Sathjana 2020.

Sathjana 2020.
SJB ප්‍රවෘත්ති සදහා මෙම ඛේතය "ක්ලික්" කරන්න.

What is the right thing to do කළයුතු නිවැරදිම දේ කුමක්ද?

මැතිවරණයක් යනු පුරවැසි මංගල්‍යයකි. මන්ද, එය පුරවැසියන්ට තම ජිවිතය වෙනුවෙන් තීරණයක් ගැනීම සඳහා රාජ්‍යබලය සතු යශ්ඨිය, රටවැසියාගේ අතට හුවමාරු කරන එකම අව්ස්ථාව වන නිසාය. එනිසා, පුරවැසියන් සේම රාජ්‍ය බලයද, සෙසු දේශපාලන කණ්ඩායම්ද පුරා වසර පහක් හෝ (සාපේක්ෂ කාලයක්) ඉවසීමෙන්, බලාපොරොත්තුසහගතව හා කුතුහලයෙන් ඉන්නා රටක, "පුරවැසි  අවස්ථාව" එය යැයි සැලකිය හැකිවෙයි. විශේෂයෙන්ම, වෙනත් සංස්කෘතික උත්සව හෝ ආගමික අවස්ථා සේ නොව, සියළු පුරවැසියන් ජාති,  ආගම්, දේශපාලනමත හෝ කණ්ඩායම්, කුළ හෝ ගෝත්‍ර ආදී කිසිඳු භේදයකින් තොරව එකට එක්වන, එකට රොක්වන, එක්ව සමරන ප්‍රධානතම ජාතික උත්සවය හෙවත් "පුරවැසි මහෝත්සවය" එය වනනිසාය.

මේ අවස්ථාව වෙනුවෙන් ගන්නාවූ සෑම තීරණයක්ම රටක ජනතාවගේ මූලික අයිතිවාසිකම්වල නියෝජනයක් වෙයි. එනිසා, මෙය ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් (ආන්ඩුපක්ෂය හා විපක්ෂය) ඉදිරි වසර පහක කාලපරිචේදය සඳහා  රටේ බලය ලබාගැනීමට කරන්නාවූ  ද්වන්ධ සටනකට වඩා, ඒ රටේ ජනතාව ඉදිරි වසර පහ තුල ජීවත්වන්නේ කෙසේද යන බැරෑරුම් ප්‍රශ්නයට පිළිතුර ලබාගැනීම සඳහා පවත්වන්නාවූ මහජන මහෝත්සවයක් කියුවොත් වඩා නිවැරදි වෙයි. 

Democracy is more than a vote!

ඇමරිකානු මහාචාර්ය  මයිකල් සන්ඩෙල් (Michael Sandel) විසින් " what is the right thing to do " නමින් 2009 සැප්තැම්බර් 5 වනදා ඇමරිකාවේ හාවඩ් විශ්ව විද්‍යාලයේ පවත්වන ලද දේශනයේ යතාර්ථය අද දවසේ අප සිටගෙන  සිටින භූමියේ යතාර්ථය අපූරුවට විශ්ලේෂණය කරන අවස්ථාවක්‌ ලෙස මා විස්වාස කරමි.

ඒ අනුව, මහාචාර්ය සන්ඩෙල් ගේ දේශනය පිළිබඳ අපි විමසාබැලීම අවශ්‍යවෙයි . " අප විසින් කලයුතු නිවැරදි දේ කුමක්ද " යන උදෘතයෙන් පැවැත්වූ එකී දේශනයේ මූලික අරමුණු දෙකක් ඔහු විසින් අවධාරනය කරන ලදී. ඒ, ප්‍රකට බ්‍රිතාන්‍ය න්‍යායාචාර්යවරයෙකුවූ ජෙරමි බෙන්තම් ගේ " යුටෙලිටේරියනිසම්  මෝරල් / එතිකල් තියරි" (Utilitarianism ethical or moral theory)  නම් ප්‍රකට න්‍යාය පදනම් කරගනිමිනි. ප්‍රථමයෙන් මෙකී න්‍යායේ මූලික හරය යනු කුමක්දැයි පැහැදිලි කළයුතුවෙයි. එනම්, කිසියම් තීරනාත්මක මොහොතකදී ගන්නාවූ තීරනාත්මක නිගමනයක්‌ තුළින්, ගැනීමට නියමිතව තිබූ එක් නිශ්චිත තීරණයක් වෙනුවට ගන්නාවූ වෙනත් තීරණයක්‌ නිසා ඇතිවිය හැකි ප්‍රථිඵල හෙවත් ප්‍රතිවිපාක මේ න්‍යාය තුළින් සාකච්චාවට බඳුන් වේ. මෙහිදී, විශේෂයෙන්ම හර්ධසාක්ෂියේ නීතිය යන්නට මුල්තැනක් හිමිවීම විශේෂයකි. මන්ද, යම් යම් අවස්ථාවන්හිදී, පුද්ගලයෙකු විසින්, පුද්ගල කණ්ඩායමක්‌ විසින්, දේශපාලන කඳවුරක් විසින් හෝ රාජ්‍ය බලයක් විසින් ගන්නාවූ පොදු තීරණයක් තුළින් අවසාන ප්‍රථිඵලය ලෙස අත්වන්නේ සාධාරණයක්ද, අසාධාරනයක්ද යන්න විමසා බැලීම මේ න්‍යායේ උත්තරීතර පරමාර්ථය බවට සැලකෙන්නාවූ බැවිනි. ඒ අනුව, පෙර සඳහන් කළ මූලික අරමුණු දෙක සලකාබලනවානම්, පුද්ගලවාදී අරමුණු (Individual aspects) හා සාමුහික අරමුණු (Collective aspects) යනුවෙන් ප්‍රමුඛ අවස්ථා දෙකකට බෙදෙයි. එය සැකවින් හඳුන්වනවානම්, ඕනෑම ස්වීය පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක්‌ (මෙය සමාගමක්‌, ආයතනයක්, දේශපාලන කඳවුරක් හෝ රජයකට වුවත් ආදේශකළ හැකි යතාර්ථයකි) ක්‍ෂුද්‍ර අරමුණු (micro ideas) වෙනුවෙන් ක්‍රියාකිරීමත්, සාර්ව අරමුණු (macro ideas) වෙනුවෙන් ක්‍රියාකිරීමත් යන තත්වයන් දෙකයි.

යලි මේ කාරණාව කොටස් දෙකකට බෙදන මහාචාර්ය සන්ඩෙල්, අවස්ථා දෙකක් තුළ මෙකී අරමුණු සාක්ෂාත් කරගන්නට පුද්ගලයින් හෝ ආයතන කටයුතු කරනබව පෙන්වා දෙයි.ඒ, අවස්ථානුකූල හේතූන් මත (Consequential decisions) හා වර්ගීකාරක හේතූන් මත (Categorical decisions) යන තත්වයන් දෙකයි. මේ තත්වයන් සැකෙවින් හඳුන්වනවානම්, කිසියම් තත්වානුකූළ අවශ්‍යතාවකට ප්‍රමුඛත්වය දීමෙන් යම් තීන්දුවකට එළඹීම හා කිසියම් නිශ්චිත වගකීමක් ඉටුකිරීමේ අභිලාශයෙන් හෝ කිසියම් පොදු අයිතියක් හෝ අයිතිවාසිකමක්‌ රැකදීම සඳහා එළඹෙන්නාවූ නිගමන යන තත්වයන් දෙකයි.

නමුත් මේ කුමන පසුබිමක්‌ හා පදනමක්‌  යටතේ වුවත්, මහාචාර්යවරයා පවසන්නේ, එක් නිශ්චිත පසුබිමක්‌  (certain ground) පැවතියයුතු බව අනිවාර්යවශයෙන් අවධානයට ගතයුතු බවයි. ඒ, වැඩි පිරිසක් සඳහා ඉටුවන්නාවූ වඩා ප්‍රභල යහපත උදෙසා, අදාළ තීරණය ගතයුතුවීමයි (Greater good to greatest numbers).

මේ මාතෘකාව මේ මොහොතේ අපගේ දේශපාලන යතාර්ථයක්‌ වන්නේ, ඉදිරියේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය පසුබිම්කරගෙනයි. ඒ අනුව, ආසන්නතම කාරණාවන් දෙකක් මීට අදාළව ඉලක්කගත වෙයි. ඉන් පළමුවැන්න මැතිවරණ සමයක් තුළ ක්‍රියාත්මක වන්නාවූ  මැතිවරණ නීති හා බැඳේන අතර දෙවැන්න සෘජුවම, මැතිවරණය පැවැත්වීම සම්බන්දයෙන් අදාළ වේ.

පළමු අවධානයට අනුව, මෙරට මැතිවරණ පනතට අදාළ නීති - රීති යටතේ, මැතිවරණයක් සඳහා දින නියමකළ පසු, මැතිවරණය පවත්වා අවසන්වනතුරු රජයේ තනතුරු සඳහා කිසිදු පත්කිරීමක් නොකළයුතු අතර, රජයේ ආයතනයක කිසිඳු නිලධාරීයෙක් හෝ සේවකයෙක් පත්කිරීම, මාරුකිරීම හෝ ඉවත්කිරීම නොකළයුතුවෙයි. එය අත්‍යවශ්‍ය සේවාවන් සඳහා වුවත් මැතිවරණ කොමිසමේ සෘජු අනුමැතිය යටතේ පමණක්‌ සිදුවියයුතු තත්වයක්‌වෙයි. මේ යතාර්ථය මා ප්‍රායෝගිකව මුහුණදුන් හා අනුගමනයකළ  මැතිවරණ නීතියක් ලෙස ප්‍රායෝගිකව හදුනාගෙන ඇත්තේ, පෙර ජාතික රූපවාහිනියේ ප්‍රධානියාලෙස කටයුතු කරද්දී, ජනාධිපති මැතිවරණය හමුවේ මෙකී නීතිය අනුගමනය කිරීමට කටයුතුකළ අත්දැකීමෙනි.  නමුත්, එවැනි පත්කිරීම්, මාරුකිරීම් හා ඉවත්කිරීම් මේ මොහොතේ අකුරට ඉටුවෙනවාද යන්න අප විසින් විමසා බැලියයුතු කාරණාවකි.

දෙවැනි තත්වය ලෙසින්, මහ මැතිවරණයක් යනු ජනතා අයිතියක් වන බැවින්, ජනතා මතය සාධාරණ ලෙස ප්‍රකාශකළ හැකි පසුබිමක්‌ තුළ එකී ජනතා මතය විමසීම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අවශ්‍යතාවයක්‌ වන්නේ, ජනතාව විසින් රටේ ව්‍යවස්ථාදායකය සේම විධායකයත් ඔවුන්ගේ අභිමතයට යටත්ව පත්කරගන්නා බැවිනි. එනිසාම, ජනතා මතය යන්න මෙහි ඇති අත්‍යවශ්‍ය සාධකය නොහොත් මහා පොදු සාධකය බවට පත්වෙයි. නමුත් ජනතා මතය සාධාරණ පදනමක්‌ යටතේ ලබාගත නොහැකි මෙවන් දැඩි අර්බුධකාරී අවස්ථාවක, ජනතාව පොදු අරමුණකට ඒකරාශී කරගැනීමට කරයුතුකිරීම සාධාරණනදැයි පොදු ජනතාව පැත්තේ සිටගනිමින් ප්‍රශ්න කිරීමට ඕනෑම පුරවැසියෙකුට අයිතිය තිබේ. මන්ද, මහ මැතිවරණයක්‌ යනු තවත් එක් අවස්ථාවක්‌ නොව, රටක සමස්ථ ජනතාවගේ ජනජීවිතය හා ඔවුන්ගේ හුස්මගැනීමේ අයිතිය ඉදිරි අවුරුදු පහක කාලපරිචේදය තුළ බලගැන්වෙන ආකාරය තීරණය කරන්නාවූ තීරනාත්මක නිමේෂය  (The moment) හෙවත් අවස්ථාව එය වන බැවිනි. එනිසා, මේ පිළිබද ගන්නාවූ නිගමන හා තීන්දු-තීරන යනු, රටක ඉදිරි වසර පහේ දේශපාලන, ආර්ථික,  සාමාජීය හා සංස්කෘතික පැවැත්ම පිළිබද පදනමවෙයි. මෙවැනි තීරණයයක් සෑම විටම මහාචාර්ය සන්ඩෙල් පවසන ආකාරයෙන් බහුතරයකගේ වැඩි යහපත සඳහා ගතයුත්තක් වන්නේ එය බහුතරයකගේ "ජීවිතය පිලිබද තීනදුවක්" වන බැවිනි. මන්ද, ජර්මානු දර්ශනවාදියෙකුවූ එමානුඑල් කාන්ට් (Immanuel Kant) විසින් පවසන පරිද්දෙන්, කිසියම් තීරනාත්මක සමාජ වෙනසක් ස්ථාපනය වු විට, එය යථාතත්වයට පත්කිරීමට හෝ එකී වෙනස තුළින් වරදක් සිදුවන්නේනම්, එකී වරද නිවැරදිකිරීම සඳහා එක්කෝ අති විශාල කාල පරාසයක් ගතවෙයි. නොඑසේනම් එය යලි කිසිදා යථාතත්වයට පත්නොවෙයි.

එය එසේ වන බව, අපද සාමාන්‍ය මිනිසුන් වශයෙන් ජිවත්වීම තුළින්, අත්දැක -විඳ පුරුදු යථාර්තය ඔස්සේ  හඳුනාසිටින නිසාම, ට්‍රිලියන 13 ක ණය කන්දක්‌ මුදුනේ සිටගෙන සිටින පුරවැසියන් මිලියන 22ක්‌ වු අපට, මේ අවස්ථාව නිහඬව මගහැරිය හැකි එකක් වේද?

එසේ නොදැක්කාසේ සිටියහොත් ඒ සදහා ලැබෙනුඇති දඩුවම වන්නේ, මෙකී "පුරවැසි මංගල්‍යය", "පුරවැසි අවමංගල්‍යයක්" බවට පරිවර්ථනය වීම හේතුවෙන්, අපද එකී කර්මයේ කොටස් කරුවන් ලෙසින් වගකීමේ බර දැරියයුතුවීමයි.  

-    ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද

Comments