Sathjana 2020.

Sathjana 2020.
SJB ප්‍රවෘත්ති සදහා මෙම ඛේතය "ක්ලික්" කරන්න.

කාන්තා ආර්ථවයේ සනීපාරක්ෂාවට වෙනම දිනයක් වෙන්කරන්නේ ඇයි?


"මාස් ශුද්ධිය යනු ගැහැණුන්ගේ ප්‍රශ්නයකි.  ගැබ් ගැනීම ගැහැණුන්ගේ වගකීමකි. ගැබ් නොගැනීම ගැහණුන්ගේ දුබලතාවයකි. දරුවන් වැඩීම ගැහැණුන් සතු රාජකාරියකි. එහෙත් පරම්පරාව ගොඩනැගීම පිරිමින්ගේ  පෞඩත්වයකි. " 

ඊයේට (මැයි 28) යේදී තිබුණු ලෝක ඔසප් සනීපාරක්ෂාවේ දිනය (World's  Menstrual Hygiene Day) වෙනුවෙන් පුංචි සටහනක්‌ තබන්නේ,  උවිඳු කුරුකුළසුරියගේ මුහුණු පොතේ පළව තිබූ සටහනකින් ලත්  උද්දීපනයෙන්.

මගේ අවධානය දිනාගත් ඔහුගේ සටහන මා ප්‍රථමෙයෙන් මෙහි දක්වා සිටින්නම්.

"සිංහලෙන් මාසෙ මාරුවීම​, පැණි අඹුඩ ගැසීම වගේ නොයෙකුත් වචන පාවිච්චි කරත් කාන්තාවන්ට තනියම මාසිකව විඳින්නට වෙන ඒ දින කීපය පිරිමි අපිට තේරුම් ගැනීමට බැහැ. තේරුම් ගන්න අයත් තේරුම් ගන්නෙ ඒ වේදනාව විඳින කෙනා කියන දේ විශ්වාස කරල​, මොකද අපිට ඒ වගේ එක්ස්පීරියන්ස් එකක් නැති නිසා. කොහොම උනත් මට ලොකු දෙයක් කියන්න අවශ්‍ය නැහැ. මම අනුර කුමාර දිසානායකටයි, සජිත් ප්‍රේමදාසටයි ස්තූතිවන්ත වෙනව කාන්තා සනීපාරක්‍ෂක තුවා නොමිලේ දුප්පත් අවශ්‍ය අයට ලබාදීමටත් - සෑම පාසල් සිසුවියකටම නොමිලේ ලබාදීමටත් සිය මැතිවරණ වේදිකාවල ප්‍රතිඥා දීම ගැන​. ඒ වගේම මේ අවශ්‍යයතාවය දේශපාලන මාතෘකාවක් බවට පත් කිරීම ගැන​. පිරිසිඳු සනීපාරක්‍ෂ තුවා තමා හැමට අවශ්‍ය යයි. දැනුවත් කාන්තා සංවිධාන කලක් ඉඳන් හඬ නගනව මේ නිශ්පාදනවලට ගහන බද්ද නැති කරන්න කියල​. පලමු පියවර ලෙස​ ඒ බදු ගැහීමවත් නවත්වන්න ඕනෙ, නොමිලේ දීම කවද පටන් ගන්න උනත්. "

උපුටා ගැනීම අවසන්.

මාස් ශුද්ධිය යනු ස්ත්‍රී සත්වයාගේ හුදෙකලා ප්‍රශ්නයකි. ගැබ් ගැනීමේ වගකීමද ඔවුන්ට බාර වෙයි. ගැබ් නොගැනීම වරදකාරී තත්වයක්‌ බවට පරිවර්ථනයවන්නේද  ගැහැණුන් ගේ අඩුපාඩුවකින් ("වඳ ගැහැණිය" යන උදෘතය) බවත්,  දරුවන් වැඩීම හා දරුවන්ගේ සකලවිධ රාජකාරී කටයුතු පැවරෙන්නේද ගැහැණුන්ට එනම් බිරිඳට හෝ මවට බවත් අප හොඳින්ම දනිමු. එහෙත් පරම්පරාව පවත්වාගෙනයාමේ මුර දේවතා බලය හිමිවන්නේ පුරුෂ සත්වයාටය. එනිසාම පිරිමින් ගේ නායකත්වය හා පෞර්ශය ලෙස සැලකෙන මෙකී පීතෘ ගුණය, සැමවිටම මාතෘ ගුණයට ඉහලින් සිටගනියි. නමුත් වන්දනා - මාන කරන තැන්හී පමණක් සංඛේථාත්මක වටිනාකම් පිරිනැමෙන්නේ ගැහැණුටය. එනිසාම ඇය දේවාලේ වැඩ සිටින ප්‍රතිමාවක් සේ විරාජමානව සිටියත්, එය නාමමාත්‍ර අගයක්‌ පමණි. බාහිර ලෝකයේ සියළු ප්‍රමුඛථාවයන් හා බලය පිළිබඳ ආස්ථාණය  හිමිවන්නේ පුරුෂරත්නයන්ට මිස ස්ත්‍රී දෙවඟනන්ට නොවේ.

මෙවන් පුරුෂෝත්තමවාදී කඳවුරක ජීවත් වන ස්ත්‍රීන්හට තම ජෛව ක්‍රියාවලිය සඳහා සංස්කෘතික සමාජයෙන් කිසිඳු පිටිවහලක් නොලැබේ. ජෛව ක්‍රියාවලියේ මූලික පදනමක්‌ වන ඇගේ මාස් ශුද්ධියේදී, තම කායික ගැටළු හා දුෂ්කරතා විසඳාගැනීම, ශාරීරික පවිත්‍රථාවය රැකගැනීම, නාරිදේහ සෞඛ්‍ය පිලිබඳ සංවේදී වීම ආදී සියළු කාරණා ගැහැණු ප්‍රශ්න ලෙස සලකා ඔවුන්ටම පවරා අතපිසදා ගැනීම අති බහුතරයක් පිරිමින්ගේ සාමාන්‍ය පිළිවෙතකි. එවැනි මානසික කලාපයක ඉන්නා පුරුෂයින් පමණක්‌ නොව බහුතරයක් කාන්තාවන්ගේද කල්පනාව වන්නේ,  පිරිමි ඒවා ගැන සැලකිලිමත් වීම අනදාල කටයුත්තක් බවයි. එනිසාම, ලෝකය පුරා ප්‍රජනනය හා ප්‍රජනනය සෞඛ්‍ය ආශ්‍රිත කාරණා කාන්තාවන් විසින් තනිවම විසඳාගැනීමට පුරුදු- පුහුණුව සිටිති. ඒ සම්බන්දයෙන් පැනනගින සෞඛ්‍ය ගැටළු ද ඔවුන් නිහඬව දරාගැනීමට සැකසී  සිටිති. මේ නිසා "මාස් ශුදධිය " යන කාරණාව සමාජය හමුවේ ප්‍රසිද්ධියේ කතා නොකළ යුතු හා සඟවා තබාගතයුතු අකැප මාතෘකාවක්‌  (taboo) ලෙස වර්ගීකරණය වී තිබේ.

එනයින්, කාන්තාවන් මුහුණපාන්නාවූ ගැටළු අනන්ත හා අප්‍රමාණ වන අතර, මේ පිලිබඳ කාන්තා සමාජ තුළ, විකල්ප සාකච්චා මණ්ඩප තුළ හෝ වෛද්‍ය සායන තුළ මිස ඉන් පිටත සමාජය මේ වෙනුවෙන් අවධානය යොමුකරන්නේ නැතිතරම්ය. මේ තත්වය නිසාම, ලොවපුරා සෑම කාන්තාවන් තුන් දෙනෙක් ගෙන් එක් අයෙකුම සනීපාරක්ෂක තුවා නොපළඳින බවත්, ලොව පුරා මිලියන 26ක්‌ කාන්තාවන් මාස් ශුදධිය ආශ්‍රිත සෞඛ්‍ය ගැටළුවලින් පෙළෙන බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්ථාකරයි. ලෝකයේ බලවත් රටවල් අතර වර්තමානයේ ඉහලින් ස්ථානගතවූ ඉන්දියාව වැනි රටක පවා සනීපාරක්ෂක තුවා පළඳින්නේ කාන්තාවන්ගෙන්  36% ක්‌ පමණි. එනම් බිලියන 1.3 ක්‌ ඉක්මවූ ජනගහනයක්‌ වාසයකරන ඉන්දියාවේ, කොතරම් කාන්තාවන් පිරිසක් සනීපාරක්ෂක ගැටළුවලින් පෙළෙනවාද යන්න ඉන් සරළව පැහැදිලි වේ. MHM නමින් හැන්දින්වෙන ඔසප්වීමට අදාළ යහපත් සෞඛ්‍ය පිළිවෙත් කළමනාකරණය (Menstrual Hygiene Management) ලෝකය පුරා වෛද්‍ය විශේෂඥන්ගේ අවධානය දිනාගත් මාතෘකාවක්‌ වුනත්, ස්ත්‍රී -පුරුෂ සමාජභාවය සම්බන්දයෙන් පවතින විෂමතාවන් අභිබවා යන්නට තරම් එය සමත්නොවන බව පැහැදිලිකරයි. තාක්ෂණය අතින් ඉහලට ගමන්ගත් 21වෙනි සියවසට අප එළඹ සිටියදීත්, මෙවන් ප්‍රාථමික ශරීර අවශ්‍යයථාවක්‌ සපුරා ගත නොහැකි ස්ත්‍රීන් ලොව පුරා පැතිරී සිටින තත්වය තුළින් ඉඟි කරන්නේ කුමක්ද? ලොව කොතරම් සංවර්ධනයෙන්, අධ්‍යාපනයෙන් හා විද්‍යාවෙන් දියුණු අදියරක පවතිතත් අවසානයේ, ස්ත්‍රීන් සඳහා සමාජයේ පවතින අවධානය හා සැලකීම පිලිබඳ මෙකී සරළ තත්වය ඔස්සේ අපට නිහඬව කියාපාන්නේ කොතරම් කුරිරු යතාර්ථයක්‌ ද? 

- ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද

World Menstrual Hygiene Day

India: Managing Menstrual Hygiene

Comments