Sathjana 2020.

Sathjana 2020.
SJB ප්‍රවෘත්ති සදහා මෙම ඛේතය "ක්ලික්" කරන්න.

කොරෝනා අර්බුදය සහ සමාප්ත කාලය - දෙවන කොටස - නව දේශපාලන වියහැකියාවන්

"දැන් අපි හැමෝම එකම බෝට්ටුවේ!" මේ ස්ලේවෝයී ශිෂෙක් ඔහුගේ "Pandemic!" (2020) කෘතිය තුළ පුනරුච්චාරණය කරන ප්‍රකාශයකි. 

මෙහි අදහස කොරෝනා වසංගතයේ පොදු තර්ජනය හමුවේ අප අතර පවත්නා පංතිමය, වාර්ගික හෝ ආගමික යනාදී විසමතා ඉන්ද්‍රජාලික ලෙස අහෝසි වී යන බව නොවේ. ඒ වෙනුවට එම විසමතා ඉතාම රෞද්‍ර ලෙස ප්‍රකාශයට පත් වන්නට පටන් ගෙන තිබෙන බව අපි දනිමු. 

දැන් ලෝකයේ නිදහසේ ගැවසිය හැකි එකම ප්‍රදේශ වන්නේ මහා ධන කුවේරයන් සතු දූපත් පමණි. ඇතැම් යුරෝපීය රටවල වෙන්ටිලේටර්ස් සවි කළ යුත්තේ "සමාජයීයව අවශ්‍ය" පුද්ගලයන්ටය යන අදහස මගින් පංතිය සහ සමාජ තත්ත්වය පිළිබඳ බෙදීම් ජීවිතය සහ මරණය පිළිබඳ ප්‍රශ්නයක් බවට පරිවර්තනය කරනු ලැබ තිබේ. ඩොනල්ඩ් ට්‍රම්ප් කොවිඩ් 19 "චීන වෛරසයක්" යැයි නම් කිරීමත් සමග එක්සත් ජනපදය තුළ වෙසෙන ආසියාතිකයින් වෙත වර්ගවාදී වෛරය ඉලක්ක කෙරෙමින් ඇත. සමාජ ආරක්ෂණ වැඩ පිළිවෙලකින් තොරව "ලොක් ඩවුන්" ක්‍රියාමාර්ගයක් ගත් ඉන්දියාවේ දුගී ජනයාගේ සිරුරු මතින් ප්‍රභූ දේශපාලනයේ දුම්රිය ධාවනය වන අයුරු පසුගියදා අපි දුටිමු. යුරෝපයට අදාළව ශිෂෙක් අනතුරු හඟවන පරිදි යම් හෙයකින් ඉදිරියේදී වසංගතයේ ව්‍යාප්තිය සරණාගත ප්‍රශ්නය සමග සම්බන්ධ කිරීමේ අන්ත-දක්ෂිණාංශික ජාතිවාදීන්ගේ ප්‍රයත්නය සාර්ථක වුව හොත්, එය යුරෝපය නමැති බෝට්ටුව ව්‍යසනයේ චණ්ඩ මාරුතය මැදට ගසාගෙන යාමක් විය හැකිය.

ශ්‍රී ලංකාවේ "ඇඳිරි නීතිය සමගම රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම" නිවේදනය කිරීමෙන් අපගේ නව සාමාන්‍ය තත්ත්වය කවරාකාර වූවක්දැයි එළිපිටම අපට දන්වනු ලැබ තිබේ. (මෑතකදී වත්මන් පාලනාධිකාරයේ ඓන්ද්‍රීය බුද්ධිමතෙකු වන මහාචාර්ය චරිත හේරත් තම මුහුණු පොතේ පළ කරන ලද වීඩියෝවක් මගින් මැයි මස එකොළොස් වනදා සිට අප ඇතුල් වීමට නියමිත නව යථාර්ථය තනි වාක්‍යයකින් පැහැදිලි කළේය: "ඇඳිරි නීතිය නැති වුනත් වැඩක් නැත්නම් එළියට යන්න එපා"). දැනටමත් එතරම් සමාජ විරෝධයකින් තොරව සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අත් අඩංගුවට ලක් වෙමින් තිබීම එම නව සාමාන්‍ය තත්ත්වය පිළිබඳ තවත් දර්ශකයක් විය හැකිය. දැන් මෙරට නිදහසේ ගමන් බිමන් යා හැකි සහ නිදහසේ තම සමාජ ආර්ථික ක්‍රියාකාරකම්වල යෙදිය හැකි සුළුතරයක්ද නිවෙස්වලට කොටුවී දීර්ඝ කාලීන නිරෝධානයක යෙදෙන අති විශාල බහුතරයක්ද ලෙස නව සමාජ විභේදනයක් ගොඩ නැගෙමින් තිබෙන බැව් පෙනේ. මෙය ප්‍රභූත්වය නැවත අර්ථකථනය වීමක් ලෙසද සැලකිය හැකිය. "නිදහස" නමැති වරප්‍රසාදය ලැබුණු පිරිස ඉතාම කාර්යක්ෂම ලෙස නව බලාධිකාරයක් ගොඩ නගා ගැනීම සඳහා වේගයෙන් ක්‍රියාත්මක වෙමින් සිටින ලෙසකි. එම ප්‍රයත්නයට දෘෂ්ටිවාදී ආවරණය සපයන්නේ "අපට සැබවින්ම පාර්ලිමේන්තුවක් අවශ්‍යයද?" යන ප්‍රශ්නය මතු කරමින් සිටින විවිධ ධාරාවල ආණ්ඩු-හිතවාදී බුද්ධිමය ශ්‍රේණීන්ය. අප ඉදිරියේ ඇත්තේ මෙවන් අසුබවාදී පර්යාලෝකයකි. 

නව විශ්වීයවාදයක්  

නමුත්, ගෝලීය දෘෂ්ටියකින් බැලූ කල "අපි එකම බෝට්ටුවේ" යන ප්‍රකාශයෙන් හැඟවෙන සුබවාදී පර්යාලෝකයක්ද ඇත. එනම්, මේ උදාව ඇත්තේ මිනිස් වර්ගයාගේ පැවැත්ම සම්බන්ධ පොදු අනතුරක්ය යන අවබෝධය සහ හැඟීම වර්ධනය කළ හැකි වාතාවරණයක්ද නිර්මාණය වී තිබීමයි. අවසන් සෝවියට් නායකයා වූ මිහයීල් ගොර්බචොෆ්ද මෑතකදී පවසා තිබූ පරිදි මිනිස් වර්ගයාට වත්මන් ආර්ථික මොඩලය සමග ඉදිරියට යාමට නොහැකි බව දැන් අන් කවරදාටත් වඩා හොඳින් පැහැදිලිය. එබැවින්, මිනිස් සමාජය සංවිධානය කළ යුත්තේ කවර මූලධර්ම මතද යන ප්‍රශ්නය දැන් අප සියල්ලන් විසින්ම බරපතල ලෙස යළි සැලකිල්ලට ගත යුතු නිමේෂයක් උදාව ඇත. 

අද අවශ්‍යව ඇත්තේ එම පොදු හැඟීම සංවිධානය කරන දේශපාලනයකි. වසංගතයට පංතිවාදී, ප්‍රභූවාදී, ජාතිවාදී, ආගම්වාදී හෝ ස්වදේශිකවාදී ලෙස මුහුණ දීමේ දේශපාලනය දිශානත වන්නේ ම්ලේච්ජත්වය දෙසට නම්, ගෝලීය මානුෂවාදී සහයෝගීතාවය අවධාරණය කරන නව දේශපාලනය දිශානත වනු ඇත්තේ ශිෂෙකියානු අරුතින් (සීමිත) කොමියුනිස්ට්වාදය දෙසටය. අද අවශ්‍යව ඇත්තේ සාමාන්‍යයෙන් තමන් වාමාංශික යැයි හඳුනා නොගන්නා අයවද ඒත්තු ගැන්විය හැකි ආකාරයේ එවන් ප්‍රායෝගික මානුෂවාදී දේශපාලනයකි; ගෝලීය පොදු සෞඛ්‍ය සේවයක්, ගෝලීය අවම වැටුපක් හෝ ජීවන දීමනාවක්, පරිසර හිතවාදී සංවර්ධන මාවතක් සහ සාධාරණ ආදායම් ප්‍රතිව්‍යාප්තීකරණයක් සහතික කරන දේශපාලනයකි.   

සැබවින්ම මෙම නව ගෝලීය විමුක්තිවාදී දේශපාලනයක් පිළිබඳ අදහස හැඩ ගැසෙන්නට පටන් ගත්තේ මෙතෙක් වාර්තාගත ඉතිහාසයේ ඉහළම ගෝලීය ඌෂ්ණත්වය වාර්තා වූ පසුගිය දශක දෙක තුළදී සිදු වූ කාලගුණ විපර්යාසය පිළිබඳ සංවාදය තුළය. නමුත්, කාලගුණ විපර්යාසයේ අභියෝගය කල් දමමින් පාරිභෝජනවාදයේ ගැලී සිටි මිනිසාව දැන් කොවිඩ් 19 විසින් ප්‍රචණ්ඩ ලෙස අවදි කරවනු ලැබ තිබේ. පරිසර ප්‍රශ්නය මෙන් කොරෝනා වෛරසයේ ප්‍රශ්නය කල් දැමිය නොහැකිය. එය එක්සත් රාජධානියේ වැඩවසම් කිරුළ හිමි කුමරා සහ අග්‍රාමාත්‍යවරයාගේ සිට ඉරාණයේ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා හරහා ඉන්දියාවේ දරිද්‍ර ගොවියා දක්වා සියල්ලන්වම හදිසි තර්ජනයක් හමුවට කැඳවනු ලැබ තිබේ. 

කෙසේ වුවත්, මේ තර්ජනය හමුවේ නව දේශපාලන හැඩ ගැසීමක්ද අපට අපේක්ෂා කළ හැකිය යන්න මගේ අදහසයි. එනම්, එක් පසෙකින් වසංගතයට පංතිමය, ජන වාර්ගිකමය හෝ ස්වදේශිකමය යනාදී වශයෙන් පටු ආකාරයෙන් විසඳුම් යෝජනා කරන දේශපාලනයත්, අනෙක් අතින් එයට මානුෂවාදී සහ විශ්වීය විසඳුම් යෝජනා කරන දේශපාලනයත් අතර පසමිතුරුතාවයි. 

මේ දෙවන දේශපාලන ධාරාව තුළ ප්‍රමුඛ භූමිකාවක් අත් පත් කරගැනීමට වාමාංශික ව්‍යාපාරවලට හැකිය. නමුත්, එසේ කළ හැක්කේ "එකම විසඳුම සමාජවාදය බව දැන් සනාථ වී ඇති බැවින් අපගේ ව්‍යාපාරය සමග එක් වන්නැයි" සියලු දෙනාට උද්යෝගයෙන් ඇරයුම් කිරීම මගින් නොවේ. (එය කලක් තිස්සේ අසාර්ථක වී තිබෙන සූත්‍රයකි). ඒ වෙනුවට පොදු සමාජයට හෙජමොනික ආමන්ත්‍රණයක් කිරීමේ ශක්‍යතාව වාමාංශය විසින් අත්පත් කර ගත යුතුව පවතී. 

මගේ කලින් ලිපිය තුළ ඉදිරිපත් කරන ලද න්‍යායික අදහසක් ඇසුරින් ඉහත කාරණය මදක් පැහැදිලි කරන්නට කැමැත්තෙමි. පසුගිය සතියේදී මා පෙන්වා දුන්නේ වත්මන් අර්බුදය තේරුම් කළ හැක්කේ ධනවාදයේ අභ්‍යන්තරික ප්‍රතිවිරෝධතා අනුසාරයෙන් පමණක් නොවන බවයි. ඊට අමතරව, ධනවාදී සංවර්ධනය සහ ඉන් පරිබාහිර ලෝකය අතර ගොඩ නැගෙමින් පවතින ආතතිය සහ ගැටුමද අද අන් කවරදාටත් වඩා තීව්‍ර අතට හැරී ඇත. සරලව කිවහොත්, මේ සංවර්ධන මොඩලය තවදුරටත් මිහිතලයට දරා ගත නොහැකිය. 

මෙහිදී අප සිහි තබා ගත යුතු කරුණක් නම් කාර්මික ධනවාදය සමග වර්ධනය වූ මෙම අධිපති සංවර්ධන මොඩලයේ බොහෝ අංග "සැබවින්ම පැවති සමාජවාදී රාජ්‍යයන්" විසින්ද බෙදා ගනු ලැබූ බවයි. නමුත්, දැන් එම සැබවින්ම පැවති සමාජවාදයේ අවසන් නායකයා වූ මිහයීල් ගොර්බචොෆ් පවා ප්‍රකාශ කරන පරිදි මිනිස් වර්ගයාගේ පැවැත්ම සඳහා ඉතාම ඉක්මනින් නව ආර්ථික මොඩලයක් වුවමනා වී තිබේ. එම මොඩලය සොබාවික පරිසරයේ පැවැත්ම ගැනත් මිනිසුන් අතර සාධාරණ සම්පත් බෙදී යාම ගැනත් සැලකිලිමත් වන්නක් විය යුතුය. නොඑසේනම්, අප වේගයෙන් ගමන් කරනු ඇත්තේ ධනවාදයේ අවසානයත් සමග සමාජවාදය දෙසට නොව සමස්ත මිනිස් වර්ගයාගේත් ජෛව ගෝලයේත් විනාශය දෙසටය. මේ ස්ලේවෝයී ශිෂෙක් "Living in the End Times" (2010) කෘතියේදී නැවත නැවතත් අවධාරණය කරන පණිවිඩයකි. 

ඒ සමගම මෙය වාමාංශික ව්‍යාපාරවලට හෙජමොනික දේශපාලනයේ නව අවස්ථාවක් විවර වීමක් ලෙසද වටහාගත යුතු බව මගේ අදහසයි. මන්ද යත්, ධනවාදයේ අභ්‍යන්තර ප්‍රතිවිරෝධතාවල ගැටුම විසින් අපව මෙහෙයවනු ලබන්නේ කම්කරු පංතික විමුක්ති අරගලයක් දෙසට වුවත්, ධනවාදී සංවර්ධන මොඩලය ගෝලීය ව්‍යසනයක් කරා ගමන් කිරීමේ යථාර්ථය විසින් අපව මෙහෙයවනු ලබන්නේ වඩා පුළුල් මානවීය විමුක්ති දේශපාලනයක් දෙසටය. ඒ දේශපාලනය තුළ සාමාන්‍යයෙන් කම්කරු පංතික අරගලය සමග අනන්‍ය නොවන නමුත් මානව වර්ගයාගේත් මිහිතලයේත් පැවැත්ම වෙනුවෙන් උනන්දු වන සියලු දෙනාට ඉඩක් ඇත. මින් ඉදිරියට ඇත්තේ එක්කෝ ම්ලේච්ජත්වය දෙසට නැතහොත් කොමියුනිස්ට්වාදය දෙසට යන දෙමගක් යැයි රෝසා ලක්සම්බර්ග්ව උපුටමින් ශිෂෙක් පවසන්නේ මේ අරුතිනි. 

මෙහි අදහස පසමිතුරුතාව අහෝසි වූ නොහොත් වම/දකුණ යන බෙදීම අහෝසි වූ යුගයකට අප ප්‍රවේශ වී සිටින්නේය යන්න නොවේ. තවමත් බලය හොබවන්නේ මිනිස් වර්ගයා ව්‍යසනය කරා රැගෙන යන පුද්ගලික ලාභය මුල් කොටගත් අධිපති සංවර්ධන මොඩලයේ ආරක්ෂකයින්ය. "වෝල් වීදිය අල්ලාගැනීමේ ව්‍යාපාරය" තුළදී කදිමට ගොණු වූ සටන් පාඨයක් ඇසුරින් කිව හොත් වත්මන් දුෂ්ට ආර්ථික මොඩලයේ නියෝජිතයින් වන්නේ 1% වන සුළුතර ධන කුවේරයින්ය; ඔවුනගේ කළමණාකාර ශ්‍රේණීන්, දේශපාලන තන්ත්‍ර සහ දෘෂ්ටිවාදී බලකායන්ද ඊට අයත්ය. එබැවින්, අන්තෝනියෝ ග්‍රාම්ස්චි ජාතික රාජ්‍ය සංධර්භයක සාකච්ජා කළ (ප්‍රති)හෙජමොනික දේශපාලනය පිළිබඳ අදහස අද ගෝලීය වාමාංශික දේශපාලනයට අදාළව යෙදිය හැකිය.                         
ශිෂෙකියානු ආදර්ශය 

මෙම නව වාතාවරණය තුළ විවෘත වූ අවිනිශ්චිතතාවයේ නිමේෂය ග්‍රහණය කර ගන්නට නම්, සාමාන්‍යයෙන් තමන් වාමාංශික යැයි හඳුනා නොගන්නා කොටස්වලටද ඒත්තු යන ආකාරයේ ප්‍රායෝගික විසඳුම් ඉදිරිපත් කිරීමට වාමාංශික ව්‍යාපාර සමත් විය යුතුය. මේ යුගයේ සිදුවීම් පසුපස හඹා යන වේගවත් මනස ලෙස හැඳින්විය හැකි ශිෂෙක් ඔහුගේ "Pandemic!" (2020) කෘතියේදී කරන්නේ එවන් දේශපාලන ක්‍රියාවක් බව මගේ හැඟීමයි. ඔහු එම කෘතියේදී ගෝලීය පොදු සෞඛ්‍ය සේවයක් ගොඩ නැගීම, ලෝක සෞඛ්‍ය සංවිධානයට විධායක බලය ලබා දීම, ජාතික රාජ්‍යයන්ගේ පරමාධිපති බලය සීමා කළ හැකි ආකාරයෙන් ගෝලීය සහයෝගීතාව සහ අන්තර්-බැඳියාව වර්ධනය කිරීම යනාදී නිශ්චිත යෝජනා කිහිපයක් ඉදිරිපත් කරයි. එම යෝජනා පැහැදිලිවම අර්බුදය තුළ හිස එසවිය හැකි දක්ෂිණාංශික ජාතිකවාදී සහ ස්වදේශිකවාදී ප්‍රවණතාවල අභිලාෂයන්ට එරෙහිව යයි. 

එපමණක් නොවේ. ඔහු යුරෝපයේ සහ එක්සත් ජනපදයේ මහජන විඥානය තුළ ස්ථාපිත වී ඇති දේශපාලන ලිබරල්වාදයේ හැඟීම්වලටද ආමන්ත්‍රණය කරන්නට තරම් සූක්ෂ්ම වෙයි. ශිෂෙක් මෙහිදී හංගේරියානු අග්‍රාමාත්‍ය වික්ටර් ඔර්බන්ගේ ප්‍රකාශයක් සංශෝධනය කරමින් පවසන්නේ "කොමියුනිස්ට්වාදීන් යනු ඩිප්ලෝමාවක් සහිත ලිබරලුන්"  බවයි. ආර්ථික ලිබරල්වාදී සරලමතිකයෙකු මෙය වටහාගනු ඇත්තේ ශිෂෙක් දැන් තමන්ටද එකඟ විය හැකි ආකාරයේ චින්තකයෙකු බවට පරිවර්තනය වී ඇති බවයි. නමුත්, ශිෂෙක් ලිබරල් අයිතීන් පිළිබඳව කතා කරන විට අදහස් කරන්නේ කිසිසේත්ම ආර්ථික ලිබරල්වාදී පිළිගැනීම් නොවන බව ඔහුගේ විග්‍රහය සමීපව විමසා බලන විට පැහැදිලි වේ. 

ඔහු "ඩිප්ලෝමාවක් සහිත ලිබරල්වාදියෙකු" යන්නෙන් සැබවින්ම අදහස් කරන්නේ කුමක්ද? ඔහුගේම වචනයෙන් කිව හොත්, "ගෝලීය ධනවාදය අර්බුදයක් කරා ගමන් කරන බැවින් අපට අපගේ නිදහස ආරක්ෂා කර ගත හැක්කේ රැඩිකල් පරිවර්තන ඇති කිරීමෙන් පමණක් බවට දැනුවත්" ලිබරලුන්ය. හොඳයි. ඔහු කියන මේ රැඩිකල් පරිවර්තන මොනවාද? ඒ අන් කිසිවක් නොව (යළිත් ඔහුගේ වචනයෙන්) "නිෂ්පාදනය සහ බෙදා හැරීම වෙළඳපලෙහි ඛණ්ඩාංකවලට පිටතින් සංවිධානය කිරීම" වැනි පරිවර්තනයන්ය. වෙනත් ලෙසකට කිව හොත්, පුද්ගලික ලාභය මගින් මෙහෙයවීමට ලක් නොවන ආකාරයේ ආර්ථිකමය සබඳතාය. මේ කිසිසේත්ම ආර්ථික ලිබරල්වාදීන්ට එකඟ විය හැකි දේ නොවේ. ශිෂෙක් මෙහිදී හඟවන්නේ පුද්ගලික සහ සමාජ නිදහස ඇතුළු මූලික දේශපාලන ලිබරල් අයිතීන් ආරක්ෂා කර ගන්නට නම් දැන් ඔබ ආර්ථික ලිබරල්වාදයේ රාමුවෙන් පිටතට පැමිණිය යුතු බවයි. මෙතැන් පටන් ලිබරල් අයිතීන් ආරක්ෂා කර ගන්නට පවා ඔබ කොමියුනිස්ට්වාදය වෙත හැරිය යුතු බවයි. මෙය වසංගතය විසින් යුරෝපීය සමාජයන් තුළ විවර කරන ලද අවිනිශ්චිතතාවයේ නිමේෂය තුළට කළ කදිම වාමාංශික හෙජමොනික මැදිහත්වීමක් බව මගේ අදහසයි. 

සරලව, වම කළ යුත්තේ "අප පවසමින් සිටි දේ සනාථ වූවා" වැනි උඩඟු ප්‍රවේශයකින් සෙසු සමාජ කොටස්වලට ඇරයුම් කිරීම නොවේ. මින් ඉදිරියට මූලික ලිබරල් සහ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් ආරක්ෂා කර ගන්නට (සහ දිනා ගන්නට) පවා අවම සහ ප්‍රායෝගික "කොමියුනිස්ට්" ක්‍රියාමාර්ග අවශ්‍ය බව ඔවුනට පෙන්වා දීමයි. එසේම මෙතෙක් තමන්ට සවන් නොදුන් පිරිස්වලටද ඒත්තු යන ආකාරයෙන් එවන් ප්‍රායෝගික විසඳුම් ඉදිරිපත් කිරීමයි. වමේ මහජන බුද්ධිමතෙකු ලෙස ඔහුගේ සීමාවන් තුළ හිඳිමින් ශිෂෙක් දී ඇති ආදර්ශය එයයි. 

ලිබරල් අයිතීන් සහ ප්‍රබුද්ධත්ව උරුමය

අවසන් වශයෙන්, දේශපාලන ලිබරල් අයිතීන්වල වැදගත්කම මේ මොහොතේදී අවධාරණය කරන්නට අවශ්‍යව ඇත්තේ මන්දැයි මදක් පැහැදිලි කළ යුතු බැව් හැඟේ. ලිබරල් පුද්ගලවාදයේ සේම ලිබරල්වාදී දේශපාලන න්‍යායන්ගේද ප්‍රබල විවේචකයෙකු වන ශිෂෙක් පවා දැන් යුරෝපීය ලිබරල් පොදු ජන අවබෝධයට (common sense) ආමන්ත්‍රණය කරමින් සිටින්නේ මන්ද? (මෑතකදී කරුණාරත්න පරණවිතාන මහතා විමසා තිබූ ප්‍රශ්නයක් නම් "අප ලිබරල්වාදය ගැන ගුණ කථනයක් හෝ පැවැත්වීමෙන් තොරව එයට මිය යන්නට ඉඩ දෙනවාද?" යන්නයි. ජාතිකවාදී දේශපාලනය සමග සමීප සම්බන්ධයක් ඇති ඔහු එවන් ප්‍රශ්නයක් විමසීම කැපී පෙනේ. කෙසේ වුවත් එය වලංගු ප්‍රශ්නයකි). මගේ අදහස නම් දේශපාලන ලිබරල් අයිතීන්ට කුමන ආකාරයකින් වුවත් සමු දීම යනු අපගේ සාමූහික පැවැත්ම සම්බන්ධයෙන් ගත් කල ඉතාම භයංකර වූවක් බවයි. පුද්ගලික සහ සමාජ නිදහස පිළිබඳ පිළිගැනීමක් නොමැති, මානව අයිතීන් පිළිබඳ හැඟීමක් නොමැති සමාජයක ජීවත් වීම කෙබඳු විය හැකිද?  කෙනෙකුට ලිබරල් පිළිගැනීම් විවේචනය කිරීම වුවත් කළ හැක්කේ ලිබරල් අයිතීන් ආරක්ෂා වූ සමාජයක් තුළය.

ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන්ද කිව යුත්තේ එයයි. "මහජන සෞඛ්‍යය" යනුම ප්‍රජාතාන්ත්‍රික විප්ලවයේ සුවිසල් නිමැවුමකි. ප්‍රජාතාන්ත්‍රික විප්ලවයට පෙර යුගවල මිනිස් සමාජයන් වසංගතවලට මුහුණ දුන්නේ කෙසේදැයි විමසුව හොත් ඔබ ඉදිරියේ මැවෙනු ඇත්තේ  දාහතර වන සියවසේ "කළු මරණ" වසංගතයේදී මග දෙපස මිනිසුන් මිය යමින් සිටි දර්ශනය වැන්නකි.

කෙසේ වුවත්, දැන් ප්‍රබුද්ධත්ව ව්‍යාපෘතියේ උරුමයන් වූ ලිබරල් අයිතීන් මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයද අන් කවරදාටත් වඩා ප්‍රබල අනතුරකට මුහුණ පා තිබේ. ඊට බලපෑ දීර්ඝ කාලීන ව්‍යුහාත්මක සාධක පවතින අතරම ආසන්න දේශපාලනික සාධක කිහිපයක්ද හඳුනාගත හැකිය. ඒ කිහිපයක් නම්;

(1) අන්ත-දක්ෂිණාංශික ජාතිකවාදයේ නැගීම 
(2) ලිබරල් ජාත්‍යන්තර පර්යායේ බිඳ වැටීම 
(3) චීනය ප්‍රමුඛ අධිකාරිවාදී ධනවාදයේ වර්ධනය 
(4) යුරෝපා සංගමයේ අර්බුදය
(5) තුසිඩිඩීස් උගුල     
(5) කොරෝනා වසංගතය හමුවේ රාජ්‍යය, සමාජය සහ පුද්ගලයා අතර සම්බන්ධය පරිවර්තනයට ලක් වීම 

ඉහත එක් එක් සාධකය ඉදිරියේදී වෙන වෙනම විශ්ලේෂණයට ලක් කිරීමට තරම් පුළුල්ය. මේ ලිපි පෙළේ ඉදිරි කොටස්වලදී එවන් විශ්ලේෂණ පෙළක් ඉදිරිපත් කිරීමට මම අපේක්ෂා කරමි. මීට අමතරව ශ්‍රී ලංකාවේ ලිබරල් සහ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් තර්ජනයට ලක් වීමේ සුවිශේෂී තත්ත්වයන්ද විමසා බැලීමට මේ ලිපි පෙළ යොමු වනු ඇත. 

අප මේ ජීවත් වන්නේ කොරෝනා වසංගතයේ සංධර්භය තුළ මෙරට ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අඩු වැඩි වශයෙන් අකර්මණ්‍ය වී ඇති නමුත් විධායකය අතෙහි වඩ වඩාත් බලය සංකේන්ද්‍රණය වෙමින් පවත්නා කාල පරිච්ජේදයක් තුළය. මේ ආණ්ඩුව අත්හිටුවා ඇති හදිසි තත්ත්වයක් තුළ ක්‍රම ක්‍රමයෙන් පාලනාධිකාරයක් නිර්මාණය වෙමින් පවත්නා කාලයක් යැයිද කිව හැකිය. ඉදිරියේදී බොහෝ විට ආණ්ඩුවක් නිර්මාණය වනු ඇති නමුත් දැන් හැඩ ගැසෙමින් පවත්නා පාලනාධිකාරය ඒ සමග අහෝසි වී යනු ඇතැයි සිතිය නොහැකිය. ඒ අනුව, ලිබරල් සහ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් පිළිබඳ කාරණය අප රටේද ළඟ අනාගතයේ කේන්ද්‍රීය දේශපාලන ගැටළුවක් වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. 

ගෝලීය දේශපාලනයේ නව හැඩ ගැසීම් පිළිබඳ පුළුල් චිත්‍රය මත පිහිටුවා ලාංකීය දේශපාලනයට අදාළ එම සුවිශේෂී ගැටළු විමසා බලන්නට මම ඉදිරියේදී ප්‍රයත්න දරමි. 

-  සුමිත් චාමින්ද     

Comments