Sathjana 2020.

Sathjana 2020.
SJB ප්‍රවෘත්ති සදහා මෙම ඛේතය "ක්ලික්" කරන්න.

Do not Stand at my Grave and Weep.


ජීවිතය හා මරණය

2020 වසරත් සමග සමස්ථ ලෝක ජනතාවගේ ජීවිත තුල කෝවිඩ් ඊරාව නමින් විවර වු නව පරිච්ඡේදයේ ආධිපත්‍ය හිමිහරගත් පාරිභාෂිත වාග්‍මාලාව තුළ වැඩිම ලංසුව හිමිවන්නේ, "ජීවත්වීම" හා "මරණය" යන වචන දෙකටයි.

ඒ අනුව ජීවත්විම යනු කුමක්ද, මරණය යනු කුමක්දැයි අප විසින් මේ මොහොතේ අලුතෙන් සොයාබලන්නට පෙළඹී  හිඳින්නෙමු. මෙතෙක් අප හොඳින් දැන හැඳින සිටි, අප ජිවිතවලට අතිශය සමීප මේ හුරුපුරුදු වදන් ද්විත්වයට වෙනත් හැඩයක්, වෙනත් ප්‍රවේශයක් සේම වෙනත් අර්ථකතනයක් ජනනය වීම මේ මොහොතේ යතාර්ථයක්‌ බවට පත්ව තිබිම ඊට හේතුවෙයි. මන්දයත්, මෙතෙක් අප මිනිසුන් වශයෙන් ජීවත් වුවා මිස, මරණය අප අබියස, මුහුණට - මුහුණලා සිටගත් අවකාශයක් හඳුනානොගෙන සිටීම නිසා, ජීවත් වීමට අනුබද්ධ සියළු කාරණා පිලිබඳ අප වෙහෙසවුයෙමු. එහෙත්, අපෙන් බොහෝ ඈතක ස්ථානගතවූ (ඉතා මහලු පුද්ගලයින් හා මාරාන්තික රෝගයකින් පෙළෙන්නෙකු හැර) "මරණය" පිලිබඳ අප සිතන්නට වෙහෙස වුයේ නැත.

මෙහිදී, " මරණය " යන වදන තුල ඊටම ආවෙනිකවූ අසහනකාරී තත්වයක් හා යම් සංවේදිත්වයක්‌ ඇති නිසාම, මරණය නැමැති  කථිකාව සමග සංවේදී මිනිසුන් නිහඬ සංවාදයක් අරඹා තිබේ. ඒ අනුව, "මරණය" පිලිබඳ විමසා බලන්නට, මරණය පිලිබඳ විශ්ලේෂණය කරන්නට, මරණය ගැන ස්‌වයං ගවේෂණයකට එළඹෙන්නට සෑම මිනිස් ප්‍රානියෙක්ම අඩු වැඩි වශයෙන් උත්සාහයක නිරත වේ යැයි කීම අතිශයෝක්තියක් නොවේ.

සොක්‍රටීස්ගේ දර්ශනයට අනුව, මරණයට ද්වාර දෙකක්‌ හිමිව තිබේ. ඔහු පවසන ආකාරයෙන් මේ ද්වාර දෙකෙන් එකක් තුළට අප ජිවිතයෙන් මතු අවතිර්ණවේ. එක් ද්වාරයක්, ස්වප්න නොදකින නිද්‍රාවක් (Dreamless sleep) වන අතර, අනෙක අළුත් ජිවිතයකට මංපෙත සොයා යාමකි (A passage to another life). මේ කුමන ද්වාරය වෙත අප ගමන් කළත්, සොක්‍රටීස් විශ්වාස කරන්නේ එය පෘතුවිය මත අප ගෙවන ජිවිතයට සාපේක්ෂව සුන්දර අත්දැකීමක්‌ වන බවයි. මන්ද, බොහෝ සිහින බියකරු ඒවා වනනිසාම සිහින නොදකින්නේ නම් ඒ නින්ද ඉතා සාමකාමී එකක් ලෙස ඔහු හඳුන්වයි. එසේම, අළුත් ජිවිතයක් සොයා යන මං තීරුවේදී අප විසින් ප්‍රිය කළාවූ මියගියවුන් අපට මුණගැසීමට නියමිත නිසා, ඔවුන් සමග අල්ලාප සල්ලාපයේ යෙදෙන කාලය ඉතා සුන්දර වු කාලයක් වනුඇති බව සොක්‍රටීස් කියයි. ඒ නිසාමදෝ, තමා අහේතුකව චෝදනාවට ලක්ව, තම මරණය අභිමුව සිටගත් සොක්‍රටීස්, තැතිගැන්මකින්, වේදනාවකින් පමණක් නොව  පස්චාත්තාපයකට හෝ පත්නොවී සන්සුන්ව මරණයට මුහුණ දි ඇත්තේ, මරණය යනු අපගේ භෞතික ශරීරයය අත්හැර දැමීමක් විනා, අප විසින් අපව ("තමා " යන ප්‍රපංචය) අත්හැර දැමීමක් නොවේයැයි ඔහු විස්වාස කළ බැවිනි.

සොක්‍රටිස්ගේ මතයට වඩා දැඩි භෞතිකවාදී ආස්ථානයක හිඳිමින් ස්ටෝයික්‌වාදියෙකු වන එපිකියුරස් (Epicurus)  නම් දර්ශනවාදියා මරණය හඳුන්වා ඇත්තේ, වෙනත්ම ආකාරයකටය. ඔහුට අනුව, " ජීවත්වීම " බීමත්වීමකටත්, " මරණය ", වෙරිමතින් පසූ  අත්දකින පීඩාවටත්  (hangover) ඔහු සමානකරයි. එපිකියුරස්ට අනුව මරණින් මතු කිසිඳු  න්‍යායපත්‍රයක් ඔහුගේ ජීවනපොතට ඇතුලත්ව නොමැත. ඔහු පෙන්වා දෙන්නේ ජීවිතය යනු උත්කර්ෂවත් ලෙස සැමරිය යුත්තක් නොවන නිසා, මරණය එතරම් වේදනාවට පත්විය යුතු කාරණාවක්‌ නොවන බවයි. මන්ද, බීමත්වන මිනිසා මදුවිතෙන් සතුට සොයනවා සේ අප සැමවිටම සතුට ලෙස පවත්වාගන්නට වෑයම් කරන්නේ ස්වභාවික ජිවන එළඹුමක් නොව බාහිර ආදේශකයක් බවයි. එය හරියට මධුවිත නොමැතිව මත්නොවිය හැකිනිසා, මත්නොවී මතින් ලබන සුවය, සතුට නොලැබෙනවා හා සමාන තත්වයක්‌ බව ඔහු පවසයි. එසේම සතුට යන භාවය පවතින්නේ මධූවිතේ මත තියෙනතාක් යන තත්වය ඔහු  උදාහරණකොට දක්වමින් පෙන්වා දෙන්නේ " සතුට " යන මානසිකත්වය තුල පවතින ව්‍යාජත්වයයි. ඒ ඔස්සේ එපිකියුරස් අවධාරණය කරන්නේ ජීවත්වීමේ සතුට යනු ක්ෂණික බාහිර උත්තේජනයකින් අත්විඳින ව්‍යාජයක් බවයි. එකී ව්‍යාජය අල්ලා ගැනීම අප ජීවිතය යැයි හඟින්නේනම්, එය රැවටීමක් ලෙස ඔහු පෙන්වා දෙන අතර, මරණය එක්තරා ලෙසක ඒ රැවටීමෙන් ගැලවීමක් ලෙසද ඔහු අර්ථකථනය කරයි. 
අනෙක් අතට, මරණය පීඩාවක් වුවත්, අප මියගිය පසූ එකී ආතතිය අපට  නොදැනෙන නිසා,  ජීවිතය අහෝසි වන මොහොතත්, මරණය මුණගැහෙන මොහොතත් එකම නිමේෂයක වන හෙයින්, මරණයෙන් වන පීඩාව ඉතා ක්ෂණික එකක් බව ඔහුගේ තර්කය වෙයි.

ඒ අතර, ජීවත්වීම හා මරණය පිලිබඳ වෙනත්ම මානයක් ස්පර්ශ කරන තෝමස් නේගල් නැමැති නුතන ඇමෙරිකානු දර්ශනවාදියා ප්‍රකාශකර හිඳින්නේ, මිනිසුන් වශයෙන් අප සැම ප්‍රාමානික වශයෙන්  අත්දැකීම් රාශියක් ජීවිතය තුල අහිමිකරගන්නන් හෝ  අතපසුකරගන්නන් වන බවයි. කෙනෙක් එය තම තමන් තුල ඇති බුද්ධියේ පරිමාවට හා ශක්තියේ පරිමාවට අනුව නොදැනුවත්ව මගහැරගන්නා අතර, තවත් අයෙක් තමා ජීවත්වෙන භෞමික කොදෙවුවෙන් පිටස්තරව සිදුවන්නාවූ සෑම චලනයක්ම හා වෙනස්කමක්ම තමාට අත්විඳින්න නොලැබෙන නිසා, ඉන් ප්‍රතිලාභ අත්නොවිඳින්නෙක්  බවට පත්වන බව ඔහු පවසයි. එපමණකින් නොනැවතී, කෙනෙක් උපදින්නට ප්‍රථම සිදුවූ කිසිවක් එකී පුද්ගලයාට අත්දැකීම් ලෙස මුණනොගැසෙන නිසා, ඒවා නොවැලැක්විය හැකි අන්දමින් මගහැරගන්නා බව නේගල් පවසයි. ඒ සඳහා නිදර්ශනයක් ගෙන හැර දක්වමින් ඔහු පවසන්නේ, හැත්තෑව දශකයේ මැද මෙලොව උපන්නෙක්, මිනිසා සඳ තරණය කළ අවස්ථාව සියැසින් දැකගැනීම මගහැරගන්නා බවත්, ඔහුට එකී සුවිශේෂී අවස්ථාව ස්පර්ශකිරීමේ මොහොත කිසිසේත් හිමිනොවන බවත්ය. මේ අනුව තෝමස් නේගල් ගේ අවසන් නිගමනය ලෙසින් ඔහු පෙන්වා දෙන්නේ, මෙලොව පවතින සෑම රසවත්, සුන්දර, නව්‍ය අත්දැකීමක්‌ම කිසිඳු මිනිසෙක් පරිපුර්ණව භුක්ති නොවිඳින නිසා ඔහු හෝ ඇය ජීවත්වීමෙන් පරිපුර්ණතත්වයට පත්නොවන බවයි. ඒ නිසාම, අනෙක් අතින් ඔවුන්  "මරණය " තුළින් ශුන්‍යතත්වයටද පත් නොවන බව පවසන නේගල්, මරණයත්, ජිවිතයත් යන පදනම් දෙකම එකහා සමානව පරිපුර්ණනොවූ සේම ශුන්‍යද නොවූ එකක් බව පවසයි.

කෙසේ නමුත්, මේ සියලු තර්කයන් දයලෙක්තික වන අතර, ඒවා කෙනෙක් මේ මොහොතේ පිළිනොගත්තද තවත් කලක්‌ ඇවෑමෙන් පිළිගන්නට හෝ ඇතැම්විට කිසිසේත් නොපිලිගන්නට හෝ ඉඩ තිබේ. එසේ කිසියම් මතයක් හෝ අනුමානයක් අප විසින් අනුමත කළත්, ඒවා ප්‍රතික්ෂේප කළත්, අවසන සියල්ලන් අත්දකින නොවෙනස් යතාර්ථය වන්නේ, අප මනුෂ්‍යයින් ලෙසින් ජීවිතය තදින් අල්ලාගෙන සිටින ජීවින් කොට්ඨාෂයක් වන බවත්, මරණය අල්ලා ගැනීමට අප කිසිවෙකුත් තම දෑත් ස්වකැමැත්තෙන් දිගු නොකරන (සියදිවි නසාගන්නෙකු හැර) බවත්ය.

මේ මොහොතේ කෝවිඩ් වෛරස භීතිකාවට ගොදුරු වී මරණය වැළඳගත් මළගියඇත්තන්ද , ගිලන් ඇඳක මරණය පෙනි පෙනී සිටින රෝගීඇත්තන්ද, මරණයට ඇති බිය නිසාම නිවෙස්තුලට වැද මරණය පරාජය කිරීමේ සටනේ නිරත ජිවිතයට ආදරේඇත්තන්ද,  වෙනුවෙන් මේ කෙටි වීඩියෝ පටය ඉදිරිපත් කරන්නේ, මරණය, ජීවිතය පමණක් නොව, ජීවත්වීම හා මරණය අතර ඇති තුනී අවකාශයත් සියුම් ලෙසින් මේ රූප කථණය  තුල නියෝජනය කරන්නාවූ බැවිනි. 

- ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද.

පසු සටහන - 

ඒත්... මෙලෙස ජීවිතය හා මරණය සම්බන්දයෙන් කළ  සාකච්චාවට අදාළ සියලු කාරණාවන්ට ඉහලින් අධිපතිත්වය දරන්නේ   " චන්දය " වීම,  කොතරම් උත්ප්‍රාසජනකද.
මිනිස් ජිවිතයට, මරණයට ඇති අගය පරදා, චන්දයට ඇති කැරිස්මාව වෙනුවෙන් වෙන්දේසියේ ඉහලම ලංසුව තවමත්  අපරාජිතව පවතියි. 
ඒ ලංසුව පරාජය නොකිරීම සඳහා පසුබිම තැනීම වෙනුවෙන් මෙහෙයුම් ගණනාවක් දියත්වන මේ මොහොතේ, අපි කිසිවෙකුත් තවදුරටත් මේ වෙන්දේසි භුමිය තුල ලංසු තබන්න ඉදිරිපත් නොවන්නේ, පෙර කී ලෙසින් ජීවිතයට ඇති ඇල්ම නිසාත්, මරණයට ඇති නොකැමැත්ත නිසාත්  නොවන්නේද....? 

Comments