Sathjana 2020.

Sathjana 2020.
SJB ප්‍රවෘත්ති සදහා මෙම ඛේතය "ක්ලික්" කරන්න.

"කප්එක දිනන්න වෙන වෙනම දුවන, සටන් මිතුරෝ"

ගොල්ගොතාවේ කන්ද පාමුල
අපි බැටළු මිතුරෝ,

කඳු පෙළක් මැද තැනිතලාවක
අපිව හිර කෙරුවෝ.

අවුව, වැස්සද, හිම කුනාටුද
අපි එකට වින්දෝ ,

එත් මගේ දුක, නුඹේ දුකත් අපි
වෙන් වෙන්ව ගැයුවෝ.

ෆැසිස්ට් හිම කැට කටුඅනිනකොට
එකට ඉවසනවෝ,

සීත සෘතුවේදි කුසේ ගින්දර
ලිබරල්ව දැරුවෝ.

ෆාම් එක හිමි අපේ ලොක්කා
රාමුකර එල්ලා,

අපිට මොනවා උනත් මක්‌කද
කියලා අපි වැන්දා.

අපේ ලොම් හමගහන විට
වෙන්දේසියට තියලා,

රයිෆලේ හිමි බැටළු කොලුවට
අපි උණ්ඩ දුන්නා.

අපි හැමෝමත් වීර සෙබළුන්
වෘකයෙකු  මරලා,

ඒ වෘක හම තල තලා අපි
දැන් වයින් බොනවා.

මෙයින් ඔබ්බට දක්කවන්නේ
අපි, මසට නොහිතා,

ලොකුම තණකොළ ගොඩ බුදින්නේ
කවුද කියපල්ලා?

නිර්මාණය - ඉනෝකා සත්‍යංගනී කීර්තිනන්ද.

පසු සටහන -

මෙකී මොහොත වනාහී රටට උදාවූ "නොනගත කාලයක්" වන්නේ "වසංගතය" නැමැති සාධකය නිසා සේම "මැතිවරණය" යන සාධකයත් පදනම් කොටගෙනයි. මන්ද, පාර්ලිමේන්තුව කැඳවීම හෝ මැතිවරණ පැවැත්වීම යන තීරණ දෙකෙන් එකකටවත් එළඹිය නොහැකි "අතරමැද තත්වයක්‌" තුළ රට අකර්මන්‍යව ඇති නිසාය.  මෙය එක්තරා අන්දමකින් අපගේ  ගැමි ව්‍යවහාරයේ එන පිරුළක් සිහිගන්න සුළු අවස්ථාක්‌ වේ. ඒ, " ගෙදර ගියොත් අඹු නසී, මග සිටියොත් තෝ නසී " ය පිරුළයි. මන්ද, රාජ්‍ය මුල්‍ය කටයුතුවල සක්‍රීයත්වය මේ වකවානුව තුළ ඇනහිට ඇති අතර, ජනතාව නියෝජනය කරන පාර්ලිමේන්තු නියෝජිතයින්ට රටේ වගකිවයුතු කාර්‍ය කටයුතු සම්බන්දයෙන් සාකච්චා කිරීමටත්, අවශ්‍ය වෙතොත් පවතින හදිසි අවස්ථා තත්වයට අදාළව නීති සම්පාදනය කිරීමටත් මේ "අතරමැද තත්වය" තුළ අවකාශයක් නොලැබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුගතව, පවතින ව්‍යවස්ථා ප්‍රතිපාධන වලින් ප්‍රයෝජනයක් නොගැනීම සේම, අඩුතරමින් මේ නිද්‍රාශිලී තත්වය අවසන් කිරීම සම්බන්දයෙන් අධිකරණයේ මතය විමසීමට හෝ ඉදිරිපත් නොවන තත්වයක්‌ තුළ, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට කෙසේ වෙතත්, අඩුතරමින්  මෙරට පුරවැසි අයිතීන්ට කුමක් වේද?  

මෙය පොදුවේ සර්ව පාක්ෂික දේශපාලන බලමුළු එකට ඒකරාශී වියයුතු අතිශය තීරනාත්මක මොහොතක් විනා, අප එකිනෙකාගේ හුදෙකලා දේශපාලන අරමුණු ජයගැන්විම සඳහා තනි තනිව සටන් පාඨ කිවයුතු මොහොතක් ද?  එලෙස තනි තනිව රෝදබැඳීමෙන් රටේ පොදු ජනතාව වෙනුවෙන් ජයග්‍රහණය කලයුතු පොදු අරමුණට කුමක් වේද? මෙය, පක්‍ෂ, පාට, අරමුණු, ඉලක්ක සමග සූදු කෙළිමින් කාලය මැරිය යුතු මොහොතක්ද?  ඒ හරහා සමස්ථ රටේ  ජනතාවට  අහිමිකරන්නේ කුමක්ද? 

එසේ කරන්නාවූ සටන්, දේශපාලනිකද? මානවහිතවාදීද? අවසානයේ, එවන් පක්‍ෂ විසින් සමස්ථ ජනතාව නමින් ඉටුකරන සමාජ වගකීම කුමක්ද? ඔවුන් ජනතාව වෙනුවෙන් ඉතිරි කරන්නේ  යුක්තියද?  සාධාරණයද? නැත්නම් ඔවුන්ගේ සටන පවතින්නේ කුමක් දිනාගැනීම අරඹයාද?  දේශපාලන බලයද? පුද්ගලික වරප්‍රසාදද?  මෙකී ප්‍රශ්නාවලිය සදහා ජනතාව නාමයෙන්, ජනතාව හමුවේ සියලු දේශපාලන කඳවුරු සාධාරණ පිළිතුරක් ලබාදියයුතු නොවේද?

Comments