Sathjana 2020.

Sathjana 2020.
SJB ප්‍රවෘත්ති සදහා මෙම ඛේතය "ක්ලික්" කරන්න.

මැතිවරණ කොමිසම නීතිය වරදවා වටහාගෙන ද?


ජ්‍යේෂ්ඨ නීතිඥ ජනක එදිරිසිංහ මහතා විසින් 2020.05.14 දාතම යටතේ මැතිවරණ කොමිසමේ කොමසාරිස්වරු තිදෙනා අමතමින් විශේෂ ලිපියක් ඉදිරිපත් කර තිබේ. 2020 පාර්ලිමේන්තු මැතිවරණය ව්‍යවස්ථාමය අර්බුදයකට නොයනු පිණිස නීතිය ලෙස ආරම්භ කර ඇති එම ලිපිය මගින් මැතිවරණ නීතියේ සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති නීතිමය කරුණු පිළිබඳව වරදවා වටහා ගැනීමක් නිසා මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදන දෙකක් මගින් මෙම අර්බුදය සඳහා මග පාදා ඇති බව පෙන්වා දෙයි.

වැරදුනු ගැසට් නිවේදන දෙක

ඒ අනුව නීතිඥ ජනක එදිරිසිංහ මහතා විසින් එම ලිපියේ දක්වන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් සහ 1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතින් ලැබී ඇති බලතල ප්‍රකාරව යයි සඳහන් කරමින් 2020.03.21 දිනැති හා අංක 2167/19 දරණ හා 2020.04.20 දිනැති හා අංක 2172/3 දරණ ගැසට් නිවේදන මෙලෙස කරුණු වරදවා වටහා ගැනීම නිසා මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදන වේ.

වැඩිදුරටත් නීතිඥ ජනක එදිරිසිංහ මහතා පෙන්වා දෙන පරිදි මැතිවරණ පනතේ 24(3) උපවගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරවා හරින ලද ගැසට් නිවේදනයේ සඳහන් මැතිවරණ දිනය වෙනස් කරමින් නව දිනයක් නම් කිරීම සඳහා මැතිවරණ කොමිසමට බලය පැවරෙන්නේ කොමිසම විසින් මැතිවරණ පනතේ 24(1) උපවගන්තියේ කරනු සම්පූර්ණ කර ඇත්නම් පමණි.

නීතිමය තත්ත්වය

ඒ අනුව 24(1) උපවගන්තිය සහ 1988 අංක 15 දරණ පාර්ලිමේන්තු මැතිවරණ සංශෝධන පනත අනුව ජනාධිපතිවරයා නිකුත් කරන ලද විසුරුවා හැරීමේ ගැසට් නිවේදනයට පසුව මැතිවරණ කොමිසම විසින් මැතිවරණ කොට්ඨාශ සඳහා ඒ ඒ ප්‍රදේශ අනුබද්ධව තේරීම්භාර නිළධාරීන් විසින් පිළිගත් දේශපාලන පක්ෂ කණ්ඩායම් වෙනකොට ඔබ වෙත අනෙකුත් කරුණුද සහිතව වාර්තා කලවිට;

a.       දේශපාලන පක්ෂ හා කණ්ඩායම් දක්වමින් ද

b.      සිංහල ආකරාදී පිළිවෙලට අපේක්ෂකයින්ගේ නම් හා අංක දක්වමින් ද

c.       10 වෙනි වගන්තිය ප්‍රකාරව අතිගරු ජනාධිපතිවරයා විසින් නියම කරන ලද ඡන්ද විමසීමේ දිනය දක්වමින් ද

d.      මැතිවරණ ඡන්ද පොළවල් සහ විශේෂ ඡන්ද පොළවල් දක්වමින් ද

ගැසට් නිවේදනයක් නිකුත් කල යුතු වේ.

කිසියම් තත්ත්වයක් යටතේ මැතිවරණය අදාළ දිනයේ දී පැවැත්වීමට නොහැකි නම් මැතිවරණ කොමිසම විසින් 24(1) උපවගන්තිය යටතේ නිකුත් කරන ලද ඉහත අවශ්‍යතා සම්පූර්ණ කරන ලද ගැසට් නිවේදනයේ සඳහන් දිනය වෙනස් කිරීම සඳහා නැවත ප්‍රකාශනයක් කිරීමට 24(3) උපවගන්තිය මගින් ඉඩ සලසා තිබේ.

නීතිඥ ජනක එදිරිසිංහ මහතා පෙන්වා දෙන්නේ මැතිවරණ කොමිසම 24(1) උපවගන්තිය යටතේ වන ඉහත අවශ්‍යතා දක්වන ගැසට් නිවේදනය නිකුත් නොකර ඇති පසුබිමක සෘජුවම 24(3) වගන්තියේ බලය වරදවා වටහා ගනිමින් අතිගරු ජනාධිපතිතුමන් විසින් සිය විධායක බලතල ප්‍රකාරව නිකුත් කරන ලද ගැසට් නිවේදනයේ සඳහන් දිනය වෙනස් කිරීම සඳහා 2020.03.21 දිනැති අංක 2167/19 දරණ ගැසට් නිවේදනය මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇති බවත් එය සම්පූර්ණයෙන්ම නීතියට අනනුකූල වන බවත් ය. ඔහු විසින් වැඩිදුරටත් දක්වන පරිදි එය එම අවස්ථාවේ වසංගත තත්ත්වය පැතිරීම සලකා මැතිවරණය ක්‍රියාවට නැංවීමට නොහැකි නිසා සත්භාවයෙන් සිදුකරන ලද ක්‍රියාවක් වුවත් එය නීතිය වරදවා වටහා ගැනීමෙන් සිදු වූවක් නිසා වර්තමානයේ පවතින ව්‍යවස්ථාමය පසු අර්බුද සඳහා මග පාදා ඇත.

විසඳුම කුමක් ද?

මේ වනවිට මහ මැතිවරණය අරඹයා ඇතිව තිබෙන ව්‍යවස්ථාමය අර්බුදය සම්පූර්ණයෙන්ම මැතිවරණ කොමිසමේ වැරදි ගැසට් නිවේදන දෙකක් නිසා ඇතිව තිබෙන බව පෙන්වා දෙන නීතිඥ ජනක එදිරිසිංහ අදාළ ලිපිය මගින් අවධාරණය කරන්නේ කොමිසම විසින් කල යුතුව තිබුනේ නාම යෝජනා භාර ගැනීමෙන් අනතුරුව කිසිවෙකුට පාලනය කල නොහැකි Covid 19 වසංගත තත්ත්වය නිසා මැතිවරණය අදාළ දිනයේ පැවැත්වීමට නොහැකි බව ජනාධිපතිවරයාට දන්වා යැවීම පමණක් වන බවත් එයට අනුව අවශ්‍ය නම් ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසා සුදුසු පියවර ගැනීම ජනාධිපතිවරයාට අයත් කාර්යයක් වන බවත් ය. ඒ සඳහා ජනාධිපතිවරයාට කිසිවෙකුගේ නිර්දේශ අවශ්‍ය නොවන අතර ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීම හුදෙක් ඔහුගේ අභිමතය පරිදි සිදුකල හැකි ක්‍රියාවක් බවත් ය.

එමනිසා ඇතිව තිබෙන අර්බුදය සඳහා හේතුවී ඇති ගැසට් නිවේදනය දෙක අවලංගු කරමින් නැවත ප්‍රකාශනයක් ගැසට් කිරීම මේ මොහොතේ මැතිවරණ කොමිසමේ වගකීම බැවින් එය ඉටු කරන ලෙස මැතිවරණ කොමිසමට යවන ලද ලිපියෙන් අවසාන වශයෙන් නීතිඥ ජනක එදිරිසිංහ මහතා විසින් ඉල්ලීමක් කර ඇත.

අකලංක හෙට්ටිආරච්චි



Comments