Sathjana 2020.

Sathjana 2020.
SJB ප්‍රවෘත්ති සදහා මෙම ඛේතය "ක්ලික්" කරන්න.

බුද්ධ පුත්‍රයින් යනු ධර්මය වපුරවන්නන්ද? අවශේෂ අරමුණින් මිත්‍යාව වපුරවන්නන්ද?

"ගෑණි මිනිහගෙ ඇග දකින්නැතිව දරුවො හදන්න ඕන...නැත්තං ඒ ජීවිත තුච්ඡයි. ඒ කාලෙ අය එහෙමයි" 

මෙහෙම කියන්නේ මා නොව. වැලිමඩ සද්ධාසීල හාමුදුරුවෝය. උන්වහන්සේ මෙවැනිම "කතාවක්" පෙරත් ප්‍රකාශ කොට ඇති අතර එයද සමාජ ජාල වල පතුරු ගැසූ බව මට මතකය. එනම් මේවා ගැන කතා කොට ඵලක් නැතිවා ⁣සේම අපි මේවා ලිව්වා කියා ඒ අයට චතුරාර්‍ය සත්‍ය පහළ වී හෙට සිට නිර්වාණාවබෝධය වෙත ගමන් කරන්න ලැබෙන්නේ නැත යන්නය. නමුත් මේ කුමක්ද? මෙය සිහි නුවණින් වටහාගෙන සිටීම ඉදිරියේ පහළ වීමට නියමිත ලෝකයට මුහුණ දීමට වඩාත් පහසු වනු ඇතැයි විශ්වාස කරමි. මෙය හුදෙක් වැලිමඩ සද්ධාසීල ස්වාමින්නාන්සේ ගේ දේශනාව පිලිබඳ ප්‍රකෝපවී කරන්නාවූ විවේචනයකට වඩා අපේ රටේ බණකියන ස්වාමින්නාන්සේලා  ගැන මාගේ අවබෝධය අනුව ලියන්නාවූ පැහැදිලිකිරීමකි . 

මා හඳුනාගන්නා පරිද්දෙන්   බණකියන අය ප්‍රවර්ග තුනකි. ඒ මෙසේය;

ධර්මය දේශනාකරන අය. බණ කියන අය. මිත්‍යා  කතා කියන අයයි. මෙකී ප්‍රවර්ගයන් මෙතැන් සිට අප හඳුනා ගනිමු. දහම් දේශනා සිදු කරන අය ලංකාවේ නැතිතරම්ය. නැතැයි කියනවාටත් වැඩිය සාධාරණ වන්නේ ඉතාමත් අල්පයැයි පැවසීමය.     

බුරුමයේ හාමුදුරුවරු දේශකයෙක් වෙන්නේ අවුරුදු 15 සුත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය පිලිබදව දීර්ඝ පුහුණුවක් ලබා අග්ග මහා පණ්ඩිත ස්වාමීන් වහන්සේලා 7 දෙනෙක් ඉදිරිපිට ප්‍රශ්න විමසා උන්වහන්සේලා 7 නම එකී අවබෝධය පිලිබඳ එකගතාවයකට හා සෑහීමකට පත්වනවා නම් පමනි. ඒ භික්ෂුන් වහන්සේට ධර්ම දේශනා කිරීම සදහා අවසර දීම සිදුකරන්නේ ඉන් අනතුරුවය. එනම් ත්‍රිපිටක ධර්මය පිළිබඳව මනා දැනුමකින් හෙබි සහ අවබෝධයකින් හෙබි අයෙකු විසින් දහම් දේශණා සිදු කරණු ලබන වරම අතට ගන්නේ එසේය . එවැනි  අය ලංකාවේ නැති බව මාගේ අවබෝධයයි. 

දෙවැනි කැටගරිය  හෙවත් ප්‍රවර්ගය වන්නේ  බණ කියන අයයි . ඒ අයනම් ලංකාවේ දුලබව පෙනෙන්නට සිටී. "බණ කියන අය" යනුවෙන් මම පෙන්වා දෙන්නේ සීයට සීයයක් නීත්‍යානුකූල නොවූවත් වඩාත් හොඳ යැයි සිතිය හැකි ධර්ම දේශකයන්ය. මාවරැල්ලේ භද්දිය හිමිට මා කැමති වන්නේ එතැනදීය. උන්වහන්සේ චැනල් වලින් සැලරි ලබනවාය, සැප වාහන වල යනවාය, ලක්සරි පංසලක ඉන්නවාය කියන කතා "බණ කියන අය" ගණයට අදාල නැත. මෙතැනදී ධර්මය දැන තමාගේත් සදාචාරාත්මක, යහපත් පැවැත්ම තේරුම් ගනිමින් වඩාත් යහපත් අයුරින් බණ කීම සිදු කිරීම ප්‍රමාණවත්වේ. ලංකාවේ දේශපාලනික නන්නත්තාරකම් අබිමුව මෙවැනි අයගේ අවශ්‍යතාවයක් පවතින අතර නිවන කෙසේවෙතත් යම් යම් කරුණු පිළිබඳව අවබෝධයවත් මේ අමුතු ඇටේ පිංවතුන්ට ලැබෙන එක වඩාත් වැදගත් බව මම සිතමි. මෙකී ගණයටම "කාගම සිරිනන්ද" හිමියන්ද  අයිති වෙයි.  නමුත් උන්වහන්සේ වැන්නවුන්ගේ සමහර සමහර දේවල් වලට මාගේ අකමැත්තක් පවතින අතර එවැන්නවුන් මා කියවා⁣ගන්නේ මෙසේය. "කොයි වෙලෙත් කිසිවකගේ අඩුපාඩු දකින, දොස් -පොරෝස් නගන්නට කැමත්තෙන්  හුළු අත්තක්‌  අතේ තියං ඉන්නා අය අහන්නේ කාගම හාමුදුරුවන්ගේ බණය. 

මාගේ තෙවැනි හදුනාගැනීම "මිත්‍යා කතා කියන හිමිවරුන්ය. මෙවැන්නවුන්  ලංකාවේ අප කතා කරන භාෂා වෙන් කිවහොත් "පඳුරකට පයින් ගැහුවොත් හැටහුට හමාරක්වත් පිටතට විසික්වෙනවා නියතය. එවැන්නවුන් ගණයට වැලිමඩ සද්ධාසීල ලාද, කොටුවේ පොඩි හාමුදුරුවෝ ද අයිතියැයි කියන්නට පසුබට නොවෙමි. ලංකාවේ ගොඩක් ධර්ම දේශකයෝ ලෙස පෙනී සිටින්නේ මෙවන්  අය වීම අභාග්‍යකි . මේ ගැන මට වඩා හොද අවබෝධයක් යූ ටියුබ් ට්‍රෙන්ඩින්ග්ම බණ අසන පිංවතුන් දන්නවා ඇතැයි සිතමි. මාගේ විවේචනයට බඳුන් වන ලිපියේ ප්‍රධාන ප්‍රවර්ගය මේ තුන්වෙනි හදුනාගැනීමය.

ලංකාවේ ගැහැණු පිරිමි තම පෞද්ගලික කටයුතු වල නියැලෙන ආකාරය, කන - බොන, අඳින-පළඳින  ආකාරය සේම, සම්භෝග කටයුතු වල යෙදිය යුතු ආකාරයද ඔවුහු තෙපලති. විහාරමහා දේවි පාර්ක් එකේ කපල් විසින් පෙම් කරන ආකාරයද, kfc එකේ කුකුල් අඬු ලෙවකන ආකාරයද, දානෙ ගෙදරකට පැමිණි අසවල් ගැහැණිය හැදගෙන සිටි යට ඇඳුමේ පාටද මේ හිමිවරු යහමින් රසකරමින් දේශනා කරයි. බුදුන්වහන්සේ පවා ධර්ම දේශනා වලදී විවේචනය නොකළ මිනිසුන්ගේ පුද්ගලික ජීවි⁣තයේ දෛනික සංසිද්ධීන් මොවුන් උපමා රූපක, මල් ලියකම්, ගෙත්තම් වැඩ දමා කියන්නේ කතා රසයට පමණක් මුල්තැන් දෙමිනි. ඒ නිසාම ඒවා අසමින්, සාදු කියන අය සේම මුකුළු කරන අය බෝහෝමයක් සිටීම යනු ධර්මය සෙවීමට වඩා රස කතා ඇසීමේ ප්‍රවනතාවක් ගොඩනැගී තිබීමය.

මේ මොහොතේ සමාජ ජාලා තුළ සංසරණය වන ආන්දෝලනාත්මක ප්‍රකාශය වන්නේ වැලිමඩ සද්ධාසීල හිමියන්ගේ අනුවණ ප්‍රකාශයකි. එකී ප්‍රකාශයට අනුව,  ලිංගික සංසර්ගය සිදුවිය යුත්තේ ප්‍රජාව බෝ කිරීමට පමණක්ය. එහෙත් එකී ප්‍රකාශය විසින් සිදුකොට ඇත්තේ පැත්තක තිබූ දෙබරයකට නොදන්නාකමට ගල් ගැසීමක් වැනි කටයුත්තකි. මන්ද,  එය ලෝකවාසී කාමභෝගී සත්ත්වයන්ගේ වැඩක්‌ මිස, සංඝ සමාජය අතගැසිය යුතු කටයුත්තක් නොවන බැවිනි. මේ ස්වාභාව චර්යාවට  මිනිසුන් සේම තිරිසන් සත්වායද විශාල ඇල්මක් දක්වන බව රහසක් නොවන නිසාම බුදුන්වහන්සේ කාමබෝගීන්ට ලිංගිකව හැසිරීම වරදක්යැයි කොහේවත් දේශනා කොට නැත. එසේ අනවශ්‍ය දේවල් වලට ඇඟිලි ගසන්නේ තමන්ට අහිමි වූ දෙයක්‌  ගැන ඇති කළකිරීමකින් අවුලක් ඇතිකරගත් උදවිය යැයි කීම අතිශයෝක්තියක් නොවේ. එනිසා තමාට කැප රාජකාරිය ඉටු කිරීම ගිහියන්ට සේම පැවිද්දන්ටද අදාළ කාරණාවක්‌ බව මෙහිදී නොකියා බැරිවෙයි. එසේ නොවන තැන්හි සැමවිටම වන්නේ ධර්මය කෙළෙසීමකි. එනිසා, බුද්ධ පුත්‍රයෙක් තමන් ඇඟ ලාගෙන සිටින්නාවූ චීවරයේ සැබෑ වගකීම වෙනුවට වෙනත් කොන්තරාත් බාරගැනීමෙන් වන්නේ, බුද්ධ සාසනය පමණක් නොව සංඝ සමාජයද පොදුවේ අනතුරට හෙළීමකි.

බුදුන්වහන්සේ දේශනා කරන්නේ "සබ්බ දානං ධම්ම දානං ජිනාති - සබ්බ රසෝ ධම්ම රසෝ ජිනාති" යනුවෙනි. එනම් "සියළු දානයන් අතරින් ධර්ම දානය දිනන අතර සියළු රසයන් අතරින් ධර්ම රසය දිනන" බවය. එකී සුවිශේෂී ධර්මයක් ගැන දේශනා කොට ඇති බුදුන්වහන්සේගේ ධර්මය අද ලංකාවේ විශේෂ අනුග්‍රහය, ප්‍රධාන අනුග්‍රහය, කාලීන ධර්ම දේශනා, නමින් ජනප්‍රිය ධාරාවේ ආර්ථිකය වඩා ගැනීම සඳහාත් පංසල් අතර තරඟ ඇති කරගැනීම උදෙසාත්, යොදා ගනිමින් "ධර්ම දාන" නමින් විකිණෙන්නේ ඉහළ මිලකටය. පොලිටිකල් බණ, වර්ණනා බණ, ආදී නොයෙකුත් බණ දැන් ඇසෙමින් පවතින අතර බණ කියන මහමෙව්නාවේ හිමිවරුත්, තව තව හඳුනාගත් හිමිවරුත් ජනාධිපතිවරණය දිනවලදී ඡන්ද කළේ බණ වලින් බව අවබෝධයෙන් සිටි අය ඉතා හොඳින් දන්නා කරුණක්ය. 

අප ජීවත්වන මේ පරිසරයේ වඩාත් නිබොරු බණ කියන සහ දහම් දෙසන අය අල්ප වීම නිසා ට්‍රෙන්ඩින්ම ලිස්ට් වල රැදෙන බණ අසමින් මිනිස්සුන්ට බයිට් වන ධර්ම දේශනා අද්දැකීම් කොතෙකුත් ඔබට ඇතියැයි සිතමි. මේ අය කියන කතා අප බාරගත යුත්තේ මාධ්‍යස්තවය. එනම් මිත්‍යාව වැලඳගෙන මිසදුටුවෙක් වීම හෝ  වැරදි කතා අසා කුපිතවීමෙන්  හෝ   මියැදෙන්නේද අපගේ අධ්‍යාත්මික විනය හා ධර්ම සංවරකමය.


-   ගුරුගොඩ සිරිවිමල හිමි 

Comments