Sathjana 2020.

Sathjana 2020.
SJB ප්‍රවෘත්ති සදහා මෙම ඛේතය "ක්ලික්" කරන්න.

කෝවිඩ් පැන්ඩමිකයේ තුවාල සලකුණු

ලොවපුරා අති බහුතරයක් ජනතාව  අනපේක්‍ෂිත නිවාඩුවක් ගතකොට, නැවත සුපුරුදු ජනජීවිතයට ප්‍රවිෂ්ඨවෙමින් හිඳිනා මොහොතක්, මේ. පුරා තුන් මසක් හෝ ඊට ආසන්න දීර්ග කාලපරිච්ඡේදයක් ඔවුන් එසේ ශාරීරික විවේකයෙන් කාලය ගෙවා දැම්මද, ඔවුන්ගේ මනසටත් එවන් විවේකයක් ලැබුනාද? 

මෙම මාතෘකාවට පිවිසෙනවාත් සමගම ප්‍රථමයෙන් කෝවිඩ් පැන්ඩමිකය තුළ සිරවූ සමාජ කණ්ඩායම් කොටස් දෙකකට බෙදා වෙන්කළ යුතුවේ. පළමු කණ්ඩායම වන්නේ කෝවිඩ් ආසාදිතයින් හා ඔවුන්ගේ පවුලට සෘජුව  සම්බන්ද හෝ ඔවුන් ඇසුරු කරන්නාවූ  සමීපතමයන් පිරිසයි. දෙවන කණ්ඩායම වන්නේ ඉන් පරිබාහිර සමාජයේ ජීවත්වන්නාවූ සෙසු ජනතාවයි. මෙකී බෙදීම තුළින් ඔවුන් වෙන් වෙන්ව මුහුණ දුන් හෝ මුහුණ දෙන්නාවූ මානසික ආතතිය හා ඊට අදාළ මනෝමූළ ගැටළු හඳුනාගත යුතුවේ.

PTSD හෙවත් post traumatic stress disorder හෙවත් කාංසාව යන රෝගී තත්වය ඉහත සලකුණු කළ කණ්ඩායම් දෙකටම අඩු-වැඩි වශයෙන් බලපාන බව වෛද්‍ය විශේෂඥයින් හඳුනාගෙන තිබේ. ඉන් බරපතලම පසු බලපෑම් (After effects) තත්වයන්ට මුහුණ දෙන්නේ, රෝගය ආසාධනයවී සුවය ලැබු පිරිස් හා ඔවුන්ගේ පවුලේ සමීපතමයන් පිරිසයි. මන්ද, මරණාසන්න රෝගයක් ආසාධනය වන ඕනෑම පුද්ගලයෙක් එකී අනතුර තුළ ජීවත්වන තාක් අතිශය කැළඹිලිසහිත මානසිකත්වයකින්  ජීවත්වෙයි. එය කෙබඳු පීඩනයක් දැයි අමුතුවෙන් විස්තර කළ නොයුත්තේ, යමෙකුට ක්ෂණිකව තම ජීවිතය අහිමිවීම පිළිබඳව ඇතිවන අනතුර තරම් කම්පනයක් තවත් මිහිපිට තිබිය නොහැකි නිසාය. එලෙසම, තම පවුලේ අයෙකු හා ආදරණීයයෙකුටද එසේ මරණීය අනතුරක් ඇතිවුවහොත් ඔවුන් අහිමි වීම පිලිබඳව උපදින වේදනාව හා ලතැවුලට අමතරව, තමන්ගේ ජීවිතයට ඉන් ඇතිකරන්නාවූ බලපෑම දෙයාකාර බව ඔවුන්ට පසක් වෙයි. පළමු බලපෑම වන්නේ, තම ප්‍රියයන් අහිමිවීමේ හෝ අහිමිවිය හැකි බවට ඇතිවන්නාවූ අවිනිස්චිත වේදනාවයි. දෙවැන්න, පවුලේ සාමාජිකයා තුළින් තමන්ට රෝගය සම්ප්‍රේෂණය වීමේ අනතුරයි. මෙකී තත්වයන් දෙක ඔස්සේම ඕනෑම සංවේදී පුද්ගලයෙකු මුහුණපාන්නාවූ ව්‍යාකූලතාවය වචනයෙන් විස්තර කළ නොහැක්‌කකි. මේ නිසාම, මෙකී පිරිස් තුළ හටගන්නා ආතතිය, කම්පනය, භීතිය හා කලකිරීම මනෝ බ්‍රාන්තියක් දක්වා වර්ධනය වීම අසාමාන්‍ය තත්වයක්‌ නොවේ. 

ඉහත කණ්ඩායම් දෙකෙන් පරිබාහිරව, සාමාන්‍ය ජනසමාජයේ වෙසෙන ජනතාව තුළ ඇත්තේ ඊට වෙනස් වූ මනොභාවයන්ය. ඒ, සමාජ දුරස්තීකරණය තුළින් ඇතිවන හුදෙකලාව (Isolation), තමා අවට පරිසරයේ පවතින අවිනිශ්චිතතාවය තුළින් මතුවූ ආතතිය (stress), තමා සහ තම පවුලේ උදවිය හෙටදවසේ මෙකී වෛරසයේ ගොදුරක් වියහැකිය යන අන්තරායදායක සිතුවිලිජාලය (panicking) ආදී මනෝ ව්‍යාකූලතාවයන්ය. මොවුන්ට පවා PTSD depression තත්වය ඇතිවීමේ අවධානමක්‌ පවතින බව වෛද්‍ය මතය වේ. මේ සම්බන්ද නියැදියක් (case reference) ගෙනහැර දක්වමින්, චීනයේ වූහාන් නගරයේ වාසය කරන බහුතරයක් පාසැල් සිසුන් Chronic stress conscious තත්වයට පත්ව ඇති බවත්, ඉන් එක්‌ සිසුවියක් ආදර්ශයක් සේ ගනිමින් ඔවුන් කළ සමීක්‍ෂනයකින් හෙළිවී ඇත්තේ, එම සිසුවිය සෑම දිනකම පාහේ නින්දෙන් තිගැස්සී අවදියවන බවත්, නින්දෙන් කෑ ගසන බවත් හා ඇයට බලපාන ලද වෙනත් සංකූලතාවන්ය.  ඒවානම්,  කෑම අරුචිය, ශරීරයේ පවතින අප්‍රානිකත්වය, තදබළ හිස රුදාව, බඩේ කැක්කුම හා හුස්ම ගැනීමේ අපහසුතා ඇතුළු අපහසුථා රාශියකට ඇය මුහුණ පාන්නා වූ බවයි. මෙහි ඇති සැලකිල්ලට ගතයුතු කාරණාව වන්නේ මෙකී තරුණියට හෝ ඇගේ පවුලේ කිසිවෙකුටත්, අඩුතරමින් ඥාතියෙකුට තබා මිතුරෙකුටවත්  කෝවිඩ් වෛරසය වැළදී නොතිබීමයි.

මෙහිදී විශේෂයෙන් මෙකී වෛරසය නිසා ඇති භීතිය තුළ නියෝජනය වන්නේ "ගෝනි බිල්ලා" සංකල්පය වැනි තත්වයක් වේ. එය අවතාර නමින් අපතුල පවත්නා බිය වැනි ස්වාභාවයකි. කුඩා දරුවන් ගෝනිබිල්ලන් කිසිදා දැක නොතිබුනත්, ගොනීබිල්ලා යන සංකල්පයට ඇති බිය වන්නේ තමා නොදුටු බියකරු යමක් තාමාව ග්‍රහණයට නතුකරගන්නට පැමිණේ යන අනියත බියයි. බොහෝ වැඩිහිටියන් හොල්මන් හෝ අවතාර කෙරෙහි දක්වන්නේද එවැනි අදෘශ්‍යමාන තැතිගැන්මකි. වෛරස විසින් මෙලෙස ඇතිකරණ ලද ආතතිය හා බියද  එවැනි අදිසි තත්වයක්‌ වෙයි. එය අන් කවරක් හෝ නොව, අප බියට පත්කරන්නාවූ ප්‍රපංචය හෝ පැවැත්ම අපට දකින්නට නොලැබීම නිසා, එකී අනතුර අප අවට හැමතැනම ඇතැයි යන සැකය තුළින් උපදින අනාරක්ෂිතබව පිලිබඳ භ්‍රාන්තික මානසික තත්වයයි. මෙය ක්ෂණික තැතිගැන්ම (panic mode) යන මානසිකත්වය තුළින් ක්‍රියා කිරීමට පෙළඹීමෙන් ගැටළු නැති තන්හිත් ගැටළුව ඇතිකරගැනීමට පසුබිම සකසයි. මේ නිසා ඇතිවන අතුරු විපාක ලෙස පසුගිය lock down කාලපරිචේදය පුරා සමස්ථයක් ලෙස ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ඉහල යාම දැක්විය හැක.

කෝවිඩ් පැන්ඩමිකයෙන් බැහැරව ලොව පුරා වාර්ෂිකව ඉන්ෆ්ලුවෙන්සා ආසාධනයෙන් මිනිසුන් අවම වශයෙන් 20,000ක්‌ වත් මිය යන බවත්, ඉන්ෆ්ලුවෙන්සා තත්වය දරුණු අතට පෙරලීමෙන් ලොව පුරා රෝගීන් අවම වශයෙන් 60,000ක්‌ වත් මරණය ආසන්නයටම ගමන්කරන මට්ටමින් රෝගී වනබවත් ස්ටීවසන් ගුන්ඩ්‍රේ (Steven Gundry) නම් පෙනහළු ආශ්‍රිත රෝග විශේෂඥයෙකු විසින් පෙන්වා දෙයි. ඒ අතර, මින් පෙර මීට සමාන වෛරස බියක් ලොවට ඇතිකළ 2003 දී ආසියාතික රටවල් කිහිපයක පමණක් ව්‍යාප්තවූ "සාස් ඉන්ෆ්ලුවෙන්සා" වෛරසයෙන් 8,000ක්‌ පමණ රෝගීන් මිය ගියද, එය මෙතරම් වේගයෙන් ලොව පුරා ව්‍යාප්තවන්නට ඉඩ නොදී පාලනය කරගත හැකිවීමෙන්, එකී භීතිය මෙවන් තත්වයක්‌ දක්වා දිග්ගසුනේ නැත. එහෙත්, කෝවිඩ් පැන්ඩමිකය විසින් අත්කොට දී ඇති අනිසි ප්‍රතිවිපාක තවත් වසර හෝ දෙකක් පුරාවට  සමාජය ගිලන්ගත කරනු ඇතිබව ලෝක සෞඛ්‍ය සංවිධානය WHO දැනටමත් අනතුරු අඟවා අවසන්ය. ඒ අනුව වෛරසය මුළුමනින්ම පරාජය කිරීමට නිසි එන්නතක් සොයාගෙන මිනිසුන්ට ශාරීරික රෝගී ස්වභාවයෙන් මිදීමට හැකියාව ලැබුනත්, ලොව පුරා වෛරස භීතියෙන් ඇලලීගිය හා වෛරසය විසින් මතුකරන ලද වෙනත් සාමාජීය කාරණා තුළින් මානසිකව ගිලන්වූ රෝගීන් සුවපත් කිරීමට, සැලකිය යුතු කාලපරාසයක් වැයවේයැයි අකමැත්තෙන් වුව අපට පිළිගැනීමට සිදුවේ. 

ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද 

Coronavirus: Mental Health and Wellness During the COVID-19 Pandemic

Comments