Sathjana 2020.

Sathjana 2020.
SJB ප්‍රවෘත්ති සදහා මෙම ඛේතය "ක්ලික්" කරන්න.

බලය ලබා ගැනීම සදහා සිවිල් සමාජය තුළ වැඩ කිරීම: නො නිමි පෙරවදනක්..

  
                                                                                                                             
දේශපාලන ආර්ථිකය (political economy) හා සංස්කෘතිය අතර සම්බන්ධය(උපරි ව්‍යුහය හා අධෝ ව්‍යුහය යන යෙදුම් එහි භාවිත ය - Base and superstructure) මාක්ස්වාදය තුළ විග්‍රහ  කර ඇත්තේ ඉතා යාන්ත්‍රික සූත්‍රයක් පරිද්දෙනි. එනම් ආර්ථික ව්‍යුහය පදනම වන අතර සංස්කෘතිය ඊට අනුරූප ව පරායත්ත ව පවතින බවයි. එනම් දේශපාලන ආර්ථිකය වෙනස් කළ විට සංස්කෘතිය ඉබේ වෙනස් වන බවයි. ඒ අනුව ආර්ථික පදනම මූලික වන අතර සංස්කෘතිය ද්විතීයික වේ(Marx, K.1911).එහෙත් අද දවසේ අප අත්විදින සංස්කෘතිය හා දේශපාලන ආර්ථිකය අතර සම්බන්ධ ය එවැනි එකක් නොවේ. සංස්කෘතිය විසින් දේශපාලන ආර්ථිකය මෙහෙයවන ආකාරය ලෝක දේශපාලනය පුරා ම දැකිය හැකි ය. මේ තත්වය 1930 ගණන්වල තමා ලැබූ දේශපාලන අත්දැකීම් අසුරෙන් ඉතාලියානු පශ්චාත් මාක්ස්වාදියෙකු වූ අන්තෝනියෝ ග්‍රාම්ස්චි (1891-1937) විසින් පැහැදිලි කරන ලදි. ග්‍රාම්ස්චිගේ විග්‍රහය අනුව උපරිව්‍යුහය (superstructure) නොහොත් සංස්කෘතිය කොටස්  දෙකකින් යුක්ත ‍වේ.ඒ දෙක නම් දේශපාලන සමාජය (Political Society)හා  සිවිල් සමාජය(Civil Society) යි. මේ දේශපාලන සමාජය ලෙස ග්‍රාම්ස්චි විග්‍රහ කරනු ලැබූයේ රාජ්‍යය හා එහි යාන්ත්‍රණය යි(කැබිනට් මණ්ඩලය, ජනාධිපති, රාජ්‍ය ආයතන, පොලීසි, උසාවි, හමුදාව,සිරගෙවල් ආදිය මීට ඇතුළත් වේ).සිවිල් සමාජය ලෙස විග්‍රහ කරනු ලැබූයේ රාජ්‍යයෙන් පරිබාහිර මිනිස් ක්‍රියාකාරීත්වය යි(වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ, පාසල් සහ විශ්වවිද්‍යාල, ආගමික ආයතන, ජන මාධ්‍ය, පවුල, රාජ්‍ය නොවන සංවිධාන සහ රජය සමඟ වක්‍ර ව සම්බන්ධ සියලු ආයතන).ග්‍රාම්ස්චිට අනුව මේ දේශපාලන සමාජය විසින් දේශපාලන ආර්ථිකය හසුරවනු ලබයි. එම දේශපාලන සමාජයේ නියාමයන් තීරණය කරනු ලබනුයේ සිවිල් සමාජය විසින් නිශ්පාදනය කරන නිර්ණායකවලිනි(Gramsci, A., & Hoare, Q.1971). සිවිල් සමාජය විසින් දේශපාලන සමාජයේ ආධිපත්‍යය කැමැත්තෙන් භාරගෙන තිබේ.එම කැමැත්තෙන් ආධිපත්‍යය පිළිගැනීම ඔහු හැදින්වූයේ  හෙජමොනි නොහොත් අණසක ලෙසිනි. සිවිල් සමාජය තුළ දේශපාලන සමාජය විසින් ස්ථාපිත කොට ඇති දැණුම ව්‍යවහාර ඥානය නොහොත් සාමාන්‍ය දැනීමයි.එම දැනීම පවත්නා දේශපාලන සමාජය විසින් ඔවුන්ට වාසි වන ආකාරයෙන් නිර්මාණය කරන ලද්දකි.එම දැණුමට විරුද්ධ සියලු දැනීම් පිස්සු ලෙස හෝ බොරු ලෙස ගර්හාවට ලක් කිරීමට පාලන ව්‍යුහය විසින් කටයුතු කරයි. මේ දේශපාලන සමාජය ප්‍රශ්න කිරීමටත් එහි පාලන ව්‍යුහය වෙනස් කිරීමටත් සිවිල් සමාජයට මැදිහත් විය හැකි ය.ඒ සදහා මූලික වනුයේ ‍‍ඓන්ද්‍රීය බුද්ධිමතුන් ය. ඓන්ද්‍රීය බුද්ධිමතුන් නිර්මාණය කිරීම පවත්නා දේශපාලන බල අධිකාරිය ප්‍රශ්න කරන විකල්ප දේශපාලන ව්‍යාපාර විසින් කළ යුතු ය.පවත්නා දේශපාලන බල ව්‍යුහයේ මතය ප්‍රකාශ කරන සහ ඒ වෙනුවෙන් පෙනී සිටින බුද්ධිමතුන් සාම්ප්‍රදායික බුද්ධිමතුන් වේ.මේ පිරිස හැම විට ම ඓන්ද්‍රීය බුද්ධිමතුන්ට ප්‍රතිවිරෝධතා දක්වයි.විප්ලවීය වෙනසක් අබියස මේ සම්ප්‍රදායික බුද්ධිමත්හූ නිහඩ වීම හෝ තම දේශපාලන හැව ඇරීම කරනු ලබයි (Suttner, R. 2005).

මෙ කරුණ තවත් ඉදිරියට ගෙන එන ප්‍රංශ දේශපාලන න්‍යායිකයෙකු හා පශ්චාත් මාකස්වාදියෙකු වූ ලුවී අල්තුසර් විසින්(1918-1990) දේශපාලන සමාජය විසින් පුද්ගලයන් පාලනය කිරීම සදහා මර්දනකාරී රාජ්‍ය උපකරණ (Repressive State Apparatus) භාවිත කරන බවත් සිවිල් සමාජය පාලනය කිරීම සදහා දෘෂ්ටිවාදී රාජ්‍ය උපකරණ(Ideological State Apparatuses) යොදාගන්නා බවත් පෙන්වා දෙන ලදි.මර්ධනකාරී මෙවලම් යනු රජය විසින් ජනතාවට එරෙහි ව භාවිත කරන හමුදා පොලිස් ආදී බලහත්කාරී භාවිතයන් ය. දෘෂ්ටිවාදී රාජ්‍ය උපකරණ වනුයේ අධ්‍යාපනය,ආගම,ජනමාධ්‍ය, සාහිත්‍ය හා කලාව,දර්ශනවාද ආදිය යි. මෙ මගින් පාලක පන්තියට අවශ්‍ය ලෙස රටවැසියා දමනය කර ගත හැකි ය (Althusser, L. 2006). මේ රාජ්‍ය මර්ධනකාරී මෙවලම් (RSA)සිවිල් සමාජයට පාලනය කළ නො හැකි වුව ද දෘෂ්ටිවාදී මෙවලම් (ISA)පාලනය කිරීමටත් එම මෙවලම්වල බලය පැතිරවීමටත් සිවිල් සමාජයේ සංවිදිත කණ්ඩායමකට හැකියාව ඇත. එලෙස සංවිධානය වූ සිවිල් සමාජ කණ්ඩායමකට දේශපාලන සමාජයේ බලය ලබා ගත හැකි අතර එමගින් දේශපාලන ආර්ථිකය පාලනය කිරීමේ හැකියාව නොහොත් ආණ්ඩු බලය ලබා ගැනීමේ හැකියාව ඇත.ඒ අනුව සංස්කෘතිය යනු දේශපාලන වැඩ බිමකි. දේශපාලන ආර්ථිකය වෙනස්  කිරීමට වෙහෙස වන සමාජ ක්‍රියාකාරිකයන් වැඩ කළ යුතු වැදගත් ම ව්‍යුහයකි.

ලංකාවේ දේශපාලන සමාජය හා සිවිල් සමාජය‍:
ලංකාවේ දේශපාලන සමාජය බ්‍රිතාන්‍ය යටත්විජිතවාදීන් විසින් නිර්මාණය කරන ලද්දකි. එහි මූලික රාමුව ප්‍රජාතන්ත්‍රවාදය වේ. ඒ අනුව මොන්ටෙස්කෝ දැක්වූ ආකාරයට ව්‍යවස්ථා දායකය,විධායකය හා අධිකරණය වෙන වෙනස් ආයතන ලෙස පවතී. ඒවා අතර වරණය හා තුළනයක් පවතී. ඒවා එකිනෙක අභිබවා නොයා යුතු ය (De Montesquieu, C.1989).රාජ්‍යයේ ආර්ථික ප්‍රතිපත්තිය කලින් කලට වෙනස් වේ. මූලික වශයෙන් ධනවාදී අර්ථක්‍රමයක් පවත්වාගෙන යන අතර ම රාජ්‍යයෙහි නාමය ‘සමාජවාදී ජන රජය, යනුවෙන් යොදා ඇත.ඒ නිසා ම සුභසාධන ලක්ෂණ ද රාජ්‍යයේ වැදගත් තැනක් දරයි. දේශපාලන සමාජය තුළ වැඩි වැදගත්කමක් ලබා ගෙන ඇත්තේ විධායක ය විසිනි. එය ජනාධිපති හා කැබිනට් මණ්ඩලයෙන් යුතු වේ.මේ සියලු දෙනා විශාල වරප්‍රසාද සමූහයක් ලබන අතර රාජ්‍ය දේඵල අභිමත පරිදි භාවිත කිරීමටත් අවභාවිත කිරීමටත් ඔවුන් අවස්ථාව සලසා ගෙන ඇත.ව්‍යවස්ථාදායකය තුළ සිය බලය කෙලෙස හෝ රදවා ගැනීමට විධායක ය නිරන්තරයෙන් විවිධ උපක්‍රම යොදයි. සිය බලය අභියෝගයට ලක් කරන අධිකරණ ක්‍රියාවලීන් ද හැකි උපරිම බලය යොදා යටපත් කිරීමට විධායක ය හැම විට ම උත්සාහ දරයි. ඒ අනුව ලංකාවේ අද පවත්නා දේශපාලන ක්‍රමය තුළ බල තුලනය යන්න අභියෝගාත්මක තත්වයක පවතී.

ලංකාව බ්‍රිතාන්‍ය‍යෙන් නිදහස් වන විට දේශපාලන සමාජයේ බලය අල්ලා ගැනීමට ඒ වන විට ගොඩ නැගී සිටි ප්‍රභූ පවුල් කිහිපයක සාමාජිකයන්ට හැකි විය(Jayawardena, K.2000). ඒ අනුව රාජ්‍ය පාලනය තුළ පවුල නමැති සමාජ ව්‍යුහය මූලික තැනක් ගෙන ඇත.රාජ්‍ය බලය නිරන්තරයෙන් සම්ප්‍රදායික පවුල් වටා කේන්ද්‍රගත වීම ඒ අනුව රාජ්‍යය ස්වදේශිකරණය වීමේ දී සිදු වු වෙනස්කමකි. ලංකාවේ සිවිල් සමාජ ව්‍යුහය තුළ ඇති සියලු බෙදීම් දේශපාලන සමාජය තුළ ද ප්‍රති නිර්මාණය වී ඇත. මූලික වශයෙන් ජාති භේදය, පන්ති භේදය,ආගම් භේදය හා කුල භේදය එතුළ ප්‍රබල ව දැකිය හැකි වේ. සිවිල් සමාජය තුළ දැකිය හැකි ස්ත්‍රී පුරුෂ භේදය හා වර්ණ භේදය ආදිය දේශපාලන සමාජය තුළ ප්‍රකාශයට පත් ව ඇත්තේ වෙනත් ස්වරූපවලිනි. දේශපාලන සමාජය ස්ථර 3කින් යුතු අතර එම ස්ථර තුන අතර බලය බෙදී ඇත්තේ මධ්‍ය රජයේ ආධිපත්‍යය රැකෙන පරිදි ය. පළාත්සභාව හා ප්‍රාදේශීය සභාවලට ලැබී ඇති බලය ස්වාධීන නැත. රාජ්‍යය මූලික වශයෙන් ඒකීය බවක් උසුලයි. ලංකාව රාජ්‍යයක් ලෙස යටත්විජිතකරණයට පෙර ඒකීය රාජ්‍යයක් ලෙස පැවතී නැත. එය හැම විට ම ස්වාධීන රාජ්‍යයන් තුනක හෝ හතරකින් යුතු එක්සත් රාජ්‍යයක් ලෙස පැවතී ඇත(De Silva, K. M., & de Silva, K. M.1981).1815දී උඩරට ගිවිසුම අත්සන් කිරීමත් සමග බ්‍රිතාන්‍යයන් විසින් ලංකාව ඒකීය රාජ්‍යයක් ලෙස සංවිධානය කරන ලදි (Godden, L., & Casinader, N. (2013). ඒකීය රාජ්‍යයක් නිර්මාණය කළ බ්‍රිතාන්‍යයෝ සිවිල් සමාජය තුළ තිබූ ජාති, ආගම් හා කුල භේද වර්ධනය කිරීම සදහා අවශ්‍ය කටයුතු කරන ලදි (Rogers, J. D. (2004).

ලංකා‍වේ ව්‍යවස්ථාදායකය තුළ පැවති ප්‍රභූ ආධිපත්‍යය 1956 දි යම් පමණකට ලිහිල් විය.පාර්ලිමේන්තුවට පහළ මධ්‍යම පන්තිකයන්ට පැමිණීමට හැකියාව ඇති වූයේ සිවිල් සමාජයේ නොහොත් දෘෂ්ටිවාදී තලයේ සිදු වූ වෙනස්කම්වල ප්‍රතිඵලයක් වශයෙන් විනා දේශපාලන ආර්ථිකය ඉතා විශාල ලෙස ස්වදේශීකරණය වූ නිසා නොවේ(Wriggins, W. H. 2015). 1930 ගනන්වල සිට 56 දක්වා ම මතුපිටට පැමිණ තිබූ දේශපාලන බෙදීම වූයේ පන්ති භේදය යි. 1952 සිට එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරණායක (1899-1959) විසින් සිංහල ජාතිකත්වයට ආමන්ත්‍රණය කිරීම මෙම සුසමාදර්ශ මාරුවට හේතු විය. කෘතහස්ත දේශපාලනඥයෙකු වූ ඩී.එස් සේනානායක (1883-1952) මහතා අගමැති ව සිටිය දී හදිස්සියේ මියයාම නිසා ඔහුගේ පුතු ඩඩ්ලි සේනානායක(1911-1973) 1952 මාර්තු 26 දින අගමැති ලෙස පත් කිරීමට සොල්බරි සාමි විසින් තීරණය කිරීමත් එලෙස බලයට පැමිණ මැතිවරණයක් පවත්වා ජයග්‍රහණය කළ ද 1953 හර්තාල් ව්‍යාපාරය නිසා බලයෙන් ඉවත් වී ජෝන් කොතලාවල(1895-1980) වෙත අගමැති ධූරය ලබාදීමත් මෙම ජාතිකවාදී නැගිටීමට පසුබිම සකසන ලදි. කොතලාවලගේ දේශපාලන හැසිරීම වඩා යුරෝපීය ස්වභාවයක් ගැනීම බණ්ඩාරණායකගේ ජාතිවාදී ව්‍යාපාරයට සහයක් විය(Weerawardana, I. D. S.1960). මේ ජාතිවාදී දේශපාලන වෙනසට පෙර පැවති ප්‍රධාන දේශපාලන බෙදීම වූයේ පන්ති භේදය යි. ලංකා සමසමාජ පක්ෂය ඊට නායකත්වය දෙන ලදි. උත්තර මන්ත්‍රණ සභාව හා 1947 සිට පාර්ලිමේන්තුව තුළත් රටේ ප්‍රභූ පිරිසක් විසින් ම නිර්ධන පන්තිය ද නියෝජනය කරන ලදි (Warnapala, W. W.1975).මේ වාමාංශික ප්‍රභූ පිරිස ඉතා හොදින් නිර්ධන පාන්තික පිරිස් සංවිධානය කළ අතර ඔවුන් අතර පැවති පන්ති භේදය මතුපිටට එන ආකාරයෙන් ක්‍රියා කළේ නැත(Goonewardene, L.1960).1956 ඇති වූ ජාතිවාදී බෙදීම 2019 වන තෙක් ම පැවතිණ. 2019 අප්‍රේල් 21 සිදු වූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු ප්‍රමුඛ දේශපාලන බෙදීම ආගමික බෙදීම බවට පත් විය. 2019 දි බලයට පත්  ගෝඨාභය රාජපක්ෂ (1949) ප්‍රධාන වශයෙන් ආමන්ත්‍රණය කරනු ලැබූයේ ආගමට ය. එතෙක් සිංහල ජාතිය සහ අනෙක් ජාතීන් ලෙස පැවති භේදය සිංහල බෞද්ධ හා අනෙක් ආගම් යන බෙදීම වෙත ගෙන යන ලදි. ජාතියේ හතුරන් ලෙස මුස්ලිම් දේශපාලඥයන් නම් කරන ලදි.

මෙලෙස ලංකාවේ දේශපාලන සමාජය වෙනස් කිරීමට සිවිල් සමාජය බලපෑම් කළ ආකාර විවිධාකාරයෙන් විග්‍රහ කළ හැකි ය. මේ වනවිටත් විවිධ පර්යේෂකයන් විසින් මේ තතවයන් විවිධ ආකාරයෙන් අධ්‍යයනය කර ඇති නිසා ඒ පිළිබද දිගින් දිගට තොරතුරු ඉදිරිපත් කිරීම ඵලදායී නොවේ.එහෙත් සිවිල් සමාජය තුළ ඇති දෘෂ්ටිවාදී මෙවලම් බලය අපේක්ෂා කරන කණ්ඩායම් විසින් භාවිතයට ගන්නා ආකාරය පිළිබද කෙටි හෝ විග්‍රහයක් කළ යුතු ය.මේ මෙවලම් වනුයේ ආගම, අධ්‍යාපනය, ජනමාධ්‍ය, කලාව, දර්ශනවාද ආදිය යි.මේ සියලු මෙවලම් ඉතා සවිංඥානික ව රාජපක්ෂ රෙජීමය විසින් සිය බලය ආරක්ෂා කර ගැනීම සදහා භාවිත කරමින් සිටිති. ආගම බහුල වශයෙන් මේ සදහා යොදා ගැනේ. පන්සල්වල පවත්වන බෝධිපුජා,ධර්මදේශනා ආදිය මෙන් ම ගුවන්විදුලි හා රූපවාහිනී ධර්මදේශනාවලින් ද විවිධ සමුළු රැස්වීම් ආදියෙන් ද එම ආගමික මතවාද සමාජගත කිරීම සිදු කරයි. ජනමාධ්‍ය ද මෙහි දී විශාල ලෙස භාවිත කෙරේ. ඇතැම් පුද්ගලික රූපවාහිනී මාධ්‍ය හා ගුවන්විදුලි නාලිකා මෙහි දී කැපී පෙනේ. ආණ්ඩුවට පක්ෂපාතී පුවත්පත් ද රාජ්‍ය මාධ්‍යය ද මෙ සදහා උපයෝගී වේ. වඩාත් ප්‍රබල ලෙස සමාජ මාධ්‍ය ජාල ද මේ වන විට භාවිත කරමින් සිටියි. මුදල් වියදම් කොට යෙද වූ සංවිධානාත්මක පිරිසක් හරහා සකස් කරගත් ෆේස් බුක් පිටු යොදාගෙන එක් දිනකට පෝස්ට් කිහිපයක් ආණ්ඩුවට පක්ෂවත් විපක්ෂයට හානිවන ආකාරයෙනුත් බෙදා හරී.මෙලෙස සකස් කළ එක් ජනමතයක් නම් පාර්ලිමේන්තුවේ 225 ම එපා යන්නයි. සජිත් මෝඩයා යන්න ද එලෙස නිර්මාණය කළ තවත් ජන මතයකි.මේ සියල්ල ම දෘෂ්ටිවාදීමය වේ. පාසැල් දහම් පැසැල් හා විශ්වවිද්‍යාල ද විවිද ආකාරයෙන් සිය බලය රක්ෂා කර ගැනීම සදහා මේ රෙජීමය විසින් භාවිත කරමින් සිටිති.බොහොමයක් පුදගලික පන්ති පවත්වන්නන් ලවා රජයේ හැකියාව හා ගුණ වර්ණනා කිරීමට රෙජීමය කටයුතු කරමින් සිටියි.රාජපක්ෂ රෙජීමයේ මූලික න්‍යායික ප්‍රවේශය වනුයේ ජාතිකවාදය යි. එය ලෝක මට්ටටමෙන් විග්‍රහ කොට දැක්වීමටත් එහි අදාළත්වය දිගින් දිගට ඒත්තු ගැන්වීමටත් කණ්ඩායම් රාශියක් යොදවා ඇත.ඉන් එක් කණ්ඩායමක් වනුයේ ‘වියත්මග, නමැති ඉහළ මධ්‍යම පන්තිය අමතන කණ්ඩායමයි. දෙ වන පිරිස වනුයේ “බොදු බල සේනා” , “සිංහලේ අපි”, “රාවණා බලය” වැනි පහළ සමාජ ස්ථර ආමන්ත්‍රණය කරන කණ්ඩායම් ය. රාජපක්ෂ රෙජීමය විසින්  සාහිත්‍ය හා කලාව භාවිත කරනුයේ ඉතා අඩුවෙන් බව පෙනේ. ජනතා විමුක්ති පෙරමුණ බොහෝ කලක සිට එම මෙවලම අත්පත් කරගෙන සිටීම එය භාවිතයට ගැනීම අසීරු වීමට හේතුව විය හැකි ය.ඇතැම් විට චිත්‍රපට වැනි මාධ්‍ය ඒ සදහා යොදා ගනිමින් ජන මනස වෙනස් කිරීමට උත්සාහ කළ අවස්ථා ද ඇත.මේ ආකාරයට අලුතුසර් දැක් වූ දෘෂ්ටිවාදී මෙවලම් තමන් අතට රාජ්‍ය බලය ලබා ගැනීම සදහා රාජපක්ෂ රෙජීමය විසින් සංවිධානාත්මක ලෙස යොදා ගෙන ඇත.ඒ සදහා බිලියන ගණනින් මුදල් පොම්ප කොට ඇත.
මෙලෙස රටක සිවිල් සමාජය මෙහෙයවීම සදහා දෘෂ්ටිවාදී මෙවලම් යොදා ගන්නවා සේම සිවිල් සමාජය තුළ ඇති වෘත්තීය සමීති, පවුල, දේශපාලන පක්ෂ ආදිය ද බලය ලබා ගැනීමේ කාර්යයේ දී වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. සමාජ මාධ්‍ය දියුණු වීමට පෙර ලංකාවේ පවුල් තුළ මතවාදී ආධිපත්‍යය පැවතියේ ගෙදර වැඩිමහලු පිරිමියා තුළ යි. එහෙත් අද වන විට පවුලේ මතවාදී ආධිපත්‍යය අන්තරජාල සම්බන්ධය හා ඉංග්‍රීසි භාෂාවේ නිපුණත්වයක් ඇති තරුණ දුව හෝ පුතා වෙත සංකේන්ද්‍රණය වී ඇත.වඩා සංවිධානාත්මක ව සම්ප්‍රේෂණය කරන අන්තර්ජාල දත්ත මගින් ඔවුන් ආසාධනයට ලක් වන අතර එම ආසාධනය පවුල පුරා ම ව්‍යාප්ත කිරීමට ද තරුණ දරුවෝ සමත් වෙති.මහපොලවේ දේශපාලනය වෙනුවට ආකාශයේ දේශපාලනය අධිනිශ්චය වී ඇත.

කෙසේ නමුත් අද වන විට දේශපාලන බලය ලබා ගැනීමට අපේක්ෂා කරන යම් කණ්ඩායමකට වැඩ කිරීමට ඇති වපසරිය ඉතා පුළුල් එකක් බව මෙයින් පැහැදිලි වේ.පෙර මෙන් ජනතාව සංවිධානය කිරීම අද වන විට පහසු කාර්යයක් නොවේ. වර්චුවල් හෙවත් අතත්‍ය සන්දර්භයක් තුළ දේශපාලන ප්‍රතරූප ගොඩ නැගෙන විට ඊට විකල්ප ප්‍රතිරූප නිර්මාණය කිරීම ඉතා පරිස්සමින් කළ යුතු වේ.

මෙතෙක් විග්‍රහ කළ සිවිල් ව්‍යුහයන් හෝ සංස්කෘතික ව්‍යුහයන් භාවිත කොට ජන මතය හැසිරවීමට නම් ඒ සදහා ශක්තිමත් ආර්ථික පදනමක් සකසා ගත යුතු ය.ඒ සදහා රාජපක්ෂ රෙජීමය විසින් සිදු කළ ප්‍රධාන ම කාර්යය වුයේ රාජ්‍ය මුදල් ලබා දී හැම ගමක ම තම දේශපාලනය වෙනුවෙන් මුදල් යෙදවිය හැකි පෝසතෙකු නිර්මාණය කිරීම යි(චම්පික රණවකගේ වචනවලින් පවසන්නේ නම් එක ගමකට එක හොරෙක්). අනික් අතට විවිධ ආකාරයෙන් විශාල ධනයක් උපයාගෙන සිය බලය රැක ගැනීම සදහා යෙදවීම යි.

බලය ලබා ගැනීමට අපේකෂා කරන කණ්ඩායමක් විසින් රට පුරා ව්‍යාප්ත වූ නව ව්‍යවසායක පද්ධතියක් නිර්මාණය කළ යුතු ය. අවශ්‍ය විට දී ඔවුන්ගේ සහය ලබා ගත හැකි වන පරිදි එම පිරිස රැක බලා ගැනීම කළ යුතු ය.මේ ආකාරයට දේශපාලන ව්‍යුහය තුළත් ආර්ථික ව්‍යුහය තුළත් සංස්කෘතික ව්‍යුහය තුළත් සමාන්තර ශක්තියකින් ඉතා වේගයෙන් වැඩ කිරීම ‌හැර පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය තුළ සාර්ථක වීමට අන් මගක් නැත.

සුභසාධන කාර්යයන්හි නිරත වීමෙන් දේශපාලන අනාගතය සාධා ගත හැකි බව විශ්වාස කරන බොහෝ නවක දේශපාලන නායකයන් චන්දවල දී ලබාපොරොත්තු නොවූ පරාජයන් ලබා ගෙන තමන් මෙතරම් මිනිසුන්ට වැඩ කළ ද මිනිසුන් තමන්ට සළකා නැතැයි මැසිවිලි නගනුයේ ඉහත සදහන් කරුණු පිළිබද අවබෝධයකින් තොරව  ක්‍රියාකාරී දේශපාලනයේ යෙදීම නිසා ය.

ආශ්‍රිත ග්‍රන්ථ:

Althusser, L. (2006). Ideology and ideological state apparatuses (notes towards an investigation). The anthropology of the state: A reader, 9(1), 86-98.
De Montesquieu, C. (1989). Montesquieu: The spirit of the laws. Cambridge University Press.
De Silva, K. M., & de Silva, K. M. (1981). A history of Sri Lanka. Univ of California Press.
Godden, L., & Casinader, N. (2013). The Kandyan Convention 1815: Consolidating the British Empire in Colonial Ceylon. Comparative Legal History, 1(2), 211-242.
Goonewardene, L. (1960). A short history of the Lanka Sama Samaja Party. Gunaratne.        
Gramsci, A., & Hoare, Q. (1971). Selections from the prison notebooks (p. 350). London: Lawrence and Wishart.
Jayawardena, K. (2000). Nobodies to somebodies: the rise of the colonial bourgeoisie in Sri Lanka. Zed Books.
Marx, K. (1911). A contribution to the critique of political economy. CH Kerr.
Rogers, J. D. (2004). Early British rule and social classification in Lanka. Modern Asian Studies, 38(3), 625-647.
Suttner, R. (2005). The character and formation of intellectuals within the ANC-led South African Liberation Movement. African Intellectuals: Rethinking politics, language, gender and development, 117-154.
Warnapala, W. W. (1975). The Marxist Parties of Sri Lanka and the 1971 Insurrection. Asian Survey, 745-757.
Weerawardana, I. D. S. (1960). Ceylon general election, 1956. MD Gunasena. 
Wriggins, W. H. (2015). Ceylon: Dilemmas of a new nation. Princeton University Press.

    - සමන් එම්. කාරියකරවන
                                                              

Comments