Sathjana 2020.

Sathjana 2020.
SJB ප්‍රවෘත්ති සදහා මෙම ඛේතය "ක්ලික්" කරන්න.

නිදහස සහ වහල්භාවයට එරෙහි ප්‍රජාතන්ත්‍රවාදී දර්ශනය - 2

නිදහස පිළිබඳ පවතින පෘථුල දාර්ශනික කතිකාව වෙත නැවත එබී බැලීම හා නිදහස පිළිබඳ දර්ශනය භාවිතාවක් බවට පත්කර ගැනීමේ දේශපාලනය පිළිබඳ සිතීම මෙම සටහන් පෙළේ අරමුණයි. ඒ සඳහා ආරම්භයක් ලෙස නිදහස පිළිබඳ හෙගලියානු චින්තනය සමඟ ඉදිරියට ගමන් කිරීමට අපගේ පළමු සටහනින් යෝජනා කළෙමු. ලිබරල් දේශපාලන පර්යාය (liberal political order) අර්බුදයට ගමන් කිරීමත්, කොවිඩ් ජීව දේශපාලන සිර ගෙයෙන් පිටවීමේ මඟක් සෙවීමේ අවශ්‍යතාවයත්, එමෙන්ම නව ලිබරල් සහ ජාතිවාදී දේශපාලන තර්ජනය සමඟ ගැටීමේ දීත් අපට නිදහස පිළිබඳ පුළුල් දාර්ශනික කතිකාවක අවශ්‍යතාවය ගෝලීය වශයෙන් ඇතිවූ යුගයක් වශයෙන් වර්තමානය හඳුනා ගත හැක.

එසේම ලෝක බල දේශපාලනයේ යථාර්තයක් වශයෙන් ඉදිරියේ දී ඇතිවීමට නියමිත කලාපීය මහ බලවතුන් (regional great powers) ගේ ගැටුම් වල දී මානව ශිෂ්ටාචාරයක් වශයෙන් අප සිටිය යුත්තේ කිසියම් පිලක් සමඟ ද ? නැතිනම් නිදහස පිළිබඳ ප්‍රජාතන්ත්‍රවාදී දර්ශනයෙන් පන්නරය ලබන දේශපාලන ස්ථාවරයක ද යන්න තීරණය කිරීමට ද සිදුවනු ඇත. එමතුදු නොව දේශීය වශයෙන් මෙරට රාජ්‍යය පද්ධතියට එල්ලවී ඇති අධිකාරිවාදී දේශපාලන තර්ජනය (threat of authoritarian politics) සමඟ පොර බැදීමේ දීත් අපට මූලික වශයෙන් නිදහස පිළිබඳ පොදු දාර්ශනික පෙළඹුමක් සහිත අධිකාරීවාදයට සහ ජාතිවාදයට එරෙහි දේශපාලන බලවේගයක් වශයෙන් ගොනුවී ම අනිවාර්ය වෙයි.

දර්ශනයේ නිදහස

සියලු අධිකාරිවාදී සහ ඒකාධිපතිවාදී මුලෝපයන්ට සහ දේශපාලන බලවේගයන්ට එරෙහිව පොදු මනුෂ්යත්වයක් කරා මිනිස් සමාජය මෙහෙය වන නැතිනම් 'මිනිසා තුළ පවතින 'ස්වායත්ත සබුද්ධිකතාවයට' (autonomous rationality) ගරු කරන, දර්ශනය විසින්ම නිදහස සාදන, සියළු වහල්භාවයන්ට එරෙහි දේශපාලනයක අවශ්‍යතාවය අප හමුවේ තිබේ. එබැවින් දර්ශනයේ දුගීභාවයට එරෙහිව සහ සර්වාධිකරාවාදයට (totalitarianism) එරෙහිව නැවත දර්ශනය සමඟ දේශපාලන හා මානුෂීය නිදහස ගවේෂණය කිරීමේ අනිවාර්යතාවය අප ඉදිරියේ පවතී. එම ඓතිහාසික තත්වය තුළ සිටගෙන සිදුකළ යුතු ක්‍රම විරෝධය නම් දර්ශනය නැවත සොයා යාම (return to philosophy) සහ මානව විමුක්තිය උදෙසා එය භාවිතා කිරීමයි. එහි දී අපගේ පළමු කර්තව්‍යය වන්නේ බල දේශපාලනය (power politics) වෙනුවට දර්ශනයේ දේශපාලනය ගවේෂණය කිරීමයි. මෙහිදී හේගල් වැනි දාර්ශනිකයකු වෙතින් ලබාගත හැකි ආලෝකය ඉමහත් බව නැවත මතක් කර ගනිමින් අපගේ සටහන් පෙළවෙත යොමුවෙමු.

ලිබරල් නිදහස

හේගල්ගේ දර්ශනයට පිවිසීමේ දී නිදහස පිළිබඳ ලිබරල් සහ කාන්ටියානු (ඉමානුවෙල් කාන්ට් Immanuel Kant) මතයන් පිළිබඳ දළ අවබෝධයක් ලබා ගැනීම සමහර විට අප දැනටමත් දන්නා අදහස් කිහිපයක් සිහි කැඳවා ගැනීමට හේතුවිය හැකි සේම අවශ්‍යය ද වෙයි. මන්ද ලිබරල් දර්ශනයේ මූලික පදනමක් වන පුද්ගලවාදයෙන් හේගල්ගේ දර්ශනය වෙනස් වන්නේ කෙසේද පිලිබඳව සිතා බැලීමට ද එය උපකාරී වන බැවිණි.

පුද්ගල නිදහස පිළිබඳ මූලික ලිබරල්වාදී අදහසක් සඳහා තෝමස් හොබ්ස්ගේ අදහසකට පළමුව යොමුවෙමු. හොබ්ස්ට අනුව 'නිදහස්-මිනිසා යනු සිය බුද්ධිය සහ ශක්තිය යොදවා ක්‍රියා කළ හැකි, එසේම ඔහුගේ/ඇයගේ අභිප්‍රාය ක්‍රියාත්මක කිරීමට බාධාවක් නොමැති අයෙකි'. සරලව බාධාවකින් තොරව කටයුතු කිරීමේ හැකියාව' නිදහස යනුවෙන් හොබ්ස් විසින් ගෙන එන මතයේ හරයයි. ලිබරල්වාදයට අනුව ද භාහිර බාධාවකින් තොරව හෝ අවම බාධාවන් සහිතව යමෙකුට තමන්ගේ තේරීමට අනුව ක්‍රියා කිරීමට හැකි නම් එම තත්වය නිදහස වශයෙන් හැඳින්වෙයි.

එවැනි ආකාරයේ නිදහස "සෘණාත්මක නිදහස" වශයෙන් සංකල්ප ගතව තිබේ. එම නිදහසේ සාරය පවතින්නේ භාහිර නැතිනම් අනෙක් පාර්ශ්වයක බාධාවක් නොමැති තත්වයක් පැවතීම තුළය. 'යමෙකු කුරුල්ලෙකු මෙන් නිදහස් නම්' එයින් අදහස් වන්නේ බධා විරහිත සෘණාත්මක නිදහසක ස්වරූපයයි. නමුත් සතුනට මෙන් නොව මිනිසාට ඇය සමාජීය සත්වයකු වීම කරන කොටගෙනම සමාජය හා දේශපාලනය නමැති ව්‍යුහය තුළ සිය නිදහස සපුරා ගැනීමට සිදුවෙයි. කෙසේමුත් නිදහස පිළිබඳ ලිබරල් 'සංකල්පනය ඉතාමත් සරළ සහ එපරිදිම් එතරම් බලගතු අදහසක්' නොවන වග පැහැදිළිවෙයි. සාමාන්‍යයයෙන් නිදහස පිළිබඳ පොදු සරළ මතිකයක් ලෙස එම අදහස පවතින නමුත් එතුළ විශාල දේශපාලනික වැදගත්කමක් පවතියි. රාජ්‍යය සහ කේවල පුද්ගලයා අතර පැවතිය යුතුයයි ලිබරල්වාදය විසින් අනු දක්නා සම්බන්ධතාවයේ ස්වරූපය දෙස බලනවිට මෙම අදහසෙහි පවතින දේශපාලන ශක්‍යතාව පැහැදිළිවෙයි.

එහිදී අපට ලිබරල් වාදයේ මූලික විශ්වාසයන් දෙකක් හමුවේ. පළමුව, ලිබරල්වාදීන්ට අනුව 'ආණ්ඩුවක් පැවතිය යුත්තේ එහි ජනතාවගේ නිදහස ආරක්ෂා කිරීම සඳහාය'. දෙවනුව, අප දැනටමත් සාකච්චා කළ පරිදි, නිදහස සැකසෙන්නේ වන්නේ අවම බාහිර බලපෑමකින් යුතුය ක්‍රියා කිරීමට පුදගලයන් සතු හැකියාවෙනි. මෙම අදහස් ඉතා දැඩිව තම දේශපාලන භාවිතාව තුළට අනුගත කොට ගත් දේශපාලන පක්ෂ (ඇමරිකාවේ රිපබ්ලිකන් පක්ෂය වැනි) බොහෝ විට ක්‍රියාත්මක වී ඇත්තේ හැකි තරම් රාජ්‍යය විසින් මහජන කක්ෂයට ආණ්ඩුව මඟින් සිදුකරන භාහිර අවහිරතාවයන් (ආණ්ඩුවේ මැදිහත්වීම) අවම කිරීමට ක්‍රියාත්මක වීමයි. ආණ්ඩුවේ කාර්යය භාරය ඉහළ යන විට ජනතාවගේ නිදහස සීමාවනවා ය යන දර්ශනය දැඩි ලෙස අනුගමනය කරන එම පක්ෂයේ නායකත්වය යටතේ (ඩොනල්ඩ් ට්‍රම්ප්) කොරෝනා වැනි ව්යසනයක් මැඩීමට පවා ක්‍රියාත්මක වී ඇත්තේ එක් ආකාරයකින් එය ආණ්ඩුව විසින් ජීව-දේශපාලන බලය (bio-political power) (පුද්ගල ශරීරය හා එහි සංචලනය පාලනය කිරීම) යොදා නොගත යුතුය යන ස්ථාවරයක සිටගෙනය. එහි ප්‍රතිඵලය කෙසේවෙතත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට වඩා රිපබ්ලිකන් පක්ෂය විශ්වාස කරන්නේ ආණ්ඩුව ජනතාවගේ බොහෝ විෂයන් වලදී මැදිහත් නොවිය යුතු බවය. එහි ප්‍රතිඵලයක් ලෙස ආණ්ඩුව මැදිහත්වී සිදුකරන සේවා විශාල වශයෙන් අඩුකළ අතර, ඒ සඳහා වන අයවැය වියදම් කපා දැමීමට යොමුවිය. අදවන විට ආණ්ඩුවේ මූලික කාර්ය භාරය වශයෙන් ඔවුන් සලකන්නේ ඉතාමත් සීමිත ප්‍රදේශයකි.

ඒ අනුව ආණ්ඩුව විසින් ජාතික ආරක්ෂාව සපයමින් ජාත්‍යන්තර වශයෙන් පවතින තර්ජන වලින් ජනතාව ආරක්ෂා කර ගැනීමත්, දේශීයව පවතින තර්ජනයන්ගෙන් ජනතාවගේ නිදහස ආරක්ෂා කරදීම සඳහා පොලීසිය සහ සිරගෙවල් ක්‍රියාත්මක කරවීමත් පමණක් කළ යුතුය. මෙහි දී ආරක්ෂාව සැපයීම යන විෂය පමණක් දක්වා ආණ්ඩුවේ භූමිකාව ලඝු වී ඇතිබව පැහැදිළිය. ඉතා දැඩි ලෙස මෙම ප්‍රතිපත්තිය බුද්ධිමය එළඹුමක් ලෙස රිපබ්ලිකන් පක්ෂය විශ්වාස කරන අතර මෑතකාලීනව කොංග්‍රසය තුළ ඔවුන් ලබාගත් බහුතර බලයට බලපෑ හේතුවක් ලෙස මෙය හඳුනා ගැනේ. 1994 දී හා 2014 න් පසුව රිපබ්ලිකන් පක්ෂය කොංග්‍රසයේ බලය ආක්‍රමණය කොට ඇත. එහි දී ජාතික ආරක්ෂාව සහ අවම ආණ්ඩුවේ මැදිහත්වීම නැතිනම් ආණ්ඩුවේ කාර්යභාරය අවපරිමාණ කිරීම ප්‍රතිපත්තියක් ලෙස බහුතරය විසින් අනුමත කෙරිණ. මෙම තත්වය පිළිබඳව හා එයට එරෙහිව පවතින විචාර පිළිබඳව අවධානය යොමු කිරීම අවශ්‍යය වුවත් නිදහස පිළිබඳ කාන්ටියානු දර්ශනයට මීළඟට මඳක් යොමුවෙමු.

Immanuel Kant
කාන්ටියානු නිදහස

කාන්ට් මූලික වශයෙන් ලිබරල් දර්ශනයට විවේචනයක් ගෙන එයි. ඔහුට අනුව 'අවම භාහිර බලපෑමකින් යුතුව (minimal external constraints) පුද්ගලයාට තමන් කැමති ලෙස ක්‍රියා කිරීමට හැකිවීම අත්‍යාවශ්‍යය නමුත් ප්‍රමාණාත්මක නොවන තත්වයකි'. කාන්ට්ට අනුව නිදහස සකස්වන්නේ පුද්ගලයාට කැමති පරිදි ක්‍රියාත්මක වීමට ඉඩ ලබා දීමෙන් නමුත් එම 'පුද්ගල කැමැත්ත' (individual choices තෝරාගැනීම/වරණය) පිළිබඳව පුද්ගලයා වගකිව යුතුවෙයි. එවැනි වගකීමක් (responsibility)දැරීම සඳහා පුද්ගලයාට පවතින ධාරිතාව තීරණය වන්නේ ඇය 'නිදහස් අභිමතය (අභිප්‍රාය)' මඟින් බලසතුකරණය වී තිබීම මතය. මෙහිදී 'නිදහස් අභිමතය' (free will)යනු 'අඩුම තරමින් පුද්ගලයාගේ සමහර තෝරාගැනීම් ප්‍රමාණයක්වත් භාහිර හේතු සාධක මඟින් තීරණය නොවී (පුද්ගල ආශාව ද desires එයට අයත්ය) එම අභිප්‍රාය විසින් ගරු කෙරෙන විශ්වීය සදාචාරමය නීතීන් (universal moral laws) ට අනුව ඇතිවිය යුත්තකි.

මීළඟට ගෝඨාභය සහ ට්‍රම්ප් අතර පවතින වෙනස.....

අතුලසිරි සමරකෝන්
දේශපාලන විද්‍යා කථිකාචාර්‍ය්
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය.
smsa@ou.ac.lk 

Comments