ජීවිතේ මිල කීයද?
පොඩි දෙන්න නැගිටින්න කලියෙං,
මං විජහට දුවලා එන්න ඕනේ.
රොටියක් ඇති කොරහෙන් වහලා,
රෑට හදපුව හන්දා
කාහං පිළුණු වෙන්න කලිං..
පාරේ ටැප්පෙකේ වතුර වහන්න ඉස්සර,
බාලයාගේ චු රෙදිටික
හෝදලා දාපං, මතකැතුව.
මෙලහකටත් සමුර්දියේ පෝලිම ඇති
ඉස්ටේසම පහුවෙනකම්ම.
සීතක්කත් මං දැක්කා
කුකුළත් අතිංඅරං දුවනව ඒ පැත්තට.
ලැයිට් බිල් දෙකෙන් එකක්වත්
ගෙවන්නෙපැයි දැං
රට ඇරියට පස්සේ.
පන්දාහෙන්ම ඒකත් ගෙවනව ඔන්නොහේ.
මැටිල්ඩක්කගේ කඩේ ණයෙනුත්
බාගයක්වත් දෙන්න වෙනවා,
නැත්තං හදිස්සියකට
සීනි අවුංසයක්වත් ගන්න බෑ ඔය ගෑනිගෙන්.
සීට්ටුවටත් දෙසීයක්වත් වෙන්කරන්නෙපැයි,
නැත්තං කොහොමද
තනි ලිපක් ගන්නේ,
දුම් පිඹ පිඹ ඉන්නයි වෙන්නේ සදහටම.
ඔවු, ඔවු මට අමතක නෑ
උඹේ චේන් පොටේ පොලියත්
තියෙනවනේ අලුත්කරන්ඩ.
ඉතිං කියනදේ අහලා නැගිටහං,
පුකට අවුව වැටෙනකංම ඉන්නැතුව,
සුනංගු වෙනව තවත් ඉතිං මට.
ලබන මාසේ ඉඳන් දෙන්නැතිලු මේකවත්,
පෙස්සං ගහලයි කියන්නේ...
අනේ අම්මපා මුං මොක්කුද
අපේ බඩටම පෙස්සං ගහන්ඩ.
හිච්චිව පාර පැත්තේ නොයවා
තියාගනිං පරිස්සමිං.
දවල් බතට පරිප්පු ගේන්නං ,
කීරමිං සීයක් එක්ක.
සල්ලී බෙදල ඉවර වුනෝතිං
හුලං තමයි බොන්න වෙන්නේ.
මොනව උනත් මේ වෙලාවේ
පන්දාහත්, ලස්ස පහක් වගේනේ බං.
- ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද
Comments
Post a Comment