Sathjana 2020.

Sathjana 2020.
SJB ප්‍රවෘත්ති සදහා මෙම ඛේතය "ක්ලික්" කරන්න.

අවශ්‍යතාවයේ මූලධර්මය තිබෙන්නේ නීතිය කුණු බක්කියට දමන්නට නොවේ

මේ දිනවල කොරෝනා වසංගතය සමග දිගහැරෙමින් පවතින දේශපාලනය දෙස බලනවිට පෙනෙන්නේ මෙරට ප්‍රජාතන්ත්‍රවාදය කොතරම් බිඳෙන සුලු තත්වයක පවතින්නේ ද යන්නය. එය තර්ජනයන් දෙකකට මුහුණ දී සිටින බව පෙනෙයි. පළමුවැන්න ජනප්‍රියවාදයයි (Populism) දෙවැන්න ඒකාධිපතිවාදයයි (Authoritarianism).

ජනප්‍රියවාදය යනු මහජනතාව අතර පවතින දේශපාලන නූගත්කම යොදාගෙන විවිධාකාර සමාජ බෙදීමි අවුස්සමින් දේශපාලන නායකයින් තමන්ව ප්‍රශ්ණ නොකර පිළිගන්නා නායකත්වයන් බවට පත් කර ගැනීමය. මෙය ඇරිස්ටෝටල් හඳුන්වා දුන් රාජ්‍යයේ ප්‍රමාණාත්මක පැත්ත වන ජනසමූහයාගේ නූගත්කම විසින් හසුරුවන බහූතරය වෙතට යොමුවීමය. දේශපාලන නිදහස, අධ්‍යාපනය සහ වත්කම වැනි රාජ්‍යයේ ගුණාත්මක අංශය මුල් කර ගෙන ගොඩනගන බලයක් නොවේ. මෙය විසින් ඇති කරන තර්ජනය කාලයක් තිස්සේ මේ රටේ වැඩෙන දෙයකි. එය සිදුවන්නේ ඒ අන්දමින් බලය ලබා ගන්නා නායකයින් බුද්ධිමත් රාජ්‍ය පාලනයක් වෙනුවට තම තමන්ගේත් ජනතාවගේත් පුද්ගලික වාසියට ගෙන යන පාලනයක් ඇති කිරීම මගින් ප්‍රජාතන්තත්‍රවාදයේ හර පද්ධතීන් විනාශ කිරීම තුළින් ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල කිරීමය.

දෙවැන්න සමහරවිට පළමුවැන්නේම දිගුවකි. ජනප්‍රිය දේශපාලනය මගින් ඉදිරියට පැමිණ ජනයාගේම කැමැත්තෙන් එක් අයකුගේ (ඒකධිපති) හෝ ටික දෙනකුගේ (කථපයාධිපති) අධිකාරවාදී පාලනයක් ගොඩ නගා තමන්ට සහය දුන් ජනතාව මර්දනයට ලක් කිරීමය. ඔව්හු බලයට එන්නේ ජනතාවගේ ඔල්වරසන් මැදය. බලයට පැමිණි පසු කියන්නේ තමන් විසින් වැඩිකරන බදු කට පියාගෙන ගෙවන ලෙසය. පරිත්‍යාග කරන ලෙසය. මේ පරිත්‍යාග සමහරවිට තමන් වෙනුවෙන් ඉදිරියට ගොස් ජීවිතය පරිත්‍යාග කිරීමට ඉල්ලා සිටීම දක්වා ඉදිරියට යයි. පාලකයන්ගේ හැටි කොහොමටත් එහෙමය. ඔව්හු ජනයාගෙන් අත්පොලොසන්, බදු සහ ලේ පරිත්‍යාගය ඉල්ලා සිටින බව මහාචාර්ය හැරල්ඩ් ලාස්වෙල් ප්‍රකාශ කළේ 1930ස් ගණන්වලය.

ඉහත සඳහන් දෙයාකාරයේම අවසන් ප්‍රතිඵලය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය තුලින් ඒකාධිපතියකු බිහිවීමය. මේ බව අප සියල්ලන්ට පෙර ප්ලේටෝ ක්‍රිපූ 3වන සියවසේ දී හඳුනා ගත්තේය. එය ඔහු හඳුනා ගත්තේ ලොව පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදය ලෙස සලකන ක්‍රිපූ 5 - 3වන සියවස ඇතන්ස් රාජ්‍යයේ පැවති ප්‍රජාතන්ත්‍රවාදය පරිහානියට ගිය ආකාරය දෙස බලාගෙනය. අද ලෝකය පුරා ප්‍රජාතනත්‍රවාදයේ කල දසාව එතරම් සතුටුදායක නැත. ක්‍රේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ 1995 සිට නොකඩවා ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් රටවල් 168ක මහජන මතය පිළිබඳ සමීක්ෂනයක නිරතවී සිටින පරීක්ෂක කංඩායමක් ප්‍රකාශ කරන්නේ 2020 වන විට ලෝක ජනගහණයෙන් සියයට 53ක් ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි සිටින්නේ අසතුටින් බවය. ඔවුන්ට අනුව මෙම අසන්තුෂ්ඨිය 1995 සිට සියයට 35 කින් ඉහළ ගොස් තිබේ. 1990 ගණන්වල ප්‍රජාතන්ත්‍රවාදයේ තෙවන රළ පහර ලෙස හඳුන්වන ඒකාධිපතිත්වයන්ගේ බිඳ වැටීමේ සිට වසර 30ක් ගිය තැන ඇතිවී තිබෙන මෙම පසු බෑමට හේතු සාධක අතර දේශපාලන දූෂණ. හිතමිතුරු සංග්‍රහ, අකාර්යක්ෂමතාවය වැනි කරුණු හඳුනා ගෙන ඇත.

අපේ රටේ ද ප්‍රජාතන්ත්‍රවාදය ගැන මහජනයා තුළ ඇත්තේ යහපත් මතයක් නොවේ. එය පිට කරමින් තිබෙන්නේ පාර්ලිමේන්තුව ඉලක්ක කර ගෙනය. එහි සිටින 225 සමස්ථයක් වශයෙන් ගෙන දේශපාලකයන්ව ප්‍රතික්ෂේප කිරීම විලාසිතාවක් බවටත් සිතා මතාම ගෙන යන ප්‍රචාරක ව්‍යාපාරයක් බවටත් පත්වී ඇත. එදා දේශපාලකයන් තමන්ගේ විමුක්තිවාදීන් ලෙස සලකා ඔවුන්ට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ සහ හයෙන් පහේ බලයක් ලබා දී ඔවුන්ගෙ නායකයන්ට පූර්ණ බලය (Total Power) ලබා දෙන ව්‍යවස්ථා සාදන්නට ඡන්දය දුන් ජනතාවට අද ඔවුන් පෙනෙන්නේ දූෂිත රොත්තක් ලෙසය. සමාජවාදය, ධර්මිස්ට සමාජය, මානව මුහුණුවර, ආසියාවේ ආශ්චරය සහ යහපාලනය වැනි පාඨයන් ඉදිරිපත් කර බලයට පැමිණ බලයේ රස විඳ ගෙදර ගිය මේ පාලකයන් තමන්ට ඉතිරි කර තිබෙන්නේ කුමක් ද යන්න ජනතාව ප්‍රශ්ණ කරති. මෙම වසංගත කාලයේ ආණ්ඩුවෙන් ලබා දෙන රුපියල් පන්දාහ මුදල ඉල්ලා ගෙන පැමිණි ජනයා පිළිබඳ සංඛ්‍යා එකතු කළහොත් මේ රටේ ජනගහණයෙන් ලක්ෂ හැත්තෑවකට වැඩි පිරිසක් දුප්පතුන්ය. අපේ සමාජය මේ නිසා අද පවතින්නේ ජනප්‍රියවාදයේ සිට ඒකාධිපති අධිකාරිවාදී පාලනයකට රට ගෙන යා හැකි පදනමකය. අතීතයේ සෑම ඒකාධිපතියකුම සිදුකළ ආකාරයට ආර්ථික පීඩනයට ලක්ව සිටින ජනයාට සුරපුර පෙන්වා ප්‍රජාතන්ත්‍රවාදය හකුලුවා දමා සිය බලය තහවුරු කර ගැනීම හැකි ජනප්‍රියවාදයට මනා තෝතැන්නක් මෙහි පවතී. ඇතන්ස් රාජ්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදය බිඳ දමා ඒකාධිපතියන් බලයට ආවේත් හිට්ලර් ජර්මනියේ ප්‍රජාතන්ත්‍රවාදය මගින් බලයට පැමිණියේත් මෙබඳු පසුබිමකය.

ලංකාවේද ප්‍රජාතන්ත්‍රවාදය කාලයක සිට පවතින්නේ ජනපප්‍රියවාදීන්ගේ ග්‍රහණයට හසුවය. මේ රට 1972 සිට පවතින්නේ අධිකාරිමය ආකාරයෙන් බලය මෙහෙයවන පුද්ගලයන් ටික දෙනකු අත සිට එක් අයකු වෙතට පාලන බලය දෝලනය වන ආකාරයට මාරුවන පාලන ක්‍රම යටතේය. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යනු පාලකයන්ව නීතියකට යටත් කර පුද්ගල පාලනය වෙනුවට නීතියේ පාලනය තහවුරු කරන ක්‍රමවේදයකි. මේ යටතේ ජනසම්මතයෙන් පත්වන පාලකයන්ට බලය පවරන්නේ ව්‍යවස්ථාව මගිනි. ඔවුන්ට බලය දෙන්නේ ඡන්දදායකයා නොව ව්‍යවස්ථාව විසිනි. සෑම තේරී පත්වන අයකුම ව්‍යවස්ථාවට ගරු කරන බව දිවුරා පොරොන්දු වන්නේ එම නිසාය. මේ ආකාරයට පාලකයා ද පාලිතයා ද යන දෙපක්ෂයම නීතියට යටත් කරති.

නමුත් 1972න් පසු මෙරට ව්‍යවස්ථා සකස් කර තිබෙන්නේ පාලකයන් එසේ දිවුරුම් දුන්න ද ඔවුන්ව යටත් කිරීමට ව්‍යවස්ථාවන්ට නොහැකි අයුරිනි. 1972 දී බලතල බෙදීම වෙනුවට බලතල මධ්‍යගත කිරීම සිදුකර සියලු රාජ්‍ය බලතල ව්‍යවස්ථාදායකයට පවරා ඒවා හැසිරවීමේ බලය විධායකයට ලබා දුන්නේය. එදා පාර්ලිමේන්තුවට ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නීති පවා තුනෙන් දෙකේ බලයෙන් සම්මත කළහැකි විය. මේ අන්දමට ව්‍යවස්ථාවට මෙරට පාලකයන්ව යටත් කළ නොහැකි තත්වය1978 ව්‍යවස්ථාවෙන් තවත් දුර ගෙන ගියේය. ඡන්දයෙන් පත්වන විධායකයා “වරද නොකරයි” යන මූලබධර්මයට සම්බන්ධ කළ එකම පාලන ක්‍රමය මෙය විය යුතුය. එය සර්ව බලධාරීත්වවාදය මත පදනම්ව විධායක ජනාධිපති ධූරයක් ඇති කරමින් එම තනතුර දරන්නා වූ පුද්ගලයා කිසිදු අධිකරණයක් ඉදිරියේ ප්‍රශ්ණ කළ නොහැකි බව ව්‍යවස්ථාව විසින්ම ප්‍රකාශයට පත් කළේය. ඒ ආකාරයට මෙරට පැවති ව්‍යවස්ථානුකූල පාලනය අවසන් කිරීමට 1972 දී කළ මුල පිරීම එහි මස්ථකප්‍රාප්තියට ගෙන ගියේය. මේ ව්‍යවස්ථාව ජනප්‍රියවාදයට මනා තෝතැන්නක් සපයන ලදි. මෑතකාලයේ දී කපටිකථිකයන්ගේ (Demagogues) සහාය ලබා ගෙන ප්‍රජාතන්ත්‍රවාදයෙන් බලය ගන්නා නායකයින් මිහිපිට පහළවූ දෙවියන් හා සමාන තත්වයකට ගෙන යාමට පදනම වැටෙන්නේ ඒ අන්දමටය. අද ‘මහා සම්මත’ ගැන කථා කරමින් රාජ්‍ය පරමාධිපත්‍යයේ එකම හිමි කරු එම ධූරය දරන්නා බවට කරන ප්‍රශස්ථිවලින් මේ කථාවම කියවෙයි.

එහෙත් මේ අය හොඳින් දන්නා දෙය වන්නේ මෙම ජනාධිපති සතු සර්ව බලධාරීත්ව බලය යම් පමණකට සීමා කරමින් ව්‍යවස්ථානුකූල පාලනය වෙතට ගමන් කිරීමට 19වන සංශෝධනය යම් ප්‍රමාණයකින් සමත් වූ බවය. ජනප්‍රියවාදය ඉදිරියට දමමින් දැන් ඔවුන් උත්සාහ කරමින් ඉන්නේ එය ආපසු හැරවීමටය. 19වන සංශෝධනය නිසා ජනාධිපතිට ව්‍යවස්ථාවෙන් හිමි රාජ්‍ය, විධායක සහ ආන්ඩුවේ නායකත්ව යන තත්වයන් සියල්ල නාමික තත්වයට පත්වීම සිදුවී ඇත. පාර්ලිමේන්තුව විසින් සිය බහූතර සහයෝගය ලබා දෙන අගමැති සහ ඇමති මණ්ඩලයට රටේ විධායක පාලනය පවරා දීමට දැන් ජනාධිපතිට සිදුවෙයි. ජනාධිපතිට ඇමති ධූරයක් දැරීමටවත් නොහැකිය. ඡන්දයකින් පත්වන නව පාර්ලිමේන්තුවක් වසර හතර හමාරක් ගතවනතුරු විසුරුවා හැරීමට ද නොහැකිය. මේ නිසා රටේ සැබෑ පාලකයා වන්නේ අගමැතිවරයාය. ඔහුව ඉවත් කළ හැක්කේ පාර්ලිමේන්තුවට පමණකි. මේ නිසා වත්මන් ජනාධිපතිවරයා බලයට පැමිණි දිනවල ප්‍රකාශ කළේ තමන්ට විශාල ජනවරමක් ලැබුන ද අවශ්‍ය කාර්යන් ඉටු කිරීමට බලයක් නැති බවය. ඔහුට ඒ නිසා අවශ්‍යව තිබෙන්නේ 19වන සංශෝධනය ඉවත් කර දමා යළිත් 2015ට පෙර තත්වය කරා යාමට බවය. මේ නිසා ලැබුනු පළමු අවස්ථාවේම තුනෙන් දෙකක බලයක් පාර්ලිමේන්තුව තුල ලබා ගැනීමට පැවති පාර්ලිමේන්තුව විසුරුවා හරින ලදි. අවාසනාවට කොරෝනා වසංගතය එයට ඉඩ දුන්නේ නැත. එහෙත් තවමත් ආන්ඩු පක්ෂය සිටින්නේ එම ඉලක්කයේය. කොරෝනා වසංගතය ව්‍යාප්තවීම මැඩ පවත්වන්නට ක්‍රියා කරන ආකාරය දෙස බලනවිට පෙනෙන්නේ ද එයයි. සියල්ල සිදුවන්නේ මැතිවරණයෙන් තමන්ගේ බලය තහවුරු කර ගන්නට එය ආධාර වන්නේ ද යන කාරණය සලකා බලමින් බව පෙනෙයි. සෞඛ්‍ය ඇමතිනිය මෙම සතියේ ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශයක් වූයේ කොරෝනා මර්දනයේ ඉතිහාසය ලියනවිට එහි පළමු ස්ථානයේ සිටින්නේ ජනාධිපතිවරයා බවය. මේ යන්නේ කොරොනාව හරහා ද ජනප්‍රියවාදය පණ ගන්වන්නටය.

දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබිය හැකි මාස තුනක උපරිම කාලය ඉක්මවා යන ආකාරයට මැතිවරණ කොමිසම ගත් තීරනය නිසා රටේ ව්‍යවස්ථානුකූල පාලනයක් පවත්වා ගෙන යාමේ වැදගත්කම දන්නා පුරවැසියන්ට අධිකරණය ඉදිරියට යාමට පොළඹවා ඇත. මැතිවරණ කොමිසම මේ ආකාරයට පුරවැසියන්ට අධිකරණය ඉදිරියට යාමට අවකාශය සැලසුවේ මැතිවරණය නියමිත පරිදි පවත්වා නියමිත කාලය තුළ පාරිලිමේන්තුව රැස් කිරීමට නොහැකි බව පෙනුන බැවින් නොවේ. මෙබඳු අවස්ථාවක දී ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් පවරා ඇති වගකීම් දෙකම පාවිච්චි කිරීම ජනාධිපතිගේ පාර්ශවයෙන් ප්‍රතික්ෂේප කළ බැවිනි. මෙයින් පළමුවැන්න වූයේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් උපදේශයක් ඉල්ලා සිටීමය. දෙවැන්න වූයේ 70 (7) වගන්තිය අනුව හදිසි තත්වය ප්‍රකාශයට පත් කර විසිර ගිය පාර්ලිමේන්තුව නියමිත දිනයට යලි කැඳවීමය.

ජනාධිපතිවරයා මෙම අවස්ථා දෙකම ප්‍රතික්ෂේප කළේය. හදිසි තත්වයක් පැනවිය යුතු අවස්ථාවක් වශයෙන් ජාත්‍යන්තර මට්ටමේ අධිකරනයක් වන එංගලන්තයේ ප්‍රිවි කවුන්සිලය විසින් පවා හඳුනා ගෙන ඇති එක් හේතුවක් වන්නේ වසංගත රෝගයක් පැන නැගීමය. මේ අවස්ථාව හදිසි තත්වයක් ප්‍රකාශ කර සියලු රාජ්‍ය ආයතන ඒකාබද්ධව මුහුණ දිය යුතු අර්බූදයකි. නමුත් බලය දරණ පාර්ශවයට අවශ්‍යව තිබෙන්නේ එය නොවේ. රටේ පාලනය ජනාධිපති සහ විසිර ගිය පාර්ලිමේන්තුවෙන් පත්වූ භාරකාර ආණඩුව අත තබා ගෙන අනිත් ආයතන ටික කාලයකට හෝ අනවශ්‍ය කොට මෙයින් ද උපරිම දේශපාලන වාසියක් ලබා ගැනීමය. දේශපාලන තලයේ ඇතිවන අර්බූද විසින් ජනාධිපතිට බලයක් ලැබෙන බව පෙනුන ද එය ස්ථිරසාර තත්වයක් නොවන්නේය. සිරිසේන ජනාධිපතිවරයා ද එදා මේ අන්දමට හිස් තැන පුරවා ගැනීමට උත්සාහ කළ ද අවසානයේ ඔහු එයින් අමුතු බලයක් හිමි කර ගත්තේ නැත.

ව්‍යවස්ථාවේ ජනාධිපති සතු බලයක්වන පාර්ලිමේන්තුව රැස්කිරීමේ දිනය මැතිවරණ කොමිසම විසින් අවුල් කර දැමීම සම්බන්ධයෙන් වගකීම ද අවසාන විග්‍රහයේ දී පැවරෙන්නේ ජනාධිපතිවරයාටය. මන්ද ඔහු තමන්ගේ ව්‍යවස්ථා වගකීම් ඉටු කිරීම ප්‍රතික්ෂේප කළ බැවිනි. මේ නිසා සමහරු කියන අන්දමට අවශ්‍යතාවයේ මූල ධරිමය ඉදිරිපත් කර මැතිවරණ කොමිසමේ ක්‍රියාව සාකච්චා කිරිම මගින් මෙම කාරණය යටපත් කළ නොහැකිය. මැතිවරණ කොමිසම විසින් කර තිබෙන්නේ වක්‍ර ආකාරයෙන් අධිකරණයේ මතය විමසීමට පුරවැසියන්ට අවස්ථාව සැලසීමය. අවශ්‍යතාවයේ මූල ධර්මය පාවිච්චි කිරීම සමග එය සම්බන්ධ කළ නොහැකිය.

මේ අතර ආන්ඩුවට හිතවත් පාර්ශවයේ සමහරු “පාර්ලිමේන්තුව නැති විට රාජ්‍ය පරමාධිපත්‍යය ජනාධිපති සතුවන්නේ යයි” කියමින් ජනතාව සතු පරමාධිපත්‍යයට අයත් විධායක කාර්යයෙන් එක් කොටසක් පමණක් හිමි ආයතනය ජනප්‍රියවාදය මුල් කර ගෙන උත්කෘෂ්ඨතවයට නැංවිමට උත්සාහ කරමින් සිටියි. මේ අය ජය ගතහොත් අවසානයේ ප්ලේටෝ විසින් පෙන්වා දුන් ගමනට අපේ ප්‍රජාතන්ත්‍රවාදය ද දක්කා ගෙන යනු ඇත. අවශ්‍යතාවයේ මූලධර්මය යොදා ගෙන විධායකයට මේ අර්බූදය අවස්ථාවේ ලැබී තිබෙන අවකාශය ව්‍යවස්ථාව කුණු කූඩයට දැමීම සඳහා දරණ උත්සාහයක් ද පවතින බව පෙනෙයි. පකිස්ථානයේ අධිකරණය ප්‍රජාතන්ත්‍රවාදය හකුලුවා දැමීමට උදව් කරමින් රට මිලිටරි ආඥාදායකත්වයට ගෙන යාම සඳහා ඉදිරිපත් කළ ප්‍රකාශ උපුටා දක්වනු ද පසුගිය දිනක අසන්නට ලැබුනි. ව්‍යවස්ථාවට වඩා ජනතාවගේ ජීවන පැවත්ම ඉහළින් සිටින්නේ යයි එම අධිකරණය කළ ප්‍රජාතන්ත්‍ර විරෝධි ප්‍රකාශය එහිදී උපුටා දක්වන ලදි. ජනතාවගේ ජීවිතයේ මනා පැවත්ම රැඳෙන්නේ “කන්න දෙනව නම් බොන්න දෙනවා නමි වෙන මොන කෙංගෙඩියද ඕන කරන්නේ” වැනි ප්‍රකාශ කරමින් ව්‍යවස්ථාව කුණු කූඩයට දැමීමෙන් නොව නීතියේ ආධිපත්‍යය යටතේ ශිෂ්ඨ ජිවිතයක් ඔවුන්ට ලබා දීමෙනි. මේ වැනි අර්බූදයක දී කළ යුත්තේ විද්‍යාඥයින් සහ සෞඛ්‍ය විශේෂඥයින්ට වසංගතය මර්දනයේ නායකත්වය බාර දී දේශපාලකයන් රටේ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීමට සහභාගිවීමය. එහි දි විධායකය පමණක් නොව ආණ්ඩුවේ අනිත් ආයතන දෙකට ද ඒ සඳහා හිමි අවස්ථා ඉටු කිරීමට අවස්ථාව සලසා දීමය. ජනප්‍රියවාදය යොදා ගෙන එබඳු තර්කවලින් ව්‍යවස්තාව කුණු කූඩයට දැමීමට සහ ආන්ඩුවේ ත්‍රිවිධ ආයතන අතර තිබිය යුතු බලතුලනය අවසන් කිරීමට උත්සාහ නොකළ යුතුය.

මැතිවර්‍රණය සාධාරණ සහ නිදහස් ක්‍රියාදාමයක් සහිතව ඉක්මණින් පවත්වනවා නම් අප ද කැමතිය. ඒ සඳහා කොරෝනා ව්‍යාප්තිය වළක්වා රට යථා තත්වයට පත්වනු දැකීම අපගේ ද පරමාර්ථයයි. ඒ සඳහා කැපවීමක් සමාජයෙන් ලබා ගත යුතුය. මෙය කළ හැක්කේ සිය ස්වාර්ථ සාධන දේශපාලනය පැත්තකින් තබන්නට බලය හිමි කර ගෙන සිටින දේශපාලන නායකයින් පළමු පියවර තැබීමෙනි. එහිදී පාලක පක්ෂය සමග සහයෝගීව ක්‍රියා කරන ලෙස අපි සියලු දේශපාලන නායකයන් ගෙන් ඉල්ලා සිටින අතර මේ සඳහා තවමත් කල් තිබෙන බව සඳහන් කරමි.

ආචාර්ය ඒ. එම්. නවරත්න බණ්ඩාර 
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ හිටපු ජේෂ්ඨ මහාචාර්ය

Comments