Sathjana 2020.

Sathjana 2020.
SJB ප්‍රවෘත්ති සදහා මෙම ඛේතය "ක්ලික්" කරන්න.

නිදහස සහ වහල්භාවයට එරෙහි ප්‍රජාතන්ත්‍රවාදී දර්ශනය - 3

ට්‍රම්ප්ට ගෝඨාභය සමකළ හැකිද
පසුගිය සටහන අවසන් වුනේ 'කාන්ටියානු අර්ථයෙන් නිදහස යනු කුමක් ද?' යන පැනය ට ලැබී ඇති කෙටි අදහස් දැක්වීමකිනි. නිදහස පිළිබද කාන්ට් ගෙන එන අදහස ලිබරල්වාදී නිදහසේ ඇති සීමාවන් පිළිබඳ සිදුකරන, නමුත් එම ලිබරල්වාදය තවදුරටත් පුලුල්කරන එකක් බව විචාරකයන්ගේ අදහසයි. ලිබරල් නිදහසට අනුව එහි විෂය වන්නේ 'පුද්ගලයාය'. නමුත් කාන්ටියානු නිදහසේ 'විෂය' වන්නේ 'කැමැත්ත නැතිනම් අභිප්‍රායයි'. කාන්ට්ට අනුව අපට බාහිර යථාර්තය නැතිනම් සංසිද්ධි පිළිබඳ සහේතුක තර්ක ඉදිරි පත් කල හැකිමුත්, 'යමක් නෛසර්ගිකවම' පවතින ආකාරය නැතිනම් 'කිසිවක් එය පවතින පරිද්දෙන්ම' ( thing-in-itself) අවබෝධ කරගත නොහැකිය. මෙලෙස අපට අනුභුතිකව අත්දැකිය නොහැකිව පවතින පුද්ගල යථාර්තය පිළිබඳව කාන්ට් සිය 'කැමැත්ත (ස්වච්ඡන්දතාවය/අභිප්‍රාය)' නමැති සංකල්පයට හසුකර ගැනීමට උත්සාහ කරයි. මෙම 'අභිප්‍රාය සහ පුද්ගලයා (විෂය/subject) අතර වන සබඳතාවය සරළව සහේතුක නැතිනම් 'හේතුඵල න්‍යායට' (causality) අනුව පැහැදිලි කිරීමට නොහැකිමුත්, කාන්ට් දක්වන ආකාරයට පුද්ගලයාගේ 'සදාචාරමය නියෝජිතභාවය' (moral agency) පැවතීම සඳහා පුද්ගලයාගේ නිදහස සහ ඔහුගේ අභිප්‍රාය අතර එවන් සහේතුක සබඳතාවයක් අනිවාර්ය  වෙයි. පුද්ගල අභිප්‍රාය සහ පුද්ගලයා අතර පැවතිය හැකි භාහිරින් හැසිරීමකට ලක්නොවන මෙම කළාපය 'කිසිවක් එය විසින්ම යමක්' බවට පත්වන ආකාරය වශයෙන් කාන්ට් දක්වයි. උදාහරණ ලෙස මිනිස් විෂය තුළම පවතින එහිම වූ කිසියම් සාරයක් විසින් විසින් එය සකස්විය වියයුතුය. නිදහස පිළිබඳ පුද්ගල ස්වච්ඡන්දතාවය ඒ අනුව ‘එය තුළම පවතින දෙයක්’ (thing-in-itself) විය යුතුය. කාන්ට් විසින් පැහැදිළි කිරීමට උත්සාහ කරන්නේ පුද්ගල අභිප්‍රායට එයට ම අයත්වූ නැතිනම් භාහිරින් තීරණය නොවන නිදහස පිළිබඳ සබුද්ධිකතාවයක් පැවැතිය හැක්කේ කෙසේද යන්නයි. එය ඉතා සංකීර්ණ පැහැදිළිකිරීම් අවශ්‍යය කලපයක්බවයි කාන්ට් අධ්‍යනය කරන අයගේ මතය වන්නේ. මේ  අනුව කාන්ටියානු අර්ථයෙන් 'පාරභෞතික නිදහස පිළිබඳ අභිප්‍රාය' (metaphysical freedom of will) නැතිනම් නිදහසේ ස්වච්ඡන්දතාවය සහ එම පුද්ගලයාගේ 'දේශපාලන නිදහස අතර පවතින සබඳතාවය' ඉතාමත් ගැටලුසහගත ඉගැන්වීමකි. තවදුරටත් පැහැදිළි කරන්නේ නම්, කාන්ට් ට අනුව 'සබුද්ධික පුද්ගලයකුගේ (rational individual) නිදහස එම පුද්ගලයාගේ භෞතික සහ දේශපාලන තත්වයෙන් ස්වාධීනව පවතී; නමුත් ඉතාමත් දැඩි පීඩාකාරී භෞතික තත්වයන්ට මුහුණ දෙන (උදාහරණ - සාගතය හෝ වහල්භාවය) පුද්ගලයකුගේ නිදහස පිළිබඳ 'අභිප්‍රාය/ ස්වච්ඡන්දතාවය /කැමැත්ත' මත 'පරතන්ත්‍රීය උත්තේජනයන්' (heteronomous motives) විසින් ඇතිකරන බලපෑම් නොසළකා හැරීමට නොහැකිවුවත්, කාන්ට්ට අනුව 'පුද්ගලයා-තුළ-ම වූ නිදහස් අභිප්‍රායකින්' යුක්තව මෙහෙයවෙන විට එම පුද්ගයාට 'තමන්ගේම වු කැමැත්තෙන් මිස වෙනත් මෙහෙයවීමකින් ඇතිවන අභිප්‍රායකට අවනත වීමට සිදු නොවනු ඇත'. මෙහිදී කාන්ට් විසින් අපට පවසනු ලැබිය හැකි වඩාත් ඉහල ම දෙය' නම් 'පුද්ගලයාගේම වූ අභිප්‍රායට ඉඩ සළසන නැතිනම් 'හිතකර' වූනැතිනම් භාහිර 'සංසිද්ධිවලින්' පුද්ගල ස්වච්ඡන්දතාවය ට බලපෑමක් සිදු නොවියහැකි 'දේශපාලන හා සංස්කෘතික  පද්ධතීන් පැවතිය හැකිබවය'. නමුත් 'මානව නිදහස පිණිස සමාජීය සහ දේශපාලන උපකරණ (political arrangements) අත්‍යාවශ්‍යය' නොවන බව කාන්ටියානු දැක්මයි.

නිදහස පිළිබඳ කාන්ට්ගේ ඉගැන්වීම තුළ වැදගත් වන්නේ පුද්ගලයා නොව බාහිර සාධක විසින් මර්දනය විය නොහැකි, පාලනය විය නොහැකි, නිදහස පිළිබඳ 'එහිම වු අභිප්‍රායයි'. කාන්ට් ලිබරල්වාදය අභිබවයි. ලිබරල්වාදය තුළ පුද්ගල නිදහස පවතියි, නමුත් ලිබරල් නිදහස විසින් සැබවින්ම පුද්ගලයා නිදහස් කරන්නේ ද? යන පැනය ඔහු අසයි. නිදහස සාක්ෂාත් කරගැනීමේ දී බාහිර බාධාවන්ගෙන් තොරව පැවතීම අත්‍යවශ්‍ය නමුත් ප්‍රමාණාත්මක නොවන සාධකයකි. 'යමෙකුට කුරුල්ලෙකුට බඳු නිදහසක් පැවතිය හැක. නමුත් එම පුද්ගලයා සිතන පතන ක්‍රියාකරන ආකාරය, ඔහුගේ හෝ ඇයගේ චින්තනය සැබවින්ම නිදහස් ද?' 'මම කිසියම් කෑමක් තෝරා ගන්නේ, නැතිනම් ඇඳුමක් තෝරා ගන්නේ හෝ වෙනත් මට ඕනෑම දෙයක් තෝරා ගන්නේ මඟේ ම නිදහසට අනුව බවට' යමෙකුට සිතී යා හැක. නමුත් මඟේ වරණයන් පසුපස වෙනත් බාහිර බලපෑමක් නොතිබිය හැකි ද? සැබවින්ම, මා කැමති දේවල් බොහොමයකට එම කැමැත්ත නිෂ්පාදනය (production of my choice) කරන බොහෝ සාධක පවතින බව නොරහසකි. මට මඟේ ම වු කැමැත්තක් පැවතිය හැක්කේ, කාන්ට්ට අනුව, මටම 'ස්වායත්තවූ අභිප්‍රායක්' (autonomous willing) පවතී නම් පමණි. විචාරකයන් දක්වන ආකාරයට 'නිදහස පිළිබඳ කාන්ටියානු කියවීම ලිබරල්වාදයට වඩා පෘථුල වූවකි'. කාන්ටියානු නිදහස තුළ ලිබරල් නිදහස පවතියි. මන්ද 'ස්වායත්ත අභිප්‍රායකින් හෙබි පුද්ගලයාට තමන්ගේ නිදහස ක්‍රියාත්මක කරවීමට බාහිර බලපෑමකින් නැතිනම් බාධාවකින් තොර පරිසරයක් පැවතිය යුතුය'. 

ලංකාවේ උතුරේ ජනයා හමුදාකරණයට දිගින් දිගට ම විරුද්ධ වන්නේ තමන්ගේ සංස්කෘතික හා දේශපාලන නිදහසට එය බාධාවක් වන නිසාය. එසේම ලංකාවේ දකුණ විශ්වාස කරන්නේ ත්‍රස්තවාදය මර්දනය කිරීමෙන් පමණක් තමන්ට නිදහසේ කටයුතු කිරීමට අවශ්‍යය පරිසරය සැළසෙන බවයි. උතුරේ සහ දකුණේ දේශපාලනය තුළ නිදහස අර්ථ දැක්වෙන්නේ බොහෝවිට වාර්ගික පසමිතුරුතාවය කේන්ද්‍ර කොටගෙනය. මඟේ නිදහසට බාධා කරන්නේ අනෙකා මිස වෙනත් සාධකයක් නොවන බව දෙපාර්ශවය ම සිතයි. නමුත් සංස්කෘතික හා දේශපාලනිකව ස්වායත්තවූ පුද්ගල අභිප්‍රායක් ගොඩනඟා ගැනීමට පවත්නා වාර්ගික කේන්ද්‍රීය නිදහස පිළිබඳ මොඩලය බාධාවක් වී ඇති බව සමස්ත රට පිළිබඳවම යථාර්තයකි. කෙසේමුත්, ලිබරල් නිදහසවත් ලබා ගැනීමට දේශපාලන නිදහස පළමුව අවශ්‍යය වෙයි. එහිදී බොහෝ ජාතීන් 'ස්වයං-තීරණයට' (self-determination) ඇති අයිතිය හඹා යයි. ලිබරල්වාදය එය ඉහළින්ම පිළිගනී. නමුත් පුද්ගලයන් වශයෙන් මානව විෂය ට එහිමවූ ස්වයත්තභාවයක් දේශපාලන දර්ශනයන් හා භාවිතාවන් විසින් ලබා දෙන්නේද? යන්න කාන්ටියානු පැනයයි.

පුද්ගල විෂය සතූ අභිප්‍රාය නිදහස් කිරීම පිළිබඳ විශාල පාරභෞතික සටනකට කාන්ට් අපව කැඳවයි. 'අභිප්‍රායේ නිදහස යනු පුද්ගල තෝරාගැනීම් (choices/වරණයන්ගේ) වල සැබෑ නිදහසයි. ලිබරල් පුද්ගල විෂය බාහිර බලපෑම් වලින් තොරවුවත් ඇයට සැබෑ නිදහස ලැබීමට නම් 'ස්වායත්තවූ අභිප්‍රායක්' ඇයට ලැබිය යුතුය. ඒ අනුව සැබෑ නිදහස සහ ස්වායත්ත අභිප්‍රාය අතර කාන්ට් විශාල පරතරයක් දකියි. අප අත්දකින සියලුම සංස්කෘතික සහ දේශපාලනික නිදහස අයත් වන්නේ ඍණාත්මක නිදහසේ ප්‍රවර්ගයටයි. මන්ද එම නිදහස යනු සුපර් මාර්කට් එකක් තුළ අපට භාණ්ඩ තෝරාගැනීමට ඇති නිදහසට නොදෙවනි නැතිනම් බාහිරින් අපව පාලනය නොකරන නිදහසක් පමණක් වීමයි. අප තෝරන භාණ්ඩ සමහර විට අපි කැමති ක්‍රිකට් ක්‍රීඩකයා කැමති දේ විය හැකිය. එයටත් වඩා අපට අපගේ ස්වායත්ත අභිප්‍රාය අහිමි කරන සමාජ,ආර්ථික, දේශපාලනික සහ සංස්කෘතික ප්‍රදේශයන් පිළිබඳව කාන්ටියානු දර්ශනය ඉතා බලවත් විචාරීය පරීක්ෂාවක් (critique) ගෙන එන බව පෙනී යයි. නිදහස සඳහා බධා රහිත පරිසරයක් සේම බාධාවලින් තොරව තීරණය කිරීමට අවශ්‍යය නිදහස් අභිප්‍රායක් ද අවශ්‍යය බව මේ අනුව පැහැදිළිය. එම ද්විත්වයම නිදහස සඳහා එකවිට පැවතිය යුතු බව කාන්ටියානු දර්ශනය උගන්වයි.

ට්‍රම්ප් සහ ගෝටාභය පාලනයන් තුළ නිදහස


වෙළඳපොල කිසිසේත්ම රාජ්‍යයේ පාලනයට හසු නොකොට පුද්ගල විෂය සමස්තයක් ලෙසම ධනවාදයේ පරවෙණියක් බවට පත් කලයුතු බවට වන නව ලිබරල් දර්ශනය ට්‍රම්ප් පිටුපස පැවතියත් මූලිකවම ඔහු ගේ භාවිතාව තුළ 'සදාචාරමය' සංරචකය නැති බව පෙනී යයි. එහෙයින් ඔහුගේ පුදගලවාදය ද අසම්පුර්ණ එකකි. ගෝඨාභය වටා පවතින ජාතික චින්තනය කිසිම ආකාරයක නිදහසක් පැවතියයුතු නොවන බව අදහයි. එමනිසා ට්‍රම්ප්ට කැමැති වුවත් ගෝඨාභයට එහි දී තමන්ගේ ස්වායත්ත අභිප්‍රායක් නැත.
ලබන සතියට හේගල් සහ නීට්ෂේ සමඟ නිදහස ගැන තවදුරටත්......

අතුලසිරි සමරකෝන්

Comments