Sathjana 2020.

Sathjana 2020.
SJB ප්‍රවෘත්ති සදහා මෙම ඛේතය "ක්ලික්" කරන්න.

COVID-19 ව්‍යවස්ථා අර්බුදය හා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට යාම.


මේ වන විට ලංකාවේ ඈත පිටිසර ගම් දනව්වේ ගැමියාගේ සිට සියලු නීතිවේදීන් දක්වාම වෙනසක් නැතිව ජනාධිපති බලතල, මහ මැතිවරණය හා පාර්ලිමේන්තු බලය ගැනත් අධිකරණය ගැනත් කෙළවරක් නැති කතා බහක් නිර්මාණය වී තිබේ. විවිධ කාරණා ගැන විවිධ අය විවිධ අදහස් හා මත තම තම නැණ පමණින් ප්‍රකාශ කරන අතර ඒ සියල්ල තුළ සාධනීය අර්ථදැක්වීම් මෙන්ම ප්‍රශ්නාර්ථය දනවන අර්ථදැක්වීම් ද තිබෙන බව පෙනේ. නමුත් මෙම මහජන කතාබහ ලඝු කර බැලුවොත් ව්‍යවස්ථා අර්බුදයක් ද ? යන කාරණය ගැන වාදයක් මතුවී ඇත.
  
මෙම ලිපියේ අරමුණ ඒවා  මැද්දට පැනීම නොවේ. වර්තමාන සිද්ධි හා නීතිය පිළිබඳව හැදෑරීමක් කිරීමයි. මොකද වෙන්නේ? ,මොනවද වෙලා තියෙන්නෙ? සහ කොහොමද වෙන්නේ ?කියා දැන ගැනීමට සැලැස්වීමයි.

වර්ෂ 2020 මාර්තු 2 වන දින අතිගරු ජනාධිපති වරයා විසින් ප්‍රකාශනයක් (අති විශේෂ ගැසට් පත්‍රයක්- අංක 2165/ 8) නිකුත් කරමින් එවකට පැවති පාර්ලිමේන්තුව විසුරුවා හරින ලදී. එම ගැසට් නිවේදනයේ ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (2),(ඇ)  අනුව්‍යවස්ථාව හා 70 වන ව්‍යවස්ථාව ප්‍රකාර ඇති බලය මත 1981 අංක01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ “විධිවිධාන අනුව” මෙම ප්‍රකාශනය කරන බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33වන ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයා සතු බලතල යනු ,19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ලබා දී ඇති බලතල කීපයෙකි .එහි (2)(ඇ) අනුව්‍යවස්ථාව මෙසේ කියයි. “පාර්ලිමේන්තුව කැඳවීමට , වාර අවසන් කිරීමට හ විසුරුවා හැරීමට බලය ඇත්තේය.” මෙම 33 ව්‍යවස්ථාව පොදුවේ ගත් කල ජනාධිපති වරයාගේ බලතල පෙන්වයි. එසේනම් මෙම විසුරුවා හැරීමේ බලය ගැන ගැටලුවක් තිබිය නොහැකිය.

ඇත්තෙන්ම ඒක එහෙමද?

නමුත් ව්‍යවස්ථා අර්ථ නිරූපණය කිරීම ඔබට හා මට කළ හැකි දෙයක් නොවේ.ලංකාවේ ආණ්ඩුකම ව්‍යවස්ථාව අනුව එය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත තිබෙන තනි හා අනන්‍ය බලයක් වෙයි. ඒ  බලය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ලබාදී ඇත්තේ ද ආණ්ඩුකම ව්‍යවස්ථාව මගින්මය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 125 වන ව්‍යවස්ථාව ඒ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට පමණක්ම හිමිකර දෙයි. දැන් නැවතත්, පෙර කී පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද 2020. 03.02 දිනැති  ජනාධිපති වරයාගේ ප්‍රකාශනය දෙස බැලුවොත්, එහි අ ,ආ ,ඇ, ඈ ලෙස උපඡේද හතරක් මගින් තවත් විධාන හතරක් ද ප්‍රකාශ කර ඇත.

එනම්,
(අ) (එදා-2/3/2020)  එදින මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරෙන බව හා අලුත් පාර්ලිමේන්තුව 2020 මැයි මස 14 වන දින ප්‍රථම රැස්වීමට කැඳවන බව,

(ආ) මැතිවරණය පවත්වන දිනය අප්‍රේල් 25 බව,

(ඇ) නාම යෝජනා භාර ගැනීම මාර්තු මස 12 දින සිට 19 දින දක්වා නියම කරන බව,

(ඈ) තේරීම්භාර නිලධාරියා විසින් මැතිවරණ කොට්ඨාස විසිදෙකක් සඳහා පැවැත්වීමේ ස්ථාන නියම කළ යුතු බව ආදී කාරණා වේ.

ජනාධිපතිවරයාගේ ඉහත කී ගැසට් පත්‍රයේ ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාව යටතේ ලද බලතලද  මත මේ කටයුත්ත කරන බවයි. දැන් එහෙනම් අප විමසිය යුත්තේ 70 වන ව්‍යවස්ථාවේ මොනවද කියා තිබෙන්නේ කියායි. මෙම 70 වන ව්‍යවස්ථාවේ (1) වන අනුව්‍යවස්ථාව 19වන ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනයෙන් සංශෝධනය වූ අතර එහි කියවෙන්නේ විසුරුවා හැරීම කළ හැකි වුවත් අවුරුදු හතරකුත් මාස 6කට පසු මිස/ හා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක සම්මතයක් නැතිව ඉන් පෙර විසුරුවා හැරීමක් නොකළ යුතු බවයි එසේනම් මෙවර විසුරුවාහැරීම එම කාලයට පසුව කළ නිසා 70 (1) අනුව්‍යවස්ථාවෙන්  භාධාවක් හෝ බලපෑමක් සිදු නොවන අතර බලපාන්නේ 70 ව්‍යවස්ථාවේ  ඉතිරි කොටස් විය යුතුය. 

එසේ නම් ඒ මොනවාද යන්න දැනගත යුතුය. 8 වන පාර්ලිමේන්තුවේ 4 වන සැසිය 2020 ජනවාරි 3 වන දින ආරම්භ කර තිබුණු නමුත් වාරාවසාන කර නොතිබියදී පාර්ලිමේන්තුව විසුරුවන ලදී. ඒ අනුව 70 (5)(අ) අනුව්‍යවස්ථාවට අනුව හා එම බලතල අනුව ප්‍රකාශනයක් නිකුත් කිරීමේදී ,එම ප්‍රකාශනයේ නිශ්චිත ලෙස සඳහන් කළ යුතු කරුණු ලෙස මැතිවරණ දිනය, අලුත් පාර්ලිමේන්තුව පළමු රැස්වීමට  කැඳවන්නා වූ දිනය, දක්වා තිබිය යුතුය. එසේම අලුත් පාර්ලිමේන්තුවේ පළමු රැස්වීමේ දිනය ගැසට් පත්‍රය නිකුත් කළ දින සිට මාස තුනක් ඇතුළත වන දිනයක් හැටියට සඳහන් කළ යුතු බව නියම කර ඇත. ජනාධිපතිවරයා විසින් නිකුත් කළ පෙරකී ගැසැට්ටුවේ  ඒ දිනයන් අ,ආ ලෙස දක්වා ඇත. එහි නාමයෝජනා මාර්තු මස 12 සිට 19 දක්වා බවද, මැතිවරණය අප්‍රේල් මස 25 දින පවත්වන බවද,, අලුත් පාර්ලිමේන්තුව මැයි මස 14 වන දිනදී  රැස්වන බවද ලියා ඇත. එනම් මේ සියලු කාරණා එම මුල් ගැසට්ටුවේ  සිට මාස තුනක් ඇතුලත වන දිනයන් තුළ යොදා ඇත.

දැන් අප බොහොම සැලකිල්ලෙන් සලකා බැලිය යුතු දෙයක් තිබේ. 

70(5)අනුව්‍යවස්ථාවේ (ඇ) අනුව්‍යවස්ථාව මෙසේ කියයි. ගරු ජනාධිපතිවරයාට අලුත් ප්‍රකාශනයක් (අලුත් ගැසට් එකක්) නිකුත් කර මාර්තු දෙවැනි දින ගැසට්ටුවේ  සඳහන් කළ පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම් දිනය වෙනස් කළ හැකියි.නමුත් ඒ වෙනස්කල දිනය මුල් ගැසට් පත්‍රයේ ප්‍රකාශනයේ දිනය වන 2/3/2020 දින සිට මාස තුනක් ඇතුළත වන දිනයක් ලෙස පමණක් විය  යුතු  බවයි. එනම් 2020 ජුනි දෙවන දින ට පෙර දිනයක්ම  නව පාර්ලිමේන්තුවේ වෙනස්කල රැස්වීම් දිනය ලෙස ජනාධිපතිවරයාට නැවත ප්‍රකාශ කළ හැකි වේ.නමුත්  ලංකාවේදී සිදුවී ඇත්තේ එවැනි දෙයක් නොවේ.

මැතිවරණ කොමිසම විසින් නාමයෝජනා භාරගැනීමෙන් පසු මැතිවරණය දින නියමයක් නොමැතිව කල් දැමීමත්, මැතිවරණ කොමිසම  පසුව අප්‍රේල් 20 දින රැස්වී අලුත් මැතිවරණ දිනයක්  ප්‍රකාශයට පත්කිරීමත් වේ. අංක 2172/3 හා 20/4/2020 දරණ අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් මැතිවරණය ජූනි 20 දින පැවැත්වෙන බව ප්‍රකාශකර ඇත. මෙය අවස්ථා දෙකක් යටතේ සිදුකරයි. 2020/3/21 දින අංක 2167/19 දරන අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් කොමිසම විසින් මැතිවරණය කල් දමන බවත් එයට හේතුව covid 19 වසංගතය බවත්, අප්‍රේල් 30ට පසු දින  දාහතරක් ගතකර එලඹෙන දිනයක් මැතිවරණ දිනය ලෙස පසුව ප්‍රසිද්ධ කරන බවය. එහි කී ලෙසම 2020/4/20 දින ගැසට් පත්‍රයෙන් මැතිවරණය ජූනි 20 දින පවත්වන බව ප්‍රකාශ  කරන ලදී. එම ගැසට් නිවේදන දෙකේම සඳහන් කර ඇත්තේ 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24 (3) උප වගන්තිය යටතේ එම ප්‍රකාශන නිකුත් කරන බවයි. දැන් ගැටලුවක් පෙනේ.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරවීමේ බලය ලබා දෙන ගමන්ම ව්‍යවස්ථාපිත  නීතියේදී එය කලයුතු නෛතික පටිපාටියක් හා   සීමාවක් ද හඳුන්වා දෙයි. එනම් මාස තුනක් ඇතුළත අලුත් පාර්ලිමේන්තුව රැස් කළ යුතු බවයි. 

දැන් මැතිවරණ කොමිසම පාර්ලිමේන්තු මැතිවරණ පනතේ වන 24(3)වගන්තියේ ප්‍රතිපාදන පාවිච්චි කර මැතිවරණය සඳහා නියම කර ඇති දිනය වන ජූනි 20 දිනය  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට ලබාදී  නියමකර ඇති දින සීමාව පසුකර ගොස් තිබේ. 

එනම් මැතිවරණ කොමිසම මැතිවරණ පනතෙන් ලැබුණු බලතල පාවිච්චි කර ඇති අතර එම බලතල පාවිච්චි කර ඇති ආකාරය ශ්‍රී ලංකා ජනරජයේ  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (2)(ඇ) සහ 70 (5) සහ 70(5)(ඇ) යන ව්‍යවස්ථා ද සමඟ සෘජුවම ගැටෙයි. එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තුව විසුරුවීම සඳහා ජනාධිපතිවරයාට බලයක් ලබා දෙන අතරේ ඒ බලය තුළ විසුරුවීමේ නීත්‍යානුකූලභාවය, මාස තුනක් තුළ නව පාර්ලිමේන්තුවේ රැස්වීම් කැඳවීමේ  වගකීමට යටත් කර තිබේ. 

දැන් මැතිවරණ කොමිසමෙන් ජූනි දෙවෙනිදාට පසු දිනකට මැතිවරණ දිනය නියම කිරීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමඟ සෘජුවම ගැටීමක් ඇති කර ගනී. 

එසේනම් මැතිවරණ කොමිසමේ සිදුවූ දේද සැලකිල්ලෙන් බැලිය යුතුය. 

ඒවා නම් ජනාධිපතිවරයාගේ  2/3/2020 දින පාර්ලිමේන්තුව විසිරවූ ගැසට් නිවේදනය මත පිහිටා මැතිවරණ කොමිසම විසින්,

1) ඡන්ද විමසීම් අප්‍රේල් 25 පවත්වන බවට අංක 2167/12 දරණ ගැසට් පත්‍රය 20/3/2020 දින නිකුත් කරන ලදී.

2) නැවත අංක 2167/19 සහ 2020/3/21 දිනැති ගැසට් පත්‍ර මගින් covid 19 වසංගතය ලංකාව තුල පැතිරීම නිසා මැතිවරණය නොපවත්වන වත් අප්‍රේල් 30 ට දින දාහතරකට පසු දිනයක් පසුව නියම කරන බවක් ප්‍රසිද්ධ කරන ලදී. මැතිවරණ කොමිසමේ මෙම ගැසට් නිවේදන සියල්ලම 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24 (1) සහ 24 (3) උපවගන්ති මත දින නියම කරමින් නිකුත් කර ඇත.

 කොමිසමට එසේ  කළ හැකිද? මෙයයි දැන් ප්‍රශ්නය.

දැන් අපි පාර්ලිමේන්තු පනතේ 24 වගන්තිය බලමු. 24 (1) උප වගන්තිය 1988 අංක 15 දරණ සංශෝධිත පනතින් සංශෝධනය වී ඇති අතර ඡන්ද අපේක්ෂක නාම ලැයිස්තු අකාරාදී පිලිවෙලට සැකසීමට අදාළ වේ. එය මැතිවරණ කල් දැමීම යන කාරණයට අදාළ නැත. පනතේ 24 (3) උපවගන්තිය මැතිවරණ කල් දැමීමට අදාළ වේ. එහි කියන්නේ,යම් බලාපොරොත්තු රහිත තත්වයක් මත කල් දමන්නේ නම් එය ගැසට් පත්‍රයේ පළ කළ නියමයක් මගින් කළ යුතුය. එහි වැදගත් කරුණු දෙකකි. 
එනම්,
(1) වෙනත් දිනයක් නියම කිරීම. 

(2) ඒ වෙනත් දිනය නව ගැසට් නිවේදනයේ දින සිට දින දාහතරකට පසු දිනයක් බව සඳහන් කිරීම. 

දැන් තත්වය පැහැදිලිය. කොමිසම ගැසට් නිවේදනය නිකුත් කර ඇත. එය අංක 2172/3 හා 20/04/2020 ගැසට් පත්‍රයයි. එයින් ජුනි 20 වන දින මැතිවරණය පවත්වන බව කියයි.එසේ කියන්නේ මැතිවරණ පනතේ 24 (3) උප වගන්තියෙ බලය මතය. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෙවත් රටේ මූලික නීතිය 33 සහ 70 ව්‍යවස්ථා මගින් පාර්ලිමේන්තුව විසුරුවන දින සිට මාස තුනක් ඇතුළත නව පාර්ලිමේන්තුව රැස් විය යුතු බව කියයි. ඒ රටේ ප්‍රධාන හා මූලික නීතියයි. කොමිසම මැතිවරණ පනතේ 24 (3) උප වගන්තිය යටතේ මාස තුනකට එපිට දිනයක මැතිවරණය පැවැත්වීමට නියම කරයි. එසේනම්, අලුත් පාර්ලිමේන්තුව රැස් වන්නේ ඊටත් පසුව විය යුතුය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලධාරී  විය යුතුද? නැත්නම් පාර්ලිමේන්තු මැතිවරණ පනත බලධාරී විය යුතුද? 

එසේනම් ව්‍යවස්ථා  හා පනත් අර්ථ නිරූපණය කිරීමේ බලය ඇති අධිකාරිය ලවා මෙය විසඳාගත යුතු බව මගේ නිරීක්‍ෂණයයි. එනම් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් මිස මෙම ගැටලුවට අවසාන අර්ථ නිරූපණ සැපයීය නොහැක. සමාජයේ පෙනෙන තව මතයක් නම්, ‍ප්‍රජාතන්ත්‍රවාදය ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ආරක්ෂා කර ගැනීමට ක්‍රියා  කළ යුතු බවයි. සැබැවින්ම ්‍රේෂ්ඨාධිකරණය හා එහි අරමුණත් එහි අවසන් අභිලාෂයත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමද? එය එසේනම්  ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වූ විටක හා තහවුරු වූ පසු ශ්‍රේෂ්ඨාධිකරණය පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් පැන නොනගිනු ඇත. එය එසේ නොවන බව අපි දනිමු.  ශ්‍රේෂ්ඨාධිකරණයක අභිමතාර්ථ ප්‍රජාතන්ත්‍රවාදයද ඇතුළුව ඊට බෙහෙවින් එහා ගිය ,පුළුල් වූ ගැඹුරු මානයක් සිසාරා දිව යයි.

නැවතත් පළමු ප්‍රස්තුතයට ගියොත් පනතකින් නිලධාරියෙකුට හෝ කොමිසමකට දෙන ලද බලය, එම රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන නියම හා ගැටෙන ලෙස අර්ථ විවරණය කළ හැකිද? යන ප්‍රශ්නය පැන නගී. අනෙක් අතට විවිධ පනත්වල වගන්ති එලෙසින්ම ලඝු ලෙස විවරණය කරගෙන පාවිච්චි කළ හැකිද? යන ප්‍රශ්නය පැන නගී.මේ කාරණයට පිළිතුරු හැටියට මැතිවරණ කොමිසම නියම කළ මාස තුනෙන් එපිට දින නියමය , නිවැරදි යැයි යම් හෙයකින් අප පිළිගන්නේ නම් එහි තේරුම මැතිවරණ පනතේ වගන්තිවල බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඊට අදාළ හා සම්බන්ධිත ව්‍යවස්ථා වලට වඩා ඉහළින් බලධාරී වන ලෙස පනත් පනවා ඇති බවයි. එය වලංගු නීතිමය මතයක් මතයක් විය නොහැකි බව මගේ මතයයි. මෙය පැහැදිලි කර ගත හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 75(අ) සහ (ආ) අනුව්‍යවස්ථාවන් කියවා බැලීමෙන් පමණි. එහි කියා ඇත්තේ  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ එහි කොටසක ක්‍රියාකාරීත්වය අත්හිටුවන නීතියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හෝ පරිච්ඡින්න පනතකින් මිසක වෙනත් සාමාන්‍ය පනතක් මගින් පැනවීමක් නොකළ යුතු බවය. පාර්ලිමේන්තු මැතිවරණ පනත සාමාන්‍ය පනතකි.එසේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  නියම වලට පිටින් යමින් හා ඉහළින් යමින්, නිවේදන හා කාර්ය පටිපාටීන් කරගෙන යාමට පණතට බලයක් හිමි නොවේ.

එසේනම් සිදුවූයේ කුමක්ද? සිදුවූදේ නීතිය අනුව කුමක්ද? 
අප සොයා ගත යුත්තේ මෙයයි. 

පාර්ලිමේන්තුව විසුරුවා හරින (2/3/2020) ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 හා 70 ව්‍යවස්ථාවට අනුකූලව හා පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 10 වගන්තිය යොදාගෙන මාස තුනක් තුල  (ජූනි 2ට පෙර) නව පාර්ලිමේන්තුව රැස්කරන ව්‍යවස්ථාපිත විධානයට යටත්ව  නිකුත් විය. හදිසියේ බලාපොරොත්තු නැති covid  19 වසංගතයේ පැමිණීම මත මැතිවරණය කල් දමන බව 21/3/2020 කොමිසම විසින් ගැසට් කර ප්‍රකාශ කරන ලදී. එය වැළැක්විය නොහැකි මිනිස් පාලනයෙන් තොරව වන අහඹු සිද්ධියකි. නීතියේ එය හඳුනාගන්නේ මිනිසාට පාලනය කළ නොහැකි ක්‍රියා හෙවත් දේව ක්‍රියා ( ACT OF GOD) හැටියටය. දැන් වෙනස් කළ දිනයක මැතිවරණය පැවැත්විය යුතුය.

එය කළ යුත්තේ ද නීතියේ හැටියටය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අපට කියන්නේ, 33 හා70 (5) (අ) සහ (ඇ )ව්‍යවස්ථා වලට අනුව එය කරනා ලෙසටය.

මොකක්ද මේ 70 (5) (ඇ) ?

ඒ කියන්නේ මුල් විසිරවීමේ ගැසට් නිවේදනයෙන් නියම කළ අලුත් පාර්ලිමේන්තුවේ රැස්වීම වෙනත් දිනයකට නියම කර වෙනස් කළ හැකි බවයි. නමුත් එහි කියනවා අළුත්  නියමයකින් නියමකරන නව  මන්ත්‍රී කණ්ඩායමේ ප්‍රථම රැස්වීමේ දිනය මුල් විසිරවීමේ ගැසට් නිවේදනයේ දිනයේ සිට මාස තුනක් ඇතුළත දිනයක් විය යුතුයි කියා. එසේනම් මැතිවරණ කොමිසමට මැතිවරණ පනතේ 24 (3) යටතේ තිබෙන බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (5)(ඇ) ව්‍යවස්ථාවට යටත් ව පාවිච්චි කිරීමට කොමිසම බැඳී සිටී. එසේනම් මැතිවරණ කොමිසම ජූනි 20 ට මැතිවරණය නියම කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොසලකා හැරීම උල්ලංඝනය කිරීම හා එයට ඉහළින් ගමන් කිරීම යන දෝෂවලට ලක්විය හැකියි. 

දැන් ඇතිවන නීති තත්වය කුමක්ද?

මාස තුන පිරෙන ජූනි 02 දිනට පසු දිනකට මැතිවරණ යෙදීමට ක්‍රියා කිරීමෙන් උද්ගතවන භයානක ප්‍රතිඵල තිබේද යන්න සැලකිල්ලෙන් සලකා බැලිය යුතුව තිබේ. අනෙක් අතට මැතිවරණ පනතේ 10 වගන්තිය කොමිසමට නියම කරන්නේ නාම යෝජනා අවසන් දිනයේ සිට සති පහක් ඉක්මවූ පසු  හා සති 7 කට නොවැඩි කාලයක් තුළ ඡන්ද විමසීමේ දින නියම කළ යුතු බවයි. හදිසි හේතු මත වෙනස් කලත් මෙම   සීමාව ඉක්මවා  යාමටත් ව්‍යවස්ථාවේ සීමා ඉක්ම වන්නටත් කොමිසමට නීතිමය  බලයක් නැත. ඒ අනුව විසිරවූ දිනයේ සිට සති පහක් ගෙවෙන්නේ ප්‍රේල් 25 වන දිනට වන අතර සති 7 පිරෙන්නේ මැයි නම වන දිනට වේ. දැන් ඒ සියලූ සීමා පසුකර කොමිසම තනිවම ඉදිරියට ගමන් කර තිබේ. නීතියේ දී මෙම තත්වය කුමක්ද? මා කලින් කිවු ආකාරයට වසංගතය බලාපොරොත්තු නොවූ බාධාවක් හෙවත් දේවක්‍රියාවක් (ACT OF GOD) ගෙනවිත් දී තිබේ. ඒ අනුව කල් දැමීමේ ගැසට් නිවේදනය කළ යුතුයි.

නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නියම කළ මාස තුනක කාලය ඉක්ම යන්නට පෙර අලුත් පාර්ලිමේන්තුව රැස්වීමට බැරි බව මැතිවරණ කොමිසම අලුත් මැතිවරණ දිනය ජුනි 20ට නියම කිරීමෙන්ම පැහැදිලි වෙනවා. මෙම නව ගැසට්ටුව මගින් ව්‍යවස්ථාදායකයේ පැවැත්මේ අඛණ්ඩභාවය අත්හැර තිබීම නිසාම ගැසට්ටුවේ දිනය වන අප්‍රේල් 20 දිනසිට දීන 30ක් තුල මුලික අයිතිවාසිකම් කඩවීමකට එරෙහිව නැගිටින්නෝද මතුවිය හැක. එසේම ව්‍යවස්ථාවෙන් දැක්වෙන මාස 03 ක කාලය ඉක්මවා යාම මත 02/03/2020 විසුරුවාහැරීමේ ගැසට් නිවේදනය බලරහිත හා ශුන්‍ය කෙරෙන, නාමයෝජනා එනයින්ම ශුන්‍ය කෙරෙන රිට් අයැදීමකින් පෙර පාර්ලිමේන්තු සැසිය බලගැන්වීමේ අයැදීම්ද ඇතිවිය හැක.

 පුද්ගලයෙකුගේ වරදක් නැතිව සිදුවන “ව්‍යර්ථ වීම්” (frustration) ගැන ගිවිසුමකට අදාළව අර්ථනිරූපනය කරන sumner සාමිවරයා (bankline ltd Vs  Arthur capel and Co) පවසන්නේ, “I think it is now well settled that the principle of frustration of an adventure assumes that the frustration arises without blame or fault on either person” රාජ්‍ය නිලධාරීන්ට නීති උපදේශනයක් අවශ්‍ය වන්නේ එබැවිනි.  

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියම කල මාස 3 ඉක්මවීමෙන්,  ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සීමා තුළ ලැබුණු බලතල පාවිච්චි කර ජනාධිපතිතුමා විසින් 2/3/2020 දින නිකුත් කළ පාර්ලිමේන්තුව විසිරවීමේ ගැසට් නිවේදනය ඒ හා බැඳුණු අත්‍යන්ත ව්‍යවස්ථාමය ප්‍රතිපාදන ඉෂ්ට කිරීමට නොහැකි වීම මතම ශූන්‍යත්වය ට හෙවත් අකර්මණ්‍ය භාවයට පත්වේ. (ගැසට් නිවේදනයක් යනු නීතියක් නොවන අතර නීතියෙන් ලද බලයක් ක්‍රියාත්මක කිරීමේදී නිකුත් කරන නියෝග ආකාර රෙගුලාසිමය කාර්යපටිපාටියකි.) තවත් ආකාරයකින් කියතොත් විසුරුවා හැරීමේ ප්‍රකාශනය ව්‍යවස්ථාවෙන් ලබාදී ඇති බලතල ව්‍යවස්ථාවේ දැක්වෙන ඉටුකිරීම්  සපුරමින් භාවිතා කිරීමට නොහැකි වීමෙන් එනයින්ම නීතිමය බලධාරී භාවයෙන් ශූන්‍යත්වය ට පත්වෙයි. අර්ථ නිරූපණය කිරීමේ දී නීතියක් මගින් නියම කළ යම් ක්‍රියාවක් පාලනය කළ නොහැකි හේතුවක් මත කළ නොහැකි දෙයක් බවට පත්වූ විට එය” ව්‍යාර්ථ වු” ලෙස අර්ථ දැක්විය හැකි වේ. 

අනෙක් අතට ව්‍යවස්ථා අර්ථ නිරූපණයේ දී එක් එක් ව්‍යවස්ථා තනි තනිවත් පනත්වල නීති තනි තනිවත් අර්ථ ගැන්විය හැකි නමුත් පොදු පිළිගත් නෛතික සිද්ධාන්තය වනුයේ සමස්ථය සලකා පුළුල් ලෙස අර්ථ දැක්වීමයි. මූලික වශයෙන් ව්‍යවස්ථා අර්ථ නිරූපණයේ දී විලාසයන් දෙකක් භාවිතා කරයි එනම්,

1. සාමාන්‍ය අර්ථ නිරූපණය (Formal style) 

 2. පුළුල් අර්ථ නිරූපණය  (Grand style)  

යන විලාසයන් වෙයි. මේ දෙවර්ගය අවස්ථාවේ උචිත බව අනුව යොදා ගනී. නමුත් අප සැලකිල්ලට ගත යුතු කාරණය නම් රටක පාර්ලිමේන්තුව විසුරුවා හැර ව්‍යවස්ථාවේ දැක්වෙන කාලය තුළ අලුත් පාර්ලිමේන්තුව රැස් නොවන්නේ නම්, එයින් උද්ගත වෙන නීතිමය ප්‍රතිඵල භයානක විය හැකිද? යන්නයි .එනම් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මෙය තේරුම් ගන්නා විට අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76 වන ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව සතු ව්‍යවස්ථාදායක බලය අත්නොහළ යුත්තේය. කිසිම ආකාරයකින් අන්සතු නොකළ  යුත්තේ ය. එසේනම් ව්‍යවස්ථාදායකය වන නීති පන වන්නාගේ බලය ජූනි 2වන දිනය වන්නට පෙර එක්කෝ අලුත් පාර්ලිමේන්තුව විසින් භාරගත යුතුය. නැත්නම් පරණ පාර්ලිමේන්තු කණ්ඩායම විසින් දරා සිටිය යුතුය. යම් හෙයකින් පරණ පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබියදී ජුනි 2 දිනයට පෙර  අලුත් පාර්ලිමේන්තුව රැස් නොවී සිටියහොත් එනයින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව  හා නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 හා 4 වන ව්‍යවස්ථා  වලින් පාර්ලිමේන්තුව සතු කර ඇති ජනතාවගේ පරමාධිපත්‍ය අත්හැරීමක්, බිඳවැටීමක්, ඛණ්ඩනය වීමක් සිදුවන්නේ ද ?යන උභතෝකෝටිකය අප හා නීතිය  ඉදිරියේ ඉතිරි වේ. 

මෙවැනි තත්ව වලදී  ලෝකයේ  විවිධ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු ලබා දීමේදී පවතින  ගැටළුව දෙස බලා එම ගැටළුවට පමණක් ලඝු නොවී ව්‍යවස්ථා අර්ථ නිරූපණයේ දී අත්‍යන්තයෙන්ම සලකා බැලිය යුතු පුළුල් විලාසයේ (Grand style)  අර්ථ නිරූපණයන්ට  ගොස් ඇති ආකාරය නීතියේ හා නීති අර්ථ නිරූපණය සම්බන්ධයෙන් උපරිමාධිකරණ වල තිබෙන පුළුල් දෘෂ්ඨීන්හී  ප්‍රඥාසම්පන්න භාවයන් පිළිබඳ මනරම් හා විශ්වීය  අර්ථ විවරණ බවට පත් වී තිබේ. ඒ සම්බන්ධව ඉතා විචිත්‍ර වූ නඩු තීන්දුවක් වන්නේ ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද, 

Kesavananda bharati Vs State of Kerala AIR 1973 SC 1461 නඩු තීන්දුවයි. 

එහිදී ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ බහුතර මතය එස්.එම් සික්රි විනිසුරු තුමා ප්‍රමුඛව ප්‍රකාශ කළේ ව්‍යවස්ථා අර්ථ නිරූපනයේදී රටේ මුලික නීතිය හා සැකැස්මද නෛතික පැවැත්මද, බිඳ  වැටෙන ආකාරයට ව්‍යවස්ථා අර්ථනිරූපනය නොකළ යුතු බවයි. නඩු තීන්දුව ප්‍රකාශ කිරීමේදී සමාජ සුභසාධන රාජ්‍යයක නීතියේ හා සමාජයේ අඛණ්ඩ පැවැත්මට ඉවහල් වන සේ ද, සමාජ යන්ත්‍රණය හා ශුභසිද්ධිය තීරණාත්මක ලෙස ස්ථිර කරමින් නීතියේ වචන වලට බරසාර වටිනාකමක් ලැබෙන පරිදි අර්ථ ගන්වන ලදී. මන්දයත්, සාමාන්‍ය මහජනයාට නොතේරුණත් ප්‍රජාතන්ත්‍රවාදී රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අරක්‍ෂා වීම මත මහජන ආරක්‍ෂාව රැකෙන බවත්, ඒ උදෙසා මහජන නියෝජිත පාර්ලිමේන්තුවකින් නීති සෑදීමේ අවශ්‍යතාවය පාර්ලිමේන්තුව පවත්වාගෙන යාමේ වැදගත් කමට සමානුපාතික වන බව පිළිගත් සිද්ධාන්තයකි.

ශ්‍රී ලංකාවේ මුලික අයිතිවාසිකම් ලියැවී ඇත්තේද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ III වන පරිච්ඡේදයේය. ජනයාගේ මුලික අයිතිවාසිකම් රැකෙන්නට නම් ව්‍යවස්ථාවත්, ව්‍යවස්ථාව උසුලා සිටින ව්‍යවස්ථාදායකයත් අරක්‍ෂා වීම අවශ්‍ය වේ. නීති අර්ථනිරූපණය කරන අධිකරණයද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කර පිහිටුවා තිබීම නිසාම ව්‍යවස්ථාවේ පැවැත්ම නිදහස් අධිකරණයක පැවැත්මටද ජනහිතකාමී පුළුල් අර්ථනිරූපණ ලැබීමටද හේතුවේ.

ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය මහජන ආරක්‍ෂාව සඳහාද, නීතියේ අර්ථනිරූපණ සඳහා ද, නීතිය පුළුල් ලෙස  (Grand style) අර්ථනිරූපණය කල කදිම නිදසුනක් 2019 දෙසැම්බර් 17 වන දින මෙරට ශ්‍රේෂ්ඨාධිකරණයේ SC/FR/577/2010 නඩු තීන්දුවේදී විදහා දක්වයි. ලංකාවේ මුලික අයිතිවාසිකම් අතර “ජීවත් වීමේ අයිතිය” (Right to life) නිශ්චිතව ලිඛිතව සඳහන් කර නැතත් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය අර්ථනිරූපණය කරන්නේ 11 සහ 13 (4) ව්‍යවස්ථා එකට සලකා බැලූවිට ජීවත් වීමේ අයිතිය ලංකාවේ පුරවැසියන්ට ස්ථිර මුලික අයිතිවාසිකමක් ලෙස තිබෙන බවයි. පුළුල් අර්ථනිරූපණ කොතරම් අගනේද? 

ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය 1989 ජුනි 21 දින, 
Texas Vs Johnson  නඩු තීන්දුවේදී, 

ඇමෙරිකානු ධජයට කෙලගසා, භූමිතෙල් දමා,  ගිනිතබා විරෝධය පා අපහාස කිරීම ඇමෙරිකානු අපරාධ නීතියේ හැටියට වරදක් වුවද, (Ronald Reagan ගේ 1984 මැතිවරණ සමයේදී සිදුවූ සිද්ධියකි.)  ඇමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු සංශෝධනය මගින් පුරවැසියන් සතු කර ඇති භාෂනයේ හා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිවාසිකමේ සංකේතාත්මක භාවය තුළ එය අදහස් ප්‍රකාශ කිරීමක් මිස වරදක් නොවන බවයි. 

එසේම, 
Marbury VS Madison නඩුවේදී ද,

 එවකට ඇමෙරිකානු අගවිනිසුරු John marshall පෙන්වා දුන්නේ ව්‍යවස්ථාව අභිබවා යන ලෙස හා ව්‍යවස්ථාවේ මුලික හරයන් කෙලසන ලෙස රට තුළ අනෙකුත් නීති භාවිතාවට නොගත යුතු බවයි. 

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිළ නාමය “ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය” යැයි කියා තිබේ.  

නීතිඥ ජනක එදිරිසිංහ.

Comments