Sathjana 2020.

Sathjana 2020.
SJB ප්‍රවෘත්ති සදහා මෙම ඛේතය "ක්ලික්" කරන්න.

නිදහස සහ වහල්භාවයට එරෙහි ප්‍රජාතන්ත්‍රවාදී දර්ශනය - 1


'ලෝක ඉතිහාසය යනු සැමවිට ම නිදහස පිළිබඳ සවිඥානය දෙසට ගමන් කළ සිද්ධි දාමයක්' බව ඉතිහාසයේ දර්ශනය පිළිබඳ වඩාත් ගැඹුරින් අධ්‍යනය කළ දාර්ශනිකයන් පැමිණ ඇති නිගමනයකි. විශේෂයෙන් එම අදහස ඉතිහාසය පිලිබඳ හෙගලියානු (හෙගල් නම් දාර්ශනිකයාට අනුව) දර්ශනයේ මූලික නිගමනය ද වෙයි. මේ තාක් පැවති සමස්ථ මානව ඉතිහාසයේ 'දිශානතිය සහ ගමනාන්තය' වී ඇත්තේ 'නිදහස' යි යන මතිය පිළිබඳ කාල් මාර්ක්ස් ද  සිය කොමියුනිස්ට්ස් ප්‍රකාශනය තුළින් සුවිශේෂ කොට දක්වයි. මාර්ක්ස් සහ එංගල්ස්ට අනුව ‘ඉතිහාසය යනු පීඩිත පංතීන් සහ අධිපති පංතීන් අතර වු අරගලය’ යි. එම නිසා වත්මන් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී නිමේෂය දක්වාම ඉතිහාසයන් ගේ මූලික දිශානතිය, උත්ප්‍රේරණය, සැකසුවේ 'නිදහස'  පිළිබඳ ඓතිහාසික සවිඥානය සහ අරගලයයි.

කෙසේමුත් පීඩක සහ පීඩිත පංති හා සමාජීය මානව නිදහස පිළිබඳ නිෂ්ටාව සමඟ බද්ධ කොට ඉතිහාසය පිළිබඳ හෙගල් ගෙන එන මතය ඔහුට ම අනුව පෙරදිග ඉතිහාසය ට අදාළ නොවෙන බව ද මෙහි දී සිහි කළ යුතුය. පෙරදිග රාජ්‍යයන් වන චීනය, ඉන්දියාව ආදිය දෙස බලමින් ඔහු ප්‍රකාශ  කරන්නේ එම රාජ්‍යය 'සැබෑ ඉතිහාසයට' අනුව දිශානත වී නොමැති බවයි. මන්ද පෙරදිග රාජ්‍යයන්ගේ 'නිදහස' පිළිබඳ අදහස හා බටහිර ඉතිහාසය අතර විශාල වෙනසක් පවතී. එම වෙනස නම් පුද්ගල නිදහස පිළිබඳ මෙම කලාප දෙක ඓතිහාසිකව වර්ධනය කරගත් සවිඥානකත්වය අතර වෙනස  වශයෙන් සරළව අපට සලකුණු කල හැක.

එනම්, බටහිර නැතිනම් අපරදිග චින්තනය තුළ 'ස්වාමියා සහ වහළා', 'පාලකයා සහ පාලිතයා', 'පුරවැසියා සහ රාජ්‍යය' ආදී විභේදනයන් සම්බන්ධ කතිකාව වර්ධනය වුයේ  එම අන්තයන් අතර පීඩාවට භාජනය වූ පාර්ශවයේ නිදහස පිළිබඳ සවිඥානය (හෙගල්) සහ අරගලය (මාර්ක්ස්) ට අනුව බව පළල් වශයෙන් කියවාගත හැක. පෙරදිග සමාජය තුළ සැමවිටම 'නිදහස්' වුයේ එක් පුදගලයකුය,  එනම් පාලකයා (රජු) පමණි. අන් සියළුම පුදගලයන් සතුවූයේ දෙවන ගණයේ අයිතීන් සහ නිදහස ය. රජුගේ අධිපත්‍යය සියල්ලට ම ඉහළින් පැවතුණු අතර අන් පුද්ගලයන්ගේ නිදහසේ සීමාව රජුගෙන් තීරණය විය.

මේ අනුව පෙරදිග පාලකයා ඒකාධිපතියෙක් වූ අතර ඔහු යටතේ 'ගැත්තන්' (යටත්වැසියන්) ඔවුන්ගේ සමාජීය ජීවිතයට ප්‍රශ්න කිරීමකින් තොරව අනුගත විය. නමුත් මෙම රජු/ඒකාධිපතියා අතර පැවතියේ හුදු 'ගැත්තා සහ බලවතා' අතර වූ සබඳතාවයකට එහා ගිය එකක්ය. එයට හේතුව 'ගැත්තා' විසින් ගැතිබව පිළිබඳ සවිඥාන වූ අකාරයේ පැවති ස්වරූපය යි. එනම් ගැතිවී සිටීම සහේතුක/නිවැරදි තත්වයක් බව ඔහු සිතයි. එනම් පෙරදිග වැසියාට/ගැත්තාට තන්ගේම වූ 'අභිප්‍රායක්' නොවූ අතර ඔහු 'ස්වාමියා සමඟ පැවති සම්බන්ධතාවය' වෙනස් නොවන, ස්වභාවික එකක් වශයෙන්අවබෝධ කරගෙන සිටියේය.

පෙරදිග කළාපයේ පැවති වැඩවසම් සබඳතා, කුළය, ආගමික බලපෑම, රාජ්‍යත්වය ආදී සියල්ලක්ම දෙස බලන අපට පැහැදිළි වන්නේ නුතන අර්ථයකින් එහි පීඩිත වැසියාට 'ඔවුන්ගේම වූ කැමැත්තක්' නැතිනම් 'අභිප්‍රායක්' නිෂ්පාදනය නොවී පැවති බවය. මෙහි අනෙක් අර්ථය නම් 'පෙරදිග ගැත්තාට' සැමවිට ම ඔහුව පාලනය කිරීම සඳහා භාහිර පාර්ශවයක් අවශ්‍යය වීමයි. මන්ද ඔවුන්ගේ 'පුද්ගල ස්ව-සවිඥානය වර්ධනය' නොවී පැවතීම එයට හේතුවයි. එම නිසා නීතිය, සදාචාරය ආදී ආයතන සියල්ලක්ම භාහිරින් යාමනය වූ පද්ධතියක් වශයෙන් පෙරදිග කළාපයේ දී අපට මුණ ගැසෙයි. 'සදාචාරය, යුක්තිය' පිළිබඳ අර්ථය පෙරදිග දී රජුගෙන් මුර්තිමත් වෙයි.

 'රාජා භවතු ධම්මිකෝ' යන පාලි පාටයට අනුව වුවත් ධාර්මිකත්වය යනු රජු විසින් වැසියන් මත ඇති කළ තත්වයකි. පාලකයා ධාර්මික වීම මිස නීති පද්ධතියකට පාලකයා යටත් කිරීම පිළිබඳ අදහසක් පෙරදිග දී අපහසු තත්වයකි. පෙරදිග ඉතිහාසයේ මේ අනුව පාලකයා ප්‍රශ්න කිරීමක්, සම්ප්‍රදායන් බිඳීමක් යනු එහි වැසියන් කෙරෙන් විද්‍යමාන නොවූ සවිඥානයකි. ඉර, හඳ, තරු පරිදි ම නොවෙනස් වන බලයක් මේ අනුව පාලක සංස්ථාව තුළ ඇතැයි යනු පෙරදිග සවිඥානය ට අනුව ලෝකය පිළිබඳ යථාර්තයයි.

පෙරදිග දී බොහෝ විට පුද්ගල නිදහස වෙනුවට ඓතිහාසිකව වර්ධනය වුයේ 'උසස් අයට, වැඩිහිටියන්ට, බලවතාට' නමස්කාරය කිරීම පිළිබඳ චර්ධයා ධර්ම කිහිපයකි. 'පිදිය යුත්තන් පිදීම' වැනි බෞද්ධ අදහසක් පවා සමාජ පංතීන් අතර පැවති බල සබඳතා විනිවිඳීමකට තුඩු දී නැත. එසේම බුදු දහම තුළ 'පුද්ගල විමුක්තිය' පිළිබඳ  සංකල්පය වර්ධනය වී පැවතියත් එය පාර-ලෞකික විමුක්තියකි. නමුත් 'කුළය, උස්මිටි කම්, ජාතිය, වර්ගය' ආදී සමාජීය බෙදීම් ඉක්මවමින් 'මිනිසා සතු පොදු මිනිස් භාවයක්' බුදු දහම සොයා ගෙන තිබේ. එවැනි සාධනීය දාර්ශනික හා ආගමික අදහස් ප්‍රමාණයක් පෙරදිග සංවර්ධනය වුව ද, පෙරදිග පාලනයේ පැවති අඥාදායකත්වය නැති කිරීමට 'බුදුන්ගේ දස රාජ ධර්ම වලට' හැකියාවක් ලැබී තිබුනේ ද යන්න පරීක්ෂා කල යුතු තත්වයකි. කෙසේමුත් මෙහි දී අප අමතක නොකළ යුත්තේ 'කෙලෙස්' නැතිනම් 'තණ්හාව හෝ ආශාවට/රාගයට' එරෙහි සටන වැනි පාර-ලෞකික ප්‍රගතිය ඉලක්ක කරන පැවැත්මක් අධිනිශ්චය වීම මිස පංති අරගලය පිළිබඳ දේශපාලන සත්භාවවේදී දැක්මක් බුදු දහම තුළින් මතු කර ගැනීම මෙතෙක් සිදු වී නැති බවයි. (නලින් ස්වාරිස්ගේ විසංඛාරය සහ විසංයෝජනය පිළිබඳ අධ්‍යනය මේ පිළිබඳ ප්‍රබල උත්සාහයක් බව ද කිව යුතුය)

පෙරදිග සහ අපරදිග කළාප අතර නිදහස පිළිබඳ සංවර්ධනය වූ සවිඥානය පිළිබඳ කතිකාව කෙබඳු  වුවත්, හෙගල් ම දක්වන පරිදි 'නිදහස යනු අනන්තය තෙක් පැතිරෙන වාදයන්ට, සන්දිග්ධාර්ත්යන්ට, ව්‍යාජ සංකල්පනයන්ට හා එම හේතුවෙන්ම වින්දිත භාවයට පත් සංකල්පය'කි. ඉතිහාසය පුරාම මිනිසුන් ආණ්ඩු පත් කළේ , අලුත් රාජ්‍යයන් වෙනුවෙන් අරගල කලේ, විප්ලව දියත් කළේ, ප්‍රතිපත්ති, ව්‍යවස්ථා නිර්මාණය කර ගත්තේ නිදහස ආරක්ෂා කර ගැනීමටය. නමුත් අද වන විටත් නිදහස පිළිබඳ අරගලය, වාදය, විසංවාදය නිමවී නැති අතර එය වර්තමාන වසංගතයේ (කොවිඩ්) දේශපාලන නිමේෂය තුළ නැවත මතු කරගත යුතු කතිකාවකි. මන්ද ජීව දේශපාලනය තුළින් පුද්ගල සිරුර පාලනය කිරීම සම්බන්ධ අයිතිය නැවත රාජ්‍යය විසින් අත්පත් කරගන්නා විට, අපගේ කලාපයේ පවතින අනතුර වන්නේ නැවතත් රාජ්‍යය පිළිබඳ පෙරදිග පෞරාණික මතය වෙතට එනම්, යටත් වැසියා සහ රජු අතර පැවති බල ධුරවාලිය යුක්තිසහගත කිරීම වෙත අප පසු බසිමින් සිටීමයි. එම නිසා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ නොනිමි අරගලය සඳහා 'නිදහස' පිළිබඳ සවිඥානක ජනතාවක් බිහි කිරීමේ වගකීම මේ මොහොතේ ප්‍රජාතන්ත්‍රවාදයට පක්ෂ සියලු බලවේග විසින් අවබෝධ කර ගැනීම අවශ්‍යවෙයි.

නිදහස පිළිබඳ හෙගේලියානු මතය තවදුරටත් මීළඟට…

අතුලසිරි සමරකෝන්
samasa@ou.ac.lk

Comments