Sathjana 2020.

Sathjana 2020.
SJB ප්‍රවෘත්ති සදහා මෙම ඛේතය "ක්ලික්" කරන්න.

සංස්කෘතික යාගය - Cultural Yaajna

කෙටියෙන්..
පසුගිය සතියෙහි සාකච්චා කළ පරිදි 'යල් පිනූ අදහස් වලින් විකෘති වූ දූපත්වාසීන්ගේ සමකාලීන කලාව' යාවත්කාලීන කරගැනීම අරබයා කලාව තුල මුල් බැස ගෙන ඇති මිත්‍යාවන් පුපුරවා හැරීම 'සංස්කෘතික යාගය' (Cultural Yaajna) හිසින් ලියවෙන මෙම ලිපි මාලාවෙහි මූලික කාර්ය ලෙස සැලකිය හැකි බව දැන් ඔබ දන්නවා. (හෝ ඇතැම්විට නොදන්නවා වෙන්නත් පුළුවන්) ඒ කෙසේ වෙතත් කලාව තුල මුල් බැස ගෙන ඇති මිත්‍යාවන් බිද හෙළමින් ඒ හරහා විවර වන ඉඩෙන් පොදු රසිකයා කලාව තුලට ඇතුළු කර ගැනීම මෙම ලිපි මාලාවෙහි අරමුණ බව ඔබට සිහිපත් කරන්නට කැමතියි. මේ උත්සාහය ඔබේ විශ්වාස පද්ධතියට පහර දීම නොවන මුත් කලාව මිත්‍යාවෙන් වෙන්කර ගැනීමේ මෙම සංස්කෘතික යාගය (Cultural Yaajna) ඔබේ විශ්වාස පද්ධතියට ඇතැම් විට 'විෂ සහිත විය හැකි බව' සිහිපත් කරන්නෙ සද් සිතින්. මක් නිසාද යත් කලාව යනු ශුද්ධ වූ යමක් නොවන නිසා! කලාව යනු මිනිසාගේ සිතීමේ අග්‍රපලය නම් කලාව තුළ ද මිනිසා තුළ ඇති සියලු දුර්වලතා තිබිය හැකි බැවින් සැබවින්ම එය කොහෙත්ම 'ශුද්ධ වූ යමක්' විය නොහැකි වන අතර ඇතැම් විට එය 'විෂ සහිත' ද විය හැකියි.

කලාව කියන්නෙ ශුද්ධ වූ යමක් නොවේ නම් කුමක් විය හැකිද?
ඔව්, ඔබේ ප්‍රශ්ණය ඉතාම සාධාරණයි. කලාවේ වැඩ බිම මිනිස් මනස උනත් කලාව යතාවක් වෙන්නෙ මහා පොළොවට පතිත වීමත් සමග. මට අනුව නම් මහපොළොවට පතිත වීම කියන්නෙම ඉතින් වෙළදපොල තුළට ඇතුළුවීමම තමයි. මගේ යෝජනාව මේකයි.. කලාවට වටිනාකමක් ලැබෙන්නෙ එතනින්! සමාවෙන්න, ඔබේ feelings වලට hurt උනා නම්.. මම පුද්ගලිකව විශ්වාස කරනවා කලාවෙහි 'රන්' මාත්තුව තැනෙන්නෙ බලය හා ප්‍රාග්ධනය හරහා බව. ඔබ දැන් මගෙන් අසාවි කලාව කියන්නෙ 'මිනිසාගේ සිතීමේ අග්‍රපලය' නම් කලාවයි වෙලදපොලයි අතර මේ කියන සම්බන්ධය මොකක්ද කියල.. හොදයි කලාව කොහොමද වෙළදපොළ තුළට  ඇතුළු වෙන්නෙ කියල දැන් අපි  බලමු.. අතීතයේදි කලාව පල්ලියේ ආධිපත්‍යයෙන් ගැලවිලා වැටුණෙ 'මර්කන්ටයිල් කැපිටලිස්ට්'ල ගෙ ඔඩොක්කුවටය කියනෙක ඔබ දන්නවා ඇතිය කියල මම විශවාස කරනව. ඉතින් මේ විදියට කලාකරුවාව ආගමික භක්තියේ දැවැන්ත ඉන්ද්‍රජාලික දැලෙන් මුදවා ගන්නා මර්කන්ටයිල් ඉෂ්ඨ දේවතාව 'සිතීමේ අග්‍රපලය' ට වහාම මිලක් නියම කරනව, ඒ අනුව කෘතියේ මිල කලාකරුවගෙ වටිනාකමට තීරණාත්මකව බලපෑම් කරනව. හරියට ප්‍රත්‍යාවර්තිත ප්‍රතික්‍රියාවක් වගේ. රොකට් සයන්ස් නෙමේ. මේක අපි හැමෝම දන්න සරල සූත්‍රයක්!

බිට් කොයින්.
එහෙම වෙන්න පුළුවන් ද? ඔබ අහවි.. ඔව්, පුළුවන් - එහෙම තමා වෙන්නෙ. ඉතින් එහෙම මිළක් නියම වෙනවා කියන්නෙම කලාව ප්‍රාග්ධනයේ බල ක්ෂේත්‍රයට ඇතුලු උනා කියන එක. සමහර කලාකාරයො හම්බ කරන්නෙ සල්ලි. සමහරු හම්බ කරන්නෙ symbolic value එක. සංකේතීය වටිනාකම්.. ඒව හරියට බිට් කොයින් වගේ, තමන් කැමති දේශපාලන ව්‍යාපාරයකට ආයෝජනය කරන්න පුළුවන්. ඔය හුගක් කලාකාරයො කරමින් ඉන්නෙ ඒ වැඩේ තමා. ඉතින් ඒකේ වරදකුත් නෑ, ඒගොල්ල උපයපු දේ ඒ ගොල්ලන්ට ඕන විදියට ආයෝජනය නොකර අපිට ඕන විදියට ආයෝජනය කරන්ඩ යැ.. ප්‍රශ්ණෙ ඒක නෙමේ, තමනුත් ඒක කරන ගමන් අනුන්ට ඇගිල්ල දික් කරනෙක. (තමන්ගෙ මට්ටම් තම්මැට්ටම් කියල කියනව නේ.. හැබැයි ඉතිං අපිට නං කඩේ යන කොයි කලාකාරයත් එකයි!!) ඉතින් කොයි පැත්ත  බැලුවත් රුපියල රුපියලම තමා. නෝන-පොල්ල කියල වටිනාකමේ වෙනසක් නෑ. දැන් ඩොලර් එකකට රුපියල්ම 188.22ක්. මස්තබාල්දුයි! (සමහර කලාකාරයොත් ඉතින් රුපියල වගේ තමා) ඔන්න ඕක තමා අපේ රටේ කතාව. ඒ කතාව කොහොම උනත් කලාව කියන්නෙ බලය හා ප්‍රාග්ධනය සමග අතිශය ලෙස තදාසන්න බැදීමක් සහිත කලාපයක ස්තානගතව පවතින දෙයක් කියන කතාවට දැන් නම් මම හිතන්නෙ ඔබත් එකග වේවි. වෙන් වෙන්ව - නමුත් එකට. හරියටම හරි, කොවිඩ් 19 අපිට හිතන්න පුරුදු කරන 'සිතීමේ චක්‍රය' වගේ. ඈතින්.. නමුත් එතරම්ම ළගින්! ළගින්.. නමුත් එතරම්ම ඈතින්!!

වෙන් වෙන්ව - එකට.
කලාව බලයෙන් සහ ප්‍රාග්ධනයෙන් වෙනකොට ගත හැකිද යන ප්‍රශ්ණය මම ඔබෙන් ඇසුවොත් ඔබ මට දෙන්නෙ මොන වගේ උත්තරයක් ද.. 'ආගම, කලාව, විද්‍යාව, දර්ශනය.. යනාදියෙහි පරම අධ්‍යාශය මිනිසාට සේවය කිරීම' බව සමහර විට ඔබ කියාවි. නමුත් එය යතාර්තෙන් ඔබ්බෙහි ඇති 'ප්‍රවාදයක්' බවයි මගේ පුද්ගලික අදහස. කලාව බලයෙන් සහ ප්‍රග්ධනයෙන් වියුක්ත කිරීමේ අපහසුව නිසාම කලාකරුවා බලධූරාවලියේ කොටසක් වනවා සේම ප්‍රාග්ධන හිමිකරුවන්ගේ ගොදුරක් වෙන්න තියෙන ඉඩකඩත්  වැඩියි. පහුගිය සතියෙ අපි අවසන් කළේ හරියටම මෙන්න මේ බලධූරාවලිය කියන තැනින්.. කලාව සෑහෙන තරම් කාලයක් මේ කියන බලධූරාවලිය ඇතුළෙ නැත්නම් ඒ යටතෙ තුබූ බවත්, වර්තමාන ලෝකය මේ තත්වයෙන් බොහෝ දුරට වෙනස් ව ඇති බවත්, කලාකරුවා විසින් කල අනවරත අරගලයකින් අනතුරුව පල්ලියෙන් ඒ කියන්නේ ආගමික සංස්ථාවෙන් වගේම රාජ්‍යත්වයෙනුත් කලාව වෙන් වෙලා කැඩිල ඇවිත් අද කිසියම් ස්වාධීනත්වයක් දරාගෙන ඉන්න බවත්, එම ස්වාධීනත්වය ඔවුන් ළගා කරගත්තේ කෙසේද.. එය සැබෑ ස්වාධීනත්වයක් ද.. සමකාලීන කලාව තුල අපේ සහ රටේ ඉරණම කුමක්ද.. යන්න පිළිබදව සාකච්චා කල යුතු බවත් පසුගිය සතියෙ අපි තීරණය කළා. ඔව්, මේ වෙද්දි ඔය කියපු ප්‍රශ්ණ තුන හතරටම ඔබට 'ආසන්න වශයෙන්' පිළිතුරක් ලැබෙන්න ඇති කියල මම විශ්වාස කරනව.

ඉතින්, යූරෝ සෙන්ට්‍රික් ආර්ට් එක ඇතුලෙ අපි තවමත් නිදහස ලබා හෝ ලබා ගැනීමට සිතාවත් ඇත්දැයි මට නම් සැකයි. සමකාලීන කලාව තුළ අපේ රටේ කලාකරුවාගේ කෙසේ වෙතත් කලාරසිකයාගේ ඉරණම නම් ඉතාම සෝචනීය බව නොකියාම බැහැ! ලබන සතියේ යළි හමුවෙමු.

- නදී වාසලමුදලිආරච්චි.

*මෙම ලියවිලි වල අන්තර්ගතයන් ඇතැම්විට ඔබේ විශ්වාස පද්ධතියට හානි කර විය හැකි බැවින් ඔබ දැනටමත් දැඩි ලෙස 'කිසියම් විශ්වාස පද්ධතියක' එල්බ සිටින අයෙක් නම් තමාගේ යහපත ගැන කල්පනා කර වැඩිමනත් පරෙස්සම උදෙසා කරුණාකර 'සංස්කෘතික යාගය' (Cultural Yaajna) කියවීමෙන් වැලකී සිටින්න. 

Comments