Sathjana 2020.

Sathjana 2020.
SJB ප්‍රවෘත්ති සදහා මෙම ඛේතය "ක්ලික්" කරන්න.

කොරෝනා , ආණ්ඩුව සහ ජනතාවගේ අභියෝගය.

ලොව පුරා පැතිර යන කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගත තත්ත්වය නිසා මේ වනවිට ශ්‍රී ලංකාව බරපතල ආපදා තත්වයකට මුහුණ දී සිටින බව සැවොම අත්දකින සත්‍යයකි. මෙම ලිපිය මගින් උත්සහ දරන්නේ එම ආපදා තත්ත්වය කළමනාකරණය කරගැනීම සඳහා ශ්‍රී ලංකා රජය මේ මොහොත වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවත් ඉදිරියේ දී ශ්‍රී ලංකාවට මුහුණදීමට සිදුවිය හැකි අවධානම සඳහා මේ වනවිට රජය විසින් ගන්නා වූ ක්‍රියාමාර්ගයන්හි ප්‍රමාණාත්මක බව පිළිබඳවත් විවේචනාත්මක දෘෂ්ටිකෝණයකින් කිසියම් අදහස් ඉදිරිපත් කිරීමක් සිදු කිරීමටය.

ශ්‍රී ලංකාවේ පළමු කොරෝනා රෝගියා වූ චීනයේ වූහාන් සිට පැමිණි කාන්තාව පිළිබඳව වාර්තා වන්නේ ජනවාරි 25 වන දිනය. ඉන්පසුව ශ්‍රී ලංකාවෙන් දෙවන රෝගියකු වාර්තා වන්නේ මාර්තු මස දෙවන සතියේ දීය. එතැන් සිට මේ දක්වා අඛණ්ඩව රෝගීන් දිනපතාම පාහේ වැඩිවෙමින් පවතී. මෙම ලිපිය ලියන අවස්ථාව වනවිට එම ගණන 804 කි. පළමු රෝගියා වාර්තා වීමේ සිට දෙවන රෝගියා වාර්තා වීම දක්වා ආසන්න වශයෙන් මාසයකට වැඩි කාලයක් රජයට පූර්ව සූදානම සඳහා පැවතුනි. එම කාලය තුළ රටේ බොහෝ බලපෑම් කණ්ඩායම් රජයට යෝජනා කර සිටියේ ගුවන් තොටුපල තාවකාලිකව වසා දමා ආරක්ෂණ ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙසයි. එහෙත් රජය එය එතරම් බරපතල ලෙස ගණන් ගත් බවක් පෙනෙන්නට නොතිබුණි. ආණ්ඩුව මෙහෙයවන ප්‍රධාන දේශපාලන බල රෙජීමයේ මූලික අවධානය එම කාලය පුරාම යොමුව තිබුණේ ඊළඟ මහා මැතිවරණය සඳහා කඩිනමින් සූදානම් වීම සහ එයින් 2/3 ක පාලන බලයක් ලබා ගැනීම කෙරෙහි වීම එලෙස අවධානය යොමු නොකිරීමට මූලික හේතුව විය. එමෙන්ම ඒ වනවිට හාල් මිල සහ එළවලු මිල පාලනය කරගැනීමට රජය අපොහොසත්ව තිබූ අතර ඒ නිසාම ජනතාව රජයට එරෙහිව මැසිවිලි නගන තත්ත්වයක් උදා වෙමින් තිබිණ. එසේ දින සියයකට වැඩි තම පාලන කාලය තුළ මූලිකව ලබා දුන් පොරොන්දු නමට පමණක් සීමාවීමේ හේතුව නිසා දිනෙන් දින වර්ධනය වූ මහජන ඉච්ඡාභංගත්වයේ කඩතොළු වසා ගැනීමට රජය යොදා ගත් උපාය වූයේ දේශපාලන උණුසුම වර්ධනය කිරීම සඳහා හදිසි මහමැතිවරණයක් පිළිබඳව කතිකාව සමාජ ගත කිරීමය. එහෙත් අද වනවිට කොරෝනා අවධානම නොතකා මහමැතිවරණය සඳහා අනවශ්‍ය හදිසියක් මතුකිරීම නිසා ආණ්ඩුව කඩතොළු සියයක් හදාගෙන ඇත්තේ ‘එකක් කඩතොළු වසා ගන්නට ගොසින් මට වූ කාරියා - සියක් කඩතොළු හදාගත්තයි ඉඳුරුවේ ආචාරියා’  යන පැරණි කියමන සිහිපත් කරවමිනි.

මෙයින් අවාසනාවන්තම සිදුවීම වන්නේ පළමු කොරෝනා රෝගියා සුව වී පිටව යාමේ සිදුවීම රජය තව තවත් රටට සංචාරකයින් ගෙන්වා ගැනීම සඳහා සංචාරක ආකර්ෂණ වැඩපිළිවෙලක් වෙත යොදා ගැනීමට තරම් අමනෝඥ වීමයි. පළමු කොරෝනා රෝගියාට සෞඛ්‍ය ඇමතිනිය හාදු දී පිටත් කරන රූප රාමු යොදා ගනිමින් ශ්‍රී ලංකාව කොරෝනා වලින් තොර රටක් බවත් එමනිසා භිය නොවී සංචාරය සඳහා පැමිණෙන ලෙසත් සංචාරක ප්‍රවර්ධන අධිකාරිය වෙළඳ දැන්වීමක් මගින් ලෝක සංචාරක ප්‍රජාව වෙත ආරාධනා කරන ලදී. ලෝකයේ අනෙකුත් රටවල් කොරෝනා රෝගය නිසා සංචාරක සීමා පනවමින් සිය රට වැසියන් ආරක්ෂා කරගනිමින් සිටින විට අපේ රජයේ ආරාධනයෙන් වැල නොකැඩී සංචාරකයින් අපේ රටට ඇදී එන්නට විය. ආණ්ඩුවට රටේ ජනතාවට වඩා ඩොලර් ලොකු විය. එහි ප්‍රතිඵලයක් ලෙස දෙවන කොරෝනා රෝගියා ලෙස වාර්තා වන්නේ එලෙස පැමිණි ඉතාලි සංචාරක පිරිසකට මාර්ගෝපදේශ සැපයු සංචාරක මග පෙන්වන්නෙකි.

මෙලෙස සංචාරකයින් සීමා නොකිරීමේ ආදීනව භුක්ති විඳීමට සමස්ත ලාංකේය මහජනතාවට සිදුවන විට විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මාධ්‍ය හමුවේ අපූරු ප්‍රකාශයක් සිදු කළේය. මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු ප්‍රකාශ කර සිටියේ ‘ප්‍රශ්නයක් නැහැ අපි ගුවන්තොටුපලේ මැෂින් හයිකරලා තියෙන්නේ ඒක නිසා රෝගීන්ට ලංකාවට එන්නට බැහැ’ කියාය. ඔහු එහිදී මැෂින් ලෙස අදහස් කරන ලද්දේ ශරීර උෂ්ණත්වය පිළිබඳව දක්වන තර්මෝ මීටර් පිළිබඳව ය. එය ගුවන් තොටුපළෙන් රෝගීන් මෙරටට ඇතුළුවීම වැළැක්වීමේ විධිමත් ක්‍රියාමාර්ගයක් නොවේ. එය ඉතා ප්‍රාථමිකම ක්‍රියාමාර්ගයකි. ඒ බව අද ඔප්පු වී හමාරය. අද මේ රටම එක තැන නතර වී විඳින අවධානම සඳහා එදා ප්‍රශ්නය සුළුකොට තැකූ ආණ්ඩුව වග කිව යුතු බවට අමාත්‍ය දිනේෂ්ගේ ප්‍රකාශය එක් සාක්ෂියක් පමණය.

ආණ්ඩුවේ මැතිවරණ අපේක්ෂාව

සමස්ත ලෝකයම කොරෝනා වසංගත අර්බුදය සඳහා සූදානම් වනවිට ශ්‍රී ලංකා රජය මෙහෙයවන ජනාධිපති රාජපක්ෂ ප්‍රමුඛ දේශපාලන බල කඳවුරේ ප්‍රධාන ඉලක්කය වූයේ ඊළඟ පාර්ලිමේන්තු මහමැතිවරණය කඩිනමින් පැවැත්වීම සහ එයින් 2/3 ක ජයග්‍රහණයක් ලබා ගැනීම සඳහා කටයුතු කල යුතු ආකාරය පිළිබඳව ය. මාර්තු දෙවන සතියේ සමස්ත ජාතියක් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ශ්‍රී ලංකාව තාවකාලිකව වසා දමන ලෙස ඉල්ලා සිටිද්දී ආණ්ඩුව මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීමේ දිනය පසුවන තෙක් ඒ සඳහා කල් මැරීම බහුතර ජනතාවකගේ අප්‍රසාදයට හේතුවිය. වසංගතය කෙතරම් දරුණු වුවද මැතිවරණය කල් දැමීමේ සූදානමක් ආණ්ඩුවට නොවීය. සෞඛ්‍ය අමාත්‍යවරිය වරක් මාධ්‍ය හමුවේ සිනා මුසු මුහුණින් ප්‍රකාශ කර සිටියේ තමන්ගේ කඳවුර දිනන නිසා ඡන්දය කල් දමන්න කොහොමටවත් වුවමනාවක් නොමැති බවකි. ඇගේ එම වචන තුළ අන්තර්ගත වූයේ ආණ්ඩුවට මහජනතාව පිළිබඳව රජයට ඇති හැගීමය. එමෙන්ම ඩලස් අලහප්පෙරුම අධ්‍යාපන අමාත්‍යවරයා වරෙක ප්‍රකාශ කර සිටියේ දියුණු තාක්ෂණික ක්‍රම ලෝකයේ පවතින බවත් වෛරසයක් නිසා මැතිවරණය කිසිසේත් කල්දැමීමේ වුවමනාවක් නැති බවත්ය. එහෙත් ශ්‍රීලංකාවට වඩා දියුණු ලෝකයේ සමහර රටවල් ඒ වනවිටත් මැතිවරණ කල් දමා තිබුණි. ඒ කොවිඩ් වෛරසය තාක්ෂණයට වඩා ප්‍රබල හා දරුණු බැවිනි. නමුත් ලංකාවේ අමාත්‍යවරුන්ට ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාවට වඩා සිය මැතිවරණ බල දේශපාලනික වුවමනාව වැදගත් විය.

මාර්තු මාසයේ අර්බුදය උච්ච් වනවිට ජනාධිපතිවරයා සිදුකල ප්‍රකාශයත් ඊට ආසන්න දිනයක රාජ්‍ය නිලධාරීන් පිරිසක් සමඟ සාකච්ඡාවක දී ජනාධිපතිවරයා විසින් සිදුකරන ලද ප්‍රකාශයත් මෙහිලා සලකා බැලීම වැදගත් වේ. මහා අර්බුදයක් ඉදිරියේ ජාතිය අමතමින් ඔහු එක වදනක් හෝ අර්බුදය හමුවේ දිවා රෑ වෙහෙසෙමින් කැපවන සෞඛ්‍ය අංශ දිරිමත් කිරීමට හෝ ඇගයීමට වැය කලේ නැත. ලෝක වෙළඳපලේ ඉන්ධන මිල සීඝ්‍ර ලෙස පහත යාම සලකා ජනතාව ඉල්ලා සිටි ඉන්ධන මිල සහනය ලබා දුන් විට එම සහනය සෑම නිෂ්පාදන ක්ෂේත්‍රයකටම පැතිර ගොස් භාණ්ඩ හා සේවා මිල ගණන් ඉබේම අඩුවන බව වසන් කරමින් ඒ වෙනුවට ඔහු ඉන්ධන සහනය වෙනුවට පරිප්පු සහ සැමන් සඳහා සහන මිලක් ලබා දෙන බව ජාතිය අමතමින් ප්‍රකාශ කළේය. ඔහුගේ සමස්ත ජාතිය ඇමතීමේ කතාවම නාභිගතව තිබුනේ මැතිවරණයෙන් 2/3 ක ජයග්‍රහණයක් ලබාගැනීම වෙතටය. කොරෝනා අර්බුදය ජනතාව වුවමනාවට වඩා සැලකිල්ලට ගතහොත් මැතිවරණය පැවැත්වීමට නොහැකි වේවිදෝ යන බියක් ඔහුගේ කතාව පුරාවට රැදී තිබුණු බව පෙනෙන්නට විය.

ඒ බව වඩාත් තහවුරු වන්නේ ඊට ආසන්න දිනයක රාජ්‍ය නිලධාරීන් පිරිසක් හමුවේ ඔහු සිදුකරන ලද ප්‍රකාශය සැලකීමේ දීය. ලෙඩ්ඩු විසි අට දෙනෙකු හමු වූ පලියට රට වැසීමට නොහැකි බවත් යුද්ධය සමයේ 5000 ක් මිය ගිය විට පවා රට වැසුවේ නැති බවත් එමනිසා ජනතාව ‘පැනික්’ විය යුතු නැති බවත් එහිදී ඔහු බොහොම සිනා මුසුව සැහැල්ලුවෙන්  ප්‍රකාශ කරන ලදී. යුද්ධයක් සහ ගෝලීය වසංගතයක් අතර වෙනස වටහා ගැනීමට ජනාධිපතිවරයාට නොහැකි වීම කනගාටුදායක ය. නොපෙනෙන රෝග කාරක විෂබීජයක් සමඟ සටන් කිරීම කාලතුවක්කු වලින් කරන්නට බැරි බවත් ඒ සඳහා නිසි සෞඛ්‍ය ආරක්ෂණ වැඩපිළිවෙලක් සහ ප්‍රතිපත්තිමය තීන්දු කාර්යක්ෂමව ගැනීමේ යාන්ත්‍රණයක් අවශ්‍ය බවත් ඔහුට අවබෝධ කර දෙන්නට ඒ අවස්ථාවේ කිසිඳු උපදේශකයකු නොසිටියේ ද? මැතිවරණ කොමිසමේ සභාපති ප්‍රමුඛ කොමිසන් සභා සාමාජිකයින් ජනතාවාදීව සිතා මාර්තු 19 වනදා මැතිවරණය කල් නොදමන්නට මේ සා විශාල අර්බුදයක් මධ්‍යයේ වුවද ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව මහා මැතිවරණය පැවැත්වීමට ඉඩ තිබිණ.

තත්ත්වය එතෙකින් නිමාවට පත් වූයේ නැත. නැවත අප්‍රේල් මස අවුරුදු සාමය අවසාන වනවාත් සමඟම රජයට යලි මැතිවරණ උණ ගැනීමට පටන් ගත්තේය. සෞඛ්‍ය බලධාරීන් සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයට රෝගී පරීක්ෂාවන් තවදුරටත් පුළුල් කරන ලෙස උපදෙස් දෙද්දී සෞඛ්‍ය අමාත්‍යවරිය අප්‍රේල් 19 වන දා වනවිට කොරෝනා දුරුවන බවට මාධ්‍ය හමුවේ වහසි බස් දොඩන්නට විය. රජයට වුවමනා වූයේ කොරෝනා පාලනය වී ඇති බව තමන්ට හිතවත් මාධ්‍ය මාෆියාව මගින් මවා පෙන්වමින් ජනතාව මැතිවරණය කරා රැගෙන යන්නටය. මැතිවරණ සමයේ රට විවෘත වීම නිසාත් මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාර නිසාත් ජනතාව අතර රෝගය ව්‍යාප්තව බුරුතු පිටින් මියගියත් ඒ ගැන ඔවුනට වගක් නැති බව ඔවුන්ගේ කතාවෙන් ගම්‍ය විය. කෙසේ වෙතත් රට අප්‍රේල් 22 වනදා විවෘත කිරීමට ගත් වැරදි තීරණයේ ප්‍රතිඵල වල අවාසනාව භුක්ති විඳින්නට සිදුවූයේ ද ජනතාවටය. මේ වන විට රෝගීන් 400 ඉක්මවා ගොස් ඇත. රජය මුලදීම නිසි ලෙස කළමනාකරණය කරා නම් රෝගය මෙලෙස ජනතාව අතර පැතිර යන්නේ නැත. ඒ තිත්ත ඇත්ත සියලු දෙනා  අකමැත්තෙන් වුවද පිළිගත යුතුය. මේ තරම් තත්ත්වය දරුණු වී තිබියදී පවා ජනතාව මැතිවරණයක් ඉල්ලන බවට වහසි බස් දෙඩීමට ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා කටයුතු කර තිබේ. ඔවුන් මේ උත්සහ කරන්නේ මිනී කඳු මතින් බලය ලබා ගැනීමට ද යන සාධාරණ සැකය ජනතාවට ඇතිවීම එම ප්‍රකාශ නිසා වඩාත් තීව්‍ර වේ.

ආණ්ඩුවේ අසාර්ථක මූල්‍ය කළමනාකරණය

පසුගිය වසරේ නොවැම්බර් මස මේ ආණ්ඩුව පිහිටවූ දින සිට මේ දක්වාම රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ අසාර්ථක බව සහ අසමත් බව ආණ්ඩුව දිගින් දිගටම පෙන්නුම් කරමින් සිටී. අදූරදර්ශීව ලබා දුන් මැතිවරණ පොරොන්දු මත සිදුකරන ලද බදු ප්‍රතිසංස්කරණ සිය හිතෛෂී ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකු ප්‍රමුඛව යම් ව්‍යාපාරික පැලැන්තියක පමණක් වාසියට හේතු වී ඇතිබව පෙනී යයි. එකී බදු ප්‍රතිසංස්කරණයන්හි වාසියක් සාමාන්‍ය පොදු ජනතාවට හිමිව නැත. නොවැම්බර් සිට පෙබරවාරි දක්වා වූ ආණ්ඩුවේ පළමු දින සියය තුළ අසාමාන්‍ය ලෙස ඉහළ ගිය සහල් සහ එළවළු ඇතුළු ආහාර මිලගණන් පාලනයට ආණ්ඩුව අසමත් විය. මේ අතර ජනාධිපති රාජපක්ෂ ආර්ථික මධ්‍යස්ථානවල සංචාරය සඳහා පැමිණ මුදලාලිගේ බක්කියේ වාඩිවී මිල අඩු කිරීමට මුදලාලිලාට උපදෙස් දෙන දර්ශන මාධ්‍ය හරහා විකාශනය විය. එහෙත් මිල පාලනය යනු එලෙස මාධ්‍ය සංදර්ශන මගින් සිදුකල හැකි දෙයක් නොව අදාළ අධිකාරීන් සමඟ එක්ව තීරණ ගෙන ක්‍රියාත්මක කල යුතු ආර්ථික කළමනාකරණ ක්‍රියාවලියක් බව සබුද්ධික මහජනතාව ඊට පසුදින සිටම සමාජ මාධ්‍ය ඔස්සේ ජනාධිපතිවරයාට මතක් කර දෙන්නට විය. පසුගිය මාස කිහිපයේ ජනාධිපතිවරයා රඟ දැක්වූ මාධ්‍ය සංදර්ශන සියල්ලක්ම පාහේ ඒ හා සමානවම අසාර්ථක ඒවා විය. රාජ්‍ය ආයතන කාර්යක්ෂම කිරීම සඳහා අදාළ ආයතනයන්හි ව්‍යුහගත ප්‍රතිසංස්කරණ සිදුකරනු වෙනුවට තමන්ට හිතවත් මාධ්‍ය කණ්ඩායම් සමඟ එකී ආයතන වෙත කඩා වැදී එහි සුළු සේවකයින්ට උපදෙස් දෙන තැනට ජනාධිපතිවරයා පත්විය. ඒ ආකාරයෙන් රාජ්‍ය මූල්‍ය කළමනාකරණය මෙන්ම රාජ්‍ය පාලනය ද හුදු මාධ්‍ය සංදර්ශන සහ දේශපාලන බල වුවමනාවන් ඉලක්ක කර සිදුකරන්නට යාමෙන් රජය ජනතාවත් රටත් මේ මොහොත වනවිට අර්බුද ගණනාවක සිරකර හමාරය.

2019 නොවැම්බර් සිට 2020 මාර්තු දක්වා රජයට මුදල් සම්මත කරගැනීම සඳහා විසර්ජන පනතක් ගෙන ඒමට ඕනෑ තරම් අවස්ථාව තිබිණි. එහෙත් රජය දිගින් දිගටම එය මගහරින ලද්දේ විසර්ජන පනත තුළින් ජනතාව අපේක්ෂා කරන සහන ලබාදීමට තමන්ට පවතින නොහැකියාව වසා ගැනීම සඳහා ය. මූල්‍ය කළමනාකරණය යථා පරිදි සිදුකරනු වෙනුවට පසුගිය මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයේ මෙන්ම මෙවර ද රජය අසීමාන්තිකව ලබා ගන්නා වාණිජ ණය මත රාජ්‍ය පාලනය සිදුකරමින් සිය දේශපාලන බල ව්‍යාපෘතිය පුළුල් කිරීමට අදහස් කරන බව පෙනෙන්නට ඇත. ඒ බව මනාව පැහැදිලි වන්නේ සිය ඉන්දීය සංචාරයේ දී ලංකාවට මේ මොහොතේ ණය ගෙවීමේ හැකියාවක් නොමැති නිසා ඉන්දියාවෙන් ලබා ගත් ණය ගෙවීමට වසර තුනක සහන කාලයක් ඉල්ලා සිටි අග්‍රාමාත්‍යවරයාම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට දෙදිනකට පෙර හදිසියේ ණය ලබා ගැනීමේ සීමා ඉහල දමා ගැනීම සඳහා යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙනි. මුදල් පනතක් පිළිබඳ යෝජනාව සහ ණය සීමා ඉහල දැමීමේ යෝජනාව එකවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් රජය උත්සහ ගත්තේ හදිසියේ කොලය වසා ගැසීමකින් අසීමාන්තිකව ණය ලබා ගැනීමේ ඉඩක් විවර කරගැනීමට ය. එහෙත් විපක්ෂය මුදල් පනත පිළිබඳ යෝජනාවට පක්ෂ වුවද ණය සීමාව ඉහල දැමීම පිළිබඳ යෝජනාවට විරුද්ධ විය. අවසානයේ රජය හිතුවක්කාරී ලෙස යෝජනා දෙකම ඉල්ලා අස්කර ගන්නා ලදී. සිය හිතුවක්කාරී ක්‍රියා පිළිවෙතත් ණය සීමාව ඉහල දමා ජනතාව මත බර පැටවීමට ගත් කූට උත්සාහයත් වසං කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පසුදින ප්‍රකාශ කර සිටියේ ජනතාවට සහන දීමට ගෙන ආ මුදල් යෝජනාව විපක්ෂයේ විරෝධය හමුවේ හකුලා ගන්නට සිදු වූ බවය. එහෙත් රජයට සත්‍ය ලෙසම රජයට ජනතාවට සහන ලබා දීමට අවශ්‍ය වූයේ නම් ණය සීමාව ඉහල දැමීමේ යෝජනාව පමණක් හකුලාගෙන මුදල් යෝජනාව ඉදිරිපත් කිරීමට ඕනෑතරම් අවස්ථාව තිබුණි. විපක්ෂයේ විරෝධතාව එල්ල වූයේ ණය සීමා ඉහල දැමීමට මිස මුදල් යෝජනාවට නොවේ. ඒ පිළිබඳව පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාව තුළ ද පැහැදිලිව සඳහන් ව ඇත. යෝජනා දෙකම එකවර හකුලා ගැනීම පිළිබඳව අදහස් දක්වන සිවිල් ක්‍රියාකාරීන් සහ දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ එය රජය සිය දුර්වල මූල්‍ය කළමනාකාරීත්වය උද්ධච්ඡකමින් වසා ගැනීමට දරණ ලද උත්සහයක් ලෙසය.

වර්තමාන රජයේ අසාර්ථක මූල්‍ය කළමනාකාරීත්වය නිසා ජනතාව පීඩාවට පත් වූ අවස්ථාවන් පිළිබඳව තවත් උදාහරණ මේ මාස කිහිපය තුළ ඕනෑවටත් වඩා දැකගැනීමට හැකියාව ලැබී තිබේ. ඒවායින් කිහිපයක් පහත පරිදි පෙළගැස්වීමට හැකිය.

යහපාලන රජය සමයේ රනුක් ගේ වාර්තාව මගින් නිර්දේශකර කැබිනට් අනුමැතිය පවා හිමිව තිබූ රාජ්‍ය සේවක වැටුප් විෂමතා ඉවත් කිරීම පිළිබඳව වූ චක්‍රලේඛය අහෝසිකර රාජ්‍ය අංශයේ වැටුප් විෂමතා තවදුරටත් පවත්වාගෙන යාම.
යහපාලන රජය විසින් 2020 ජනවාරි සිට ක්‍රියාත්මක කිරීමට නිර්දේශකර අනුමැතිය හිමිව තිබූ රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප් වර්ධකය අහෝසි කිරීමට කටයුතු කිරීම.
යහපාලන රජය විසින් රජයේ විධායක නිලධාරීන් වෙත ලබා දී තිබූ රුපියල් 15000 දීමනාව අත්හිටුවීම.
යහපාලන රජය විසින් පසුගිය වසර කිහිපය පුරාම සාර්ථකව ක්‍රියාත්මක කරන ලද ගැබිණි මව්වරුන් සඳහා ලබා දෙන ලද රු. 20,000 ක පෝෂණ සලාකය අහෝසි කිරීම.
යහපාලන රජය විසින් හඳුනවදී තිබූ මාසිකව ගණනය කරන ලද ඉන්ධන මිල සූත්‍රය අහෝසි කිරීම මගින් ලෝක වෙළඳපලේ දිගින් දිගටම ඉන්ධන මිල පහල යාමේ වාසිය පාරිභෝගික ජනතාව වෙත යාම වැළැක්වීම සහ ඉන්දියානු තෙල් සමාගමට ශ්‍රීලාංකේය පාරිභෝගිකයා සූරා කමින් අසීමිත ලාභයක් ලැබීමට ඉඩ ලබා දීම.

රජයේ මෙම අසාර්ථක මූල්‍ය කළමනාකරණයේ භයානක ප්‍රතිඵල මහජනතාවට වැඩි වැඩියෙන් විඳීමට සිදුවන්නේ හදිසි සමාජ ව්‍යයසන තත්ත්වයක් මතුව ආ විටය. ඒ බව අද අප අත්දකිමින් සිටිමු. මෙම ලිපිය ලියන මොහොත වනවිට කොරෝනා මර්ධනයේ නිරත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සේවයෙන් ඉවත්වීමේ සූදනමක් පවතී. එයට හේතුව වන්නේ ඔවුන් සඳහා නිසි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රියාදාමයක් රජය විසින් මෙතෙක් ක්‍රියාත්මක නොකිරීමය. මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් සඳහා විධිමත් සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමටත් ඔවුන්ගේ පවුල්වල සුභ සාධනය තහවුරු කිරීමටත් රජයට අවශ්‍ය මූල්‍ය සම්පත් යෙදවිය නොහැක්කේ මන්ද? එපමණක් නොව ඇතැම් ප්‍රදේශවල සෞඛ්‍ය සේවා සඳහා දෛනිකව සපයන ප්‍රවාහන පහසුකම් වල ද බොහෝ අඩුපාඩුකම් මතුව ඒම නිසා සෞඛ්‍ය සේවකයින් විශාල අවධාමනකට මුහුණ දී ඇති බව වාර්තා වේ. මේ සියල්ල සඳහා මුදල් වියදම් කිරීමට රජයට නොහැකි වී ඇත්තේ රජයේ අසාර්ථක මූල්‍ය කළමනාකරණය නිසා බව පැහැදිලිව පෙනෙන්නට ඇත. එය මේ වනවිට සමස්ත ජනතාවටම නොරහසකි. මැතිවරණය සඳහා මුදල් ඉතිරි කිරීම වෙනුවෙන් රජය ප්‍රමුඛතාවය දිය යුතු අංශ නොතකා හැරීම මේ තත්ත්වයට හේතු වී ඇත.

නීතියේ ආධිපත්‍ය නොතකා හැරීම

සිය මූල්‍ය පාලනයේ අසමත් බව වසා ගැනීම සඳහා විසර්ජන පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් වැලකී සිටි රජය මේ වනවිට සිය හදිසි මූල්‍ය අවශ්‍යතා සම්පාදනය කරගැනීම උදෙසා බරපතල ලෙස නීතියේ ආධිපත්‍ය හෑල්ලුවට ලක්කරමින් සිටී. එහි බරපතලම තත්ත්වය වන්නේ ජනතා පරමාධිපත්‍ය තුළින් පාර්ලිමේන්තුව වෙත පවරා ඇති ජනතාවගේ මුදල් බලය විධායක ජනාධිපතිවරයාගේ හිතුමනාපය මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් භාවිතා කිරීමට කටයුතු කරමින් තිබීමයි. මේ බව පැහැදිලි වන්නේ භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා විසින් 2020.03.10 දිනැතිව සහ BD/CBP/01/01/04-2020 යන අංක ඇතිව නිකුත්කර ඇති අයවැය චක්‍රලේඛ 01/2020 මගින් සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් සභාවල ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත ඒකාබද්ධ අරමුදලින් වියදම් දැරීම පිළිබඳව ලබා දී තිබෙන උපදෙස් මාලාව විමසා බැලීමේ දීය. ඒ අනුව එම චක්‍රලේඛයේ පළමු පරිච්චේදයේ මෙලෙස දැක්වේ.

උපුටා ගැනීම;
2020 මාර්තු මස 06 වන දින සිට මාස තුනක කාලයක් දක්වා රජයේ සේවාවන් හා සංවර්ධන කටයුතු අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා අවශ්‍ය වියදම් ඒකාබද්ධ අරමුදලින් දැරීම පිණිස ශ්‍රීලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150 වන ව්‍යවස්ථාවේ 3 වන අනු ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන යටතේ අතිගරු ජනාධිපතිතුමන් විසින් බලය ලබා දී තිබේ.
                                                                        උපුටා ගැනීම අවසන්

එමෙන්ම එම චක්‍රලේඛයේ තුන්වන පරිච්ඡේදයේ වැඩිදුරටත් මෙසේ දැක්වේ

උපුටාගැනීම;
                        මෙම කාලය තුළ ගෙවීම් වවුචරවල සහ අනෙකුත් ලියකියවිලි වල අදාළ අධිකාරය ලෙස සඳහන් කලයුතු වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150 ව්‍යවස්ථාවේ 3 වන අනුව්‍යවස්ථාවේ අධිකාරය යන්නයි.
                                    උපුටා ගැනීම අවසන්

ඉහත චක්‍රලේඛයේ දක්වා ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150 ව්‍යවස්ථාවේ 3 වන අනුව්‍යවස්ථාවේ අධිකාරය අනුව ප්‍රතිපාදන සම්පාදනය පිළිබඳව ලබා දී ඇති උපදෙස සම්පූර්ණයෙන්ම සාවද්‍ය වන අතර එකී චක්‍රලේඛය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මුළුමනින්ම අනනුකූල වේ. ඒ පිළිබඳව වඩාත් පැහැදිලි කරගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150 (3) අනු ව්‍යවස්ථාව කෙරෙහි අවධානය යොමු කරමු. එය පහත පරිදි වේ.

“ යම්කිසි වර්ෂයක විසර්ජන පනත් කෙටුම්පත නීතිය බවට පත්වීමට පෙර ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබූ අවස්ථාවක පාර්ලිමේන්තුව විසින් රජයේ සේවාවන් සඳහා මුදල් වෙන්කර නොමැත්තේ නම් අභිනව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත දින සිට මාස තුනක් ඉකුත්වන තෙක් රජයේ සේවාවන් සඳහා යම්කිසි මුදලක් අවශ්‍ය වෙතැයි ජනාධිපතිවරයා සලකයි නම් ඒ මුදල ඒකාබද්ධ අරමුදලෙන් නිකුත් කිරීමටත්, වැය කිරීමටත් නියම කිරීමට ජනාධිපතිවරයාට බලය ඇත්තේය.”

ඉහත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය ප්‍රතිපාදනය අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති අවස්ථාවක ඒකාබද්ධ අරමුදලෙන් මුදල් නිකුත් කිරීමට ජනාධිපතිවරයාට බලය ඇත්තේ අභිනව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත දින සිට ඉදිරි මාස තුනක කාලයක් සඳහා ය. එහෙත් භාණ්ඩාගාර ලේකම්වරයාගේ 01/2020 අයවැය චක්‍රලේඛය තුළ දක්වා ඇත්තේ මාර්තු 06 වනදා සිට මාස තුනක කාලයක් සඳහා මුදල් නිකුත් කරන ලෙසටය. එය සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තුව සතු මුදල් බලය අවභාවිත කිරීමක් වන අතර ජනාධිපතිවරයා විසින් චේතනාන්විතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් ද වන්නේය.

අනෙක් අතින් මුදල් වර්ෂය විගණනය කිරීමේදී මේ නිසා බරපතල ගැටලුවකට විගණකාධිපති දෙපාර්තමේන්තුවට මුහුණ පෑමට සිදුවේ. සෑම ගෙවීම් වවුචරයකම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150 (3) අනුව්‍යවස්ථාවේ අධිකාරය යොදන ලෙස භාණ්ඩාගාර ලේකම්වරයා විසින් උපදෙස් දී තිබුණ ද මාර්තු 06 වනදා සිට එකී අධිකාරිය ව්‍යවස්ථානුකූලව බල නොපැවැත්වෙන නිසා අදාළ ගෙවීම් නීත්‍යානුකූල නොවේ. මේ අනුව රාජ්‍ය මූල්‍ය විගණනයේදී බරපතල උභතෝකෝටිකයකට මුහුණදීමට විගණකාධිපතිවරයාට සිදුවීම නොවැලැක්විය හැකිය.

ජනතා සහන යාන්ත්‍රණයේ දුර්වලතා

මුල සිටම රජය ජනතාවාදී දැක්මකින් අර්බුදය සඳහා පූර්ව සූදානමක් ඇති කරගනු වෙනුවට සිය බලය පුළුල් කරගනු වස් මැතිවරණය ඉලක්ක කරගෙන කටයුතු කිරීම නිසා මෙම හදිසි අවස්ථාවේ ක්‍රියාත්මක ජනතා සහන වැඩපිළිවෙල තුළ දුර්වලතා රාශියක් දක්නට ලැබෙයි. රජය නිවැරදි දැක්මකින් කටයුතු කරන්නේ නම් හදිසි ආපදා තත්ත්වයක් සඳහා පූර්ව සූදානම් කටයුතු සිදුකිරීම ආරම්භ කලයුත්තේ පළමු කොරෝනා රෝගියා වාර්තා වූ මොහොතේ සිටය. එහෙත් රජය මාර්තු අවසන් සතිය වනතෙක්ම විවිධ ක්‍රම අත්හදා බලමින් සිටියා මිස නිසි යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට අපොහොසත් විය. සියලුම දිස්ත්‍රික් ලේකම්වරු මැතිවරණ තේරීම්භාර නිලධාරීන් ලෙස නාමයෝජනා කටයුතුවල යෙදවූවා මිස මෙම ආපදා තත්ත්වය සඳහා නිසි අධ්‍යයනයක් සිදුකර ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කිරීම සඳහා යොමු කිරීමේ දේශපාලන නායකත්වය ලබා දීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට නොහැකි විය.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යේෂ්ඨ නිළධාරීවරයකු සහ දිස්ත්‍රික් ලේකම්වරයකු ප්‍රකාශ කල පරිදි මාර්තු මස නාමයෝජනා දිනයෙන් පසුව රජය විසින් උපදෙස් ලබදෙන තෙක් බලා නොසිට ඔවුන්ගේ අත්දැකීම් අනුව ක්‍රියාත්මක වෙමින් ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත අදාළ කටයුතු සඳහා අභ්‍යන්තර චක්‍රලේඛ මගින් උපදෙස් ලබාදෙමින් සියලු අංශ සම්බන්ධීකරණය කරමින් ගෙනගිය වැඩපිළිවෙල නිසා දැඩි අවධානම් දිස්ත්‍රික්කයන්හි නිරෝධායන කටයුතු සහ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ කටයුතු මේ තාක් දුරට හෝ සාර්ථකව සිදුකිරීමට හැකියාව ලැබී ඇත.

ජනාධිපතිවරයා විසින් සිය සොහොයුරු බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යසාධක බලකායක් පත් කරන්නේ දිස්ත්‍රික් ලේකම්වරු සිය කටයුතු අඩු පාඩු මධ්‍යයයේ වුවද බොහෝ ඉදිරියට කරගෙන යමින් තිබෙන විටය. එහෙත් එම කාර්ය සාධක බලකාය ජනාධිපතිවරයා පත්කළ යුතුව තිබුනේ මෙරට පළමු රෝගියා වාර්තා වූ සැනින්ය. එසේ නම් සහන ක්‍රියාවලිය සහ නිරෝධායනය නිසි ලෙස සැලසුම් කරගත හැකිව තිබූ අතර අඩු පාඩු බොහොමයක් නිසා වන ජනතා පීඩාවන් මගහරවා ගත හැකිව තිබුණි.

ජන සහන දේශපාලනීකරණය

මේ අතර මේ දිනවල ක්‍රියාත්මක ජනතා සහන ක්‍රියාන්විතය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් මැතිවරණය ඉලක්ක කරගනිමින් ඉතා සූක්ෂම ලෙස  දේශපාලනීකරණය කරමින් පවතින බවට ඇතැම් ස්වාධීන රාජ්‍ය නිලධාරීන් අතර කනස්සල්ලක් පැතිර යන බව වාර්තා වේ. මේ බව තහවුරු වන්නේ අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් විසින් සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත 2020.03.31 දින නිකුත් කරන ලද PTF/03/2020 චක්‍රලේඛය විමසා බැලීමේදීය. එහි දැක්වෙන පරිදි උද්ගතව ඇති ව්‍යසනකාරී තත්ත්වය නිසා ක්‍රියාත්මක සමාජ ප්‍රතිලාභ වැඩසටහන සඳහා සුදුසු ප්‍රතිලාභීන් තෝරා ගැනීම සඳහා සියලුම පළාත් පාලන ආයතනවල පළාත් පාලන කොට්ඨාශ මට්ටමින් ග්‍රාමීය කමිටු පිහිටුවා ගැනීමට උපදෙස් දී ඇති අතර එම කමිටුවේ  ග්‍රාම සේවක ඇතුළු රාජ්‍ය නිලධාරීන්ට ඉහලින් පළාත් පාලන කොට්ඨාශ නියෝජිතවරයා ව දක්වා ඇත. ඒ අනුව තීන්දු තීරණ ගැනීමේදී සැලකිය යුතු බලපෑමක් කිරීමේ ප්‍රධානියා වන්නේ ඔහුය. පළාත් පාලන කොට්ඨාශ නියෝජිතවරු යනු වෙන කිසිවෙක් නොව පොහොට්ටුවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීලාය. එමෙන්ම දැනට ප්‍රාදේශීය ලේකම්වරු විසින් හඳුනාගෙන ඇති ප්‍රතිලාභී ලේඛණ සියල්ල මේ කමිටුවට ඉදිරිපත් කර අනුමත කරගන්නා ලෙස උපදෙස් දී ඇත. එය බරපතල තත්ත්වයකි. එයින් සත්‍ය වශයෙන්ම සිදුවිය හැක්කේ කුමක් ද? දැනට ග්‍රාම නිලධාරීන් මාර්ගයෙන් ප්‍රාදේශීය ලේකම්වරු සකස්කර ඇති ප්‍රතිලාභී ලේඛණ පොහොට්ටුවේ මන්ත්‍රීට වුවමනා ආකාරයට වෙනස් කිරීමට ඉඩ ලබා දීම නොවේ ද? මෙමගින් සමස්ත සහන ක්‍රියාවලියම පොහොට්ටුවේ ප්‍රාදේශීය දේශපාලන ක්‍රියාකාරීන් අතට පත් කිරීමට බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් යුත් කාර්ය සාධක බලකාය කටයුතු කරමින් පැවතීම සැබවින්ම කනගාටු දායකය. මෙමගින් ජනතා සහනය වෙනුවට පීඩාවට පත් ජනතාව අතර තව තවත් අසහනය වර්ධනය වීම නොවැලැක්විය හැකිය.

මැතිවරණය සහ ජනතා අභියෝගය

මැතිවරණය මැයි මස අග සතියේ පවත්වා ජූනි මස 02 වන දිනට ප්‍රථම පාර්ලිමේන්තුව කැඳවිය නොහැකි නිසා මැතිවරණ කොමිසම ජූනි 20 දිනට මැතිවරණය කල්දමා ඇත. එහෙත් එදිනට ද මැතිවරණය පැවැත්විය හැකි ද යන්න සැක සහිතය. ව්‍යවස්ථානුකූල ප්‍රතිපාදන අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැර මාස තුනක් ඇතුළත අභිනව පාර්ලිමේන්තුව රැස්විය යුතුය. එහෙත් මේ වනවිට එසේ රැස්වීමට නොහැකි වීමෙන් ව්‍යවස්ථානුකූල අර්බුදයක් මතුවීමේ තත්ත්වයක් පෙන්නුම් කරයි. පසුගිය දා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් ජනාධිපති ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් දන්වා සිටියේ මෙම නව තත්ත්වය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම සුදුසු වන බැවින් ඒ සඳහා ජනාධිපතිවරයාගේ අවධානය යොමු කිරීම සඳහා කටයුතු කරන ලෙසය. මැතිවරණය පිළිබඳ තත්ත්වය එලෙස ව්‍යවස්ථා අර්බුදයක් කරා තල්ලු වෙද්දී අප්‍රේල් 30 වනදායින් පසුව වියදම් කිරීම සඳහා රජයට මූල්‍ය ප්‍රතිපාදන සපයා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතවීමේ අවධානමක් ද මතුව ඇත. ඒ සියල්ලටම වඩා නිසි ක්‍රියාමාර්ග ගත යුතුව තිබූ අවස්ථාවේ ඒ පිළිබඳව නොතකා හැරීම නිසා රට අර්බුදයේ කරවටක් ගිලී සිටීම හේතුවෙන් අඩපණව ඇති නිෂ්පාදන ක්‍රියාවලිය නිසා අදායම් අහිමිව යන ජනගහනය රටට දැරිය නොහැකි තරම් බරක් වෙමින් පවතී. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග අවසන් වූ පසු නිෂ්පාදනය අඩාල වීමේ ප්‍රතිවිපාක ජනතාවට වැඩි වැඩියෙන් දැනෙනු ඇත. මේ තත්ත්වය සඳහා එකම විසඳුම පාර්ලිමේන්තුව විසුරුවා ඇති ගැසට් පත්‍රය ජනාධිපතිවරයා විසින් ආපසු කැඳවා පාර්ලිමේන්තුව නැවත රැස් කිරීම බව දේශපාලන විචාරකයින් පෙන්වා දෙයි. එවිට මෙම ජාතික ව්‍යසනය මර්ධනය සඳහා අවශ්‍ය සියලු මූල්‍ය ප්‍රතිපාදන පිළිබඳ යෝජනාවන් මෙන්ම අවශ්‍ය අනෙකුත් යාන්ත්‍රණයන් පිහිටුවීමේ යෝජනාවන් අවශ්‍යතාවය මත සියලු පක්ෂ එකතුවෙන් 2/3 බහුතරයකින් සම්මත කරගෙන නිවැරදි ක්‍රමවේදයක් සකස් කර ගැනීමට රජයට අවස්ථාව උදා වේ. දේශපාලන බල වුවමනාවන් වෙනුවෙන් තනියම 2/3 බලය හොයනු වෙනුවට ජාතික ව්‍යසනය දුරලීම සඳහා සියලු පක්ෂ එකතුවෙන් 2/3 සපයා ගැනීමට රජයට එවිට ස්වර්ණමය අවස්ථාවක් උදා වනු ඇත. මේ මොහොතේ ජනතාව මුහුණ දෙන අභියෝගය වන්නේ ඒ සඳහා රජයට බලපෑම් කරමින් රජය ඒ සඳහා පොලඹවා ගන්නේ කෙසේද යන්නය. එය ලේසි පහසු කටයුත්තක් නොවේ. මන්ද මෙම රජය ආරම්භයේ සිටම මේ කෙටි කාලය තුළ ජනතාවාදීත්වය වෙනුවට සිය පටු බල ව්‍යාපෘතිවාදය ඕනෑවටත් වඩා වචනයෙන් සහ ක්‍රියාවෙන් යන දෙකෙන්ම ඔප්පු කර ඇති නිසාවෙනි. එමනිසා මේ මොහොතේ ජනතා ජයග්‍රහණය රැදී ඇත්තේ සියලු පාර්ශවයන් එකමුතුව හැකිතාක් නිවසේ සිට සමාජ මාධ්‍ය ඔස්සේ පාර්ලිමේන්තුව නැවත රැස්කරන ලෙස ජනාධිපතිවරයාට බලපෑම් කිරීම මතය.

කසුන් දීප්ත ඉරුගල්බණ්ඩාර 

Comments