Sathjana 2020.

Sathjana 2020.
SJB ප්‍රවෘත්ති සදහා මෙම ඛේතය "ක්ලික්" කරන්න.

මහ මැතිවරණය, සෞඛ්‍ය ආරක්ෂණය හා ජාත්‍යන්තර ආදර්ශ

නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ලොව ක්‍රියාත්මක වීම ඇරඹු දා පටන් මැතිවරණ හරහා සිය ජනතා නියෝජිතයින් පත්කර ගැනීමේ අයිතිය පුරවැසියන් සතුවෙයි. එකී අයිතිය උරගාබැලීම සඳහා ව්‍යවස්ථානුකුලව නියමකල කාළවකවානුවකදී මැතිවරණ පැවැත්වියයුතු අතර, නිසි කලට මැතිවරණ පැවැත්වීමේ අවස්තාව හිමිකරගැනීම ජනතාව සතු සිවිල් අයිතියකි. මන්ද, මැතිවරණවලින් තොරව ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන රටක, තම ජනතා අයිතිය බළගැන්වීමට පුරවැසියන්හට නොලැබෙන නිසාය. මෙම නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ අක්මුල්  ග්‍රීක, රෝම දේශපාලන ශිෂ්ඨාචාරයන් තෙක්  මුල්බැසගත්තත්, ජනතා නියෝජිතයින් කිසියම් ක්‍රමවේදයක් ඔස්සේ තෝරා පත්කර ගැනීමේ  මැතිවරණ ක්‍රමය  පළදැරීම 1695 වසර දක්වා ආපස්සට ගමන්ගනියි. එයිනුත් නූතන පාර්ලිමේන්තු සම්ප්‍රදායේ ආරම්භය 18 වන සියවස තෙක් ගමන් ගන්නා ඉතිහාසයක උරුමයක් බව පුරවැසියන් ලෙසින් අප  සියල්ල දැනසිටිමු. නුතන මැතිවරණ සම්ප්‍රදායට අත්පොත් තැබීමේ අයිතිය බ්‍රිතාන්‍යට හිමිවුවත්, පසුව නෙදර්ලන්තයටත්, බෙල්ජියමටත්, පසුව ඇමරිකාවටත් සංසරණය වී, 1947 දී  එය අපගේද අයිතියක් ලෙසට තහවුරු වන්නේ අධිරාජ්‍යවාදී යටත්විජිත පාලන යුගයන් හී නිමාවත් සමගය.

ඒ ඓතිහාසික මැතිවරණ සම්ප්‍රදාය ඔස්සේ පැමින, 2020 මහ මැතිවරණය පසුගිය අප්‍රේල් 25 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබූමුත්, කෝවිඩ් පැන්ඩමිකය විසින් එය වලකාලූ නිසා, ජුනි 20 දක්වා ඉදිරියට තල්ලුවී ගියද, ඒ බලාපොරොත්තුවත් පළනොදරන ලද්දේ වසංගත ව්‍යාප්තියේ අඩුවීමක් මේ දක්වා දකින්නට නොලැබෙන  නිසාවෙනි. මේ මොහොතේ අධිකරණයේ ඇසෙමින් පවතින නඩු නිමිත්ත අවසන්වනතුරු තවදුරටත් මැතිවරණය සඳහා දිනයක් නියමකිරීම අවිනිශ්චිත තත්වයක පවතියි. ඉදිරි එළඹෙන මාසයක හෝ මාස දෙකක කාලය තුළ වුවත් මහජනයා ඒකරාශීකරවමින් මැතිවරණයක් පැවැත්වීමට මේ මොහොත සුදුසුද යන තත්වය විමසාබැලීමටත් වඩා, මැතිවරණයක් නිසි ආරක්‍ෂිත පියවර අනුගමනය කරමින් පැවැත්වීමේ වගකීමට රටක් ලෙස අප උරදෙන්නේ කෙසේද යන ප්‍රශ්නයට පිළිතුරු සෙවීම වඩා පදනම්සහගත යැයි අපට සිතේ. මන්ද, කෝවිඩ් පැන්ඩමිකය තුළ මැතිවරණ අත්දැකීමට මුහුණදුන් අත්‍යාසන්න ආදර්ශ ලෙසින් අපට මුණගැහෙන්නේ, දකුණු  කොරියාවේ පවත්වන ලද මහ මැතිවරණය හා ඇමරිකා එක්සත් ජනපදයේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය යන ජනප්‍රිය නිදර්ශන දෙකයි.

මේ මොහොතවනවිටත් ජාත්‍යන්තර මාධ්‍ය විසින් ඇමරිකානු මැතිවරණය උණුසුම් මාතෘකාවක් ලෙස ජාත්‍යන්තර දේශපාලන සාකච්චා මේසයට රැගෙන විත් ඇත්තේ ප්‍රධාන හේතු කිහිපයක් මතයි. එකී හේතු අතර, කෝවිඩ් රෝග ව්‍යාප්ති  දර්ශකයට අනුව  ඇමෙරිකාව අංක එකට පැමිණ තිබෙන නිසා පමණක් නොව, ලෝක දේශපාලන බළ අධිකාරිත්වයේ කුඹගස මත තමන් නැග සිටින්නේයැයි සිතා හැසිරෙන රාජ්‍ය නායකයෙකුගේ අවිනිශ්චිත ක්‍රියාපිළිවෙතද ලෝක දේශපාලන කරලියට අදාළවන්නාවූ මාතෘකාවක් වන බැවිනි.

එහෙත් රටක් වශයෙන් ගත්කල අපගේ අවධානයට ගෝචර විය යුත්තේ එකී අවශේෂ කාරණාවන් නොව, ද. කොරියාව ඔවුන්ගේ මැතිවරණය පැවැත්වූ පිළිවෙලත්, ඇමෙරිකාව ඔවුන්ගේ මැතිවරණය පැවැත්වීමට සැලසුම් කරන්නාවූ ආකාරයත් යන කාරනායි. මන්ද, ලෝක සෞඛ්‍ය විශේෂඥයින්ගේ මතයට අනුව, තවත් මාස කිහිපයක් හෝ ඇතැම්විට තවත් වසරක්‌ හෝ ඊටද වැඩිකාලයක් මෙම වෛරස තත්වය ලෝකය පුරා ව්‍යාප්තව පවතිනු ඇතැයි අනුමාන කරනා බැවිනි. විශේෂයෙන්ම මෙකී සෞඛ්‍ය උවදුර පැතිරී පවතින අතරවාරයේ අප විසින්ද මැතිවරණය පැවැත්වීමට නියමිත නිසා, මෙවන් අභියෝගයකට අප තාක්ෂණික වශයෙන් මුහුණ දෙන්නේ කෙසේද යන්න පිලිබඳ අවධානය යොමුකළ යුත්තේ මේ මොහොතේ පටන්ය. එසේ නොමැතිව අප සමස්ථ සමාජයම අනතුරේ හෙලා අපරික්ෂාකාරී ලෙස මැතිවරණයක් පැවැත්වීමට හෝ තවදුරටත් වෛරසයට බියෙන් දිගින් දිගටම මැතිවරණය කල්දැමීම හෝ නොකළයුතු බැවිනි.

පසුගිය අප්‍රේල් 15 වෙනිදා පවත්වන ලද ද. කොරියානු මැතිවරණය පවත්වන්නට යෙදුන ආකාරය මෙහිදී අප විමසාබැලීම වටින්නේ, ද. කොරියානු මැතිවරණය සඳහා එරට මුදල් වියදම් කළ අන්දමින් අපටද බරපැන දැරිය හැකි නිසා නොවේ. නමුත් කිසියම් රෝගයක්‌ සුව වීමට නිශ්චිත බෙහෙතක්‌ අවශ්‍යනම්, අදාළ රෝගියා කොරියාවේ සිටියත්, ඇමෙරිකාවේ සිටියත්, ශ්‍රීලංකාවේ සිටියත් ඔවුන් සැමගේ රෝග තත්වය සුවවීම සඳහා එකම බෙහෙත අදාළ වේ. එහිදී, කොරියාවේ හෝ ඇමෙරිකාවේ පුරවැසියන්ගේ දළ ජාතික ආදායම හෝ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති වර්ධනය හෝ සංසන්දනාත්මකව වැදගත් නොවන්නේ, එකී කාරණා කිසිවක් වෛරසය නොසලකන බැවිනි.

ඉහත පොදු යතාර්ථයට ජයග්‍රාහීලෙස මුහුණදෙමින්, මිලියන 11 කට අධික චන්දදායකයින් සඳහා කොරියානු රජය විසින් සියළුම චන්ද මාධ්‍යස්ථානයන් හී නවීනතම  උෂ්ණත්වමාපක සමග නිලධාරින් රඳවා තිබුනේ, ශරීර උෂ්ණත්වය මැනබලිමේන් තොරව කිසිඳු පුද්ගලකුට චන්දය  සලකුණු කිරීමට ශාලාවන් වෙත ඇතුල්විම තහනම් කරමිනි. 70, 000 කට අධික සේවක පිරිසක් මේ කාර්යභාරය ඉටුකිරීම සඳහාම යොදා තිබූ අතර, සියළු චන්දදායකයින් විසින් චන්ද කුටි වෙත ඇතුල් වීමට පෙර විෂබිජ නාශක වලින් අත්සේදීමත්, අනතුරුව රජය විසින් ලබාදෙන අත් පළඳනාවක් පැළඳීමත් අනිවාර්යකොට තිබිණ. තවද, බැලට් කරදරහියේ තම මතය සලකුණු කිරීමට පාචිච්චිකරන පැන්සල ද සියලු චන්දදායකයින් විසින් චන්ද මධ්‍යස්ථාන වෙත රැගෙන ඒමත් අනිවාර්‍ය නීති අතරට අනුගතකොට තිබිණි. මැතිවරණ ක්‍රියාවලිය තුල මැතිවරණ නිරීක්ෂකයින් හා මැතිවරණ කටයුතු වෙනුවෙන් සේවයේ නියුතු සියළුම නිළධාරීන් සඳහා විශේෂ ආරක්‍ෂිත ඇඳුම් කට්ටලයක් (ඔක්සිජන් මුහුණු ආවරණ සහිතව) කොරියානු රජයෙන් සම්පාදනයකොට තිබූ අතර, ජනතාවගේ ආරක්ෂාව සේම, රජයේ සේවකයින්ගේ ආරක්ෂාවද උපරිමයෙන් සැලසීම විශේෂයක්‌ වෙයි. ද. කොරියාව මෙලෙස මැතිවරනය පැවැවීමේ දැඩි තීරණය ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය විසින් පෙර විවේචනයට ලක්‌කලද, කොරියානු රජය ඉතා සැලසුම්සහගත අන්දමින් හා විධිමත් ආකාරයට මැතිවරණ මෙහෙයුම ඉටුකළ නිසාම, මැතිවරණයෙන් පසු කිසිඳු මාධ්‍යයක්‌ විසින් එහි දෝෂ වාර්තා නොකිරීම කැපීපෙනුණු ලක්ෂණයක් විය. මෙහිදී, සම්පත් කළමනාකරණය, පිරිස් කළමනාකරණය සේම ප්‍රමිතිගත සෞඛ්‍ය පිළිවෙත් අනුගමනයකිරීම අතින් ද. කොරියාව ඒ මොහොතේ ලෝකයට යහපත් පුරවාදර්ශයක් ඉතිරිකොට තැබීමට සමත්වීම ඔවුන් ලද සුවිශේෂී ජයග්‍රහණයක්‌ බව එරට දේශපාලන බලධාරීන් ප්‍රකාශකරයි.

මේ අතර, එළඹෙන නොවැම්බරයේ ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වීමේ සුදානමින් ඉන්නා ඇමෙරිකාව, මේ වනවිටත් තම මැතිවරණ මෙහෙයුම් ක්‍රියාපටිපාටිය පිළිබද සියළු සැලසුම් මාධ්‍යයට හෙළිදරවුකොට ඇත්තේ තවත් මාස පහකට වැඩි කාලයක් ඔවුන් අත ඉතිරිව තිබියදීය. ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රමුඛ එරට රජය විසින් මැතිවරණ මෙහෙයුම සඳහා සුවිශේෂී නීති පද්දතියක් මේවනවිටත් සැලසුම්කොට තිබේ. ඒ අනුව, කිසිඳු මැතිවරණ මාධ්‍යස්ථානයක ඇතුල් වීමේ හා පිටවීමේ ප්‍රවේශ සඳහා දොරවල් සවිකර නොතැබීමට ඇමෙරිකන් රජය විසින් තීරණයකොට ඇත්තේ, විශාල පිරිසක් දොර අගුළු ස්පර්ශකිරීම තුළින් රෝග ව්‍යාප්තිය සඳහා අනතුරුදායක බලපෑම් ඇතිකළ හැකි බැවිනි. ද. කොරියාවටත් වඩා ඉදිරියෙන් සිටිමින් ඇමෙරිකාව මේ මොහොතේ සිය මෙහෙයුම් සකස්කරමින් සිටින අතර, සෑම චන්ද දායකයෙකුටම වෙනම අත්වැසුම් කුට්ටමක්‌, චන්දය සලකුණු කිරීමට නොමිලයේ පෑනක් ලබාදීමට අමතරව, චන්දය සලකුණු කළ සෑම චන්දදායකයෙකුටම " I VOTED " නමින් සුවිශේෂී ස්ටිකරයක්ද  ලබා දීමට ඔවුන් සැලසුම්කොට තිබේ. එලෙසම, සෑම චන්දදායකයෙකුම මැතිවරණ මාධ්‍යස්ථානය තුල අඩි 6 ක පරතරයකින් සිටගෙන සිටියයුතු අතර, කිසිඳු දරුවෙකු චන්ද මධ්‍යස්ථාන වෙත රැගෙන ඒම තහනම්කොට තිබේ.

තවත් සැලකියයුතු කාලයක් මැතිවරණයට ඉතිරිව තිබියදී, මෙවැනි දැඩි පියවර අනුගමනය කිරීමට ඔවුන් කල්තබා  සැලසුම්කරමින් සිටින්නේ , මෙකී වෛරසයේ දෙවන රැල්ළ ප්‍රථම රැල්ළට වඩා භයානක වනුඇති බවට පුර්වනිගමනය කරමිනි. මන්ද, ලොවටම එකවර  බලපෑම්කළ මෙවැනි අතිභයානක වෛරස තත්වයක් සම්බන්දයක් ලෝක සෞඛ්‍ය විශේෂඥයින්ට වඩා සමීප පුර්වාදර්ශයක්  ලබාගත හැක්කේ, 1918 දී  ලොව පුරා මෙලෙසින්  ව්‍යසනකාරී ලෙස ව්‍යාප්තවු ස්පාඤඤ උන (Spanish flu) නැමැති  පැන්ඩමිකය තුලිනි. මේ වන විට අප කවුරුත් දන්නා පරිද්දෙන්, එකී පැන්ඩමික අවස්ථාවේ ලෝක ජනගහනයෙන් මිලියන 500 කට H1N1A ඉන්ෆ්ලුවෙන්සා වෛරසය ආසාදනය වු අතර, එය 1918 ලෝක ජනගහනයෙන් 1/3 තරම් වු ප්‍රමාණයක්‌ ලෙස වාර්තා වේ. එසේම, ලෝකය පුරා ජීවිත 50, 000, 000 ක්‌ එකී වෛරසයට ගොදුරු වී මියගොස් තිබේ. මෙහිදී කෙනෙකු අනිවාර්ය ලෙස තර්ක කළ හැක්කේ, 1918 දී ලෝකයේ අදට සාපේක්ෂව දියුණු වෛද්‍ය පහසුකම් නොතිබියදී ඇතිවු තත්වයත්, ඊට සියවසකට පසු ඇතිව තිබෙන තත්වයත් එකට සැසඳීම කිසිසේත් සාධාරණ නොවන බවයි. එහෙත්, ලෝකයේ වඩා දියුණු සෞඛ්‍ය පහසුකම් ඇති ඇමරිකා එක්සත් ජනපදය වැනි රටක් දිනපතා දහස් ගණනින් තම පුරවැසියන් මියයද්දී, ඇමෙරිකානු ආර්ථිකය පෙනි පෙනීම කඩාවැටෙන බවත්, මෙතෙක් ලෝක බලවතා යන අනව්‍යර්ථ ලේබලය යටතේ බලය හෙබවූ ඇමෙරිකානුවන්ට කෝවිඩ් ඊරාවෙන් පසු එකී අධිකාරිත්වය නොලැබෙන බව දැනගෙනත් තම රට තුළ වෛරසය තවදුරටත් බලගැන්වීමට ඉඩහැර ඔවුන් බලාසිටීවිද? ඉන් ප්‍රත්‍යක්ෂවන එකම යථාර්තය වන්නේ, කෝවිඩ් 19 යනු දේශපාලන බලයට හෝ තාක්ෂණයට හෝ විද්‍යාවට හෝ මේ මොහොතේ මර්ධනය කළ නොහැකි පිළිලයක් බවයි. මේ සඳහා නිසි ප්‍රතිකාරයක් සොයාගන්නා තුරුම මෙම වෛරසය සඳහා පවතින සමාජ භීතිකාව නොනැසී පවත්නා බව අප විසින් අකමැත්තෙන් වුවද පිළිගතයුතු යථාර්තයක්‌ වෙයි.

මේ තත්වය මත, ස්පාඤඤ උන සමග සසඳා බැලීමේදී රෝගය පැතිරීමේ ප්‍රවණතාවය තුළ පෙන්නුම්වන යම් යම් සමානතා නිසා , ලෝක සෞඛ්‍ය සංවිධානයද මේ වනවිටත් අනතුරු ඇඟවීම් නිකුත්කොට ඇත්තේ දෙවන රැල්ළ ඇතිවීමට පෙර හැකි උපරිමයෙන්ම සෑම රටක්ම සිය සෞඛ්‍ය ආරක්ශිත ක්‍රියාපටිපාටීන් අනුගමනයකලයුතු බවයි. එනිසා, ප්‍රතිකාරයට ප්‍රථම රෝග මැඩලීම නුවණට හුරුබව කුඩා දරුවන් පවා දන්නා සරළ උපදෙසක්‌  නිසා, දුරදක්නා නුවණින් කටයුතු කරමින් නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමට වැඩිහිටි සමාජය වගබලාගතයුතු  බව අමුතුවෙන් අවධාරණය කලයුතු නොවේ. 

- ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද 

Comments