Sathjana 2020.

Sathjana 2020.
SJB ප්‍රවෘත්ති සදහා මෙම ඛේතය "ක්ලික්" කරන්න.

"හුස්ම ගන්න දෙන්න !"


මේ මොහොතේ මුළු මහත් ඇමෙරිකාවම විරෝධතා යුධ පිටියක්‌ බවට පරිවර්තනය වී තිබේ. ප්‍රාන්තයක්-ප්‍රාන්තයක් පාසා, නගරයක් - නගරයක් පාසා සාමාන්‍ය ජනතාව කෝවිඩ් උවදුරේ භීතිය පසෙකට වීසිකොට දමා මහා මාර්ග වෙත පිවිස ඇත්තේ සිය ජීවිත සඳහා ඇති වෛරස අවධානම පා දුහුවිල්ලක් තරමටවත් මායිම් නොකරමිනි. ඒ, මීට දින හතරකට පෙර ඇමෙරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ  මිනියැපලස් (Minneapolis city) නගරයේ සිදුවූ, ජෝර්ජ්‍ ෆලෝයිඩ් නම් 46 හැවිරිදි කළු ජාතිකයාගේ ඝාතනයත් සමග මුලදී මිනියැපලස් නගරයෙන් ඇරඹී විරෝධතා උද්ඝෝෂණය මේ වනවිට නිව්යෝර්ක්, ඩැලස්‌, වොෂින්ටන් ඇතුළු ප්‍රාන්ත රාශියක් දක්වා පැතිරයමින් මුළුමහත් ඇමරිකාව පුරා විරෝධතා රැල්ලක්‌ බවට පරිවර්තනය වී තිබේ. එය තවදුරටත් කොතෙක් දුර පැතිරෙමින් පවතින්නේද යන්න සිතාගත නොහැකි මට්ටමකින් කළු ජාතිකයින් සේම වෙනත් සුළු ජාතීන්ද ඊට සහාය පළකරමින්, පොලීස් වාහන ඇතුළු වෙනත් දේපල හානිකිරිමි සිදුවන තත්වයක්‌ දක්වා දිග්ගැස්සෙමින් පවතියි. මෙකී තත්වය මර්ධනය කිරීම පරමාර්ථකොටගනිමින් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රකාශයක් නිකුත්කරමින් පවසා ඇත්තේ, වෙළෙඳ සැල් තුලට කඩාවැදී තවදුරටත් සිවිල් ත්‍රස්ථවාදයක් දක්වා මෙය ව්‍යාප්ත වුවහොත්, මීට වඩා තදින් පොලීස් බලය යෙදවීමට තම රජයට සිදුවන බවයි. නමුත් ඒ කිසිඳු රාජ්‍ය අණක්‌ නොතකා දිගින් දිගටම වීථි බසින කළු ජාතිකයින් හිත් - පිත්  නැතිලෙස ඝාතනයට ලක්‌කළ තම ඇෆ්රෝ ඇමෙරිකන් සගයා වෙනුවෙන් දිවි නොතකා සටනට බසිනු පෙනේ.

මීට පෙරත් මෙවැනි තීරනාත්මක කළු ජාතික ඝාතන දෙකක් මෑත ඉතිහාසයේ ඇමෙරිකාව තුළ පොලීස් බලය ඉක්මවීමෙන් සිදුවූ නිසා මේ අවස්ථාව එහි ඉදිරි පියවරක්‌ ලෙසින් පෙර අවස්ථා දෙකටත් එහා ගිය කැරැල්ළක්‌ බවට සුළු ජාතික ප්‍රජාව පරිවර්ථනයකොට තිබේ. 2014 දී නිව්යෝක්‌ නගරයේ සිදුවූ  එරික් ගානර් ඝාතනයත්, ඊට ටික කළකට ඉහතදී සිදුවූ මයිකල් බ්‍රවුන් ඝාතනයත් මෙලෙසින්ම කළු ජාතිකයින්ට එරෙහි රාජ්‍ය ත්‍රස්තවාදය ලෙසින් පමණක් නොව, සුළු ජාතිකයින්ට එරෙහි මහාජාතින්ගේ සිවිල් ත්‍රස්තවාදයක් ලෙසත්  උද්ඝෝෂකයින් සලකති. මේ වෙනුවෙන් අදහස් දක්වන "Black lives matter movement" හෙවත් "කල්ළන්ගේ ජිවිත අගය" නම් සංවිධානයේ  සටන්කරුවන් ප්‍රකාශ කරන්නේ, අනාදිමත් කාලයක සිට මෙසේ සුළු ජාතීන් මැඩපැවැත්වීමේ මානසිකත්වය සමග සුදු ජාතීන් ක්‍රියාකළ බවත්, ඔවුන්ගේ එම අධිපති මානසිකත්වය 21 වෙනි සියවස දක්වාම ඔවුන් කර මතින් ඉදිරියට රැගෙනවිත් ඇතිබවත්ය. ඒ අනුව, පිටස්තර ලෝකයට නිරාවරණය වන මට්ටමට මෙවන් බහුතරයක් මානව අයිතීන්ට එරෙහි සිදුවීම් ගමන් නොකළත්,  වසරක් පාසාම ප්‍රසිද්ධියේ හා අප්‍රසිද්ධියේ මෙසේ කල්ළන් ඇමෙරිකාව තුල ඝාතනය වන බවයි. එහෙත්, මෙලෙස ඔප්පුකරගත හැකි සාධනීය සාක්ෂි අඩු කමින් එකී ඝාතන කිසිවක් නීතිය හමුවට හෝ බාහිර ලෝකය හමුවට පැමිණෙන්නේ නැති බව ඔවුන් වැඩිදුරටත් කියා සිටියි. එනිසාම ඔවුන් පවසන්නේ මේ සිදුවීම ජලයෙහි ගිලුණු විශාල අයිස් ශිඛරයක මතුපිටට  දිස්වන තුඩ පමණක් බවයි. තවද මිනියපෝලිස් හී නගරාධිපතිවරයා වු ජාකොබ් ෆ්‍රේ පවසන්නේද ඇමෙරිකාවේ "කළු ජාතිකයෙකු වීම" මරණ දණ්ඩනයට හේතුවක් විය නොයුතු බවයි. (Being black in America should not be a death sentence)

වහල් යුගයේ පටන් කළු ජාතිකයින් පිළිබඳ සුදු ජාතිකයින් තුළ පැලපදියම් වු පහත් කොට සැලකීමේ මානසිකත්වය හෙවත් කල්ලන් දෙවන පංතියේ පුරවැසියන්ය (second class citizens) යන ආකල්පය බිඳ දමන්නට දිවිහිමියෙන් ඇමරිකන් භූමියේ සටන් වැදුනු, ජේෂ්ඨ මාටින් ලූතර් කිං (Martin Luther King Sr- 1899) සිට කනිෂ්ඨ මාටින් ලුතර් කිං (Martin Luther King Jr -1955)  දක්වා, මෙකී සටනේ වගකීම නොබිඳී පවත්වාගත් අතර, එම  සටනට සාමාන්‍ය සිවිල් වැසියන්ගේ දායකත්වය එකතු කිරීමේ ගෞරවය දිනාගන්නේ 1955 දෙසැම්බර් 1 දා සටනට අනපේක්‍ෂිත ලෙස පිවිසි රෝසා පාර්ක්ස් විසිනි. අඩු - වැඩි සහිතව කවුරුත් පාහේ දන්නා මෙකී ප්‍රකට සිද්ධියේදී, සාමාන්‍ය සිවිල් පුරවැසියෙකු වු රෝසා පාර්ක්ස් නැමැති කාන්තාව විසින්  බස්රථයේ තමන් හිඳ සිටි අසුන සුදු ජාතිකකුට පිරිනැමීම ප්‍රතික්ෂේප කළ මොහොතේ ඇතිවු උණුසුම්කාරී තත්වය අධිකරණය දක්වා ගමන්ගත් සිදුවීමක් බවට පත්වීමෙන් මෙකී ඓතිහාසික සටනට අළුත් මුහුණුවරක් එක්වනු ලැබීය. ඒ කළු ජාතික දේශපාලන නායකයින් පමණක් නොව සාමාන්‍ය පුරවැසියන්ගේ ශක්තිය මුල්පෙළ සටනට එකතුවීමෙනි. මෙකී සියලු ඉතිහාසය කාරණා වර්තමාන තත්වය දක්වා ගමන්ගනිමින් සුදු ජාතීක ආධිපත්‍ය තවදුරටත් (White supremacy) මානව හිමිකම් ගැන ඉහලින් කතාකරන ඇමෙරිකාව තුළ රජ කිරීම සුළු ජාතීන්ගේ බලවත් අප්‍රසාදයට හා දැඩි කලකිරීමට හේතු වී තිබේ. ඇමෙරිකානු අධිකරණ සංකිර්නයක්  (American Justice Center) ඉදිරිපිට විරෝධතාවයක නිරත විරෝධතාකරුවන්  පිරිසක් විසින් තම සටන් පාඨය ලෙස හඬගා කියන්නේ "සුද්දන්ගේ නිහඬතාවයම  ප්‍රචණ්ඩත්වයයි"  "(White silence is violence) යන්නයි.

පෙර සිද්ධීන් හී මෙන්ම වර්තමාන සිද්ධියේදීද සිදුවූ මානව හිමිකම් කඩවීමට එරෙහිව සටනට එකතුවීම ඇමෙරිකානු සුදු ජාතීන් ප්‍රතික්ෂේප කොට තිබීම මෙකී කලකිරීමට හා කෝපයට මුල්වී තිබේ. මන්දයත්, පොදුවේ ගත්කල සමාජයේ සීදුවන ඕනෑම අයිතිවාසිකම් උල්ලංගනයකදී උස් - පහත්කම් නොතකා ඕනෑම මනුෂ්‍යයෙක් වැරද්දකට එරෙහිව පෙළගැසීම සාමාන්‍ය සම්ප්‍රදාය වුවත් මේ මොහොතේ කළු ජාතිකයෙකු පීඩිතයා බවට පත්වී සුදු ජාතිකයින් සතරදෙනෙක් (පොලීස්බටයින්) පීඩකයින් බවට පත්ව සිටීම නිසා,  සුළු ජාතික අයිතීන් වෙනුවෙන් තමන් හුදෙකලාවීම පිළිබද කළු ජාතිකයින් තුළ වන්නාවූ කෝපය, කලකිරීම හා පිළිකුල ආවේගයක් දක්වා වර්ධනයවීමට මෙසේ හේතු වී තිබේ. ඒ නිසාම  ඔවුන් මෙවර ඔවුන්ගේ විරෝධතාවන් හී සටන්පාඨය බවට පත්කරගන්නේ ජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ මරණාසන්න අයැදීමයි. එය ජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ හඬ පමණක් නොව සමස්ථ සුළු ජාතිකන්ගේ මරණාසන්න ආයාචනය ලෙස ඔවුන් හඳුන්වා දෙති. ඒ, හඬ අන්කිසිවක් නොව,

"මට හුස්ම ගන්න බෑ"
(I can't breathe) යන්නයි.

මෙකී ඇමෙරිකානු අත්දැකීම අපටද ආගන්තුක නොවූ,  බොහෝ සමීප අත්දැකීමක්‌ වන්නේ, මෙරට පැවති දරුණු වර්ගවාදී ගැටුම් සියල්ල පසුපස ඒ ඒ ජාතීන් හෝ ඒ ඒ ජනවර්ග වෙන් වෙන්ව පිල්බෙදී තමාගේ වර්ගයට පක්‍ෂපාතවත්, අනෙකා සම්බන්දයෙන් විරුද්ධවාදීවත් ක්‍රියාකිරීම කැපී පෙනුන ලක්ෂණයක් වු නිසාය. මෙහිදී "වර්ගවාදය" නම් මානසිකත්වය වෙනුවෙන් එතෙක් තම අසල්වැසියා හෝ සගයා හෝ මිත්‍රයා ලෙස සමීපව සිටි අනෙකා, තමාට කිසිඳු වරදක් නොකරම ක්‍ෂනයකින් තම පරම හතුරා බවට පරිවර්තනය වන්නේ කෙසේද යන ගැටළුව අප සැම ඉදිරියේ පවතියි. තමන්ට පෞද්ගලිකත්ව සමීප නොවූ බාහිර බලවේගයක් විසින් තම පෞද්ගලික මායිම අතික්‍රමනය කරමින්,  තමා වටා - තමා සමග එතෙක් ජීවිතය බෙදා හදාගත් සියළු පෞද්ගලික සමාගම් තමන් වෙතින් උදුරාගනිමින්, "තමා" යන පුද්ගලයා තවදුරටත් ස්වීය පුද්ගල ජීවියෙක් නොවන අතර (not an individual) "තමා" යන පුද්ගලයා කිසියම් පද්ධතියක කොටසක්‌ පමණක් වේය යන අනතුරු ඇඟවීම අප වෙත කරනුලබයි. ඒ මත මෙහෙයවන ඒකල පුද්ගලයා හෙවත් ස්වාධින මිනිසා, විශාල යාන්ත්‍රණක හෙවත් පද්ධතියක කුඩා ඇන මුරිච්චියක් බවට පත්වීම අතික්‍රමණය කළ නොහැකි යතාර්ථයක්‌ බවට අවසානයේ පත්වේ. ඒ මොහොතේ පටන්, ඔහු හෝ ඇය ජාතිකත්වය හෝ වර්ගවාදය නැමැති පොදු අරමුණට සේවය කරන මෝහනයකටපත්  වහලෙකු බවට පත්වන්නේ නිරායාසයෙනි. එතැන් මතු ඔහුට හෝ ඇයට එකී මෝහනයෙන් මිදීමට ඉඩක් නොලැබෙන අතර, දිගින් දිගටම පරම්පරාවෙන් පරම්පරාව මෙකී මනෝභාවය නොබිඳී පවත්වාගෙන යාමේ  භාරධුර වගකීම ඔහු / ඇය අතට ගන්නේ එය තමා සතු ගෞරවනීය වගකීමක්කොට සලකමිනි.

ඒ අනුව ඇමෙරිකාවේ හෝ වේවා වෙනත් ලෝකයේ ඕනෑම භූමිබාගයක මෙකී වර්ගවාදී මනෝනිද්‍රාව තුළ මිනිසුන් සුවසේ ගිලී හිඳීම තුළ ජාතීන්ලෙසත්, වර්ගලෙසත්, ගෝත්‍ර ලෙසත්, කුළකලෙසත් සේම කණ්ඩායම්ලෙසත් ඛණ්ඩනය වු මිනිසුන් අනෙකා බිම හෙලන්නට, අනෙකා ප්‍රතික්ෂේප කරන්නට, අනෙකා සැකකරන්නට සේම අනෙකා විනාශ කරන්නට අවි අමෝරාගන්නේ එය තම ආත්මීය වගකීමක්,  නැතහොත් ශුද්ධ අයිතියක්‌ සේ භක්තියෙන් වැලඳගනිමිනි. අවාසනාවකට එවැනි මිනිසෙකුට තමා මේ නොවටිනා සටනකට එළඹ සිටින්නේ තම තනි නොතනියට, තම සහායට, තම ගැලවුමට තමන් අසළ සිටින අනෙකා සමග බව නොතේරීම හා එසේ නොතේරෙන සේ මනස් සකස් කිරීමට මුල්වු තත්වයන් වටහාගන්නේ නැත. එනිසා, මේ ඕපපාතිකව වු වැරද්දක්‌ නිසා නොව, තීරණාත්මක දේශපාලන මුළයන් හේතුවෙන් ස්ථාපනයකරනලද සැලැස්මක ප්‍රතිපලක්‌ බව වටහාගන්නටද බහුතරයකට නොහැකි වී තිබේ. එය "නොහැකි වී තිබේ" යනුවෙන් හඳුන්වාට වඩා, "නොහැකිකොට තිබේ" යනුවෙන් හැන්දින්විම වඩා ප්‍රායෝගිකවේ. එසේම, වඩා දේශපාලනික වේ. 

- ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද 

Understanding unrest in America

Violent protests break out in downtown Cleveland

Protests over George Floyd death escalate in Los Angeles

Comments