන පවතින මේ බය කලක් පවතීවි."

(ව්‍යාපාරික කටයුතු පිළිබඳ BBC වාර්තාකාරිය විවියන් නූනිස් (Vivienne Nunis) ගේ වාර්තාවකි. අතිරේක වාර්තාකරණය සල්මාන් සයිඩ් (Salman Saeed)

උපුටාගැනීම - බීබීසී NEWS | සිංහල

Comments