Sathjana 2020.

Sathjana 2020.
SJB ප්‍රවෘත්ති සදහා මෙම ඛේතය "ක්ලික්" කරන්න.

ජනාධිපතිවරයා, පාර්ලිමේන්තුව සහ ඒකාබද්ධ අරමුදල

    ලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මත ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් ගෙන යන රාජ්‍යයක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුද නිතර නිතර පැන නැගීම එතරම් ම අරුමයක් නොවේ . පාලකයින් බොහෝවිට තම අභිමතාර්ථයන් ඉටු කර ගැනීමට නීතියට පටහැනි විවිධ උපක්‍රම හා ක්‍රියාමාර්ග අනුගමනය කරන විට දේශපාලන පක්ෂ ක්‍රමය ද භාෂණයේ නිදහස ද මාධ්‍ය හැසිරීම ද කරණ කොට ගෙන බරපතළ නීති ප්‍රශ්න ද ඒවාට කෙස් පැලෙන තර්ක විතර්ක ද ඉදිරිපත් කරනු ලබන්නේ ඒ ඒ කරුණු පිළිබද විශේෂඥයෙකු යැයි හුවා දක්වමිනි . අසන්නන් නරඹන්නන් මෙන්ම දේශපාලනය හෝ නීතිය පිළිබඳ වැඩි ගණනක් නොමැති පුද්ගලයින් පවා තුෂ්නිම්භූත වී අහස පොළොව  ගැටලන්න ට මෙන් මේ කියන්නේ මොනවාදැයි කල්පනා කරති .

    මේ විශේෂඥයන් අතර ආගමික නායකයෝ ය . උගත් නූගත්  දේශපාලනඥයෝ ය . වෛද්‍යවරු ය. මේ අතර නීතිඥවරු අධි නීතිඥ වරු ( අධිනීතීඥ නාමය ශ්‍රී ලංකාවෙන් ඉවත්කර මේ වන විට අවුරුදු පනහකට ඔන්න මෙන්න කියා තිබුනත් වයස අවුරුදු විසි තිස් ගණන්වල තරුණ අධිනීතීඥ වරු ද සිටිති . දේශපාලනය කරන බොහෝ නීතිඥයන් අධිනීතීඥයින්‍ ය.) පමණක් නොව ජ්‍යෙෂ්ඨ නීතිඥවරු ජනාධිපති නීතිඥවරු මෙන්ම මෙකී නොකී කප්පරක් නීති විශාරදයන් ආණ්ඩුකම ව්‍යවස්ථාව අපූරුවට "ඇනලයිස්" කරති. බලාගෙන ඉන්නට ආශාය . දැන් දැන් ත්‍රිරෝද රථ රියැදුරන් පවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කරනු පෙනේ . මේ සියලූ දෙනාම කරන්නේ අලියා ගැන අන්ධයන් කරන ලද හැඳින්වීම මෙන්ම තම තමාට අසු වූ තැන ගැන කතා කිරීමයි .

    සිංහල හෝ ඉංග්‍රීසි බස දන්නා පාසැල් දරුවෙකුට වුවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පමණක් නොව ඕනෑම නීතියක වගන්තියක් තම භාෂාවට අදාළ පිටපතක් කියවා පැහැදිලි කිරිම කළ නොහැකි යැයි කිව නො හැකි ය . මේවාට එල් එල් බී ද, එල් එල් එම් ද, පී එච් ඩී ඇටෝර්නි ඇට් ලෝ ද , බැරිස්ටර් ද මොකටදැයි දැන් දැන් බොහෝ දෙනා සිතනු පෙනේ . ඒවා තියන අයත් ගෙනහැර පාන තර්ක විතර්ක දෙස බලන විට එසේ සිතීම ද අරුමයක් නොවේ. 

    මේ දිනවල ද අලුත් අර්බුදයක් පටන් ගෙන තිබේ . එනම් විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව නැවත කැඳවිය යුතු ද ? රජයට අවශ්‍ය මුදල් වියදම් කිරීම ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව නොමැතිව කළ හැකි ද ?, ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව නැවත කැඳවිය හැකි ද ? අවශ්‍යතාවය නම් නීති මූලධර්මයක් හෝ ප්‍රතිපත්තියක් තිබේ ද? ඒ යටතේ ඕනෑම දෙයක් ජනාධිපතිවරයාට කළ හැකි ද ? එසේනම් අවශ්‍යතාවය යන රක්ෂණයට මුවාවී  ඕනෑම අයෙකුට ඕනෑම නීතියක් කඩ කළ හැකිද ? එක් ආයතනයක් සඳහා පවත්වන ලද ඡන්දයක  ජනමතය අනෙක් සියලූ ආයතන කෙරෙහි එකෙනෙහිම බලපායිද? එසේ නම් මේ ඉවරයක් නැති මැතිවරණ සඳහා කප්පරක් මුදල් වැය කිරීම අවශ්‍යද ? ප්‍රජාතන්ත්‍රවාදය අනුව එක් බහුතර ඡන්දයකින් බලයට පත් පක්ෂය ඊට එකක් අඩුවෙන් ඡන්ද ලැබූ පක්ෂවලට ඡන්දය පාවිච්චි කළ ජනතාවට මතයක් ඇත්තේම  නැද්ද යන උභතෝකෝටිකයන් මේ තුළ කරකැවෙන බව පෙනේ .

     ජනාධිපති වරයාගේ බලතල ද පාර්ලිමේන්තුවේ බලතල ද ප්‍රධාන වශයෙන් ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාවේ ද සමහර විට වෙනත් අණපනත් වලද සංගෘහිත කරනු ලැබ ඇත . ජනාධිපතිවරයා ගේ බලතල අතර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඇති බලය ඉතා වැදගත් එකකි . පෙරදී මේ සම්බන්ධව සම්බන්ධ ව පුළුල් බලතල ජනාධිපතිවරයා සතු වූ නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන ආ 19 වැනි සංශෝධනය මගින් එකී පුළුල් බලතල බොහෝ සෙයින් සීමා කරනු ලැබ ඇත . ඒ අනුව සංශෝධිත 70 (1) ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ තේරී පත්වී වසර හතර හමාරක් ගතවන තෙක් එක් ව්‍යතිරේකයකට යටත්ව කිසිම හේතුවක් මත ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකි බවයි .එකී ව්‍යතිරේක අවස්ථාව නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකක යෝජනා සම්මතයකින් ඉල්ලා සිටිය හොත් ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය ඇති බවයි .

       අද රටේ පවතින තත්ත්වය නම් ඉහත කී පරිදි 70 (1) ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති නමුත් නියමිත පරිදි මැතිවරණය පැවැත්වීමට නොහැකි ව මැතිවරණය කල් දැමීමට සිදුවී ඇති තත්වයක් තුළ රටේ යථා පැවැත්ම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදනවෙන් කර ගනු ලැබීම පිළිබඳ ප්‍රශ්නයයි . ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 ව්‍යවස්ථාව ප්‍රකාරව රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතු වන්නේය .

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 ව්‍යවස්ථාව මෙසේය." රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතු වන්නේ ය . පාර්ලිමේන්තුව විසින් සම්මත කරගනු ලැබූ නීතියක හෝ පවත්නා යම් නීතියක හෝ අධිකාරය අනුව හෝ ඒ යටතේ හෝ මිස කිසිම පළාත් පාලන ආයතනයක් විසින්  හෝ වෙනත් පොදු අධිකාරියක් විසින් හෝ කිසිම බද්දක් , වරිපනමක් හෝ වෙනත් යම් කිසි බදු විශේෂයක් නියම කිරීමට බලයක් නොමැත්තේය ."

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 149 ව්‍යවස්ථාව ඒකාබද්ධ අරමුදල පිළිබඳ විධිවිධාන පනවයි . ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 149 ව්‍යවස්ථාව මෙ සේ ය.  " නියමිත කාර්ය සඳහා නීතියෙන් වෙන් කරනු නොලැබුවා වූ ද ජනරජය සතු වූ ද සියලුම අරමුදල් එක්ව ඒකාබද්ධ අරමුදල නැමති අරමුදලක් වන්නේය ......"

     ඒ අනුව එකී අරමුදලේ පාලනය ද  148 ව්‍යවස්ථාව සමග ගත් කල පාර්ලිමේන්තුව සතු වේ . ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150 ව්‍යවස්ථාවේ  3 අනු ව්‍යවස්ථාව වර්තමානයේ මතු වී ඇති අර්බුදයට පාදක වී ඇත . එනම් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති විටෙක පාර්ලිමේන්තුවේ අවසරයක් නොමැතිව ඒකාබද්ධ අරමුදලින් මුදල් ලබා ගත හැකිද ? ඒ කුමන අවස්ථාවක ද යන ප්‍රශ්නයයි .  බොහෝ අය විවිධ මත සහ අර්ථ නිරූපණ පළ කරනු  පෙනෙන්නේ මෙකී 150 ( 3) ව්‍යවස්ථාව සහ එහි අන්තර්ගත සමහර සමහර කොටස් සම්බන්ධයෙනි.

    දැන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 150 (3) ව්‍යවස්ථාව දෙස නැවත හැරී බලමු . එකී අනු ව්‍යවස්ථා ව ආරම්භ වන්නේ " යම් කිසි වර්ෂයක විසර්ජන පනත් කෙටුම්පත නීතියක් බවට පත්වීමට පෙර ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති අවස්ථාවක පාර්ලිමේන්තු විසින් රජයේ සේවාවන් සඳහා මුදල් වෙන් කර නොමැත්තේ නම් අභිනව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත දින සිට මාස තුනක් ඉකුත් වන තෙක්ම රජයේ සේවාවන් සඳහා යම්කිසි මුදලක් අවශ්‍ය වෙතැයි ජනාධිපතිවරයා සලකයි නම් ඒ මුදල ඒකාබද්ධ අරමුදලෙන් නිකුත් කිරීමටත් වැය කිරීමටත් නියම කිරීමට ජනාධිපතිවරයාට බලය ඇත්තේ ය ......" යනුවෙනි .

    මෙකී කරුණු වැඩිදුර සාකච්ඡා කිරීමට පෙර ව්‍යවස්ථා අර්ථ නිරූපණ රීති පිළිබඳ දැනුවත් වීම ඉතාමත් වැදගත් වේ . ව්‍යවස්ථා අර්ථ නිරූපණයේ වැදගත් රීතියක් නම් ව්‍යවස්ථාදායකය පනතක සෑම වචනයකටම අර්ථයක් එක් කොට ඇති බවයි . වචන පමණක් නොව විරාම ලකුණු පවා දැඩි ලෙස සැලකිල්ලෙන් අර්ථ දැක්විය යුතු බව අර්ථ  නිරූපණ රීතියයි.

     මෙහිදී මූලිකව සඳහන් කළ යුතු වන්නේ සාමාන්‍ය තත්ත්වයක් තුළ මුදල් විෂය භාර අමාත්‍යවරයා විසින් ඉදිරි වර්ෂයට අදාළ මූල්‍ය පරිපාලනය පිළිබඳ පනත් කෙටුම්පතක් සෑම වර්ෂයකම අවසානයට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන අතර එය විසර්ජන පනත් කෙටුම්පත යන නෛතික නාමයෙන් හඳුන්වන අතර සාමාන්‍ය ව්‍යවහාරය නම් අයවැය ලේඛනයයි . එකී විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සභාගත කොට පනතක් සම්මත කිරීමේ නිත්‍යානුකූල ක්‍රියා පටිපාටිය අනුව සම්මත කර ගත් පසු එය නීතියක් බවට පත්වේ. එනම් අදාළ අදාල වර්ෂයේ මුදල්  වැය කිරීම සම්බන්ධව පාර්ලිමේන්තුවේ අනුමැතිය මුදල් අමාත්‍යවරයා විසින් එමගින් ලබාගන්නා බව කිව හොත් එය සරල පැහැදිලි කිරීමකි .

   ඉහත කී පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (1) වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හරින විට විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති නමුත් එය පාර්ලිමේන්තුවේ සම්මත කොට නැති නම් ඉදිරි වර්ෂය සඳහා මුදල් ප්‍රතිපාදන නීතියෙන් වෙන් කොට නොමැති බව පැහැදිලි කරුණකි . පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති අවස්ථාවක ඉදිරි වර්ෂය සඳහා අයවැය සම්මත වී නැති විට රජය පවත්වාගෙන යාමේ මුදල් අර්බුදයක් ඇති වන බව තේරුම් ගැනීම අපහසු නොවේ.

  පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීම වසරක් අගදී හෝ කිසියම් හේතුවක් නිසා අය වැය ලේඛනයක් ඉදිරිපත් කිරීම නොකර ඇති අවස්ථාවක කළ හොත් මෙම මූල්‍ය අර්බුදය අනිවාර්යයෙන්ම පැනනගී .

එ නම්

1 . අය වැය ලේඛනයක් ඉදිරිපත් කොට නැති අවස්ථාව

2 . අයවැය ලේඛනයක් ඉදිරිපත් කොට ඇතත් එය පාර්ලිමේන්තුව මගින් සම්මත කරගැනීමට පෙර කරගැනීමට පෙර ආණ්ඩුව විසුරුවා හැර ඇති අවස්ථාව යනුවෙනි .

  එසේනම් 150 (3) අනු ව්‍යවස්ථාව ප්‍රතිපාදන සලසා ඇත්තේ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබ ඇතත් සම්මත කරනු ලැබීමට පෙර අතර කාලය තුළ පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද අවස්ථාවක් සම්බන්ධයෙන් බව ආණ්ඩුකුම ව්‍යවස්ථාවේ 150 (3) ව්‍යවස්ථාවේ ආරම්භක වචන  කිහිපයෙන් ම අවධාරණය කර ඇත . තත්ත්වය මෙසේ වූ විට ඉදිරි මැතිවරණය පැවැත්වීම දක්වා සහ මැතිවරණයෙන් තේරී පත්වන අලුත් පාර්ලිමේන්තුවට අය වැය ලේඛනයක් සම්මත කර ගැනීමට කාලයක් ලබාදී මැතිවරණයේ සිට ඉදිරි මාස තුනක් දක්වා රජය පවත්වාගෙන යාමට ඒකාබද්ධ අරමුදලෙන් මුදල් ප්‍රතිපාදන ලබා ගත හැකිය. මෙම ප්‍රති පාදනයට ද නෛතික පදනමක් ඇත . "quando lex aliquid aliciui concedict, concedere videtur id sine quo res ipsa esse non potest" යන ලතින් ආප්තයෙන් කියැවෙන පරිදි "නීතිය විසින් යමකුට  යමක් දෙනු ලැබූ විට එය පැවැත්ම සඳහා අවශ්‍ය දේ ද ඒ සමඟ දෙනු ඇත ." යන නෛතික පදනමයි.

       නමුත් අවාසනාවකට දැන් සිදුවී ඇත්තේ සාමාන්‍ය තත්ත්වය නොවේ . බලයේ සිටි දේශපාලන කඳවුරත් බලය ලබා ගැනීමට අරගලයක යෙදුණු දේශපාලන කඳවුරත් ඉතා අදූරදර්ශී ලෙස ක්‍රියා කිරීම නිසා නිසි අවස්ථාවේ අයවැය ලේඛනයක් ඉදිරිපත් කර සම්මත කරගෙන  නැතුවා පමණක් නොව ඉදිරිපත් කිරීමක්වත් සිදු කර නොමැත . එවැනි තත්වයක් තුල 150 (3) ව්‍යවස්ථාවේ පිහිට පැතිය නොහැකිය. එනම් පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර නොතිබූ බැවිනි .

     එසේ නම් කළ යුත්තේ කුමක් ද ? යට කී පරිදි රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ බලය පාර්ලිමේන්තුව සතු බැවින් පාර්ලිමේන්තුව මගින්ම නීත්‍යානුකූල ලෙස පරිපූරක ඇස්තමේන්තු හෝ වෙනත් යම් ක්‍රමයකට මුදල් අනුමත කර ගත යුතුව ඇත.

    මීළඟ විවිධ තර්ක ඉදිරිපත් වන කරුණ වන්නේ ජනාධිපතිවරයා ට විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව නැවත කැඳවිය හැක්කේ කුමන අවස්ථාවකද යන්නයි. විවාදයක් නැත . ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාවේ 7 වන අනු ව්‍යවස්ථාව අනුව "පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීමෙන් පසුව කවර අවස්ථාවක වුව ද පාර්ලිමේන්තුව නියමිත දිනට කලින් රැස්වීම අවශ්‍ය වන ස්වභාවයක හදිසි තත්වයක් උද්ගත වී ඇති බවට ජනාධිපතිවරයා සෑහීමකට පත් වුවහොත් විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව ප්‍රකාශනයක් මගින් ඒ ප්‍රකාශය දින සිට තුන් දවසකට කලින් දිනයක් නොවිය යුතු දිනයකදී රැස්වන ලෙස කැඳවීමට ජනාධිපතිවරයාට බලය ඇත්තේ ය. එසේ කැඳවනු ලැබූ පාර්ලිමේන්තුව හදිසි අවස්ථාව අවසන් වීම හෝ මහ මැතිවරණය අවසන් වීම යන මේ කලින් එළඹෙන අවස්ථාවේදී විසිරෙන්නේ ය .."

   "හදිසි තත්වය" යන්න කිසිදු තැනක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ අර්ථ නිරූපණය  කර නොමැත.හදිසි තත්වයක් යනු සාමාන්‍ය අර්ථයට අනුව පෙර බලාපොරොත්තු නොවූ තත්වයකි. දිවයිනේ අද තත්ත්වයට එය ගැළපූ විට  පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේදී නැවත සාමාන්‍ය පරිදි මැතිවරණයක්  පැවැත්විය හැකි යැයි වූ  සාමාන්‍ය අපේක්ෂාව බිඳ හෙළන බලාපොරොත්තු රහිත තත්ත්වයක් දැන් උද්ගත වී ඇත. එය හදිසි තත්වයකි. ජනමාධ්‍යවලින් නිතර දක්නට ලැබෙන්නා වූ ද විශේෂඥ යැයි කියන සමහර නීතිඥවරු ද මේ තත්ත්වය නිවැරැදි ලෙස අර්ථ නිරූපණය කරන බවක් නොපෙනේ . ඔවුන්ගෙන් ඇතැමෙක් කියා සිටින්නේ හදිසි තත්වයක් යනු හදිසි කැරලි ,කෝලහල හෝ යුද්ධමය තත්ත්වයත් යන්නයි . එබඳු තත්ත්වයකදී බලපාන නීතියක් ඇත. එනම් වරින් වර සංශෝධිත 1945 අංක 25 දරණ දරන  මහජන ආරක්ෂණ ආඥා පනත යි.

    මහජන ආරක්ෂණ ආඥා පනත යටතේ එබඳු කැරලි, කෝලාහල හෝ යුධමය තත්ත්වයකදී පාර්ලිමේන්තුව නොකැඳවාම නීති පැනවීමට ජනාධිපතිවරයාට බලය ඇති බව මෙකී මහජන ආරක්ෂණ ආඥා පනත මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ද ප්‍රතිපාදන සලසා ඇත. එබඳු අවස්ථාවක සිදු විය යුත්තේ මුලින් ජනාධිපතිවරයා විසින් හදිසි නීති රීති රෙගුලාසි පනවා පසුව පාර්ලිමේන්තුව කැඳවා ඒවා   අපරානුමත කරවා ගැනීමට හෝ නව පාර්ලිමේන්තුවක් තේරී පත්වන තෙක් බලාත්මකව පවත්වා ගැනීමට ද ප්‍රතිපාදන සලසා ඇත . ඒ අනුව බලන විට මේ අවස්ථා එකක් නොව දෙකකි. එනම් හදිසි තත්ත්වය එකකි. හදිසි නීති පනවන තත්ත්වය තවත් එකකි. මෙම දෙවැනි අවස්ථාව මුදල් පිළිබඳ  තත්ත්වයක් නොව නීති පැනවීම සම්බන්ධ තත්ත්වයකි .

    දැන් සිදුවිය යුතුව ඇත්තේ රාජ්‍යත්වයේ මූලික සංකල්පයක් වන "රජු වරදක් නොකරයි" යන සිද්ධාන්තයට ගරු කරමින් විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව නැවත කැඳවා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කරවා ගැනීමට  කටයුතු සැලසීම මිස උද්ගතව ඇති අවස්ථාව  "හදිසි අවස්ථාවක්" නොවේය යන්නට අටුවා අටුවා ටීකා සැපයීම නො වේ . වරද නිවැරදි කිරීමට නොමේරූ නීති තර්ක ගෙන හැර පෑම ද නොවේ. මෙහිදී අවශ්‍යතාවය නැමැති සංකල්පය මත ඒකාබද්ධ අරමුදලින්  පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව ජනාධිපතිවරයාට මුදල් ලබාගත හැකි ද යන ප්‍රශ්නයට ඇත්තේ සරල පිළිතුරකි . එනම් මෙකී මුදල් අවශ්‍යතාවය සපුරා ගැනීමේ ඉහත විස්තර කළ ආකාරයෙන් නීත්‍යානුකූල ක්‍රමයක් රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉතා පැහැදිලිව ව්‍යවස්ථා ගතකොට ඇති හෙයින් එකී නීතිය අනුගමනය කිරීම මිස ඒවා උල්ලංඝනය කිරීම නො වේ .

නීතිඥ ටී.එම්.ජේ. තෙන්නකෝන්
 (L.L.B.), (L.L.M.) 

Comments