Sathjana 2020.

Sathjana 2020.
SJB ප්‍රවෘත්ති සදහා මෙම ඛේතය "ක්ලික්" කරන්න.

" අම්මෙකුගේ පාපෝච්චාරණයක් "


කොරෝනා නිසා ගෙවල් වල ඉන්න කාන්තාවන්ට කියන්න බැරි තරම් අපහසුතාවයන්ට මුහුණ දෙන්න සිදු වුණා. සමහර දේවල් සුළු දේවල් වගේ පෙනුනට, ඒක විඳින අයට නම් සුලුපටු නෑ. අද මම කියන කුමුදුනීගේ කතාවත් ඒ වගේ කතාවක්. කුමුදුනී රාජ්‍ය ආයතනයක කළමණාකාර සහකාර වරියක් විදියටයි සේවය කරන්නේ. ඉස්කෝලේ තුනේ පන්තියේ ඉන්න ලොකු දුවයි, ළදරු පාසල් යන පොඩි දුවයි, යන්තම් හිට වැටෙන පොඩි පුතයි එක්ක හරියට නූලට මාසෙ ගෙවා ගන්නවා ඇරෙන්න සැමියගෙයි කුමුදුනීගෙයි වැටුපෙන් වෙන දෙයක් කරන්න කුමුදුනීට ඉඩ ලැබෙන්නේ නැහැ. කෑම පැයේදී "බත් යහලුවෝ" ඒගොල්ලන්ගේ සති අන්ත විනෝද චාරිකා ගැන කියනකොට කුමුදුනීට කනස්සල්ළක් දැනුනත්, එයා හැඟීම් තදකරන් ඉන්න නිසා කාටවත් කුමුදිනීගේ මූනේ වෙනසක් පෙනුනේ නෑ. මේගොල්ලන්ට මෙහෙම වියදම් කරන්න සල්ලි කොහෙන්ද කියලා කුමුදිනීට හිතුනත්, එයා ඒ හැඟීම තමන්ගේ මහත්තයා එක්කවත් බෙදාගන්නේ නැතුව ඉන්න පරිස්සම්වුනා. කුමුදිනීගේ එක්‌ කාර්යාල මිතුරියකගේ සැමියා වැඩ කරන්නේ ප්‍රාදේශීය දේශපාලනඥයෙක් ලඟ. පාරවල් හදන්න වගේම තණකොළ පිඩලි ගහන්නත් කොන්ත්‍රාත් අරගන්නේ එයාගෙ මහත්තයායි. එයාගේ  කෑම පෙට්ටියේ මස් - මාළු වරදින්නේ නෑ. හුඟක් දවසට  ඉස්සො, තෝරමාළු එහෙමත් අරන් ඇවිත්, කුමුදිනීටත් පුංචි  කෑල්ලක් - දෙකක් බෙදන්නේ උජාරුවෙන් වගේ. තිලිණි කියන අනිත් යෙහෙළියගේ සැමියා කරන්නේ  බිස්නස් වැඩ. තිලිණිලා ඉඳලා හිටලා ඉන්දියාවේ, සිංගප්පුරුවේ වගේ පිටරට සවාරිත් යනවා ළමයින්ගේ පාසැල් නිවාඩුවට. තිලිණි ඒ ගමන් විස්තරේ කියන කොට එයාගේ ඇහේ බබා ඒ - මේ අත සතුටින් දුවපනින හැටි කුමුදිනී බලන් ඉන්නේ හිත් රිදුමක් එක්කයි.

කොහොම නමුත්, නොසිතූ මොහොතක කොරෝනා නිසා ගෙදරට ගාල් වෙන්න වුන කුමුදුනීට ලොකුම පාඩුව හිතේ පොදිබැඳගත්ත සාංකාවන් යෙහෙළියන් අතරේ සාමිච්චියේ යෙදෙනකොට අමතක වී යාමටත් වඩා,  සති අන්තයේ ගෙදර ගිය අම්මාව මාස දෙකකින් කොළඹට ගෙන්න ගන්න බැරි වුණ එකයි. ඒ නිසා ගෙවල් තුන - හතරකට එහා ඉඳන් අත දරුවා බලාගන්න එන රම්‍යලතාට දවසකට රුපියල් හත්සියයක් ගෙවන්න වෙනවා.  පුලුවන් කමකට නුනත් කුමුදිනීට ඒ වියදම දරාගන්න වෙන්නේ, නිස්සංක ගෙදරට වෙලා ඔහේ හිටියත් අඩුගානේ පොඩි එකාගේ නැපියක් මාරුකරනවා වගේ පුංචි අත් අත් උදවුවක්වත් දෙන්න හදිසියකටවත් නේන නිසායි. දැන් ඇඳිරිනීතියට කොටුවෙලා අම්මාව ගෙන්නගන්න බැරි වීම කුමුදිනීට අත කැඩුනටත් වඩා ලොකු පාඩුවක් .

ඒ මදිවට, වෙනදාට කඩේ ගිහිං ලාභ එළවළුවක් මාළුවක් හෙමිහිට තෝරං එන  කුමුදුනීට දැන් ඒක නිදහසේ  කරන්න බැහැ. ගේ ලඟට එන ලොරියේ තියෙන දෙයක් කියන ගානකට ගන්නවා මිසක් තෝර තෝර ඉන්න බැහැනේ. ඒ ගේන එළවළුත් එක්කො ළමයි කන්නේ නැහැ. එක්කො නිස්සංක කන්නේ නැහැ. හරියට කොරෝනා වසංගතය කුමුදුනී ඇතිකරපු දෙයක් වගේ නිස්සංක කෑම මෙසේදී අඩුපාඩු කියන්නේ. මේ සේරම ප්‍රශ්න අතරේ, දවස තිස්සෙම ටීවී ඒක ළඟ ඉඳගෙන කල්මරණ නිස්සංක, මොබයිල් එකත් අතේ තියාගෙන ඔහේ කතාව. කොහෙන් මෙච්චර කෝල් එනවද කියලා කුමුදිනීට හිතාගන්න බෑ. මොකද, වෙනදට දෙන්නා පාන්දරින් එලියට බැස්සහම පාරේ දෙපැත්තට වෙන්වෙලා යනවා මිසක් ආපහු ගෙදරදී මුණගැහෙන්නේ රෑට රෑ වෙලානේ. නිස්සංක සෙනසුරාදටත් වරුවක් වැඩ නිසා, ගෙදර එනකොට තුනට කිට්ටු වෙනවා.

පොඩ්ඩට මේ දවස් වල පැම්පර් අන්දන්න කුමුදුනීට හයියක් නැති  නිසා යන එන තැන චූ දාලා ඉවරයක් නැහැ. පුංචි කලිසම් පොඩි හෝදලා ඉවරයකුත් නැහැ.ඒ අස්සේ නිස්සංකට පුදුම කහට තිබහක් තියෙන්නේ. ඔෆිස් එකේ තේ හදන පියන්ගේ රාජකාරීයත් කුමුදුනීගේ ඩියුටියක් වෙලා. ළමයින්ට කවලා දවල් බත්පත අතට ගන්නකොටම තේ හදන්නේ නැද්ද කියලා අහනකොට කුමුදුනීට හිතෙන්නේ සීතල වෙච්ච බත් එක සංජීවගේ ඔළුවේ හලන්න. ඒ අස්සේ ගේ දොරකඩට එන ලොරි වලට මුක වැස්මක් දාගෙන දුවන්න ඕනිත් කුමුදුනීමයි. ලොරියක් ආපු ගමන් නිස්සංක විතරක් නෙමෙයි ලොකු දුවල දෙන්නත් "අම්මේ ලොරියක්, ලොරියක්" කියලා කුමුදුනී හොයාගෙනයි දුවගෙන එන්නේ. කුස්සියේ හොද්දක්‌, මාළුවක් තිබ්බත් ඒක දාලා දුවගෙන ඇවිත්  අහල පහළ අය එක්ක පෝලිමේ ඉඳලා එලවලු ටික අරන්  ගෙට යනකොට ලිපේ තිබුන හොද්ද හිඳිලා. කන්න ගියහමයි ප්‍රශ්න වලට උත්තර දෙන්න වෙන්නේ හොදි නැතුව කන්නේ කොහොමද කියලා නිස්සංක අහනකොට.

කුමුදුනී අස් කරලා අතුගාන ගේ හරියටම විනාඩි දහයක් යනකොට ආයෙම අනෙක් පැත්ත ගහනවා. ලොකු දුවගේ ඉස්කෝලෙ වැඩ සේරම වට්සැප් හරහා එන්නේ නිස්සංකගේ  දුරකථනයටයි. ඒ අම්මලාගේ ගෲප් එකේ අය නිස්සංකට  සලකන්නේ පරමාදර්ශී සැමියෙකුට වාගෙයි. එක අම්මා කෙනෙක් නම් " නිස්සංක අයියා" කියලා ඇදල - පැදලා කතාකරන්නේ පුදුම හුරතයලකින්. එත් ලොකු දුවගේ ඉස්කෝලෙ වැඩ කරන්න වෙන්නේ නම් කුමුදුනීටම තමයි. ඒ මදිවට ළදරු පාසල් යන දුවටත් අන්තර්ජාලයෙන් වැඩ එවනවා. පරිප්පු අලවන්න, රවුම් ඇඳලා පාට කරන්න වගේ ක්‍රියාකාරකම්. නිස්සංක ඒ කණ්ඩායමෙත් ඉන්නවා. ඒකෙ ඉන්න දික්කසාද වුන අම්මා කෙනෙක් නිස්සංකට කියලා තමයි එයාගෙ අම්මගෙ බෙහෙත් ගෙන්න ගන්නේ. සතියකට සැරයක් අන්තර්ජාලයෙන් බෙහෙත් ගෙන්වලා දෙනවා විතරක් නම් මදැයි, අම්මට බෙහෙත් දුන්නද කියලා අහන්නත් නිස්සංක ඒ ගෑනුකෙනාට කෝල් කරලා අහන්න තරම් සුහදශීලියි. ඒත් නිකමටවත් මගෙන් අහනවද " ඔයාට මහන්සි ද ", " ඔයාට පොල් ටිකක් ගාල දෙන්නද ", " ඉන්න... රෙදි වැලේ රෙදිටික අරන් දාන්නං" වගේ සුහදශීලි වචනයක් - දෙකක්?

මේ ජරමර මැද්දේ, කුමුදිනීගේ යාළුවෙක් කතා කරලා මේ මාසෙ ඉඳන් පඩියෙන් කොටසක්‌ කැපෙනවා කියලා කිව්වහම කුමුදුනීගේ ඔළුව අවුල් වුනා. තාම උකස් තියපු රත්තරන් බඩු ටික බේරගන්න බැරි වුණා. මේ මාසේ පොළියවත් ගෙවන්න කියලා තමයි හිතාගෙන හිටියේ. දැන් මේ විදියට පඩිය කැපුවොත් නම් ඒක කරන්න බැරි වෙනවා. අනෙක් අතට කාගෙවත් පිහිටක් නැති රජයේ සේවකයන්ගේ වැටුපට තමයි ආණ්ඩුවත් කෙළ හලන්නේ. අනිත් පැත්තෙන්,  ඉස්කෝලෙ තිබුණේ නැහැ කියලා වෑන් එකෙන් කියනවා අඩුගානේ මාස බාගෙක හරි ගාන ගෙවන්න කියලා. " කොරෝනා වියසනය" කියලා,  පඩියෙන් කොටසක්‌ කැපුවට, ජල - විදුලිබල මංඩල වලින් කියාවියෑ ලයිට් බිලෙනුයි, වතුර බිලෙනුයි කොටසක්‌ ගෙවුවම ඇති කියලා. ඒ මදිවට පන්සලෙනුත්  කියල එවලා කොරෝනා නිසා අසරණ වුන පවුල් වලට දෙන සහන බඩු මල්ලකට හරි දෙකකට හරි දායක වෙන්නත්  කියලා. පොඩි එකාගේ සීරියල් එකත් හිටිගමන් අතුරුදහන් වෙලා, ලොක්කයි, මද්දුමීයි තාත්තගෙන් ඉල්ලගෙන කාලම. මොකද කෙල්ලෝ දෙන්නා තාත්තාගේ ඇඟේ එල්ලිච්ච ගමන්, එකෙන් ගැලවෙන්න නිස්සංක කරන්නේ ඒ වෙලාවට මොකක් හරි දීලා කෙල්ලෝ දෙන්නා සනසන එක. ඒ අඩුපාඩුව පුරවාගන්නේ කොහොමද කියන එක එයාට තේරෙන්නේ නෑ, ඒ වගකීම් අම්මා වෙච්ච මට විතරක් අයිති වැඩ කියලා හිතනවා වගේ.

ඔය සේරම ඉවර වෙලා ඇඳට ගියාම දුරකථනයෙන් හුරතල් වෙවී ඉන්න ගෑණු ටිකයි, නිස්සංකගේ නිතර කතාබස් කරන යාළුවො සෙට් එකයි නිශ්ශබ්ද වුනාම, ඇඳට එන නිස්සංක එක්ක මට කියන්න තියෙන පුංචි පුංචි දවසේ කතා ටික කියන්න හිතන් ඇඳට ගොඩවෙනකොට නිස්සංකට තදට නින්දගිහින්. කුස්සියේ සේරම අස්පස් කරලා, පොඩිවුන් නින්දට දාලා, වටේම තියන ලයිට් ටික නිවලා එපැයි කුමුදිනී නිදාගන්න එන්න. නිස්සංක කරන එකම රාජකාරීය දොරවල් - ජනෙල් ටික අගුළු දාලා වහන එක විතරයි. කාමරේත් ලයිට්එක දාගෙනයි එයා නිදාගන්නේ, මොබයිල් එකෙන් ෆේස් බුක් එකේ තියෙන ඕප දුප මොනව හරි දබරන්ගිල්ල එහා  මෙහා යවමින් ඉන්දැද්දීම. නින්දේදී කුමුදිනීට ඇහෙන්නේ නිස්සංකගේ ගොරවන සද්දේ විතරයි. හිටපු ගමන් තමන් ඉන්නවද කියලා නොදන්නවා වගේ ගොරෝසු බර අතක් කුමුදිනීගේ ඇඟ උඩට අත ඇරියම, කුමුදුනීට හිතක් හිතෙනවා දවස පුරාම හිතේ තදකරන් හිටපු තරහ - මරහ පිටකරන්න, අත දිග ඇරලා හොඳවැයින් පාරක් කම්මුලට ගහන්න. ඒ වුනාට නිස්සංකගේ ඇඟිලි ඊට වඩා වේගයෙන් වැඩ කරනවා කියලා කුමුදිනී දන්නවා. තාමත් බෙල්ලේ පහළට වෙන්න තියෙන තැලුම් පාර හරියටම මැකිලා ගිහින් නෑ. ඒ පසුගිය සතියේ ඇතිවේච්ච් වාදෙකදී කුමුදිනී නිස්සංකට " තමුසේ " කියපු නිසා, නිස්සංකගේ අත්දෙකෙන් කුමුදිනීගේ බෙල්ල තදකරපු වෙලේ ඇතිවෙච්ච තැලුම් පාර. එදානම් කුමුදිනී හොඳටම බයවුනා හුස්ම ගන්න අමාරුයි කියලා දැනෙනකොට. ලොකූ කැස්සකුත් එක්කයි කුමුදිනීගේ උගුරුදණ්ඩ නිස්සංකගේ රළු ඇඟිලි වලින් ගලවාගත්තේ. කුමුදිනී නිස්සංකගේ මුණ දිහා බලන් උන්නා කලකිරීමත්, දුකත්, තරහත් කැලතිච්ච හැඟීමකින්. නිස්සංක බබෙක් වගේ නිදි හීන් ගෙරවිල්ලක් එක්ක. කුමුදිනී ලයිට් එක නිවලා සද්ද නොකර ඇඳේ පෙරලුනේ හෙට උදේම ආපහු පුරුදු චක්කරේ පටන්ගන්න තියෙන නිසා.

මනෝ උපදේශක - අමා දිසානායක.




Comments