Sathjana 2020.

Sathjana 2020.
SJB ප්‍රවෘත්ති සදහා මෙම ඛේතය "ක්ලික්" කරන්න.

"රට වසා දැමීම තුළ ජීවිතය අගුළු දැමීම සහ ස්ත්‍රීවය බැටකෑම ".

කොරෝනා භීතියෙන් වසා දැමු රට තුළ, අගුළුලෑ ගෘහයන් තුළින් මතුවෙන සුසුම්ලෑම්, ඉකිබිඳුම් පරයා නැගෙන විලාප හා අදෝනා හඬ ඇසුනේ කාටද? ඇසුනත් නෑසුනාක් මෙන් සිටියේ කවුද? මේ සුසුම්, අදෝනා කාගේද? 

කෝවිඩ් මාරයාගේ මායාකාරී හස්තයට හසුවූයේ මිනිසුන්ගේ ශරීර පමණක් නොවේ. මේ මාරාන්තික හස්තයට හසුනොවෙනසේ නිවෙස් තුළට වැද, දොරවල් තදින් අගුළුලෑ පසුද  ඒ තුළට එබීබලන ආතතිය නම්වූ මාරයාගේ සෙවනැල්ල විසින් ගෘහයන් තුළ සිරවුණු කාන්තාවන් හඹා ඒම මේ තීරනාත්මක නිමේෂයේ අතුරු ඵළයක් බවට පත්ව තිබේ .

එක් අතකින් ජීවිතය පිලිබඳ උපන් බියත්, අනෙක් අතින් ජීවනෝපාය මාර්ග ඇහිරීම නිසා උපන් තැතිගැන්මත්, හෙට දිනය ගැන උපන් අවිනිස්චිතතාවයත්, එදිනෙදා වේල පිරිමසාගැන්මට එරෙහිව මතුවූ අමුද්‍රව්‍ය හිඟයත් සේම, මේ සියළු පීඩනයන් සමගින් බිත්ති හතරක්‌ තුළ සිරකොට උ'නුන් දෙස බලාගෙන "ඔහොම හිටු" යන ආඥාව තුළ අත්විදින ඒකාකාරීතත්වයේ පීඩාවත් සමග අසරණ වු අඹු - සැමියන්ගේ ඛේදවාචකය මේ මොහොතේ කොරෝනා වසංගතයේ මානසික ව්‍යාධිය බවට පත්ව තිබේ. මෙහි අකාරුණික ප්‍රථිපලය වන්නේ, වෙන කවරදාටත් වඩා ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හීයක වේගයෙන් ඉහල යාමයි. 

මේ තත්වය ලෝකය පුරා  කාන්තාවන් මුහුණ දුන් ඛේදනීය යතාර්ථයක්‌ වන අතර, මෙරට කාන්තාවන්ද මේ ප්‍රශ්නයේ ගොදුරු බවට පත්වූ බව අපට මාධ්‍ය ඔස්සේ දැනගන්නට ලැබිණ. ජාතික රෝහලේ  හෙද නිළධාරිනී; පුෂ්පා රම්ලනී සොයිසා විසින් පවසා සිටියේ " ලොක් ඩවුන් " කාලසීමාව තුළදී සාමාන්‍ය තත්වය යටතේ  මෙන් දෙගුණයක් කාන්තාවන් මෙලෙස හිංසනයට පත්ව රෝහල් වෙත පැමිනෙමින් සිටින බවයි. මෙකී තත්වය එතරම් පුදුමයට පත්විය යුතු කාරණාවක්‌ සේ නොසලකන ලෝක සෞඛ්‍ය බලධාරීන් (WHO) කියා සිටින්නේ, මින් පෙර ඉබෝලා වෛරසය ලොවට තර්ජනයක්‌ වු අවස්ථාවේදීද මෙසේ ගෘහස්ථ හිංසන සිද්ධීන් ශීග්‍රයෙන් ඉහල ගිය බවයි. සාමාන්‍ය තත්වය යටතේත් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සෑම කාන්තාවන් තුන් දෙනෙකුගෙන් එක් අයෙකුටම මුහුණ පාන්නට සිදුවන අකාරුණික යතාර්ථයක්‌ බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශ කරන අතර, පැන්ඩමික තත්වයක්‌ තුළ මෙය තවදුරටත් ඉහල යාමේ ප්‍රවනතාවක් ඇති බව වාර්ථාකරයි. ඒ අනුව, ප්‍රංශයේ 30% කින්ද, බ්‍රසීලයේ 40-50% කින්ද, බ්‍රිතාන්‍යයේ 25% කින්ද ගෘහස්ථ හිංසනය මෙකී සිවු මස තුළ ඉහල ගොස් ඇතිබැව් වාර්ථා වේ. ලෙබනනය, පකිස්තානය, බංගලාදේශය වැනි ඉස්ලාමීය රටවල සේම, ඉන්දියාව, නේපාලය, බුරුමය සේම ශ්‍රීලංකාව වැනි බෞද්ධ පරිසරයක් ඇති රටවල මෙවන් සිදුවීම් පිලිබඳ නිසි සංගණනයන් එළිනොදැක්වීම නිසා, නිශ්චිත ප්‍රමාණයයන් පිලිබඳව නිවැරදි  නිගමනයකට එළඹිය නොහැකි වේ. විශේෂයෙන්ම මෙවැනි පරිසරයන් තුළ බටහිර හා යුරෝපිය රටවල මෙන් පැමිණිලි කිරීමට කාන්තාවන් ඉදිරිපත් නොවීම නිසාම, අනුමාන වශයෙන් හෝ නිගමනය කල නොහැකි තරම් ඉහල මට්ටම් තුළ ගෘහස්ථ හිංසන සිදුවීම්  පවතින බව විශ්වාස කෙරේ.

ගෘහස්ථ හිංසනය පිලිබඳ මෙකී යථාර්තය ස්ත්‍රීත්වයට හිමි සමාජ හෝ සංස්කෘතික අනන්‍යතාවක්ද,  පුරුෂ බලය ඉස්මතුකරවන පුරුශාත්ම ඊගෝවක්ද (male chauvinism)?  නොඑසේනම් නුතන ධනවාදයේ අතෘප්තිකර     කාංසාවක්‌දැයි (anxiety of unsatisfactory) විනිශ්චය කිරීමේ අවකාශය තවදුරටත් විවෘතව පවතියි. 

- ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද 

මෙහි ඉදිරිපත් වන වාර්ථා වැඩසටහන් දෙකින් එකක් මීට මසකට ඉහත මාධ්‍යට මුදාහරින ලද්දක් වන අතර, අනෙක හරියටම මීට පැය 48 කට පෙර මාධ්‍ය වෙත  මුදාහරින ලද්දකි. කෝවිඩ් පැන්ඩමිකයේ ආතතිය දින 30ක්‌ තුළ ලෝකවාසී ස්ත්‍රින්හට කල බලපෑම මේ වාර්ථා සටහන් දෙක තුළින් මොනවාට කියාපානු ඇත. 

Comments