Sathjana 2020.

Sathjana 2020.
SJB ප්‍රවෘත්ති සදහා මෙම ඛේතය "ක්ලික්" කරන්න.

අල්ලාතුමනි, තුවක්කුව තියාගන්න !

මට මතකයි,
අපේ ලොක්‌කයියා ඉම්සමාම්,
බැරැක්කේ ඉඳන් වාප්පා
නිවාඩුවට ගෙදර එද්දී,
සෙල්ලම් තුවක්කුවක්‌ ඉල්ලලා
නාහෙන් අඬපු හැටි හැමදාම .

මට මතකයි,
වාප්පා ලොක්කයියගෙ උපන්දිනේට
තෑගිදුන්න කරදාසියක ඔතපු පෙට්ටිය ලොක්කයියා දිගඅරිද්දී
එයාගේ ඇස් දිලිසෙනවා
ලයිට් වැදුන ජිල් බෝල වගේ.

මට මතකයි,
චීනච්චට්ටි සෙල්ලං තුවක්කුවෙන්
ලොක්කයියා වෙඩිතියනවා අහසට.
ඒ එක්කම " ඩිශුම්, ඩිශුම් " කිවුවේ එයා
ටීවී එකේ වෙඩි තියද්දී,
සද්දේ ඇහෙන විදිහටමයි.

මට මතකයි,
අපේ උම්මා කෑගහද්දි 
බොරු පතොරම් විදින ගමන්
ගොපලු රජා වගේ එයා
එළුරැළ පස්සේ පන්නල
වෙඩි තිය තිය දුවන විදිහ.

මට මතකයි,
පොඩ්ඩයියා එක දවසක්
හොරෙන් තුවක්කුව අරගෙන
ලොක්කයියට අහුවුනාම
ඒ දෙන්නා රණ්ඩු වෙනවා
පෙරලි පෙරලි වැල්ල දිගට.

මට මතකයි,
වාප්පාට මo කිවුවා 
ලොක්කයියා වගේ මමත්
වෙඩිතියන්න පුරුදුවෙලා ,
ලොකුවුනාම වාප්ප වගේ
අඳිනවා යුනිෆෝම් කියලා.

මට මතකයි,
එදා හුඟක් හවස් වෙලා
අපි, බොලගැහුවේ පිට්ටනියේ
ලොක්කයියා ගෙයි මිදුලේ
තුවක්කුවෙන් වෙඩි තිය තිය
උම්මගේ තනියට හිටියා. 

මට මතකයි,
එකසැරේම, " ඩොo " ගාල සද්දවුනා.
ගොඩක් වෙලා නිදන් ඉඳලා
පොඩ්ඩයියත් එක්ක එකට
ඉස්පිරිතාලේ ඇඳකයි නැගිට්ටේ මම,
ලෙඩක් හැදුනේ නැතිවුනාට.

මට මතකයි,
අපි ආපහු ගෙදර නොයා
සීයලාගේ ගෙදර ගියේ, 
අල්ලාතුමා අපේ උම්මව
දුර ගමනක්‌ එක්ක ගියයි,
සීය දුකෙන් කියපු නිසයි.

මට මතකයි,
ලොක්කයියව අපි දැක්කේ
සෑහෙන කාලෙකට පස්සේ.
සීය කිවුවේ එයත් එදා
උම්මා එක්ක යන්න ගිහින්
මගදී හැරිල ආවා කියලා.

මට මතකයි,
ලොක්කයියා ඉස්සෙල්ලම
එයාගේ අත්දිග කමිසේ
සීයා ඇවිත් ගලෙවුවහම,
තිබුනේ නෑ කමිසේ ඇතුලේ
අත්දෙක, ඉස්සර වාගෙ.

මට මතකයි,
එදා රෑම, වාප්ප ආවා බලන්න.
ලොක්කයියා නිදි එවේලේ.
වාප්පා ඇඳ ළඟ ඉඳගෙන
ඉකි ගහ ගහ අඬපු විදිහ
පොඩ්ඩයියත් බලන් හිටිය.

මට මතකයි,
පොඩ්ඩයියට මම කියනවා,
ලොක්කයියට ආයෙම අපි
තුවක්කුවක්‌ දෙමුද කියලා, 
ඉස්සර වගේ ඉලක්කෙටම
වෙඩිතිය තිය හිනාවෙන්න..

මට මතකයි,
එතකොට, පොඩ්ඩයිය කියුවා,
පල්ලි ගිහින් යාඥාවෙ
අල්ලා දෙයියන්ට කියුවේ,
නැතිවුන අත් දෙක වෙනුවට
එකක් වුනත් දෙන්න කියලා.

මට මතකයි,
මාත් කිව්ව, තුවක්කුවම තියාගන්න,
ලොක්කයියට අතක් දෙන්න.
තුවක්කුවක්‌ නැතුව ආයේ
සතුටින් සෙල්ලම් කරන්න
අපි, උගන්නනවා ලොක්කයියට.

🔼 වාප්පා -  තාත්තා
🔼 උම්මා -  අම්මා

- ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද 

Comments