Sathjana 2020.

Sathjana 2020.
SJB ප්‍රවෘත්ති සදහා මෙම ඛේතය "ක්ලික්" කරන්න.

ඇන්ටිෆා: ඉතිහාසයේ අත්වැරදීම් වලින් ඉගෙන ගන්නේ කෙසේද?


පසුගිය දවස් වල වාර්තා වෙච්චි විදියට වයිට් හවුස් එකේ භූගත බංකරේ අස්සේ හිටපු ට්‍රම්ප් 'ඇන්ටිෆා' එක තහනම් කරනවා කියල තියනවා. වයිට් හවුස් එක ඉස්සහරත් මේ වෙද්දී විරෝධතා. බොහෝවිට මේ විරෝධතා කරුවන් විසුරුවන්න හමුදා බලය පාවිච්චි කරන්න පුලුවන් අද හෙට වෙද්දී. මොනවා වුනත් මේ කැරැල්ල නතර වෙන්නේ ඇමෙරිකන් ජාතිවාදයට (වර්ගවාදයට) සෑහෙන පමණ පාඩමක් උගන්වලා. විශාල දේපළ හානියක් එක්ක වුණත් අනාගත අරගලය ගැන විශාල පාඩමක්, විසි එක්‌ වන සියවසේ අභිලාෂයන් ගැන අලුත් ආකල්පයක්, රාජ්‍යය පොලිසිය සහ හමුදාවේ කාර්යය ගැන නැවත සිතීමක් වෙත අපව යොමු කරමින් තමයි මේ ප්‍රභල ගෝලීය රැල්ල නිමාවෙනු ඇත්තේ.

ලංකාවේ වමේ වගේම ප්‍රගතිශීලී දකුණේ අය උනත් මෙතැන දී ෆ්ලොයිඩ් ගේ මරණය පිළිබදව විතරක් නෙවෙයි පොදුවේ වර්ගවාදය ගැන මුහුණු පොතේ එකමුතු උණා. ඒ කියන්නේ ඕනෑම වෙලාවක ගෝලීය සහයෝගීතාව වෙත යන්න ශක්‍යතාවක් අප තුළත් තියනවා. කොහොමත් අරගලය මෙයින් පස්සේ ගෝලීය ස්වරූපයක් ගන්න නියමිතයි. මම හැමදාම ඉන්නේ එහෙම සිහිනයක.

මේ විරෝධතා එක්ක නැවත මතුවුණ නමක් තමයි 'ඇන්ටිෆා' කියන්නේ. මේ අරගලය මෙච්චර උඩට එන්න සහ පැතිරෙන්න එයාල බලපාල තියනවා කියල සමහරු කියනවා. කවුද මේ 'ඇන්ටිෆා' කට්ටිය?

'ඇන්ටි ෆැසිස්ට්' කියන එක තමයි 'ඇන්ටිෆා' හැටියට කෙටි වෙන්නේ. ඒ කියන්නේ ෆැසිස්ට් විරෝධීන්. Antifaschistische Aktion කියන ජර්මන් නාසි විරෝධී සංවිධානයේ ඓතිහාසික ව්‍යුත්පන්නයක්. පටන් ගන්නේ 1932. නාසි වාදයට එරෙහි වූවන් 'අප වෙත එන්න' (come to us) යනුවෙන් ජර්මානු කොමියුනිස්ට් පක්ෂය දියත් කල පුළුල් සමාජවාදී, ප්‍රජාතන්ත්‍රවාදී සහ සිවිල් ක්‍රියාකාරී කොටස් එකතුවීමක් මේ ඔස්සේ පිළිබිඹු වෙනවා. නාසි වාදයට සහ අන්ත දක්ෂිණාංශික (far-right) කොටස් වලට විරුද්ධ ව සන්නද්ධ සහ ප්‍රචණ්ඩ ප්‍රවේශයක් තමයි ඇන්ටිෆා එකේ තියෙන්නේ. ඒක අද දක්වා ම එහෙමයි. එයාල යමකට ඒ වෙලාවේ ම ප්‍රතිචාර දක්වනවා. දෙවන ලෝක යුද්ධය කාලේ හිටපු සීයලා අත්තම්මලා තවමත් මේ වචනේ මතක තියාගෙන ඉන්නවා කියල යුරෝපයේ දේශපාලන ක්‍රියාකාරීන් කියනවලු. නමුත් අද තියන ඇන්ටිෆා එදා තිබුණ ඇන්ටිෆා නෙවෙයි. ඉතිං එහෙම වෙන්න ඕනිත් නැහැනේ. සාමකාමී ජෝර්ජ් ෆ්ලොයිඩ් පෙළපාලි රැඩිකල් ලෙස ප්‍රචණ්ඩ කළේ ඇන්ටිෆා කියන එක තමයි දැන් ඔවුන්ට එරෙහි චෝදනාව.

මේ අයගේ සුවිශේෂී ම ලක්ෂණය තමයි නිශ්චිත ආකෘතියක් නොගැනීම. ඒ නිසා යම් අරගල ගිණිපුපුරක ඕනෑම ස්වරූපයක් වෙත එයාලට වේගයෙන් අනුයෝජනය (adjust) වෙන්න පුළුවන්. වර්ගවාදී, ස්ත්‍රීවාදී, ලිංගික, පරිසරවාදී, සංස්කෘතික, සමාජ අසමානතා, අක්‍රමිකතා වගේ ඕනෑම දෙයක් එක්ක එයාල වහාම මුසු වෙනවා. ඒකට කියන්නේ amorphous political ideology කියල. සිංහලෙන් කිව්වොත් අනියතාකාර දේශපාලන දෘෂ්ටිවාදය කියල ගන්නත් පුළුවන්. අනියත කියනකොට නිකම් පෙරදිග ගතියකුත් තියනවා.

එයාලගේ ප්‍රමුඛ ම තේමාවක් වෙන්නේ 'යහපත වෙනුවෙන් වෛරයට එරෙහිවීම' කියන එක (fighting hate for good). එක්සත් ජනපදයේ ඔවුන් වඩාත් ජනප්‍රිය වෙන්නේ 2017 පස්සේ. ඒ වර්ජිනියා හි Charlottesville වලදී අන්ත දක්ෂිනාන්සික කොටස් එක්ක මුහුණට මුහුණ ගැටීම ඔස්සේ. 1920 සහ 30 දී මිනිසුන් සක්‍රීය ලෙස සටන් වැදුණේ නම් නාසි පක්ෂය පරාජය කළ හැකිව තිබුණා කියන ප්‍රවාදයෙන් තමයි ඔවුන්ගේ දේශපාලන මතය ආරම්භ වන්නේ. මේ සක්‍රීය බව ඔවුන් මහපාරේ විතරක් නෙවෙයි වර්චුවල් අවකාශයේ පවා පෙන්නුම් කරනවා. හැකි සෑම තැනම සමස්තතා රෝග ලක්ෂණ වලට එරෙහිව ඔවුන්  සටන් කරනවා. රාජ්‍ය යාන්ත්‍රනය සහ පොලිස් බලය අර සමස්තතා රෝග ලක්ෂණ වලට උදව් කරනවා නම් ඔවුන් ඒ වෙනුවෙන් පවා එරෙහි වෙනවා. අද ඇමෙරිකාවේ වෙන්නේ මේ දේ.

ෆැසිස්ට් රෝග ලක්ෂණ වලට පුද්ගලයෝ උදව් කරනවා නම් එයාලගේ පුද්ගලික තොරතුරු හෙළිදරව් කරනවා. ගිණුම්, ඊ මේල් වගේ දේවල් හැක් කරනවා (doxxing). අනන්‍යතා හෙළි කරනවා. ලෝකයේ කොහේ හිටියත් ෆැසිස්ට් වාදයට ඔබ විරුද්ධ නම්, ඒ විරෝධතාවය සක්‍රීය නම්, ඔබ ඔවුන් සමඟ යි.

ඉතිං මේ 'සක්‍රීය එරෙහි වීම' (active resistance) නිසා නේද අද ඇමෙරිකාවේ ඉරණම වෙනස් වෙමින් පවතින්නේ? පොලිසිය පවා ඇත්ත ඉදිරියේ දණ නමන්නේ? ඇමෙරිකා පොලීසියේ මහත්තුරු පවා දේශපාලන නියෝග නොතකන තැනකට ඇවිල්ලා තියෙන්නේ? 

අනික් අතට විවිධ දේශපාලන පසුබිම් තියන අය මේ වෙනකොට ඇන්ටිෆා එකේ සාමාජිකයින්. කොහොම වුනත් මේ අරගලය 'රැඩිකල්කරණය' කිරීම ඇතුලේ ඇන්ටිෆා වගේම අරාජකවාදීන් ඉඳල තියනවා කියල වාර්තා වෙනවා. මිනිසුන්ට එසේ වීමට අවශ්‍ය මානසික පසුබිම ඇතිකරලා තියෙන්නෙත් සුදු වර්ගවාදය අවුස්සපු, ඓතිහාසික භේදබින්නතා ඇතිකරපු, මිනිසුන් හෙළා දැක්ක, සමාජ අසමානතාව වැඩි කරපු අන්ත දක්ෂිණාන්සික කොටස් විසින් ම තමයි. 

අනික් අතට දැන් මතවාදයක් හැටියට ඉදිරියට එන මේ අරාජක බව (Anarchism) ගැන දැන් කට්ටිය තැති අරගෙන. අරාජක ධනවාදයක් තියන මොහොතක අරාජක සමාජවාදීන් ඉන්න පුළුවන්. කොල්ලකෑම ගැන කඳුළු සලන මිනිස්සු හිතන්න ඕනි වික්ටෝරියා බෙකම් ට පවුම් මිළියන සිය ගණනක හෑන්ඩ් බෑග් එකතුවක් තියෙන්නේ කොහොමද කියල. කොරෝනා කාලේ මිළියන ගණනක මන්දිර ගන්නේ කොහොමද කියල. ෆැන්ටසි විකුණගෙන කාපු කයිලී ජෙනර් මිළියන ගණනක ආදායම් බදු පොල්ලක් තියන්නේ කොහොමද කියල (මෙහෙම කියන්නේ ෆෝබ්ස් සඟරාව). කොස් ගෙඩියක් පොල් ගෙඩියක් වෙනුවෙන් දුප්පත් ගැහැනියක් හිරේ යන්නේ කොහොමද කියල. උන්ගේ කඩ සාප්පු වලට කඩා වදින්නේ උන්ම විකුණපු ෆැන්ටසි වල මිනිස් ගොදුරු.

අරාජකවාදය ට ලොකු ඉතිහාසයක් මාක්ස්වාදය ඇතුලේ ම තියනවා. පීඩිත පංතියේ ආඥාදායකත්වය ඇතුලේ මතුවුණ සමස්තතා ලක්ෂණ වලට විරුද්ධ උන මිඛායල් බකුනින් තමයි ඒකෙ මුලාරම්භය. එයාට බලපානවා ප්‍රංශ දේශපාලන දාර්ශනිකයෙක් වෙච්ච් පියරේ පෘදෝ ගේ අදහස්. විසි වෙනි සියවසේ සමාජවාදය අර ඒකාධිකාරී රෝග ලක්ෂණ වලින් ඔත්පළ උනාම බකුනින් ගේ අදහස් වලට යුරෝපය පුරා ලොකු නෛතිකභාවයක් ආව. එතැන් පටන් හර්බට් මකුස හරහා නෝම් චොම්ස්කි දක්වාත් අද වෙනකොට මනෝවිශ්ලේෂණය හරහා ඇලන් බදිව් දක්වා මේ අදහස් ඉදිරියට එමින් පවතිනවා. මනෝවිශ්ලේෂණය කොහොමත් තියෙන්නේ මේ ඒකාධිකාරී ව්‍යුහයන් බිහිවෙනවට එරෙහිව. 

දැඩි පුද්ගල කේන්ද්‍රීය නාසිස්මික ප්‍රාථමික චරිත හැරුනහම ගොඩක් අය රාජ්‍යයේ තියන අවුල අවබෝධ කර ගනිමින් ඉන්නවා. ඒ වගේම පුද්ගලික දේපළ වල ආරක්ෂකයා හැටියට ඉන්න රාජ්‍යය මේ ලෝකෙන් තුරන් වෙන්න ඕනි කියන එක අද දවසේ කොමියුනිස්ට් උපන්‍යාසයේ (communist hypothesis) පොදු පිළිගැනීමක් වගේ වෙලා. තෙරක් නොපෙනෙන වෙළඳපළ තරඟය වෙනුවට ගෝලීය මිනිස් ප්‍රජාව අතර සහයෝගීතාව තමයි එයාල ප්‍රර්ථනා කරන්නේ (global solidarity rather than competition). සිවිල් අයිතීන් සත පහකට මායිම් නොකරන බලහත්කාරී දූෂිත රාජ්‍යය වෙනුවට නිදහස් සම්බන්දතා (free association) සහිත නිෂ්පාදන ආර්ථිකයක් ගැන විශ්වාස කරන මේ අරාජක කොමියුනිස්ට් වාදීන් ඇලන් බදිව් යෝජනා කරන 'රාජ්‍යය ට යටත් නොවුන ඒ වගේම පක්ෂ ව්‍යුහයකින් පිටත පවතින' (හෝ පැවැතිය හැකි) කොමියුනිස්ට් අදහසක් පිළිබද න්‍යාය සමඟ එකඟ වෙනවා. ඔවුන් කියන්නේ එවන් 'නිදහස් නිෂ්පාදන ක්‍රමයක්' ඔස්සේ රාජ්‍යය මිලාන වී යා හැකි බවයි. ඉනුත් විශේෂයෙන් මේ පුද්ගලික දේපළ ආරක්ෂා කරන්න බිහි වෙලා තියන රාජ්‍යය කියන දේ අරාජක වාදීන් කෙලින් ම ප්‍රතික්ෂේප කරනවා. ඒ විතරක් නෙවෙයි එයට එරෙහිව සටන් කරනවා.

පක්ෂයක් නැතුව දේශපාලන කරන්නේ කොහොමද කියන එක තමයි එයාල මේ වරින් වර අපට පෙන්නමින් ඉන්නේ. එහෙම පක්ෂයක ආවරණය නැතුව දීර්ඝ සමාජ ක්‍රියාවලියක් ඇතුලේ රාජ්‍යය අහෝසි කරන්නත් එයාලට උවමනයි. වෙන විදියකට කිව්වොත් 'කිසිදා හමු නොවන කේන්ද්‍රයක් පිළිබඳ' පරිකල්පනය කරමින් හේගල් ගැන බකුනින් වර්ගයේ අරාජක කියවීමක් අවශ්‍යයි කියල එයාල හිතනවා. 

ගොඩක් වියුක්ත මේ අදහස කාටත් තේරෙන විදියට සන්නිවේදනය කරන්න එයාල ළඟ තියනවා රූපකයක්. ඒ තමයි...'දුවන ගමන් කක්කා කරන්නේ කෙසේද?' කියන වැකිය.

-  මහේෂ් හපුගොඩ

Comments