Sathjana 2020.

Sathjana 2020.
SJB ප්‍රවෘත්ති සදහා මෙම ඛේතය "ක්ලික්" කරන්න.

ඩ‍්‍රැකියුලා ගේ ආගමනය..

හැමෝටම මතක ඇති ඒ කාලේ ආව ඩ‍්‍රැකියුලා චිත්‍රපටි. ඒත් අපි කවදාවත් හිතුවේ නැහැ ඒ ඩ‍්‍රැකියුලා ල ඇත්තටම අපිට අපේ ජීවිත කාලේ ඇතුලේ හම්බවෙයි කියල. චීනයෙන් ආව කියල කියන කොරෝනා වෛරස් එකට වවුලන්ගේ සම්බන්දයෙක් තියනවා කියල කියනවා. ඒක ඇත්ත උනත් නැත්ත උනත් ඒ වවුලා දැන් යක්ෂයෙක් වගේ අපේ ලේ උරාගෙන බොනවා. ඩ‍්‍රැකියුලා ෆිල්ම් වලත් එහෙමයි. එක යක්ෂ වවුලෙක් මිනිහෙක්ට දෂ්ට කළොත් ඒ මිනිහා යක්ෂයෙක් වගේ වෙනවා. එයත් අර වවුලා වගේ අනික් මිනිසුන්ගේ ලේ උරාගෙන බොනවා. එයාලටත් අර යක්ෂ පැවැත්ම සම්ප්‍රේෂණය වෙනවා. එයාල තවත් මිනිසුන්ගේ ලේ උරා බොනවා. තව තවත් අයට මේක සම්ප්‍රේෂණය වෙනවා. යම් සමාජයක විශාල පිරිසක් මැරෙනකම් ම මේක දිගට දිගට සිදුවෙනවා. මේක අපේ කාලයේ ක්ෂිතිමය රූපකයක් කියල හිතන්න. 

කොරෝනා උනත් ඒ වගේ. එක් අයෙක් ගෙන් තව අයෙක් ට මරණීය විදියට මේක සම්ප්‍රේෂණය වෙනවා. මිනිස්සු කොරෝනා කියනකොට ඩ‍්‍රැකියුලා දැක්ක වගේ දුවන්න ගන්නවා. ඩ‍්‍රැකියුලා ට බයෙන් මුළු ගැන්නිච්ච ශිෂ්ටත්වයේ නගර කියල කිව්ව දැවැන්ත නගර දැන් පාළුවට ගිහිල්ලා. කාලය යනවා දැනෙන්නේ නැහැ. මොකද ඔක්කොම ටයිම් ටේබල් අවුල් වෙලා. පැවැත්ම එකතැන නතර වෙලා. ජීවිත කාලයක් පුරුදු පුහුණු වෙච්ච් දිනපතා චර්යා වෙනස් වෙලා. මේ මුල්ම වතාවට තමයි මිනිස් පැවැත්ම එකතැන ගල් ගස්සන්න යම් දෙයකට පුළුවන් උනානම් උනේ. 

ජීවිතේ මුල්ම වතාවට තමයි මිනිසුන්ට 'කාලය' කියන එක අමතක උනේ. කාලය නැතුව පවතින්න පුළුවන් කියන එක මිනිසුන්ට ඒත්තු ගියේ. ඒ කියන්නේ ශිෂ්ටාචාර ගත වෙන්න කලින් අර ඉර හඳ දිහා බලල මිනිස්සු දවල් රෑ විතරක් හොයාගත්ත කාලෙට අපි කොරෝනා නිසා ටයිම් ට්‍රැවල් කරලා තියනවා. දින මතක නැහැ. සති මතක නැහැ. මාස මතක නැහැ. මේක වැදගත් අත්දැකීමක් මිනිසුන්ට. මම හිතන්නේ ඒ නිසා තමයි අපි ආයේ 'සාමාන්‍ය වෙන්නේ නැහැ' කියල ඔය බටහිර දාර්ශනික පොරවල් කියන්නේ. එයාලට දැනෙනවා වෙලා තියන දේ හැබැයි කියාගන්න බැහැ. හැම වෙලාවෙම චලනය වෙන්න හුරු වෙලා තිබ්බ බටහිර ජාතීන් ට මේ කාලය නැවතීම දිරවා ගන්න බැහැ. කාලය එක්ක ප්‍රගතිය වෙනුවෙන් තරඟ කරපු කට්ටිය දැන් අළුත් ගෝලීය පරිපාටියක් ගැන කතා කරනවා (new global order). ඒ කියන්නේ ඩ‍්‍රැකියුලා සිරගත වීමකින් පස්සේ හුස්ම ගන්නේ කොහොමද කියන එක දැන් අළුත් ප්‍රශ්නයක්. 

නගර වලට යන්න බයයි. ෂොපින් මෝල් වලට යන්න බයයි. මිනිස්සු එක් රැස් වෙන තැන් වලට යන්න බයයි. ගුවන් තොටුපළවල් සහ දැවැන්ත ෂොපින් මෝල් වගේ ගෝලීය ෆැන්ටසි කොරිඩෝ තමයි ගොඩක් අවුල් වෙලා තියෙන්නේ මේ ප්‍රශ්නේ එක්ක. මේ ඔක්කොම අතරේ ලොකුම ලොකුවට බලපෑම් උනේ ඇමෙරිකාව, එංගලන්තය, ඉතාලිය සහ ස්පාඥ්ඥය යන රටවල් වලට. ඒ කියන්නේ යුරෝපීය පුනරුද ව්‍යාපාරයේ සෘජු බලපෑම තිබ්බ රටවල් වලට. නමුත් චීනය, කොරියාව, තායිවානය, සිංගප්පුරුව වගේ පෙරදිග රටවල් මේ තත්වය යම් තරමකින් පාලනය කර ගනිමින් ඉන්නවා. ජපානය අතර මැද තැනක ඉන්නවා. ඒ කියන්නේ පෙරදිග ලෝකයේ ෆැන්ටසි හැටියට තිබ්බ බටහිර රටවල් තමයි අද ගොඩක් අවුල් වෙලා තියන්නේ. 'පෙරදිග ගල් ගුහාවකින් ආව යක්ෂ වවුලෙක්' (ඩ‍්‍රැකියුලෙක්) අපරදිග විනාශ කළා වගේ හැඟීමක් දැන් බටහිරට තියනවා. පෙරදිග දිහා බලන්නේ යම් නොරුස්නා කමකින්. අපේ ෆැන්ටසි රාජ්‍යය උඹල ඇවිත් කුඩු කළා වගේ හැඟීමක් ඇති එයාලට. එයාලගේ ෆැන්ටසි එකේ විලෝමය දැන් පෙරදිගින් හම්බ වෙලා. මේක එයාලගේ අද ඊයේ රෝග ලක්ෂනයකුත් නෙවෙයි.   

ඊට සමාන්තරව 'ඔය බටහිර ෆැන්ටසි වලට ගිය එවුන් දැන් මෙහෙට ආපහු එනවා නම් සද්ද නැතුව හිටු' වගේ එකක් දැන් අපේ පැත්තෙන් කියවෙනවා. චීන්නු ආපහු චීනයට ආව. ලංකාවේ අය ආපහු මේ 'අවුල' ඇතුළට ආව. හැමෝටම පරාණ බය දැනෙන්න ගත්ත. යම් පෙරදිග බවක ජයග්‍රහණයක් වෙන්නත් පුළුවන් මේක. අන්තිමට පණ බේර ගන්න නම් ෆැන්ටසියෙන් 'අවුල' ඇතුලට එන්න වෙනවා කියන එක දැන් සාමාන්‍ය කරණය වෙලා. පැවැත්ම පිණිස ස්වභාවිකත්වයේ අවුල ඇතුලට දැන් හැමෝම වගේ එනවා. 

වැදගත් ම දේ වෙන්නේ මේ සියල්ලටම වඩා අතිශයින් මතභේදාත්මක දෙයක්. ඒ කියන්නේ චීනයේ වර්තමාන පරම්පරාව සිතනවා එයාල යමින් හිටිය 'නූතන බව' වෙනුවට පරණ කොන්ෆියුසිස් සමාජයක් නැවත එයාලට අවශ්‍යයි කියල. කොන්ෆියුසිස් ධර්මය අනුව පැවතීම නූතන බවට සහ පැවැත්මට ගැටළුවක් නෙවෙයි කියල. ඒ වගේම එයාල හිතනවා ඒ සමාජ වල ශේෂ වෙලා තිබ්බ විනය, පාසැල් ශික්ෂණය, නීති ගරුක බව නිසා මේ වෙලාවේ එයාලගේ ජීවිතේ බේරුණා කියල. ඒ නිසා මාවෝ ගේ සංස්කෘතික විප්ලවයට කළින් තිබ්බ ලෝකයක් ගැන දැන් එයාල හිතන්න අරන් තියනවා. මම පුද්ගලිකව දන්නා කිහිප දෙනෙක් එංගලන්තයේ තියන ලිබරල් තත්වය ගැන විවේචනාත්මකව කතා කළා. කිසිම කෙනක් උසස් බලධරයෙක් කියන දෙයක් අහන්නේ නැහැ, වෛද්‍යවරයෙක් කියන දෙයක් අහන්නේ නැහැ, වැඩිහිටියෙක් කියන දෙයක් අහන්නේ නැහැ. ඒ නිසා මරණය කියන එක තියෙන්නේ නහය ඉස්සරහා. ඒ කිසි දෙයක් අහන්නේ නැති අයට එහේ පත්තර කාරයෝ විශේෂ නමකුත් දාල තිබ්බා 'කොවිඩ් තකතිරුවන්' කියල (covidiots). සමාජ දුරස්තකරණය ගැන කතා කරන්න එන පොලිස් කාරයාගේ බයිසිකලේ අරගෙන දුවන සමාජයක් අර ලිබරල් රටවල් වල 'නිදහස' ඇතුලේ නිර්මාණය වෙලා තියනවා. ඒ රටවල් එයාලගේ නිදහස උදා කර ගත්තේ අමාරුවෙන්. නමුත් ඒ නිදහස නිසාම ඒ සමාජ විශාල අවදානමක් කර ගමන් කරමින් ඉන්නවා. නිකම් එහේ ඉන්න ලංකාවේ කෙනෙක් ගෙන් ඇහුවොත් මේ බව කියයි. ඒක නිසා තමයි බාහිර පොත්ත ගොඩක් පිළිවෙල වගේ තිබුණට අභ්‍යන්තර වශයෙන් ඉතාම අවුල් ඒ රටවල් වලින් මිනිස්සු එන්න පටන් ගත්තේ. මෙයින් අදහස් කරන්නේ නැහැ ඔක්කොම එහෙම එනවා කියල. ඉවසගෙන ඉන්න කොටසකුත් ඉන්නවා. ඒ එක්කම මෙහෙ ගුවන් තොටුපලට ඇවිල්ලා එහෙ තියන පිළිවෙල මෙහෙ හොයන අයත් ඉන්නවා.  

මේ සියල්ල අස්සේ වසංගතයේ ඇත්ත තොරතුරු ගැන සියළු රටවල් හිටියේ ආතති ගත තත්වයක. එතැනදී බටහිර පෙරදිග කියල ගුණාත්මක වෙනසක් තිබුණේ නැහැ. පරිමාවේ වෙනසක් විතරයි තිබුණේ. චීනය එක පැත්තකින් මේ වසංගතයේ කඩා පාත් වීම ගැන හිතුවේ තමන්ගේ බලය රඳවා ගැනීමේ කොන්දේසිය පැත්තෙන්. ඒක ඔවුන්ට පාරා වළල්ලක් වෙලා තියනවා. ට්‍රම්ප් බැලුවෙත් කොහොම හරි බිස්නස් ටික දුවවන්න ඊළඟ ඉලෙක්ෂන් එක පැත්තෙන් හිතල. මෙයිනුත් විශේෂයෙන් ජපානය. එයාලත් වසංගතයේ තොරතුරු තණුක (dilute) කලා ළඟ එන ඔලිම්පික් ගේම් එක නිසා. ඔලිම්පික් ගේම් එක සාර්ථක උණා කියන්නේ ඒක ෂින්සෝ අබේ ගේ පාලනයේ ඉහල අගයක් නියෝජනය කරන්න තිබුණ අවස්ථාවක්. නමුත් ඒ ෆැන්ටසි හිල් අස්සෙන් කොවිඩ් රට ඇතුළට කඩා වැදුණා. අපේ රට වුණත් මුල් අවස්ථාවේ කිව්වේ 'ඕක මොකක්ද යුද්දේ දිනපු අපිට' කියල. යුද්දේ කළා වගේ හැම දෙයක් ම සාර්ථක ලෙස අවසන් වෙනවා කියන පරණ ෆැන්ටසි එකෙන් තමයි අපේ අයත් වැඩ කළේ. ඕනෑම දෙයක හිල් තියනවා කියල හිතල ඒකට සුදානම් වෙන එක තමයි ඇත්ත යථාර්තවාදී බව වෙන්නේ. නැතුව මුරණ්ඩු වෙන එක නෙවෙයි.  ඒ මුරණ්ඩු බව වෙනුවෙනුත් ලොකු මිළක් අපි දැන් ගෙවමින් ඉන්නවා.  

හැම පාලකයෙක් ම ආසයි තමන්ගේ පාලනය ෆැන්ටසි නිර්මිතයක් හැටියට ලෝකෙට පෙන්නන්න. නමුත් එයාලට ගෙදර යන්න වෙන්නේ ඒ ෆැන්ටසි එකේ හිල් පෙනෙන්න ගත්තම. වවුලා අහිංසක සතෙක් වගේ ම ඌ ඩ‍්‍රැකියුලා කෙනෙක් වෙන්නත් පුළුවන් එක වෙලාවකට පස්සේ. අවශ්‍ය වෙලාවට දොරවල් වහ ගන්න බැරි වෙච්ච ජපානය හොඳ උදාහරණයක් අද වෙනකොට. ටෝකියෝ ඔලිම්පික් හීනෙ හිතේ තියාගෙන අපේක්ෂිත අරමුණ වෙනුවෙන් දිව්වා උනාට විශාල ආසාදිතයෝ ප්‍රමාණයක් ඒ වෙනකොට රට ඇතුළට ආව. අද ඔලිම්පිකුත් නැහැ රටේ සාමාන්‍ය තත්වයත් නැහැ. අවදානම ගැන යථාර්තවාදී පුරෝකථන අහන්න තරම් පාලකයෝ නිහතමානී නැහැ. පාලකයෝ නිහතමානී වෙනවට ඒ ආණ්ඩු වලට පක්ෂ මිනිස්සු කැමතිත් නැහැ. මේ අන්‍යොන්‍ය පරායත්ත සවන් නොදීම නිසා තමයි මේ ගෝලීය වසංගතය මෙතරම් දුරක් ඇවිල්ලා තියෙන්නේ. ඇමෙරිකන් මාධ්‍ය ට්‍රම්ප් ගෙන් දිගින් දිගට අහන්නේ මේ උත්තරයක් නැති ප්‍රශ්නය. 

'සියල්ල පාලනය කරලා දැන් මේ වසංගතය අපේ පාලනය යටතේ තියෙන්නේ' (Everything is under control) කියන එක තමයි හැමෝටම පෙන්නන්න ඕනි ෆැන්ටසි එක. ඔව්, වවුලා එක්ක ඒ වගේ සෙල්ලමක් පුළුවන් උනත් ඩ‍්‍රැකියුලා එක්ක නම් ඒක කරන්න බැහැ. ලේ උරාබොන ඩ‍්‍රැකියුලා කෙනෙක්ට සියල්ල එයාගේ පාලනය අතට ගන්න යන්නේ අසුරු සැනක වෙලාවක් විතරයි. කොවිඩ් කියන්නේ ඩ‍්‍රැකියුලා කෙනෙක්. ඒක අමතක කරන්න එපා එක මොහොතකටවත්. ඩ‍්‍රැකියුලා චිත්‍රපට වල වවුලා ඩ‍්‍රැකියුලා බවට රූපාන්තරණය වෙන්න ගතවෙන වෙලාවේ විතරක් පොඩි නිශ්ශබ්ද බවක් තියනවා. ඒ නිශ්ශබ්ද බව කියන්නේ මහා විනාශයක ඇරඹුම.

මේ සර්ව අශුභවාදය සර්ව සුභවාදයක පෙරනිමිත්තක් හැටියට විතරක් තේරුම් ගන්න.   

- මහේෂ් හපුගොඩ.

කියවීම්:
Murphy, R.T. (2020) East and West: Geoculture and Coronavirus. New Left Review. https://newleftreview.org/issues/II122/articles/r-taggart-murphy-east-and-west-76ba12e6-a597-495b-83c6-6e56479ebc5c

Comments