Sathjana 2020.

Sathjana 2020.
SJB ප්‍රවෘත්ති සදහා මෙම ඛේතය "ක්ලික්" කරන්න.

කොරෝනා බොරදියේ මාළු බාන ඉන්දීය ව්‍යවසාය තීක්‍ෂනත්වය.


කෝවිඩ් පැන්ඩමිකය අවසන් වනවාත් සමග විශාල පරිවර්තනයකට ලක්‌වීමට නියමිතව ඇති ජාත්‍යන්තර ව්‍යවසාය ලෝකය, මේ මොහොතේ කඩාවැටෙමින් පවතින තම ව්‍යාපාර රැකගැනීම සඳහා විවිධාකාර වු  උපක්‍රම අත්හදාබැලීම ආරම්භකොට තිබේ. ඒ අනුව විදේශ ආයෝජකයින් සිය ජාත්‍යන්තර ව්‍යාපාර  ස්ථාපනය කොට තිබූ භූගෝලීය පසුබිම් වෙනසකට භාජනය කිරීමේ මෙහෙයුමකට එළඹ තිබීම දෘශ්‍යමාන සාධකයකි. විශේෂයෙන් කෝවිඩ් 19 වෛරසයේ උපත සිදුවූ චීනය කෙරෙහි ලෝකයේ සෙසු රටවල් තුළ කිසියම් කලකිරීමක් ගොඩනැගීම ආරම්භ වී ඇති අතර, වරෙක මෙකී වසංගතය සැලසුම් සහගතව චීනය විසින් නිර්මාණය කරන ලද්දක් බවට ප්‍රචාරයක්‌ දියත් වුවත්, එහි ඇත්ත-නැත්ත විමර්ශනය කිරීමකට ඉඩ නොතබාම, මෙසේ චීනය සමග බිඳිමකට සෙසු රටවල් පත්ව ඇත්තේ, වෛරස නිෂ්පාදනය කෙසේ වෙතත්, ගිය වසරේ අග චීනයේ උත්පාද වු මෙකී වසංගතය ලෝකයෙන් සඟවාතබාගැනීම හා එය මර්ධනය කිරීමට ප්‍රාථමික අදියරේදී කාර්යක්ෂමව පියවර නොගැනීම යන තත්වය මතයි. විශේෂයෙන්ම මෙකී විරසකයේ බරපතල තරහකරුවන් ලෙස, ඇමෙරිකාව, මහා බ්‍රිතාන්‍ය ඇතුළු බටහිර රටවල් කිහිපයක් සිටිති. ඊට අමතරව ඇතැම් යුරෝපා රටවල් සේම ආසියාතික රටවල් ද ඒ ගොඩට එකතුවී ඇත.

එවන් රටවල් අතර  ඇමරිකාව, මහා බ්‍රිතාන්‍ය, ද. කොරියාව, ජර්මනිය, ජපානය, නෙදර්ලන්තය, සිංගප්පුරුව  ඕස්ට්‍රේලියාව ආදී රටවල් සිටිති. ඔවුන්  සංක්‍රාතික පක්ෂීන් ලෙස සිය පෙර ව්‍යාපාර භූමි වෙනස්කිරීමේ සැලසුම් කරා එළඹේමින්, විකල්ප මායිම් වෙත පියාසර කිරීමේ අරමුණු කරා එලඹේමින් සිටින්නේ, ආසියානු කලාපයේ රටවල් කිහිපයක් තම නව ගමනාන්ත ලෙස හඳුනාගනිමිනි. එකී විකල්ප භූමීන් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ, ඉන්දුනීසියාව, වියට්නාමය, ඉන්දියාව, පිලිපීනය හා මලයාසියාව වැනි රටවල්ය. 

මේ වසරේ ලෝකයේ වඩාත් වර්ධනීය ආර්ථිකයන් ඇති රටවල් අතර ප්‍රමුඛ ස්ථානයට පත්වීමට ඉන්දියාවට හැකිවී ඇති නිසාම, මෙකී අවස්ථාවෙන් උපරීම ඵළ නෙලීම සඳහා නරේන්ද්‍ර මෝදී ප්‍රමුඛ ඉන්දීය රජය මේ මොහොතේ දැල් එලමින් සිටිති. ඒ සඳහා සිය නිජබිමේ පරිසරය සකස්කිරීමේ මෙහෙයුම් තුළ ඉන්දීය රජය මේ මොහොතේ යුහුසුළුව ක්‍රියාකරමින් හිඳින අතර, විදෙස් ව්‍යවසායකයින් ආකර්ෂණය වීම සඳහා බලපානු ලබන, සියළු සාධාක කෙරෙහි ඔවුන් අවධානය යොමුකරමින් හිඳියි. මේ සඳහා වාසියට බලපානු ලබන, විදෙස් ව්‍යාපාර සඳහා පනවන වෙළඳ බදු අඩුකිරීම, විදෙස් ව්‍යවසාය සඳහා බලපාන්නාවූ නීති හා රෙගුලාසි වල ස්ථාවරත්වය තහවුරු කිරීම, සේවක වැටුප් වල මිල පහළ අගයක පවත්වා ගැනීමේ සහතිකය සේම, සේවකන්ගේ කාර්‍යක්‍ෂමතාව හා නිපුණත්වය ආදී අවධානයට ලක්කරනුලබන ප්‍රධාන සාධක වෙත ඔවුන් තදින්ම සිය අවධානය යොමුකොට තිබේ. මේ නිසා, පසුගිය වසරේ ඉන්දීය රජය විසින් වෙළෙඳ ව්‍යවසාය බද්ද 25% කින් පහත හෙලීම ආදී මෑතකදී ගන්නාලද විදෙස් ව්‍යපාර දිරිගන්වනසුළු තීරන කිහිපයක් ඔවුන්ට  වාසිදායක අන්දමින් බලපනුලබන අතර, පෙර චීනය සමග වෙළඳ කටයුතුවල නිරත වු දැවැන්ත විදෙස් ව්‍යවසායකයින් 1000 ක්‌ පමණ මේ මොහොතේ  ඉන්දියාව සමග අත්වැල් බැඳගැනීමට ඒ අනුව එකඟවී තිබේ. ඒ අතරින් ප්‍රකට බොස්කෝ සහ හුන්ඩායි සමාගම, ලෝක ප්‍රකට ඇපල් නිෂ්පාදන සමාගම, පෙගට්‍රේන් ආයතනය ආදී මහා පරිමාණ විදෙස් ආයෝජකයින් 300 ක්‌  ස්ථිර ගිවිසුම් සඳහා එළඹ ඇතිබැව් ඉන්දියාවේ ප්‍රකට සැටලයිට් නාලිකාවක් වන වයෝන් ටීවී නාලිකාව ප්‍රකාශ කරයි. විදෙස් ආයෝජන කලාපයන්ට අවශ්‍ය පරිසරය මැනවින් ඇති නව දිල්ලිය මේ මොහොතේ ඉන්දීය රජය විසින් තම ගැනුම්කරුවන්ගේ අවධානය දිනාගත හැකි පරිසරයක්‌ බවට පරිවර්ථනය කරමින් සිටින බව විදෙස් නිරීක්ෂකයෝ වාර්තා කරයි.

ආසියානු කලාපයේ ඉන්දියාව ඇතුළු වෙනත්  රටවල්ද  මෙම  සංක්‍රාන්ති සමය තුළින්  මෙවැනි අන්දමේ වාසි හා ලාභ අත්කරගන්නා අතරේ, ශ්‍රී ලංකාව තම කඩාවැටුනු ආර්ථිකය ගොඩගන්නට දරන්නාවූ වෙහෙස කවරේද, ගන්නාවූ පියවර කවරේදැයි අප තවමත් බලාසිටින්නෙමු. අප අත බිලිපිති තිබුනත්, පොකුණ හොඳහැටි බොරවී තිබුනත්, කැලතුන දිය මත මසුන් දියබුං ගසනු පෙනුනත්, මාලුබාන්නා තවමත් මර නින්දක පසුවීම තුළ, අපේ හොද්ද බොර වෙන්නේ කවදාදැයි අප සිහින දැකීම, දීර්ඝ සිහිනයකට පමණක් සීමාවේද? ඒ සිහිනෙන් අප අවදිවන විට, පොකුනේ මාළු අහවරවී ඇතුවා පමණක් නොව, පොකුනද සිඳී තිබුනොත් අප ඒ පිලිබඳ පුදුමවියයුතු නොවේයැයි අකමැත්තෙන් වුවද නොකියා බැරිවේ.

- ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද 

Comments