Sathjana 2020.

Sathjana 2020.
SJB ප්‍රවෘත්ති සදහා මෙම ඛේතය "ක්ලික්" කරන්න.

කොරෝනා අර්බුදය සහ සමාප්ත කාලය - තෙවන කොටස | දෙවන තුෂ්ණි යුද්ධය

"නව ගෝලීය සහයෝගීතාවක් සහ අන්තර්-බැඳියාවක්!" කොරෝනා වෛරස් වසංගතය විසින් ඉල්ලා සිටිනු ලැබූයේ එයයි. ස්ලේවෝයී ශිෂෙක් තම "Pandemic!" (2020) කෘතියේදී නැවත නැවතත් අවධාරණය කරන්නේ එළැඹ ඇති මහා ව්‍යසනය හමුවේ එවන් ඒකාබද්ධ ගෝලීය ප්‍රතිචාරයක අවශ්‍යතාවයි. ඇතැම්විට, Covid-19 හි බලපෑම ඉදිරි කාලයේදී යම් දුරකට පාලනය කර ගන්නට මිනිස් වර්ගයා සමත් විය හැකිය. නමුත්, මීටත් වඩා ව්‍යසනකාරී තර්ජන අප නුදුරු අනාගතයේදී අපේක්ෂා කළ යුතුව ඇත. 

මා ඔබට ඉඟි කරන්නේ ගෝලීය උණුසුම සහ කාලගුණ විපර්යාසය ආශ්‍රිත ගැටළු ගැනය. ගෝලීය උණුසුම පාලනය කර ගැනීම සඳහා 2015 පැරිස් සම්මේලනයේදී ඇති කර ගත් ඉලක්ක කරා ගමන් කිරීමට මිනිස් වර්ගයා සමත් වී නොමැත. ලෝකයේ සමස්ත කාබන් විමෝචනයෙන් 14% කට වග කිව යුතු එක්සත් ජනපදය පැරිස් සම්මුතියෙන් ඉවත් කර ගන්නට ජනාධිපති ට්‍රම්ප් තීරණය කළේය. එතරම් දෙගුණයක් කාබන් විමෝචනය කරන චීනය දැන් "හරිත ශිෂ්ටාචාරයක්" පිළිබඳ අලංකාරෝක්තිය වැළඳගෙන තිබෙන බව සැබෑය. නමුත්, චීනය ඇතුළු මුළුමහත් ලෝකයේම අධිපතිව පවතින සංවර්ධන මොඩලය බරපතල වෙනසකට ලක් කිරීමෙන් තොරව මේ පාරිසරික ගැටළුව විසඳාගත හැකි වනු ඇතැයි සිතිය නොහැකිය. මේ මොඩලය තුළ මිනිසුන් විසින් මිනිසුන්ව සූරා කනු ලැබීමට අමතරව සොබාවික පරිසරයත් සූරා කනු ලබයි. ඉදින්, අප ඉදිරි වසරවලදී සොබා දහම විසින් අප වෙත හරවා එවනු ලබන අපගේම දුෂ්ටත්වයට මුහුණ දීමට සූදානමින් සිටිය යුතුය. කොරෝනා වෛරසය යනු හුදෙක් කුඩා අනතුරු හැඟවීමක් පමණක් විය හැකිය. පුළුල් ගෝලීය සහයෝගීතාවකින් තොරව ඉදිරියේදී පැමිණෙන්නට නියමිත ඒ මහා අභියෝගවලට මුහුණ දිය නොහැකිය.

නමුත්, දැන් ලෝකය සැබවින්ම ගමන් කරමින් තිබෙන්නේ එවන් සහයෝගීතාවයේ දිශාවකටද? අවාසනාවන්ත ලෙස, මේ ප්‍රශ්නයට පිළිතුර "නැත" යැයි කීමට හේතු වන කරුණු කාරණා රැසක් පසුගිය සති කිහිපය තිස්සේම අපට දක්නට ලැබිණ. ඒ අතරින් වඩාත්ම කතා බහට ලක් වන කාරණයෙන් ආරම්භ කරමු: එනම්, එක්සත් ජනපදය සහ චීනය අතර ගොඩ නැගෙමින් පවතින "නව තුෂ්ණි යුද්ධය"යි. (මේ යෙදුම භාවිත කරනු ලැබුවේ අන් කවරෙකුවත් විසින් නොව චීනයේ විදේශ ඇමති වැන්ග් යී විසින්මය). එක්සත් ජනපදය චීනයේ හුවාවෙයි සමාගම වෙත පැන වූ වාරණය විවේචනයට ලක් කරමින් වැන්ග් යී පැවසුවේ එය බිලියන 1.4 ක ජනතාවක් නූතනකරණය කරා යන්නා වූ ගමනට හෙලන ලද බාධකයක් බවයි. එක්සත් ජනපද වාරණය එක්සත් රාජධානිය වෙතද සෘජුවම බලපායි. මන්ද යත්, එක්සත් රාජධානියේ 5G සබඳතා ජාලය තුළ චීන හුවාවෙයි තාක්ෂණයේ දායකත්වය ඉහළ මට්ටමක පවතින බැවිනි. දැන් එය පාලක කොන්සර්වේටිව් පක්ෂයේ ඉදිරිපෙළ දක්ෂිණාංශික මන්ත්‍රීවරුන්ගේ දැඩි විවේචනයට ලක් වෙමින් තිබේ. අගමැති බොරිස් ජොන්සන් පවසන්නේ 2023 වසර වන විට එක්සත් රාජධානියේ 5G ජාලය තුළ හුවාවෙයිහි දායකත්වය ශුන්‍යය දක්වා රැගෙන ඒමට තමන් කටයුතු කරන බවයි. 

මේ අතර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයෙන් තම සමාගම් ඉවත් කර ගැනීමේ ව්‍යාපෘතිය ක්‍රියාවට නගමින් සිටී. ඔහුගේ මෑතකාලීන චීන විරෝධය ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කොට ගෙන බාහිර සතුරෙකු මවා පෙන්වීමක් ලෙස බොහෝ විට තේරුම් කෙරෙන බව සැබෑය. එහි සත්‍යතාවක්ද ඇති බව පැහැදිලිය. නමුත්, එක් අතකින් ට්‍රම්ප්ගේ මෙම චීන විරෝධය ජෝ බයිඩන් ඇතුළු ඩිමොක්‍රටික් පක්ෂ නායකත්වය විසින්ද බෙදා ගනු ලබමින් පවතින බව අප අමතක නොකළ යුතුය. (මෑතකදී බයිඩන් චීනය සම්බන්ධ ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තිය වැනෙන සුළු එකක් බවත් තමන් බීජිං පාලනයට සෘජුව මුහුණ දෙන්නෙකු බවත් හුවා දක්වන මැතිවරණ ප්‍රචාරක වීඩියෝවක් මුදා හැරියේය). අනෙක් අතින්, චීන විරෝධය යනු දැන් හුදෙක් අලංකාරෝක්තියක් පමණක් නොව ප්‍රායෝගිකව ක්‍රියාවට නැගෙමින් පවතින්නක් බැවින් එය ප්‍රායෝගික ප්‍රතිපල ජනනය කරනු ඇති බව අප සිහියට ගත යුතුය.  

තාක්ෂණ සහ වෙළඳ යුද්ධය 

වැඩෙන එක්සත් ජනපද-චීන පසමිතුරුතාවේ කේන්ද්‍රයේම ඇති සාධකයක් නම් 5G තාක්ෂණයේ ආධිපත්‍ය හිමි කර ගැනීමේ තරඟයයි. දැනට ලෝකයේ විශාලතම අන්තර්ජාල සමාගම්වලින් අති බහුතරයක් එක්සත් ජනපදය පදනම් කර ගත් ඒවා බව සැබෑය. ලොව විශාලතම ඛණිජ තෙල් නිෂ්පාදකයා වන්නේද එක්සත් ජනපදයයි. ඩොලරයේ ආධිපත්‍යයද තවමත් බිඳ වැටී නොමැත. නමුත්, ඉදිරියේදී උසස් තාක්ෂණයේ ආධිපත්‍ය හිමි කර ගන්නේ කව්රුන්ද යන්න ගෝලීය ආධිපත්‍ය සඳහා වන තරඟයේ ඉතාම වැදගත් ප්‍රශ්නයකි. චීන අගමැති ෂී ජින්පින් 2013 වසරේදී නිවේදනය කළ "චීන සිහිනය" දැක්මට අනුවත්, ඔහුගේ "Made in China 2025" වැඩ පිළිවෙලට අනුවත් ඉදිරි දශකය තුළ ලොව අංක එකේ තාක්ෂණ බලය හිමි රාජ්‍යය බවට පත් වීමට ඔවුන් අදිටන් කරගෙන සිටී. 

පළමු ලෝක යුද්ධයට පසු යුගයේ ඛණිජ තෙල්වල අයිතිය ලෝක ආධිපත්‍ය සඳහා වූ තරඟයේ කේන්ද්‍රීය සාධකයක් බවට පත් වූ අයුරු මදක් සිහියට නගන්න. විශේෂයෙන්ම 1914 දී ඔටෝමන් අධිරාජ්‍යය බිඳ වැටීමෙන් පසුව අරාබිකරයේ ප්‍රදේශ බෙදා ගැනීමේදී මහා බ්‍රිතාන්‍ය සැලකිලිමත් වූ ප්‍රධාන කාරණයක් නම් තෙල් නිධිවල පිහිටීමයි. දෙවන ලෝක යුද්ධයෙන් පසුව මැද පෙරදිග ලෝකය නිරන්තර ගැටුම්කාරී කලාපයක් වීමේ දේශපාලන-ආර්ථිකමය රහස ඇත්තේ එහිය. සම්පත් සඳහා වූ එම තරඟය තාක්ෂණික ආධිපත්‍ය සඳහා වන තරඟය සමග අත්වැල් බැඳ ගත්තකි. 

බලවේගවල පෙළ ගැස්ම                 
           
චීනය සහ එක්සත් ජනපදය අතර කලක පටන් පවත්නා වෙළඳ යුද්ධය ගැන අමුතුවෙන් කිව යුතු නැත. දැනටමත් එය දෙවන තුෂ්ණි යුද්ධයක් දක්වා වර්ධනය වී ඇති බව ඇතැම් ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ විශේෂඥයෝ පවසති. නමුත්, තවමත් පළමු තුෂ්ණි යුද්ධයේදී සිදු වූ පරිදි මහා බලවතුන් දෙදෙනා අතර කඳවුරු බැඳ ගැනීමක් දක්නට නැත. බොහෝ රටවල් සිටින්නේ දෙපාර්ශ්වය සමගම (තෝරා ගත් විෂයන්වලදී) එකසේ සබඳතා පවත්වමිනි. චීන ආධිපත්‍යයට වඩා සමීප රටවල් මෙන්ම එක්සත් ජනපද ආධිපත්‍යයට වඩා සමීප රටවල් තිබෙන බව සැබෑය. නමුත්, 1946 සිට 1991 දක්වා කාල පරිච්ජේදය තුළදී එක්සත් ජනපද කඳවුර සහ සෝවියට් කඳවුර අතර පැවතියාක් වැනි පැහැදිලි බෙදීමක් මෙම දෙවන තුෂ්ණි යුද්ධය තුළ තවමත් දැක ගත නොහැකිය. 

පුටින්ගේ රුසියාව වුවත් එක්සත් ජනපද-චීන ගැටුමක දිගුකාලීන වාසි ගැන ගණන් බලමින් සිටින බවක්  පෙනේ. එවන් ගැටුමකින් එක්සත් ජනපදය දුර්වල වනවා යනු රුසියාවට තම පැරණි නැගෙනහිර යුරෝපීය කලාපය වෙතට අත පොවන්නට හැකියාව ලැබීමකි; චීනය දුර්වල වනවා යනු ඇෆ්ගනිස්ථානය ඇතුළු මධ්‍යම ආසියානු කලාපයට අත පොවන්නට හැකියාව ලැබීමකි. රුසියාව චීනය සමග සමීප ආර්ථික සබඳතා සහ යුද අභ්‍යාස යනාදිය පවත්වා ගනිමින් සිටියද ඇය සැබවින්ම පන දෙමින් සිටින්නේ චීනයේ විශ්වාසවන්ත සගයෙකුගේ භූමිකාවට වඩා තමන්ගේම බල අභිලාෂ අනුව වැඩ කරමින් සිටින කයිරාටික ගණන් බලන්නෙකුගේ භූමිකාවටය.        

ජපානය, ඕස්ට්‍රේලියාව සහ යුරෝපා සංගමයේ ඇතැම් රටවල් එක්සත් ජනපදයේ චීන විරෝධී ආර්ථික මෙහෙයුම සමග යම් ආකාරයකින් අනුගත වීම පසුගිය කාලය තුළදී දැක ගත හැකි වූ බව සත්‍යයකි. කොරෝනා වෛරස් වසංගතය ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් චීනය වග කිව යුතුය යන ට්‍රම්ප්ගේ චෝදනාව ජර්මනියේ ඇන්ජෙලා මර්කල් විසින්ද පුනරුච්ජාරණය කරනු දක්නා ලදී. ඒ අතරම යුරෝපා සංගමයේ අභ්‍යන්තරික ඒකාග්‍රතාව වේගයෙන් දුර්වල වෙමින් පවතින බවද, ඉතාලිය, ග්‍රීසිය වැනි එහි දුර්වල පුරුක් චීන ග්‍රහණයට ලක් වීමේ අනතුරක් තිබෙන බවද අප සැලකිල්ලට ගත යුතුය. වසංගතයේ රුදුරු ප්‍රහාරයට ලක් වූ ඉතාලිය ඇතුළු බොහෝ රටවල් ඉලක්ක කොට ගෙන චීනයෙන් ක්‍රියාත්මක කරන ලද "වෛද්‍යමය රාජ්‍ය තාන්ත්‍රිකත්වය" දේශපාලන ගම්‍යතාවලින් තොර වූවක් නොවේ. චීනය සම්බන්ධ කාරණයේදී යුරෝපා සංගමය දෙකට බෙදෙන්නේ නම්, එය වුවද චීනයේ ජයග්‍රහණයකි. 

කෙසේ වුවත්, ඉහත කරුණු අනුව පෙනී යන පරිදි, තවමත් පවතින්නේ පැහැදිලි කඳවුරුගත වීමකින් තොරව වුවත් මහා බලවතුන් දෙදෙනෙකු අතර ගොඩ නැගෙන තුෂ්ණි යුද්ධයක සමාරම්භක ලකුණුය.    

යුදමය ආතතියේ වර්ධනය 

ගැටුම පවතින්නේ වෙළඳ සහ තාක්ෂණික ආධිපත්‍ය පිළිබඳ ක්ෂේත්‍රයේ පමණක් නොවේ. වඩා භයානක ප්‍රවණතාව වන්නේ මිලිටරිමය අභිමුඛ වීම් දැනටමත් ආරම්භ වී තිබීමය. දැන් වසර කිහිපයක පටන්ම දකුණු චීන මුහුදේ වර්ධනය වෙමින් පවතින යුද උණුසුම කොරෝනා වයිරස් අර්බුදය පසුබිම් කොටගෙන තියුණු අදියරකට පැමිණ තිබේ. එක්සත් ජනපදය දකුණු චීන මුහුදේ තම මිලිටරි බලය විශාල වශයෙන් වර්ධනය කළේ ඔබාමා පරිපාලනය යටතේ 2010 වසරේදීය. ඒ වසරේ ජූලි මසදී පැවති ආසියාන් සංවිධානයේ වාර්ෂික සමුළුව අමතමින් එවකට සිටි රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ප්‍රකාශ කළේ එක්සත් ජනපදය පෙනී සිටින්නේ දකුණු චීන මුහුදේ නිදහස් නාවුක ගමනාගමනය වෙනුවෙන් බවයි. පසුගිය අප්‍රේල් 03 වනදා එක්සත් ජනපද ගුවන් සහ නාවික යාත්‍රා ඕස්ට්‍රේලියානු හමුදා සමග එක්ව පිලිපීනයට ආසන්න ප්‍රදේශයක ඒකාබද්ධ අභ්‍යාසවල යෙදුණේද "සාගරය විවෘතව තබා ගැනීම" යන සටන් පාඨය ඉදිරිපත් කරමිනි. නමුත්, ඔවුනට අනුව, මේ සාගරයේ නිදහසට බාධා කරන්නේ කව්ද?

නිසැකවම ඒ චීනයයි. චීනයට දකුණු චීන මුහුද භූ-දේශපාලනික වශයෙන් වැදගත් වන්නේ හේතූන් ගණනාවක් නිසාය. එක් අතකින්, ලොව සමුද්‍රීය වෙළඳාමෙන් තුනෙන් එකක ප්‍රමාණයක් සිදු වන්නේ දකුණු චීන මුහුද ඔස්සේය. චීනය සමුද්‍රීය ලෙස සෙසු ලෝකයට සම්බන්ධ කරන කොරිඩෝව වන්නේ එයයි. එසේම, එක්සත් ජනපදයෙන් හෝ වෙනත් බලවත් රාජ්‍යයකින් එල්ල විය හැකි මිලිටරි ප්‍රහාරයකදී චීනයේ භූමිය සෘජුව විවෘත වන්නේ මෙම කලාපයේදීය. දකුණු චීන මුහුද ඉන්දීය සාගරයට සහ පැසිෆික් සාගරයට සම්බන්ධ කරන්නා වූ මලක්කා සමුද්‍ර සන්ධිය චීනයට පමණක් නොව තායිවානය, ජපානය සහ දකුණු කොරියාව ඇතුළු ඒ කලාපයේ සියලුම රටවලට භූ-දේශපාලනික වශයෙන් ඉතාම වැදගත්ය. චීනයේ විදේශ වෙළඳාමෙන් සියයට හැටකට වඩා සිදු වන්නේ මුහුදු මාර්ගයෙන් වන බැවින් දකුණු චීන මුහුදේ ආරක්ෂාව චීනයේ ආර්ථිකමය ආරක්ෂාව සමග සමීපව බැඳී පවතී. 

නමුත්, මේ කලාපයේ යුද ආතතිය වර්ධනය වන්නට පටන් ගත්තේ නව ලෝක බලවතෙකු ලෙස හිස ඔසවමින් සිටි චීනයට ඊටම උචිත විජිගීෂාවකින් මෙහෙයවනු ලබන නායකයෙකු මුණ ගැසීමත් සමගය; 2013දී ෂී ජින්පින් බලයට පත් වීමෙන් පසුව දකුණු චීන මුහුදේ චීනයේ ආධිපත්‍ය ව්‍යාප්ත කිරීම වර්ධනය වූයේ ආක්‍රමණකාරී ස්වභාවයක් සහිතවය. චීනය අධිකාරීවාදී ධනවාදයක් දෙසට මෙහෙය වූ සමාරම්භක නායකයා වූ ඩෙන් ෂියාවෝ පින් උපදෙස් දී තිබූ පරිදි චීන රාජ්‍යය "හිස බිමට නැඹුරු කොට ගෙන නිහඬව ඉදිරියට යන කාලය" අවසන් වී තිබිණ. ඉපැරණි "මධ්‍යම රාජධානියේ" (සියවස් ගණනක් ආසියාතික ලෝකයේ බල පරාක්‍රමය ඉසිලූ චීන අධිරාජ්‍යයන් ඔවුන් විසින්ම හඳුන්වා ගන්නා ලද්දේ "මධ්‍යම රාජධානිය" යන නමිනි) කීර්තිය යළි ස්ථාපිත කිරීමේ ඓතිහාසික භූමිකාව සරදම්ජනක ලෙස චීන කොමියුනිස්ට් පක්ෂය විසින් භාර ගන්නා ලදී. එකී සරදම කූට ප්‍රාප්තියට පත් කරමින් මධ්‍යම රාජ්‍යයේ යශෝ කීර්තිය ලොව පුරා පතුරුවන්නට චීනයේ යාවජීව පාලකයා වන ෂී ජින්පින් සැලසුම් කරගෙන සිටින්නේ චීන සමාජවාදී විප්ලවයට සියවසක් පිරෙන 2049 වසරේදීය. (මෙය හරියට ව්ලැඩිමීර් පුටින්ගේ නව ගතානුගතිකවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම ව්ලැඩිමීර් ලෙනින්ගේ 150 වන ජන්ම සංවත්සරය යෙදෙන දිනයට යොදා ගැනීම වැනිම සරදමකි).

ලාංකීය ඉරණම 

කෙසේ වුවද, අප දැන් වේගයෙන් ප්‍රවේශ වෙමින් සිටින්නේ දෙවන තුෂ්ණි යුද්ධය සැබෑ අවි ගැටුමක් දක්වා වර්ධනය වීමේ බරපතල අනතුරක් වෙතටය. නව ගෝලීය බලවතාගේ ව්‍යාප්තවාදය තායිවානයේ සිට, හොං කොං සහ  ෂියෑන්ග් ජියැන් ඔස්සේ චීන - ඉන්දීය දේශ සීමාවේ පිහිටි ගල්වන් නිම්නය දක්වා පැතිර යමින් පවතී. දකුණු චීන මුහුදේ සිට තායිවානය ඔස්සේ ඉන්දියාවේ ලඩක් ප්‍රදේශය දක්වා සන්නද්ධ බල මුළු තර කෙරෙමින් පවතී. 

ආසියාතික ලෝකයේ වර්ධනය වන මේ නව යුද ආතතිය ගැන කෙරෙන භූ-දේශපාලනික විශ්ලේෂණවලදී නිතර නම කියැවෙන තවත් රටක් ඇත. ඒ ශ්‍රී ලංකාවයි. එක් අතකින්, එහිදී හම්බන්තොට වරාය හඳුනා ගනු ලබන්නේ චීනයේ මිලිටරි උපාය මාර්ගික අවශ්‍යතා සඳහා ඉදිකරන ලද මර්මස්ථානයක් ලෙසයි. ඒ සමගම එක්සත් ජනපදය ශ්‍රී ලංකාව තුළ තම හමුදා ස්ථානගත කර ගැනීමේත් ඉඩම් අත් පත් කර ගැනීමේත් අවශ්‍යතා ඉටු කර ගන්නට ප්‍රයත්න දරයි. වත්මන් පාලකයින් ප්‍රකට කරන්නේ එක්සත් ජනපදය, චීනය සහ ඉන්දියාව යන බලවතුන්ගේ යුද උපාය මාර්ගික වුවමනාකම් සඳහා සැලසුම් කෙරෙන දීර්ඝ කාලීන උගුල් වෙත කැමැත්තෙන්ම පැටලෙමින් සිටින්නාක් වැනි චර්යාවකි. 

අප ඉදිරියේ දිස් වන ඩිස්ටෝපියානු අනාගතය වන්නේ ජනප්‍රිය කතිකාව තුළ කියැවෙන පරිදි ශ්‍රී ලංකාව එක්සත් ජනපදයේ හෝ චීනයේ කොලණියක් වීම වැන්නක් නොවේ. මේ දිවයින මහ බලවතුන් අතර සිදු විය හැකි කවර හෝ මිලිටරි ගැටුමක සංග්‍රාම භූමියක් වීමේ අවදානමක් පැවතීමයි. විදේශ බලපෑමේ අනතුර එන්නේ ජිනීවා වෙතින් යැයි තරයේම කල්පනා කරන පාලකයින් නොදකින දෙය නම් සැබවින්ම විදේශ ආධිපත්‍යයේ වඩාත් රුදුරු ප්‍රහාරයක් සඳහා උචිත පරිසරය සකස් කරමින් සිටින්නේ තමන්ම බවයි. 

- සුමිත් චාමින්ද   

Comments