Sathjana 2020.

Sathjana 2020.
SJB ප්‍රවෘත්ති සදහා මෙම ඛේතය "ක්ලික්" කරන්න.

කළ යුත්තේ කුමක් ද?


අපි මේ ගත කරන්නේ මිනිස් ඉතිහාසයේ වෙන කවරදාවත් අත්දැක්කේ නැති අමුතුම කාලයක් කිව්වොත් මම හිතන්නේ නිවැරදියි. මේ වගේ එකතැන සිරවීමක් නූතන ලෝකය මීට පෙර ලෝක යුධ සමයේ උනත් අත්දැකලා නැතුව ඇති. මේ භෞතික සිරවීම එක්ක අපි යම් සිතීමේ සිරවීමකුත් අත්දකිමින් ඉන්නවා. මම එහෙම කියන්නේ සිතීම අතින් අපි ඉන්නේ ගිරයට අහුවුණ පුවක් ගෙඩියක් වගේ හින්ද. එක පැත්තකින් මේ වසංගත තත්වය පාලනය කරන්න නම් යම් දරදඬු පාලනයක් ඕනි කියන මැසිවිල්ල සහ අනෙක් පැත්තෙන් එහෙම අත්තනෝමතික පාලනයක් විසින් අවදානමේ දාන්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදී ජීවන ලෝකය පිළිබද මැසිවිල්ල. මේක දැන් අපේ රටේ විතරක් නෙවෙයි යුරෝපය පුරාමත් මතුවී ඇති ප්‍රවණතා දෙකක්.

දැනට පේන විදියට මේ දෙකටම යම් වලංගුතාවයන් දෙකක් ඇතිවෙමින් පවතිනවා. එකක් තමයි චීනය මේ වසංගතය පාලනය කරගත් ආකාරය. සියලු තොරතුරු සීමා කරලා, තොරතුරු දෙන්න හදපු අයගේ කටවල් වහලා, මිනිස්සුන්ගේ රුචි අරුචි කම් ගැන හිතන්නේ නැතුව නගර අගුළු දැමීම, ගමන් බිමන් තහනම් කිරීම වගේ සෘජු තීරණ ඉක්මනින් අරගෙන එයාල රට නැවත යථා තත්වයට ගෙනාවා. ඒ අර්ථයෙන් 'සාමාන්‍ය ජන ජීවිතය' ඉක්මණින් යථා තත්වයට පත් වෙලා මිනිස්සුන්ට පැවැත්මේ කොන්දේසි එක්ක නැවත ජීවත් වෙන්න අවකාශ ලැබුණා. යුරෝපීය බුද්ධිමතුන් පවා මේක චීනයේ ජයග්‍රහණයක් හැටියට දකිනවා. ඒ වගේම පාර ගෝලීය චීන බුද්ධිමතුන් පවා දකින්නේ කොරෝනා චීන සමස්තතා පාලනය වෙත ආව වෙස් වළාගත් ආශීර්වාදයක් විදියට.

ඇයි චීනයට මේක ආශීර්වාදයක් වුණේ? ඒ තමයි අන්තිමට මිනිස්සුන්ට ජීවත් වීමේ අයිතිය ලැබුණේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය ඇතුලේ නෙවෙයි ඒකාධිකාරය ඇතුලේ නිසා. ඒ නිසා යුරෝපයේ හිටපු චීන්නු දඩි බිඩි ගාල ආපහු චීනයට එන්න පටන් ගත්තා යුරෝපයේ මළ මිණී උඩින්. යුරෝපයේ නිදහස භුක්ති විඳින එක හරි සල්ලි හොයන එක හරි ඉගෙනගන්න එක හරි පැත්තකින් තියල ආපහු මව් රටට ආවේ ජීවිතේ බේරා ගන්න. මේක බැලූ බැල්මට ආසියානු චීන ධනවාදී මොඩලයේ ජයග්‍රහණයක් වගේ පේනවා. ඒ වගේම නැවත අපේ රටට ආපු අයත් වැඩි උණා. සැප සම්පත් අත් හැරලා මරණ බය නිසා මිනිස්සු ආපසු යාත්‍රා කළා. ඒ කියන්නේ තමන්ගේ සිහිනයෙන් හැරිලා ආපසු ආවා.

මේ තත්වය එක්ක අළුත් නෛතිකභාවයක් (new legitimacy) ඇවිල්ලා තියනවා යම් දරඳඩු පාලනයක් වෙත හරි ගිහිල්ල කමක් නැහැ මේ වසංගත තත්වයෙන් රට බේරා ගන්න කියල. ඒ විතරක් නෙවෙයි චීනය, සිංගප්පුරුව වගේ දේශපාලන ආකෘතියක් වෙත ගිහිල්ල හරි කමක් නැහැ ආර්ථික සංවර්ධනයත් ඒ මාවතේ ම ගේන්න කියල. අදහස් ප්‍රකාශ කිරීම, මානව හිමිකම්, ව්‍යවස්ථා හිමිකම්, වාර්ගික සමානාත්මතාවය, විශ්වීය ප්‍රජාතන්ත්‍රවාදය වගේ යුරෝපීය උරුමයන් අපි පස්සට දාල සංවර්ධනේ ඉස්සරහට ගේමු කියල තමයි දැන් දැන් මතවාදය සකස් වෙන්නේ. එතැනදී හමුදා පාලනයක් ආවත් කමක් නැහැ කියල කියන කොටසක් පවා ඉන්නවා. ඒ නිසා නිළ ඇඳුමක් දැක්කොත් එයා ගැලවුම් කරුවෙක් කියලත් දැන් අපේ අය හිතනවා. 

පැරණි වමේ කඳවුරේ චීනය, රුසියාව වගේ රටවල් කියන්නේ කිසිම දවසක යුරෝපීය ප්‍රජාතන්ත්‍රවාදය අත්දැකපු රටවල් නෙවෙයි. එයාල ඒකාධිකාරී වැඩවසම් ව්‍යුහයකින් කෙලින්ම තනි පක්ෂ සමාජවාදය වෙත ගියපු රටවල්. ඒවා අවසන් උනේ සමාජවාදය ඇතුලෙ ම උපන් ස්ටාලින් -මාවෝ වගේ තවත් දරඳඩු පාලන ආකෘති එක්ක. ඒවා අද පවතින්නෙත් තනි පක්ෂ ඒකාධිකාරී පදනම් ඇතුලේ. හැබැයි චීනය ඒ ව්‍යුහය ඇතුලේ ලොකු ආර්ථික සමෘර්ධියක් අත් කරගෙන යනවා. ඒක දැකල තමයි අපේ අය ඇස ගිනිකණා වට්ටගෙන තියෙන්නේ. ලිබරල් කඳවුරේ ජපානය පවා තනි පක්ෂ අධිපතිබවක් එක්ක තමයි එයාලගේ ජාතික ආර්ථිකය ලෝකයේ ප්‍රමුඛ ආර්ථිකයක් බවට පත් කළේ. ජපානයත් කෙලින්ම එයාලගේ අධිරාජ්‍යවාදී පාලනයෙන් තමයි ජාතිකවාදී තනි පක්ෂ පාලනයක් වෙත එන්නේ. මේකට සිංගප්පුරුවත් එකතු උනාම එතකොට අධිපති ඒකාධිකාරී කඳවුරට ආර්ථික ප්‍රගතිය පැත්තෙන් ආසියාව තුල ලොකු හඬක් තියනවා.
  
නමුත් මේ අතර අපි අමතක කරන තව වැදගත් දෙයක් තියනවා. ඒ තමයි අපේ රටේ වගේම ඉන්දියාවේ උනත් පූර්ව නුතන සමාජයක ඉඳල නූතන සමාජයක් වෙත එන ගමනේ දි අපිට මැදිහත්කරුවෙක් (mediator) ඉන්නවා කියන එක. ඒ තමයි යුරෝපීය අධිරාජ්‍යවාදී පාලකයින්. එයාල තමයි අපිට ප්‍රජාතන්ත්‍රවාදී ආයතන, භාවිතාවන්, ව්‍යුහයන් සහ වටිනාකම් හඳුන්වලා දෙන්නේ (මිට අමතරව යුරෝපීය අධ්‍යාපනය පවා දැන් අපේ උරුමයක්). මේක වැඩවසම් අධිරාජ්‍යයන් සමාජවාදය වෙත යාම වගේම ජපානය වගේ රටක් වැඩවසම් ක්‍රමයෙන් ජාතිකවාදී ධනවාදයට ගැට ගැසීම කියන දෙකටම වඩා පැහැදිලි ව්‍යුහාත්මක ආසියානු වෙනසක්. අනික ඒ යුරෝපීය ප්‍රජාතන්ත්‍රවාදය ඇතුලේ අපේ බහුවාර්ගික ජනතාවට දේශපාලන බල හුවමාරුව වෙත ලොකු බලපෑමක් කරන්න ඉඩ ලැබුණා. යුරෝපීය ප්‍රජාතන්ත්‍රවාදය ඇතුලේ ලොකු ගැටළු තියනවා වගේම අපේ ප්‍රජාතන්ත්‍රවාදයෙත් ලොකු සීමා තියනවා. මැතිවරණ ඇතුලේ ලොකු සීමා තියනවා. හැබැයි අපේ මිනිස්සු නාමික විදියට හරි ඉතාම ශක්තිමත් පාලන රෙජීමයන් වෙනස් කරන්න ඒ ප්‍රජාතන්ත්‍ර අයිතිය පාවිච්චි කරලා තියනවා. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය අපේ යුරෝපීය උරුමයක්. 

මේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ඇතුලේ සිදුවෙච්ච බරපතල සමාජ දේශපාලන පෙරළියක් තමයි 56 පෙරළිය. ඒක ඇතුලේ වෙච්ච ජාතිකත්ව අපගමණයන් බොහොමයක් වෙතත් අපේ රටේ සිදුවෙච්ච ඉතාම සාර්ථක විප්ලවයක් ඒක. ඒ මැතිවරණ දේශපාලනය ඇතුලේ බලයට ආව දේශපාලන ප්‍රවාහයන් විසින් එයට එරෙහිව පැමිණි සියලු සන්නද්ධ අරගල මුලිනුපුටලා දමනවා අපි දකිනවා. ඒකට 'ජනතා කැමැත්ත' සහ 'පරමාධිපත්‍යය' කියන ඒවා යුරෝපීය අර්ථයෙන් භාවිතා වෙලා තියනවා කියන එක අපි මේ විසි එක්'වන සියවසේ අමතක කරන්න හොඳ නැහැ. 71, 88-89 සහ උතුරේ සන්නද්ධ අරගලය ඒවාට උදාහරණ සපයනවා. මේ මැතිවරණ කියන්නේ පාලක පන්තියේ දේශපාලනය දෘෂ්ටිමය අවියක් හැටියට දෘඩ මාක්ස්වාදය විසින් අර්ථකතනය කරන්න පුළුවන් උනත් 56 පෙරළිය, චන්ද්‍රිකා කුමාරණතුංග ජයග්‍රහණය කරපු 1994 මැතිවරණය සහ 2005 යහපාලන ජයග්‍රහණය කියන්නේ යම් බල පෙරළියක් අවශ්‍යනම් කරන්න පුළුවන් කියන එකට තියන සාධාරණ සාධක. මේවායින් සෘජුව ගත්තම අධිකාරිවාදී ව්‍යුහය වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදී අක්ෂය ජයග්‍රහණය කරනවා 1994 සහ 2005 දී. 1978 මැතිවරණය උනත් තිබුණ සමඟි පෙරමුණු ආණ්ඩුවේ අධිකාරීබවට එරෙහි ප්‍රකාශනයක් හැටියටත් ගන්න පුළුවන්. 1978 න් පස්සේ තමයි අපි යුරෝපයට ගෝලීය අර්ථයෙන් ගැට ගැහෙන්නේ සහ ඉන් පස්සේ තමයි අපේ ජීවන ලෝකය ගොඩක් වෙනස් වෙන්නේ. ඒවායේ පවා ගැටළු නැතුවා නෙවෙයි. 

ඉතිං දැන් මේ සියවසේ අප ඉදිරියේ තියෙන්නේ අමුතු අභියෝගයක්. ඒ තමයි පැවැත්ම (existence) සහ ප්‍රගතිය (progress) වෙනුවෙන් ආසියාතික අධිපතිවාදී සංවර්ධන මොඩලය තෝරා ගන්නවද නැත්නම් අපේ යුරෝපීය උරුමයක් ලෙස පවතින සියවසක් පමණ පැරණි අපගේ ඓතිහාසික ගමන් මාර්ගයේ (historical trajectory) හමුවන ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය රැඩිකල් ලෙස අපේ සංවර්ධන උපාය මාර්ග කරා ලංවිම වෙනුවෙන් නැවත සලකා බලනවද කියන එක. විශේෂයෙන් බහුවාර්ගික සන්දර්භයක විවිධ ජාතීන් ගේ හඬ නියෝජනය කළ හැකි ප්‍රජාතන්ත්‍රවාදී මොඩලය නැවත බරපතල විදියට ලංකික දේශපාලනය තුළ සන්දර්භගත කළ හැකි නම් එය අපේ යුරෝපීය උරුමයේ ජයග්‍රහණයක් වේවි. 

ඒ මොනවා වෙතත් යුරෝපීය ස්වාමියා මේ සියල්ල දෙස බලා ඉන්නවා කියල හිතන එකට නම් මම කැමති නැහැ. අපි එයාලගේ දේ පාවිච්චි කරන්න ඕනි එයාලටත් වඩා යහපත්, මේ මිහිතලයට ගැලපෙන, තිරසාර සංවර්ධන මොඩලයක් සකස් කර ගන්න. එතැනදී මේ නව ලෝකයට උකහා ගන්න අනන්ත පාඩම් අපේ ඉතිහාසය තුළ තියනවා කියල මම හිතනවා. ඉතිහාසයෙන් ඛණ්ඩනය වෙනවට වඩා අපිට පුළුවන් ඉතිහාසයේ සමහර දේවල් වලින් ඉගෙන ගන්න. මම එතැනදී ජිජැකියානුවෙකුට වඩා හබමාසියානුවෙක්. 

මහේෂ් හපුගොඩ

Comments