Sathjana 2020.

Sathjana 2020.
SJB ප්‍රවෘත්ති සදහා මෙම ඛේතය "ක්ලික්" කරන්න.

දේශපාලනයේ දුරදැක්ම යහ පාලනයේ කෙටි දැක්ම

දේශපාලන දර්ශනයේ නිම්නයාර්ථ භූමිකාව රැඳී ඇත්තේ කොතැනද. විවිධ පැතිකඩාශ්‍රිතව විහිදෙන දේශපාලන භූමිකාව නැත්නම් දර්ශනය විහිදවිය යුත්තේ ආර්ථික ප්‍රගතිය අරබයාය. මේ නියතය අද්‍යතන දේශපාලන ක්‍ෂේත්‍රයෙන් මතුවන්නේද.

මහජනතාව දේශපාලන ක්‍ෂේත්‍රය හා ආර්ථික ක්‍ෂේත්‍රය දෙස මහත් ඕනෑකමින් බලා සිටිති. ආර්ථික ප්‍රගතියක්‌ කරා යන ගමන ප්‍රයාර්ත තලයක පවතින්නේද යන්න ගැටලුකාරී තත්ත්වයකි.

බල අරගලයට පමණක්‌ දෘෂ්ටිය යොමුවී ඇති අවදියක ආර්ථිකය නංවාලීමට දේශපාලන දෘෂ්ටිය යොමුකරන්නේද. දේශපාලනඥයාගේ හැසිරීම් රටාව අනුව තමන් වෙත පැවැරී ඇති කාර්යභාරය මැනවින් අවබෝධකොට ගෙන සිටින්නේද?

වත්මන් දේශපාලන භූමිකාව මහත් අවුලක පැටලී සිටී. මේ අවුල කුමක්‌ සඳහා ද යන්න මහ ජනතාවට මහත් ගැටලුකාරී තත්ත්වයකි. දේශපාලන ක්‍ෂේත්‍රයේ විවිධ කල්ලිවලට බෙදී තම තමන්ගේ අපේක්‍ෂා සපුරා ගන්නට මාන බලනවා විනා ජනතාවගේ පැත්තෙන්ද, මහජන අපේක්‍ෂා සපුරාලීමෙන්ද, රටේ සංවර්ධන ක්‍රියා පද්ධතිය පිළිබඳවද, ආර්ථික ක්‍ෂේත්‍රයද යන පැති කෙරෙහි දේශපාලන දෘෂ්ටිය යොමුවී ඇති බවක්‌ පෙනේ.

දාර්ශනික දෘෂ්ටියකින් උපයුක්‌ත දේශපාලනඥයා තමන්ගේ කාර්යභාරය ගැන සිතන්නේද. මෙතෙක්‌ පැමිණි ගමන් මඟ හේතුකොටගෙන දේශපාලන දර්ශනය ආර්ථික භූමිකාව ඔපවත් කරන්නට යත්න දරා නැති බව පෙනේ. අපට අවශ්‍ය වන්නේ රටේ ප්‍රගමනයට බලපාන දේශපාලන විඥනයකි. විවිධ ප්‍රඥප්ති මත දේශපාලනය මෙහෙයවීම නොව පෘථුලාර්ථ තලයකින් ආර්ථික ක්‍ෂේත්‍රය ඔප්නැංවීමය.

ආර්ථික ක්‍ෂේත්‍රය හා දේශපාලන භූමිකාව අතර පවත්නේ සමාන්තර, සමගාමි, සාපේක්‍ෂක තත්ත්වයකි. මේ යථාර්ථය අපේ දේශපාලන දර්ශනයේ ගැබ්වී පවත්නේද මෙතෙක්‌ පැමිණි ගමන් මඟ අනුව නම් දේශපාලනය හා ආර්ථිකය අතර සමබරතාවක්‌ දක්‌නට නොමැත.

දේශපාලන භූමිකාවෙන් සිදුවූ වැරැදි ගැන අප මෙනෙහි කළ යුතුය. ඒ වැරැදි හදාගන්නට කිසියම් වෙහෙසක්‌ ගත්තේද. එසේ වෙහෙසක්‌ ගත් බවක්‌ නොපෙනේ. තමන් කෙසේ හෝ මතුවීම පමණයි දක්‌නට ලැබෙන්නේ. මෙබඳු භුමිකා මත වෙසෙන දේශපාලන භූමිකාව තවදුරටත් ඉදිරියට ගියොත් සිදුවන්නේ කුමක්‌ද යන්න කිවහැක්‌කේ කාටද.

දේශපාලන දර්ශනයේ පවත්නා දුබලතා හේතුවෙන් අපමණ ගැහැටවලට පාත්‍රවන්නේ මහජනතාවයි. විෂයාශ්‍රිතභාවය ජනිත කරන්නට දේශපාලන දර්ශනය අනවරතයෙන්ම නිරන්තරයෙන්ම සිතට ගත යුත්තකි.

සමාජයේ පවත්නා අනුවේදනීය තත්ත්වයට මූලික වශයෙන් වගකිවයුත්තේත් දේශපාලනඥයාය. ලාංකික සමාජයේ පෙරට වඩා ශෝචනීය සිද්ධි සමුදායක්‌ මතුවී ඇත. මේ ශෝචනීය සිද්ධි අවමවීමක්‌ දක්‌නට නොලැබේ. සිදුවන්නේ තව තවත් ආරෝහණ ගමන් මඟකට යොමුවීමය. අවරෝහණ තලයකට පිවිසිය යුතු මේ ශෝචනීය සිදුවීම් ආරෝහණ ගමන් මඟකට යොමුවී ඇත්තේ දේශපාලන දර්ශනය හේතුකොටගෙනය. දේශපාලන දෘෂ්ටිය උපයෝගීකොට ගත යුත්තේ බලය ලබාගැනීමට පමණි. ඉන් අනතුරුව පහව හැරිය යුතුය.

මිනිස්‌ මනස ප්‍රකෘති තත්ත්වයකට ගෙන යැමට දේශපාලන දර්ශනය ඉවහල් විය යුතුය. එය ප්‍රකෘති වුවහොත් නිර්මාණශීලීත්වයෙන් එම මනස දුරස්‌ථ වෙයි. රටේ ආර්ථික රැඳී ඇත්තේ නිර්මාණශීලීත්වය මතය. නිරවුල් ස්‌වභාවයකට මනස රැගෙන යැම දේශපාලන දර්ශනයේ අභිප්‍රාය විය යුතුය.

සමාජ ව්‍යුහයේ පවතින ගැටලුකාරී තත්ත්වය සමනය කිරීමට දේශපාලන දර්ශනය පාදක කරගත යුතුය. තවදුරටත් අවුල් කිරීම දේශපාලනයේ අරමුණ නොවිය යුතුය. සංවේදී මනසකින් උපයුක්‌ත දේශපාලනඥයා සෙස්‌සන්ට වඩා ඉදිරියෙන් සිටින්නේය. මන්ද යත් සමාජයේ විවිධ පැතිකඩ මෙහෙයවන්නේ ඔහුය. පටු දෘෂ්ටියකින් නොව පුළුල් වූ දෘෂ්ටියකින් ප්‍රභාවිත විය යුතුය.

යහපත් දේශපාලනඥයා කවරෙක්‌ද යන්න නිර්ණය කරන්නේත් මහජනතාවයි. දේශපාලන දර්ශනයේ පවත්නා සමතුලිත ස්‌වරූපය මත මහජනතාවට වඩාත් සමීපස්‌ථ බවක්‌ ජනිතවෙයි. නිතරම යහපත් දේශපාලනඥයා බලන්නේ ආර්ථික ප්‍රවර්ධනය ගැනයි. ආර්ථික ව්‍යුහයේ ප්‍රවර්ධනයට බලපාන්නේ දේශපාලන දර්ශනයයි. මේ යථාර්ථය අද්‍යතන දේශපාලන ව්‍යුහය අවබෝධ කොට ගෙන තිබෙන්නේද.

දේශපාලනය වූ කලී කෙළිබඩුවක්‌ නොවේ. බොහෝ අය සිතා සිටින්නේ එය කෙළිබඩුවක්‌ බවයි. මේ නිගමනය සාවද්‍යයයි. දේශපාලන ක්‍ෂේත්‍රයේ හැසිරීම් රටාව මත ආත්මාර්ථය මතුවී පරාර්ථය යටපත් වී ඇත. මේ නියතයෙන්ද අප බැහැරවිය යුතුය.

දේශය පාලනය කිරීම  දේශපාලනයයි. මේ නිර්වචනය අප තේරුම්ගත යුතුය. දේශපාලන ක්‍ෂේත්‍රයට පිවිසෙන අය මෙහි අර්ථය මැනවින් අවබෝධ කොටගත යුතුය. එහෙත් නූතන අවධියේ දේශපාලනයට එක්‌වන අය මෙය තේරුම් නොගැනීම රටේම අභාග්‍යයකි.

තමන්ගේ ව්‍යාපාරික කටයුතු මෙහෙයවන්නට දේශපාලනය යොදා ගැනීමත් අනර්ථකාරී වූවකි. නූතන දේශපාලන ව්‍යුහයේ දක්‌නට ලැබෙන්නේත් මෙයයි. දූෂණ - වංචා ආදියෙන් දේශපාලනය දුරස්‌ත විය යුතුය.

සමාජ අර්බුදකාරී තත්ත්වය සමනය කරන්නට zපෙරවදනක' සැකසීම දේශපාලන ව්‍යුහයේ පරමාර්ථය විය යුතුය. රට අවුල් කරන්නේත් දේශපාලනයයි. මිනිසුන්ගේ මානසික තත්ත්වය සමනය කරන්නට දේශපාලන දර්ශනය ඉවහල් විය යුතුය. සමාජ ප්‍රභවය රඳා පවතින දේශපාලන දර්ශනාත්මක පසුබිම මනෝරම්‍ය වූ පසුබිමක රඳා පැවැතිය යුතු අදියරයකට ප්‍රවේශ වී ඇත.

ජනතාවගෙන් දේශපාලන දර්ශනය දුරස්‌ත කිරීම නොවේ සිදු විය යුත්තේ, තවදුරටත් සමීපස්‌ත කිරීමට වගබලා ගැනීම දේශපාලනඥයාගේ කාර්යභාරයයි.

ලාංකීය දේශපාලනයේ වැදගත් සන්ධිස්‌ථානයකටය පිsවිස සිටින්නේ, ප්‍රජාතාන්ත්‍රික සමාජ ව්‍යුහයේදී තම තමන්ට රුචි පරිදි දේශපාලන භූමිකාව සැකසීමට ඉඩකඩ ලැබී ඇත. මේ තත්ත්වය මතයි, අද සමාජය පරිහානියට පාත්‍ර වූයේ.

දේශපාලන ව්‍යුහයේදී තමන් ගනු ලබන තීරණය කොතරම් දුරට සමාජයට බලපාන්නේද ආර්ථික ප්‍රවර්ධනයට එම තීරණය සහේතුකද යන්න ගැනත් විමසා බැලිය යුතුය.

සමාජාභිවර්ධනය හේතු කොටගෙන දේශපාලන බුද්ධිය සැකැසිය යුතුය යන්න අප තේරුම් ගත යුතු කරුණකි. අභියෝගාත්මක දෘෂ්ටිය බැහැර කළ යුතුය. නූතන දේශපාලන ව්‍යුහයේ පවතින්නේ අභියෝගාත්මක දෘෂ්ටියකි. මේ අභියෝගාත්මක තත්ත්වය ආර්ථික ක්‍ෂේත්‍රයට බරපතළ හානියකි. දේශපාලනය උපයෝගි කොටගෙන තිබෙන්නේ අභියෝගාත්මක ස්‌වරූපයකි. මේ ස්‌වරූපය සදහටම දුරු කළ යුතුය.

අතිශය දුෂ්කරතාවන්ට මුහුණපාන ජනතාව කෙරෙහි මානව භක්‌තියෙන් නෙත් හෙළීම සැබෑ දේශපාලනඥයාගේ කාර්ය භාරයයි. බල පරාක්‍රමය මත රැඳෙන දේශපාලන චින්තනය හේතුවෙන් අගාධයට යන්නේ රටේ ආර්ථික ව්‍යුහයයි. මෙතෙක්‌ පුරා සිදුවූයේත් මෙයමය.

බල අරගලය, අභියෝග මත සිදුවන්නේ කුමක්‌දැයි ජනතාව දැන් බලා සිටිති. මේ අභියෝග ජනතාව සඳහා නොව තමන්ගේ පැවැත්ම උදෙසාය. බල අරගලයත් එසේමය. තමන් රැඳෙන්නට ගනු ලබන තීරණ හේතුවෙන් දැඩි අසහනයට පාත්‍ර වන්නේත් මහජනතාවයි.

ආර්ථික වශයෙන් බොහෝ දුරක්‌ යන්නට සිදුවී ඇති බවද දේශපාලන දර්ශනය තරයේ සිතට ගත යුතුය. දැඩි මතය දුරුකොට සංවේදී හා තුලනාත්මක මතයකට පිවිසිය යුතුය. දේශපාලන ගමන් මඟ හැඩි දැඩි ස්‌වරූපයකින් පරිපූර්ණ වුවහොත් එතැන රැඳෙන්නේ අත්තනෝමතිකත්වයකි. මේ අත්තනෝමතිකත්වයෙන් බැටකන්නේ මහජනතාවයි. මෙයද අපේ දේශපාලන චින්තනය මනාව තේරුම් ගත යුතුය.

ප්‍රත්‍යාර්ථතාවය මත රැඳෙන දේශපාලන ව්‍යුහය කෙසේ සැකසිය යුතුද යන්න කෙරෙහිත් දේශපාලන චින්තනය වගබලාගත යුතුය. බොහෝ දෙනා අතිශය දුෂ්කරතාවට පත්ව ඇති බවද දේශපාලන චින්තනය වටහාගත යුතුය.

අපේ සමාජ ප්‍රගමනය රඳා පවතින දේශපාලන චින්තනයේ යථාර්ථය තේරුම්ගත යුතුය. දේශපාලන භූමිකාවේ පවත්නා අතිදුෂ්කරතාව තේරුම්ගෙන ඉදිරිගමන යා යුතුය.

සමාජානුභූති පදනම් කරගෙන දේශපාලන ව්‍යුහය සැකසිය යුතු සමයක්‌ දැන් ආරම්භ වී ඇත. මෙතනදී පුද්ගලයාගේ මතුවීම බැහැරකොට රටේ සුබසිද්ධියට අදාළව තීරණ ගැනීමේ අදියරයට ලාංකික ජනතාව දැන් ප්‍රවේශ වී සිටින බව අප තේරුම් ගත යුතුය. දේශපාලන මායාව හා මිථ්‍යාව බැහැරකොට නව මඟක්‌ ගත යුතු අදියරයකට දැන් රට පිවිස ඇත.

සමාජ ප්‍රගමනයේ ගමන් මඟ තේරුම් ගෙන යා යුතු දේශපාලන දෘෂ්ටිය වෙනසකටත් පෙරළියක්‌ කළ යුතුය. සමාජ පෙරළියේ නව ගමන් මඟකට ලංකාවේ ආර්ථිකයත්, දේශපාලන ක්‍ෂේත්‍රයත් දැන් පිවිස ඇත.

පටු පරමාර්ථ සාධනය බැහැරකොට පුළුල්වූ පරමාර්ථ සාධනයට දේශපාලන චින්තනය, දෘෂ්ටිය යොමු කළ මනාය. දේශපාලන නායකත්වයේ පවත්නා සංවේදීතාව මතයි, රට ප්‍රගතිය කරා පිය නඟන්නේ. විවිධ මත ඉදිරිපත් කළද ඒ මතවාද රටේ සමෘද්ධියට අදාළව සංයුක්‌ත විය යුතුයි.

ආර්ථික ව්‍යුහයේ පවත්නා දුබලතා දුරලීමට දේශපාලන දෘෂ්ටිය යොමුවී ඇති යුගයකටය රට දැන් යොමුවී ඇත්තේ. බලය නොව රට ගැන සිතා ආර්ථිකය යහ මඟට යොමු කළ මනාය.

මෙබඳු දේශපාලන ක්‍ෂේත්‍රයකට පිවිස සිටින මහජනතාවගේ අභිප්‍රායයන් සපුරාලීමට දේශපාලන චින්තනය අවංකවම සිතට ගත යුතු කරුණකි.

බලය රැක ගැනීමට නොව රටේ ප්‍රගතියට බලපාන දේශපාලන දෘෂ්ටියක්‌ ගොඩ නැඟිය යුතු වකවානුවකි මේ. සමාජ පෙරළියකට යායුතු අදියරකට පිවිස සිටින ශ්‍රී ලංකාව නව පුනර්ජීවනයක්‌ කරා ගමන් කිරීමට කාලය එළඹ ඇති බවද දේශපාලන දර්ශනය තරයේ සිතට ගත යුතුය.

සමාජාක්‌ෂියෙන් සමලංකෘත වූ සමාජ බලවේග මත රැඳෙන දේශපාලන ව්‍යුහය කෙරෙහි දැඩි ලෙස අවධානය යොමු කොට ආර්ථික ව්‍යුහය ප්‍රගමනයකට යා යුතුද යන්න ගැන කල්පනාවට බඳුන් කළ යුතුය. දේශපාලන චින්තනය තුලනාත්මක අදියරකට පිවිසිය යුතුය. ජනතා අපේක්‍ෂාව ද එයයි.

ආචාර්ය ආර්. එල්. අබේවික්‍රම

Comments