Sathjana 2020.

Sathjana 2020.
SJB ප්‍රවෘත්ති සදහා මෙම ඛේතය "ක්ලික්" කරන්න.

හඩක් නැති හඩක්


කැලැන්ඩරේ දින 365 වෙනුවෙන්, ඒ ඒ දිනයට අදාළව සුවිශේෂී සැමරුම් තිබෙන නිසා, ඊයේ දිනය (මැයි 10 වෙනිදා) වෙන්වුයේත් එවැනි සුවිශේෂී සැමරුමක් වෙනුවෙන්. ඒ, ලෝකවාසී "අම්මාවරුන්" සැමරීමටයි. සරළ බසින් කීවොත්, ඒ තමයි ලෝකයටම අම්මාවරුන් සිහිපත් වෙන එකම දවස. එසේනම්, කාසියේ අනිත් පැත්ත වන්නේ, ඒ දිනයට අමතර අන් සෑම දිනයකම ලෝකෙට අම්මාවරුන් අමතක වන බවද?  එසේ හැඳින්වීමේ වරදක් නැති බව පෙනෙන්නේ, " අම්මා " යන සුවිශේෂී භූමිකාවට බොහෝවිට ලැබෙන්නාවූ තාඩන, පීඩන, නොතකා හැරීම් හා අවතක්සේරුකිරීම්  පිළිබද සලකාබලන විටයි.

"අම්මා " යන තැනැත්තිය ලොවපුරා කවීන්ගේ හා සාහිත්‍යකරුවන්ගේ  තක්සේරුවට ලක්ව ඇත්තේ මෙලොව ඇති අගය තක්සේරු නොකළ හැකිවූ වස්තූන් ලෙස සැලකෙන,  ඉර - සඳ, අහස - පොලව ආදී සෞරග්‍රහ මංඩලය සතු උත්තම වස්තූන්ට සමානවවුවත්, ප්‍රායෝගික ලෝකයේදී ඇයට හිමිවන්නේ ඊට හාත්පසින්ම වෙනස් තත්වයක්‌.

"අම්මා " යනු කවරෙක්දැයි කෙනෙක් විමසුවහොත්, ඕනෑම අයෙකු වහා ලබාදෙන සරළවුත්, සංක්‍ෂිප්තවුත්   පිළිතුර වන්නේ, " ජීවයේ උල්පත " යන්නයි. එහෙත් ඒ උල්පත සිඳින්නට සැමවිටම එසවෙන දෑත්, ඇගේ වටිනාකමට නිසි ඇගැයීමක්‌ ලබාදෙන එකම අවස්ථාව වන්නේ, ඇය සතු " දාරකශක්තිය "වෙනුවෙන් පමණක් බවයි මගේ හැඟීම.

මන්ද, "මවක්" යන භූමිකාව නිරූපණය කරමින්, ඇය විසින් ඉටුකරන බහුවිධ රාජකාරීන් වෙනත් කිසිඳු අවස්ථාවක නිසි ඇගැයීමකට තබා කිසිඳු  අවධානයටවත් ලක්‌ නොවන නිසායි. අප හැමදාමත් දන්නා -කියන අන්දමින්, සේවා මුර සීමාවක් නොමැතිව, අතිකාල දීමනා තබා කිසිඳු වේථනයක් නොලබා, ලෙඩ නිවාඩු නොගෙන, නිසි වේලාවට  අහර නොගෙන, විවේක කාලයක් නොමැතිව දිනපතා 365 දවසේම රාජකාරියේ නිරත එකම සේවිකාව, " අම්මා " නැමැති පුරවැසියායි.

ඒ සියලු වෙහෙසීම්, කැපවීම් හා දරාගැනීම් සඳහා ඇයට අවසන ලැබෙන පාරිතෝෂිතය වන්නේ, ගුටි - බැට, අවලාද - අපහාස, සිත් රිදුම් - පරුෂ වචන නම්, වාර්ෂිකව මැයි 10වෙනිදාට සැමරුම් දිනයක් පැවැත්වීමේ ඵළය කුමක්ද? හේතුව නම්, වසරේ දින 365 පුරාවට ඇති සෙසු සැමරුම් දිනයන්හිදී අදාළ දිනයට මූලික වු විෂයපථයේ අයිවාසිකම්, ගැටළු හා වර්ධනය කලයුතු කාරණා කෙරෙහි අවධානය යොමුකරන්නේමුත්, මැයි 10 වෙනිදා පමණක් පෞද්ගලික සිහිකැඳවිමකට පමණක් එය සීමාකිරීමයි. අඩු තරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිරීක්ෂණයට අනුව, සෑම කාන්තාවන් තිදෙනෙකුටම එක් අයෙක් වශයෙන් ලක්වන ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයෙන් මවක් විඳින පීඩාවෙන් හා හිංසනයෙන් ගැලවීහිඳිම  සම්බන්දයෙන් හෝ ඇය නමින් සමාජ මෙහෙයුම් ක්‍රියාත්මක වන්නේ නැත.  අපට වඩා බොහෝ දියුණු හා පහසුකම් වලින් අනූන පරිසරයක්‌ ඇති ඉන්දියාව වැනි රටවල පවා, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ලක්වන මවුවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රාජ්‍ය මට්ටමින් ක්‍රියාත්මක වන පැමිණිලිකිරීමේ ක්ෂණික දුරකථන සේවාවක් (Emergency hotline) මේ දක්වා ස්ථාපනයකර නොමැතිවීම තුළින් කියාපාන්නේ කුමක්ද? " අම්මා " නැමැති රටක ආර්ථිකයට හා සමාජ පැවැත්මට වටිනාම සේවය ඉටුකරන ශ්‍රමිකයා, සදාකාලිකවම දෙවන පන්තියේ පුරවැසියෙක් බවද? නැතහොත්, මාර්ක්‌ස්, ඒංගල්ස් හෝ ලෙනින් නැවත උපදින තෙක්ම,  මේ ක්‍රමය තුළ " අම්මා " යන ශ්‍රමිකයා සදාකාලිකවම අදෘශ්‍යමාන භූමිකාවක් (invisible person) නිරුපනය කරනා බවද?

   -     ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද





Comments