Sathjana 2020.

Sathjana 2020.
SJB ප්‍රවෘත්ති සදහා මෙම ඛේතය "ක්ලික්" කරන්න.

"කෝවිඩ් පැන්ඩමිකය උදුරාගත් හා උදුරානොගත් අපේ ජිවිත වටිනාකම් "


මේ ව්‍යසනකාරී අමුත්තා මගේ සහ ඔබේ (මෙය කියවන) ජීවිත වලට තවමත් අතනොතැබූ පමණින්, මම සහ ඔබ සුරක්ෂිතයැයි සිතා අපට සතුටුවිය නොහැක්කේ,  හෙට දිනයේ ඔහුගේ නවාතැන්පල ලෙසින්  මාගේ හෝ ඔබේ සිරුර තෝරාගැනීමට ඔහු තවමත් නිහඬව මානබලමින් සිටින නිසාය. එනිසා, මේ මොහොත ඔබ‍ටත්, මටත් අපගේ වාසනාව බලගැන්වුණු මොහොතක් යැයි සිතා, සතුට සැමරීමට තොරාගතයුතු නොවේ. මන්ද, කෝවිඩ් විසින් අපව ඔහුගේ ග්‍රහණයට නතුකරගත හැක්කේ සෞඛ්‍යමය වශයෙන් පමණක් නොවන බැවිනි.

ඉදිරි එළඹෙන කාලය තුලදීත්, පැන්ඩමිකය තුළ වෛරස ආසාදනයෙන් බේරී ඉන්නට හැකියාව ලත් පිරිස අතරේ ඔබ හා මා සිටියහැකි වුවත්, පැන්ඩමිකයෙන් පසු එළඹෙන ලෝකය තුළ (post pandemic era) අප  වෛරසයේ සාමාජීය හා ආර්ථික අතුරුපලයන්ට ගොදුරු වු අවාසනාවන්ත වගඋත්තරකරුවකු වීමට ඇති ඉඩකඩ බොහෝ ඉහල එකක් වනු ඇත. මන්ද, ලෝක ආර්ථික නිරීක්ෂකයින් දැනටමත් අනුමාන කරන අන්දමින්,  ලෝකයේ රැකියා වෙළඳපල දරුණු කඩාවැටීමකට මුහුණපෑමට නියමිතව ඇති අතර, බිලියන 1.6 කගේ රැකියා ඒ අනුව අහිමිවීමේ අනතුරක් ඉදිරියේ පවතින බවට අනාවැකි පළකොට තිබේ. එකී ඇස්තමෙන්තුවට අනුව එය අපට ලබාදීඇති තවත් දත්තයක් ලෙසින්  සරළව බාරගත නොහැක්කේ, බිලියන  1.6 ක්‌ යනු ලෝක ශ්‍රමහමුදාවෙන් හරි අඩක ප්‍රමාණයක්‌ වන නිසාය (Half of the world work -force). මෙසේ  නිශ්චය කරනා අන්දමින් ලෝකය පුරා රැකියාවන් හී නියුක්ත විදෙස් සංක්‍රමික සේවකයින්, අවිධිමත් ක්ෂේත්‍රවල රැකියානියුක්තිකයින්, නිදහස් වෘත්තිකයින්, සහන සේවකයින්, කොන්ත්‍රාත් සේවකයින්, ස්‌වයං රැකියා ක්ෂේත්‍රවල සේවයේ නියුතුවුවන්, කුඩා කර්මාන්ත හිමිකරුවන් හා සේවකයින්, සුළු ව්‍යාපාරිකයින් ආදී විශාල වෘත්තීය ක්ෂේත්‍ර ගණනාවක පිරිස් සේම  පෞද්ගලික අංශයේ ඕනෑම මට්ටමක  සේවයක නියුක්ත  බොහෝ සේවක පිරිස්ද ඒ අතර වෙයි.

මෙහිදී, භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර වලට වඩා සේවා සැපයුම්  ව්‍යාපාර අනතුරට පත්විය හැකි බව විස්වාස කෙරේ. ඒ අනුව,  සංචාරක ව්‍යාපාරය හා ගුවන් සමාගම් ව්‍යාපාරය මුල් තැනක් ගනියි. ලෝක ආර්ථික විශේෂඥයින් අනුමාන කරන අන්දමින්, මෙකී අංශ දෙක යලි යථා  තත්වයට පත්වීමට අඩුම වශයෙන් තවත් වසර දෙකක් එනම් 2022 තෙක් බලාසිටිය යුතු බව හෙළිදරවු වේ. ඒ අනුව, ඕනෑම රටක පුළුල් විනිමය ඉපැයීමේ මාර්ගයක්‌ වන මෙකී අංශ දෙක කඩාවැටිම යනු එය සමස්ථ ලෝක ආරථිකයටම එල්ලවන  දරුණු පහරක් වන අතර,  විශේෂයෙන්ම ශ්‍රි ලංකාව වැනි තුන්වන ලෝකයේ සංචාරක ව්‍යාපාරය මත විශාල වශයෙන් යැපෙන රටවලට එය මරු පහරක් වනු නොඅනුමානය. මෙකී පසුබිම තුළ පහළ  ආර්ථික මට්ටමක්  සහිතව  විදේශ ණය මත විශාල වශයෙන් යැපෙන රටවල්, ණය වාරික පවා ගෙවාගත නොහැකිව ඉතා අසරණ අඩියකට ඇදවැටෙනු ඇතිබවත්, ලෝක බලවතුන් ලෙස සැලකෙන ශක්තිමත් නිෂ්පාදන ආර්ථිකරටාවකට හිමිකම් කියන රටවල් තව තවත් තම අධිපති බලය වර්ධනය කරගනු ඇතිබවත්, පැහැදිලි යථාර්තයක්‌ වේ.

මෙවන් තත්වයන්  මර්ධනය කිරීමට සෑම රටක් විසින්ම, එතෙක් අනුගමනය කළ තම ආර්ථික හා දේශපාලන න්‍යායපත්‍රයන්ගෙන් මිදී, තම තමන්ගේ රටවල ඇති ගැටළු සේම ශක්‍යථා හඳුනාගෙන අලුත් වැඩපිළිවෙලක් සකස්කළ යුතුබව පැහැදිලි තත්වයක්‌ වන අතර, අළුතින් සිතා බලා ගොඩනගන්නාවූ ආකෘතිකමය වෙනස්කම් (Re-structuring) සඳහා මේ මොහොතේ පටන් ලකලැහැස්ති වීම අනිවාර්යයක් වෙයි. ඒ අතරතුර, කඩාවැටෙන ආර්ථිකයෙන් අනිවාර්යයෙන් බැටකන වෘතීන් හා ව්‍යාපාර ප්‍රවර්ධනය සඳහා  යටිතල පහසුකම් සැපයීමේ පටන් ගතික වෙනස්කම් වර්ධනය සඳහා මුල්වන්නාවූ ආර්ථිකමය හා සමාජසුබසාධන ආරක්ෂන වැඩ පිලිවෙලවල් (Economic & social support systems) සකස්කිරීමත් අනිවාර්යවෙයි. දැනටමත් පිලිපීණය වැනි රටවල් මේ සඳහා විධිමත් සැලසුම් සකස්කොට ඇති බව වාර්තාවෙයි.

අලුත් යථාර්තයක්‌ හමුවේ අපි අවදිවන විට ඉහත දැක්වූ අන්දමේ  අයහපත් ප්‍රථිඵල පමණක් නොව, වෙනත් මානයේ යහපත් ප්‍රථිඵලත් උදාවනු ඇතැයි අනුමාන කෙරේ. ඒ අනුව, කෝවිඩ් පැන්ඩමිකයෙන් පිටතට අප පැමිණෙන විට, 70 දශකයේ පටන් ලෝකය පාලනය කළ නව ලිබරල්වාදය (Neo Liberalism) සිය මරණමංචකයට ලංවෙමින් සිටින බව ලෝක ආර්ථික විශේෂඥයෝ විස්වාස කරති. ඒ අනුව, වෙළඳපල පටු පරමාර්ථ, වෙළඳ අධිකාරිත්වය, හුදෙකලා ආත්මාර්ථකාමිත්වය, පුද්ගලකේන්ද්‍රීය බලය (Selfishness & Individualization) තුළින් එතෙක් සොබා දහමට ඉහලින් පෘතුවිය සිය ග්‍රහණයට නතුකරගෙන සිටි මිනිසා, එකී බල තණ්හාවෙන්, කෑදරකමින් හා උමතුවෙන් මිදීමට මෙය වෙලාව බව මෙකී ස්වාභාවික ව්‍යසනය විසින් කියාදෙමින් තිබේ. අදිකතර වස්තු මූලික බල තණ්හාව මෙල්ල කිරීමට මෙකී තීරණාත්මක මොහොත සොබාදහමෙන් ලත් නිහඬ පණිවිඩයක් ලෙස  බාරගතයුතු බව ලොවපුරා සමාජ විද්‍යාඥයින් සේම මානව විද්‍යාඥයින්ද  අවධාරනාත්මකව පෙන්වා දේ. ඒ, ගෙවුණු සියවස් කිහිපය පුරාවට අප මිනිස් වර්ගයා ලෙසින් අපෙන් බැහැර බාහිර අවකාශ පිලිබඳ  අපගේ අවධානය යොමුකළ මුත්, දැන් අපට  අපගේ සමතුළට වැද අප ගැන සංවේදී වන්නටත්, අප හුස්ම හෙලන ස්වභාවධර්මය නැමැති තිඹිරිගෙය වෙත නැවත පානගා මිනිසුන් ලෙස අලුතින් උපදින්නටත් කාලය එළඹ ඇතිබැවු අපට මගහැර යානොහැකි යථාර්තයක්‌ වී තිබේ. එය වඩා ප්‍රායෝගික උදාහරණයකින් දක්වනවානම්, අප මෙතෙක් උත්සුක වුයේ අප නිවෙස් වටා, කර්මාන්ත ශාලා වටා, රාජ්‍ය ආයතන වටා නිරීක්ෂණ කැමරා පද්ධති සවිකිරීමටනම් (surveillance camera systems), මේ එළඹ ඇති මොහොත වන්නේ අපේ ශරීර ස්කෑන් පරීක්ෂණයට ලක්‌කෙරෙන්නාවූ මොහොතක්ය.

ජාතිකවාදය, ස්වදේශවාදය, දේශප්‍රේමීත්වය යන සංකල්ප තුළින් අප, අපව කොටු කරනු වෙනුවට, වඩා පුළුල් කෝණයකින් බලා ලෝකයේ ඇති සාමුහිකත්වයේ බලය තුළින් අපගේ දුර්වල තැන් හදාගෙන, ශක්තිවන්තකම් කළමනාකරණයකර ගනිමින් යලි සාමුහිකව නැගිටින්නේ කෙසේද යන (අප පසුගිය කාල සමය තුල අමතක කරදමා තිබූ) පාඩම භාවිතයට ගන්නට අපට දැන් සුවිශේෂී බලකිරීමක් තිබේ. එය කුඩා රටවල්, විශාල රටවල් ආදී ලේසින් බෙදී හිඳීමෙන් හෝ මහා ජාතීන්, සුළු ජාතීන් ලෙස වෙන්වී සිටීමෙන් හෝ ජයගැන්විය හැකි යථාර්තයක්‌ නොවේ. මේ බව සමස්ථ ලෝක ප්‍රජාවම බරපතල ලෙස වටහාගතයුතු මොහොතත්, ක්‍රියාවට නැංවිය යුතු මොහොතක්‌ බවට "මේ මොහොත" අප විසින් හඳුනාගතයුතුවේ. මන්ද, සුබසාධන රාජ්‍ය සංකල්පයෙන් මුළුමනින්ම බැහැරවු වෙළඳපල ක්‍රමය විසින් මානව සිෂ්ඨාචාරයම සුදු පිටියක් බවට නව ලිබරල්වාදය විසින් පත්කොට තිබූ අතර, ලෝක බලවතුන් සුළුතරයකගේ අතේ මේ සුදු පිටියේ සමස්ථ මෙහෙයුම රැඳී තිබූ නිසාය. එවිට එහි බරපතලම ප්‍රතිවිපාකය වන්නේ සූදු පොලේ ඔට්ටු තැබීමට පෘතුවි ගෝලය කෑලි වලට කඩා වෙන්කරමින් ඇතැම් සූදු ඔට්ටුකරුවන් ක්‍රීඩා කළ අතර, සූදුවෙන් තමා තනිව  ජයග්‍රහණය කිරීමේ පරමාර්ථය හැර වෙනත් අරමුණක්‌ නොවීය. එනිසාම දිනුමේදීත්, පැරදුමේදීත් වාසිය අත්වනු ඇත්තේ  සූදු පිටියේ අධිපති හස්තයටමය. අවසානයේ, දිනුමක් ලෙස සිතාසිටි අවස්ථාද දිනුමක්‌ නොවූ  පරාජයක්ම බව අවබෝධ වනවිට, සූදු පොලම "නියෝ ලිබරලිසම්" නැමති කොල්ළකල්ලිය විසින් කොල්ලකා හමාරවනු ඇත.

එනිසා, ලෝක බල ධුරාවලිය තුළ අප ජානමය වශයෙන් වෙන්වී, ක්‍රෝමසෝම ලෙසින් තවදුරටත්  ඛන්ඩනය වී සිටීමෙන් අත්කරගන්නා ඉරණම වන්නේ විනාශය පමණි. ඒ, ලෝ වාසී අප සැමට මුහුණ දෙන්නට වන සොබා දහමේ අනිටු පළ සමග කරනා මහා සටන එක්ව සටන්කොට ජයගත යුක්තකි. එසේ නොවුනහොත් කුඩා කණ්ඩායම් ලෙස වෙන්වී සටන් කිරීමෙන්, හෙම්බත්වන මිනිස්කැලක් ලෙස තම මානව ඉතිහාසයේ තීරණාත්මක සටන, අවසන්  සටන බවට පත්කරගැනීම නොවැලැක්විය හැකිවෙයි.

- ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද 

Future of Work, Jobs and Careers after COVID19 | 
Sanjiv Mehta, Chairman & MD, 
Hindustan Unilever

Comments