Sathjana 2020.

Sathjana 2020.
SJB ප්‍රවෘත්ති සදහා මෙම ඛේතය "ක්ලික්" කරන්න.

දේශපාලන මාධ්‍යකරණය

පුරවැසියන් ලෙස අප ජීවත්වන්නේ මාධ්‍යය විසින් පාරභාසක (Translucent) පද්ධතියක්‌ බවට පරිවර්තනයකළ  බුබුළක් තුළද, නැතහොත් මායාකාරී (මහපොළවේ යතාර්ථයෙන් ඔබ්බෙහි පවතින) ගුහාවක් (mythological tunnel) තුළද ? ඉරු එළිය වැටෙතත්, සැබෑ හැඩ තළ හඳුනාගත නොහැකි අන්දමින් අප දෑස් අඳුරු පටලයකින් වසා දමා තිබේ. එනිසා, සැබවින්ම පවතින දේත්, අප විසින් නිරීක්ෂණය කරනා දේත් අතර පරතරයක්‌ තිබිය යුතු බව වැටහේ. පවතින යථාර්ථය  අපට දෘශ්‍යමාන කරන්නට උපකාරී වන ආලෝක පද්ධතිය ලෙස අප ඉර විස්වාස කිරීමට පුරුදුව ඇතත්, අප ඒ ඉරඑළියෙන් දකින්නේ සැබෑව නොවේනම්, අප පුරුදු - පුහුණුකළ විස්වාස පද්ධතියට කුමක් වේද? ඒ අනුව, අප විස්වාස කළ යුත්තේ දකින දේද? නොදකින දෙයක්ද? අප දකින දේ අවිශ්වාසකොට අළුතින් දකින්නට නියමිත දෙයක් දෙස බලන්නට සුදානම්විය යුතුද? අප දකින දේ එසේ අවිශ්වාස කරන්නට හිත හදාගන්නේනම්, නොදකින දේ විස්වාස කරන්නේ කෙසේද යන ගැටළුව අප ඉදිරියේ පවතිනු ඇත. එසේම, ඒ නොදකින යතාර්ථය අපට දකින්නට ලැබේද? එය දකින්නට ලැබෙනතුරු අප කුමක් විස්වාසකරමුද? ආදී වශයෙන් මාධ්‍යය ලෝකය නම් මිත්‍යාව (Illusion) සමග ගණුදෙනුකරන ඕනෑම මනුෂ්‍යයෙකු තුල මතුවන ප්‍රශ්නාවලියක්‌ තිබේ. මන්ද, අප සිරවී හිඳින්නේ පිටවීමේ දොරටුවක් නොමැති මායාකාරී ගුහාවක්‌ තුල (mythological tunnel) බැවිනි. ඒ මායාකාරී ගුහාව වනාහී දේශපාලනය විසින් අත්අඩංගුවට ගන්නා ලද මාධ්‍යලෝකයයි. එනම් අපට පුවත්පතක මුද්‍රිත අකුරු වලින් කියවීමට ලැබෙන තොරතුරු හෝ ගුවන්විදුලි යන්ත්‍රයකින් පිටවන ශබ්ද තරංග ඔස්සේ කණ වැකෙන කතාවක් හෝ රුපවාහිනී තිරය තුළ පෙළගැසෙන රූපාවලියකින් දෘශ්‍යමාන වන සංඥා පෙළකට හෝ එහායින් පවතින යථාර්තයකි.

මෙය සරළව වටහාගන්නට උත්සාහ ගන්නේනම්, මාධ්‍ය භාවිතාව යනු කුමක්දැයි අප ප්‍රථමයෙන් ප්‍රශ්නකරමු. එකී ප්‍රශ්නයට සිවිල් පුරවැසියෙකුගේ සිට ඇකඩමීය අධ්‍යාපනයක් ලත් ශිෂ්‍යයෙක් දක්වා ඕනෑම අයෙකු කුමක් හෝ සරළ පිළිතුරක් ලබා දෙනවා ඇත. එහෙත් එකී ප්‍රශ්නයටම එක් විශේෂණ පදයක් එක් කිරීමෙන්, "දේශපාලන මාධ්‍ය භාවිතාව " යනු කුමක්දැයි යමෙක් ඇසුවහොත්, එය පිළිතුරු දීමට අසීරු නැතහොත් ප්‍රාමානිකව සංකීර්ණ ප්‍රශ්නයක් වනු නොඅනුමානය. එසේනම්, ඇත්තටම කුමක්ද මේ දේශපාලන මාධ්‍යකරණය කියන්නේ? අප විසින් ඒ පිළිබද අවධානය යොමුකළ යුත්තේ, මෙකී වියවුල යම්පමණකින් හෝ විසඳාගත යුතු නිසා මිස,  නුදුරේදී මැතිවරණ සමයක් එළඹීම නිසා නොවේ.

නීතිවේදියෙක් හා දර්ශනයවාදියෙකුවු ඇමෙරිකා එක්සත් ජනපදයේ තුන්වන ජනාධිපති තෝමස් ජෙෆසන් (Thomas Jefferson) විසින් පෙන්නවා දෙන්නේ, නිදහස් මාධ්‍ය පරිසරයක්‌ නොමැති විට මානව නිදහස මුළුමනින්ම අහෝසිවන බවයි. එසේනම්, අප විසින් මුලිකව විමසාබැලිය යුත්තේ මාධ්‍ය භාවිතාව හා දේශපාලන මාධ්‍ය භාවිතාව අතර ඇති ප්‍රාමාණික වෙනසයි. මේ සඳහා නිර්ණායක ලෙසින් ගත යුත්තේ  ජනප්‍රිය මාධ්‍ය නිසා, ජනප්‍රිය මාධ්‍යය යන්නෙන් හැඳින්වෙන්නේ මොනවාදැයි පලමුව හඳුනාගත යුතුවෙයි. ඒ අනුව, පුවත්පත්, ගුවන්විදුලිය, රූපවාහිනිය, කේබල් විද්‍යුත් නාලිකා හා අන්තර්ජාලය සහ අන්තර්ජාල හා සබැඳි සමාජ මාධ්‍ය ලෙසින් මේවා අපට සරලව හඳුනාගත හැකිවෙයි. මෙකී මාධ්‍යයන් දේශපාලනීකරණය වීම හා දේශපාලනය විසින් මාධ්‍ය අත්අඩංගුවට ගැනීම යන්න ප්‍රධාන මාතෘකාවේ කොඳුනාරටියවන නිසා, මෙලෙස දේශපාලණිකරණය වීම වඩා විධිමත් අන්දමින් වටහාගතයුතු වෙයි.  එය විශ්ලේෂණයකිරීමට පෙර, පුරවැසියා වනාහී  දේශපාලන සත්වයෙකු වන නිසා, ඔහු හෝ ඇගේ දේශපාලන ගතිකබව ගොඩනැගෙන්නේ කෙසේද, එය මාධ්‍යය විසින් මෙහෙයවනු  ලබන්නක්‌දැයි ප්‍රථමයෙන්  අවබෝධකරගැනීම වටී.

ඒ අනුව, පුරවැසියා යන සමාජ සත්වයා දේශපාලනජීවියෙකු බවට භෞතිකව පත්වන්නේ, ඔහු හෝ ඇය කිසියම් භූගෝලීය පරිසරයක උපත ලබා උප්පැන්න සහතික ලත් මොහොතේ පටන් වුවත්, එහි කූටප්‍රාප්තික අවස්ථාව එළඹේන්නේ  ඔහු / ඇය සිය ප්‍රථම චන්දය පුරවැසියෙකු ලෙස භාවිතාකිරීම තුලිනි. නමුත් එකී මැදිහත්වීමටත් වඩා තීරනාත්මක මැදිහත්වීම වන්නේ, මානසික වශයෙන් නැතහොත් මතවාදාත්මකව (Ideologically) පුරවැසියෙකු දේශපාලන සත්වයෙකු බවට පරිවර්ථනය වීමයි. එකී පරිවර්තනයට බලපාන්නාවූ හේතු ගණනාවක්‌ ඇතත්, ඒ අතුරින් ප්‍රධාන ඒවා කිහිපයක් අප අවධානයට බඳුන්කළ යුතුවෙයි. ඒවා අතර,  පවුල යන සාධාකය ප්‍රධාන වේ. මන්ද, උපන්දා පටන් ගෘහස්ථ පරිසරයක හැදෙන - වැඩෙන මිනිසා, සිය සුහුඹුල් අත්දැකීම් ගොඩනගාගන්නේ නිවස ආශ්‍රිත පරිසරයෙන් වීමෙනි. ඒ අනුව මව හා පියා නැමැති භූමිකා තුළින්  ඔහු / ඇගේ මුල්ම ලෝකය පිළිබඳව උගෙනගන්නා  පාඩම ග්‍රහණය කරගනු ලබයි. එය විෂයානුබද්ධ දැනුමක් නොවුවත් දෛනික පැවැත්ම, ඇවතුම් හා විස්වාස තුළින් පෝෂණය වුවකි. දෙවනුව, පාසල් අධ්‍යාපනය හා ඒ ආශ්‍රිත අත්දැකීම් තුළින් ද (මූලික පාසැල් අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය), තෙවනුව පුද්ගලයෙකු ජිවත්වන සමාජ වටපිටාව හෙවත් පාරිසරික අත්දැකීම් තුලින්ද, සිවුවැනුව විවිධ සමාජ ආයතන තුලින්ද (ආගමික, සංස්කෘතික, විකල්ප මත ආදී), පස්වෙනුව බාහිර සමාජ මැදිහත්වීම හෙවත්, මාධ්‍යය භාවිතාව, පක්‍ෂ දේශපාලන මෙහෙයුම්, වෘත්තීයසමිති ආදී දේ තුළින් පුරවැසියෙකුගේ දේශපාලන අනන්‍යතාවය හෙවත් දේශපාලන මතවාදය ගොඩනැගෙනු ලැබේ. මේකී පුළුල් චිත්‍රය තුළ අපට පෙනී යන්නේ, මිනිසෙකුගේ ජීවන හරස්කඩ තුළ මාධ්‍යය යනු එක් බලපෑම් පද්ධතියක් පමණක්වන  බවයි. එසේනම්, අප සෑමවිටම පෙර සඳහන් සෙසු හේතූන් පසෙකලා මාධ්‍යයේ හැසිරීමට පමණක් දෙස් තැබීම සාධාරණද? අප විසින් විමසාබැලිය යුත්තේ එකී පසුබිමයි.

අද අප ජිවත්වන ඩ්ජිටල් යුගයේ (Digital age) වෙසෙන මිනිසාගේ මනස මෝහනයක් ලෙසින් මෙහෙයවනු ලබන්නේ මාධ්‍යය විසින්යැයි කීම අතිශයෝක්තියක් නොවේ. විශේෂයෙන්ම අද සමාජ මාධ්‍ය විසින් මිනිසුන්ගේ පෞද්ගලිකත්වය මුළුමනින්ම අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ට පෙර යුගයන් හී හිමිවූ පුද්ගලික අවකාශය (personal space) මේ වනවිට මුළුමනින්ම අහිමිවී තිබේ. ඒ වෙනුවට තමන් විවේකීව ගතකරන පුද්ගලික කාලය පවා,  face book, Twitter, Instagram, snapchat, Tumblr ආදී සමාජ මාධ්‍යය සමග මුහුවී ගත කිරීමට අතිබහුතරයක් මිනිසුන් පුරුදු වී සිටිති. මේ අනුව ඩිජිටල් යුගයට පෙර යුගයන් හී විසු මානවයාට වඩා නව සහශ්‍රකයේ මානවයා  මාධ්‍යය විසින් මුළුමනින්ම පාහේ මානසිකව අත්අඩංගුවට ගත් ඩිජිටල්වාසිකයෙකු (Digital native person) බවට පත්කොට තිබේ. දේශපාලනිකව නව යටත්විජිතකරණයත්,  සාමාජීයව තාක්ෂණික වහල්බවත් යන අන්ත දෙක අතර සිරවී සිටින නුතනයා මේ අදියර දක්වා පරිණාමය වුයේ කෙසේද යන්න මාධ්‍යයයේ පෞර්ශය හඳුනාගැනීම තුළින් අවබෝධකරගැනීම වටියි. ඒ සඳහා අතීතයෙන් උදාහරණ  දෙකක් පමණක් ගැනීම  ප්‍රමාණවත් වේයැයි සිතමි.

1900 දී ආරම්භ වී 1920 වනවිට වඩාත් වර්ධනීය අදියරකට ගොඩනැගුණු රේඩියෝව හෙවත් ගුවන්විදුලිය, ඉන් පෙර මිනිසුන් ඇසුරුකළ පුවත්පත් මාධ්‍යය වෙතින් ආකර්ෂණය උදුරාගත් නිසා, එවකට ලෝකය පුරා මැතිවරණ ව්‍යාපාර සඳහා වඩාත් භාවිතයට ගනු ලැබුවේ ගුවන්විදුලි මාධ්‍යයයි. ඒ අනුව 1932 ඇමෙරිකානු ජනාධිපතිවරණය සඳහා බහුල වශයෙන් පාවිච්චි කරන ලද්දේ එවකට ජනප්‍රියතත්වයේ හිනිපෙත්තේ රැඳුනු ගුවන්විදුලි මාධ්‍යයයි. ඒ අනුව හර්බට් හූවර් (Herbet Hoover) හා ෆ්‍රෑන්ක්ලීන් රුස්වෙල්ට් (Franklin D. Rooseveltut) අතර පැවති මැතිවරණ සටනේ ජයග්‍රහණය හිමිවුයේ රෝද පුටුවක සිට තම ජනාධිපතිවරණ සටන මෙහෙයවූ රූස්වෙල්ට්ටය. ඒ රූස්වෙල්ට්ගේ මැතිවරණ ව්‍යාපාරයේ කිසිඳු අවස්ථාවක ඔහු ආබාධිත පුද්ගලයෙකු බව ජනතාවට හෙළිදරවු නොකර සිටීමට ඔවුන් මැතිවරණ ව්‍යාපාරය තුළ පරිස්සම්වු නිසාය. අද මෙන් රූපවාහිනී හා සමාජමාධ්‍යය කරලියේ තිබූ අවස්ථාවක වූයේනම්, රූස්වෙල්ට්ට එකී ජයග්‍රහණය අත්නොවෙන්නට ඉඩතිබුනු බව දේශපාල විචාරකයින් පෙන්වා දේ . මන්ද, රාජ්‍යනායකයා තේරීමේ විනිශ්චය ජනතාව විසින් ගනු ලබන්නේ සුපිරිසිදු දේශපාලනික තීන්දුවක් ලෙසින් පමණක් නොවන බව අප අත්දැකීමෙන් දන්නා නිසාය.

එලෙසම, ඇමෙරිකානු ජනාධිපතිවරණය තුළ තවත් මෙවැනි මාධ්‍යයේ අනන්‍යතාවය මුල්කොටගනිමින් අවසන් තීරණය වෙනස් වු අපුර්ව නිදර්ශනයක් දේශපාලන ඉතිහාසය තුළ සනිටුහන් වේ. ඒ, ඇමෙරිකාවේ 35 වෙනි ජනාධිපතිවරයා තෝරාපත්කරගැනීම සඳහා පවත්වනලද ජනාධිපතිවරණයේ තරඟකරුවන් ලෙස ඉදිරිපත්වන ලද දේශපාලනඥයින්  දෙදෙනෙකු විෂයෙහිය. 1960 වසර ඇමෙරිකානු ජනතාවට තීරනාත්මක මැතිවරණ අත්දැකීමක් ලබාදුන් වර්ෂයකි. සෙනට්සභිකයෙකු වු ජෝන් එෆ් කෙනඩි හා හිටපු උප ජනාධිපතිවරයෙකුවූ රිචඩ් නික්සන් අතර වු මැතිවරණ සටන සැමගේ අවධානය දිනාගත් උණුසුම් සටනක් බවට පත්ව තිබිණි. ඒ වනවිට ගුවන්විදුලි මාධ්‍යය අතික්‍රමනයකරමින් රූපවාහිනී මාධ්‍යය ලෝක කරලියට පැමිණ තිබූ අතර, විද්‍යුත් මාධ්‍යය වු රූපවාහිනී මාධ්‍යය සේම වඩා මිලෙන් අඩු ගුවන්විදුලි මාධ්‍යයත් මැතිවරණ ව්‍යාපාරය සඳහා යොදාගනුලැබ තිබින. ඇමරිකානු මැතිවරණයන් හී අදටත් වඩා ජනප්‍රිය තරඟ සටනක් වු  තරඟකරුවන් දෙදෙනා මුහුණට මුහුණ සටන්වදින අවසන් විවාදය වෙනුවෙන් ඇමරිකානු චන්දදායකයින් දැඩි කුතුහලයකින් යුතුව පෙරමග බලාසිටීන්නේ එය මැතවරණ ව්‍යාපාරයේ තීරනාත්මකම අවස්ථාව වන බැවිනි. අදාළ මොහොත සමස්ථ ඇමරිකාව පුරා ජනතාව සඳහා විසුරුවාහැරීම වෙනුවෙන් රූපවාහිනී මාධ්‍යය සේම ගුවන්විදුලි මාධ්‍යයද භාවිතා කරන ලද්දේ, රූපවාහිනී යන්ත්‍ර නොමැති ජනතාවටත් එම අවස්ථාව අත්දැකීමට සලස්වමිනි. ඒ අනුව අවසන්  විවාදයේදී  තරඟකරුවන් දෙදෙනා අතර කරට-කර උණුසුම් සටනක් පැවති අතර, රිපබ්ලිකන් අපේක්ෂකයා වු නික්සන් විසින් ඉතා ප්‍රහාරාත්මක  සටනක නිරත වු බව වැඩිදෙනාගේ මතය විය. ඒ අනුව ගුවන්විදුලි මාධ්‍යය ඔස්සේ මෙකී සංවාදය ශ්‍රාවනය කළ පැරණි පරම්පරාවේ වැඩිහිටි චන්දදායකයින් අවිවාදයෙන් යුතුව පිළිගෙන ඇත්තේ නික්සන් විසින් සංවාද සටන ජයග්‍රහණයකොට ඇති බවයි. නමුත් සමගාමී රූපවාහිනී විකාශය ඔස්සේ මෙකී සංවාද සටන නැරඹු තරුණ පරම්පරාව විස්වාසකරන ලද්දේ, විස්වාසයෙන් යුතුව සන්සුන්ලෙස සටනට මුහුණදුන් තරුණ සෙනට්සභිකයා තුලින් පළවු ආත්ම විස්වාසය නිසා ඔහු වඩා ඉහලට එසවුන බවයි. ඒ තුලින්  ඔහු පිළිබද ජනතාව අතරේ විශ්වාසයක් ගොඩනැගුනු අතර මෙය වඩාත් හොඳින් නිරීක්ෂණය වී ඇත්තේ රූපවාහිනී තිරය මත සටහන් කෙනඩිගේ  ශරීරික විලාසය  (Body language) තුළිනි. අවසන් මැතිවරණ ප්‍රතිපල තුලින්ද එකී නිරීක්ෂණය තහවුරුකරමින් තියුණු සටනකට පසු තීරනාත්මක ලෙස ජයග්‍රහණය කිරීමට කෙනඩි සමත්වූයේ, මාධ්‍ය ශක්තිය මොනවාට පැහැදිලිකරමිනි. මේ නිසාම රටක අවසන් දේශපාලන තීන්දුවකට මාධ්‍ය භාවිතාව කෙසේ සාධනීය හෝ නිශේධනීය පසුබිමක් සකස්කරනවාද යන්න පැහැදිලි වේ.

මාධ්‍යයන්ට ආවේනිකවු අනන්‍යතා ලක්ෂණ සමග ගොඩනැගෙන ප්‍රභලත්වය නිසාම දේශපාලන අධිකාරිත්වය විසින් මෙය අනියම් ආකාරයෙන් මෙහෙයවීම දේශපාලන මාධ්‍යකරණය තුළින් බහුලලෙස සිදුවන බව අමුතුවෙන් කිවයුතු නොවේ. එවිට සරළ මෙහෙයුමක් වු මාධ්‍ය භාවිතාව විසින් සංකිර්ණ බළ ධුරාවලියක් ප්‍රක්ෂේපනය කිරීම දක්වා වර්ධනය වීම වැලැක්විය නොහැකි යතාර්ථයක්‌ බවට පත්වෙයි. ඒ මත මාධ්‍යය විසින් දේශපාලන ප්‍රවෘති හා දේශපාලන මතවාද සමාජගත කිරීම ආකාර කිහිපයකින් සිදුකරනු ලබයි. ඒ අනුව, නිත්‍යානුකූල තොරතුරු හා දත්ත පදනම්කරගත් (Based on official information) ප්‍රචාරනය, නිත්‍යානුකූල නොවූ එහෙත් ගැඹුරු පදනමක්‌ සහිත තොරතුරු මත (Based on deep background) පදනම්ව කරන්නාවූ ප්‍රචාරය, නිත්‍යානුකූල ලෙස රාජ්‍ය විසින් නිකුත්කරනු නොලැබුවත් පිළිගතහැකි සාධනීය පසුබිමක් මත පදනම්ව (On a reasonable background) කරන්නාවූ ප්‍රචාරය, නිවැරදිය යන විස්වාසය මිස  ප්‍රායෝගික සාධක හා දත්ත පදනම්නොකරගනිමින්  (Off record information) කරන්නාවු ප්‍රචාරයන් ආදී වශයෙන් මෙය ආකාර කිහිපයක් ඔස්සේ සිදුකරනු ලබයි. මෙකී අවස්ථාවන්හී යතාර්ථය අඩු - වැඩි වශයෙන් වෙනස්කිරීම් හා සංශෝධනයකිරීම් වලට යටත්වන අතර, මීට වඩා බරපතල හානියක් කළ හැකිවන්නේ ප්‍රතිරූපණය (recreate) කරනලද යතාර්ථය තුළින් බව පැහැදිලිය.

ප්‍රතිරූපණය කරන ලද යතාර්ථය වනාහී වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අධිපති මතවාදයක් වන අතර, ඒවා දේශපාලන ප්‍රවාද (propaganda) හා දේශපාලන වෙස්ගැන්වීම් (Political makeovers) ලෙස වරනැගිය හැකිවෙයි. මෙය ඉතා සුක්ශම ලෙස කරන්නාවූ  සංදර්ශනයක් වන අතර මේ ඔස්සේ ඉල්ලක්ක කරන්නේ පොදු ජනතාවගේ මනසේ පාලනය මාධ්‍යය ඔස්සේ දේශපාල අධිකාරීත්වය වෙත නතුකරගැනීමයි. මෙය එක්තරා අන්දමක මනෝවිද්‍යාත්මක මෙහෙයුමක්‌ වන අතර, ජනතාව ඒ තුළින් තම අදහස් හා මතය (Public opinion)වෙනස්කරගනු ලබන්නේ තමාගේ දැනුමින් තොරවය. ඒ නිසාම නුතන ලෝකය විසින් මාධ්‍යය යනු හතරවන පාලනඅධිකාරිය (fourth estate) ලෙස හඳුන්වනු ලබන අතර, මෙම හතරවන පාලන අධිකාරිය විසින් මේ මොහොතවනවිට ලොව පුරා ආණ්ඩු පෙරලීම, නායකයින් ඉපද්දීම, ජාතික ආර්ථික හැසිරවීම, ජනතා බලය මෙල්ලකිරීම පමණක් නොව බොහෝවිට ආගමික මතවාද ගොඩනැගීම හා බිඳහෙලිම ආදී මිනිසුන්ගේ අති පෞද්ගලික මනෝමුල කළාපවලට පවා බලපෑම් කරමින් හිඳී.

ප්‍රකට ලේඛිකාවක් වු එවිටා ඔෂෙල් (Evita Ochel) විසින් මේකී විශාල පරාසය තුළ පුරවැසි බලය සිරවී ඇති ආකාරය මෙසේ දක්වා  තිබේ. 

" මාධ්‍ය අධිකාරීන් විසින් ඔබේ මනස කොතරම් ශූක්ෂම ලෙස ග්‍රහණයට නතුකරගෙන ඇත්තේද යන්න ඔබ විසින් වටහා නොගන්නාතාක්, ඔබ නොදැනුවත්ව කාගේ හෝ බළ ක්‍රිඩාවක රූකඩයක් ලෙස තවදුරටත් ක්‍රියාකරනු ඇත " (Until you realize how easy it is for your mind to be manipulate by media authorities, you remain the puppet of someone else's power game) 

ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද 

Comments