Sathjana 2020.

Sathjana 2020.
SJB ප්‍රවෘත්ති සදහා මෙම ඛේතය "ක්ලික්" කරන්න.

කොරෝනා අර්බුදය සහ සමාප්ත කාලය - පළමු කොටස -


"සියලු ඝන වූ ගතානුගතිකත්වයන් වාෂ්ප වී යයි; සියලු ගතානුගතික ශුද්ධත්වයන් කෙළෙසී යයි"

"සියලු ඝන වූ දේ වාෂ්ප වී යයි; සියලු ශුද්ධ වූ දේ කෙළෙසී යයි." මාක්ස් මෙලෙස පැවසුවේ කාර්මික විප්ලවය හමුවේ වේගයෙන් පරිවර්තනයට ලක් වෙමින් පැවති යුරෝපීය සමාජවලට අදාළවය. කොමියුනිස්ට් ප්‍රකාශනයේ මුල් පිටු කිහිපය කාර්මික ධනවාදය විසින් මානව සමාජය විප්ලවීය පරිවර්තනයකට ලක් කෙරෙමින් තිබූ ආකාරය ගැන කාව්‍යමය වර්ණනාවක් වැන්න. එතෙක් කලක් කෙළෙසකවත් බිඳ නොවැටෙනු ඇතැයි දක්නා ලද දේ වේගයෙන් කඩා වැටී අතීතයට එක් වන අයුරු නැගී එන ධනවාදය පිළිබඳව මාක්ස් ලියූ සටහන් කියවන විට අප සිත් තුළ මැවී පෙනෙයි. එක් අතකින් අපද මේ ගත කරන්නේ මෙතෙක් කලක් ඉතාම ශක්තිමත් සහ ස්ථාවර යැයි අප හමුවේ පෙනී සිටි මහා ව්‍යුහයන් තර්ජනයට ලක්ව තිබෙන කාල වකවානුවකි. 

බහු-විධ අර්බුද 
අර්බුදය ආරම්භ වූවා පමණි. කොරෝනා වසංගතය පසුපස නොවරදවාම එනු ඇති සමාජ ආර්ථික සහ දේශපාලනික අර්බුද මාලාව කවර ස්වරූපයක් ගනු ඇත්දැයි අප කිසිවෙකුත් තවමත් දන්නේ නැත. බොහෝ විට කොරෝනාවට වඩා දරුණු සහ තීව්‍ර වනු ඇත්තේ එම අර්බුද මාලාවයි. යානීස් වරූෆකීස් ප්‍රකාශ කරන ආකාරයට කොරෝනා අර්බුදයේ ආර්ථික ගම්‍යතා සැසඳිය හැක්කේ 2007-2009 මූල්‍ය අර්බුදය සමග නොව 1929 මහා ආර්ථික අවපාතය සමගය. 
මහා අවපාතය ඇරඹී වසර තුනක් යන විට එක්සත් ජනපදයේ ජනාධිපති රූස්වෙල්ට් හට ආර්ථික ලිබරල්වාදයේ ගතානුගතික මාර්ගයෙන් පිට පැන "නිව් ඩීල්" වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්නට සිදු විය. (මීට සමාන්තරව ජෝන් මේනාඩ් කේන්ස් සම්භාව්‍ය ලිබරල් ආර්ථික විද්‍යාවේ ඉගැන්වීම් වෙනුවට අසම්ප්‍රදායික සුබසාධක ධනවාදී දහමක් යෝජනා කළේය). හරියටම ඉන් වසරකට පසුව ජර්මනියේ වයිමර් ජනරජය බිඳ වැටී හිට්ලර් බලයට පත් විය. එතැන් පටන් දෙවන යුරෝපීය යුද්ධයට තිබුණේ තවත් වසර හයක කාලයක් පමණි. 
මට කියන්නට අවශ්‍ය වන්නේ ඉතිහාසය යළිත් එවන් මගක් ගැනීමට අනිවාර්යයෙන්ම නියමිතව තිබෙන බව නොවේ. ඉතිහාසය දැන් අන් කවරදාටත් වඩා විවෘත බව පමණි. මගේ අවධාරණය වන්නේ මහා ආර්ථික සහ සමාජ අර්බුදයක් හමුවේ එතෙක් ස්ථාවර යැයි සැලකුණු දේශපාලන සංස්ථා, ආයතන සහ පිළිගැනීම් කොතරම් වේගවත් සහ නාට්‍යානුසාරී ආකාරයෙන් බිඳ වැටිය හැකිදැයි  යන්නය.          
අර්බුද යුගයකදී දේවල් සිදු වන්නේ නොසිතූ විරූ තරම් වේගයෙනි. 1989 බර්ලින් තාප්පය බිඳ වැටීමෙන් පසුව නැගෙනහිර යුරෝපයේ උදා වූ දේශපාලන පෙරළි අතරතුරදී පෝලන්තයේ සහයෝගීතා ව්‍යාපාරයේ නායක ලේක් වැලේසා මෙලෙස පැවසීය; "දේවල් සිදු වන්නේ කොතරම් වේගයෙන්ද යත් අපට විස්මයට පත් වීමට පවා වෙලාවක් නොමැත." බොහෝ විට ඉදිරියේදී උදා වන වසර කිහිපය අපටද විස්මයට පත් වීමට වෙලාවක් ඉතිරි නොකරනු ඇත. කොරෝනා වසංගතයේ ව්‍යසනකාරී ප්‍රහාරය ඉදිරියේ "සිදුවීම් පසුපස වේගයෙන් හඹා යන මනස" නොහොත් ස්ලේවෝයී ශිෂෙක් ඉතාම පැහැදිලිව පවසන පරිදි මේ දීර්ඝ නිරෝධායන කාල පරිච්ජේදයෙන් පසුව අපට යළිත් අපගේ සුපුරුදු "සාමාන්‍ය තත්ත්වය" කරා යන්නට නොලැබෙනු ඇත. අප ඇතුල් වනු ඇත්තේ නව යථාර්තයකටය. 

ධනවාදය සහ එහි පරිබාහිරත්වය

කෙසේ වුවත්, කොරෝනා වසංගතය 2007-2009 මූල්‍ය අර්බුදය සමගත් 1929 මහා අවපාතය සමගත් සැසඳීමේදී අප සිත තබා ගත යුතු තවත් වැදගත් කාරණයක් ඇත. එනම්, එක් මූලික සාධකයක් නිසා කොරෝනා අර්බුදය ඉහත සංසිද්ධීන් දෙකින් වෙනස් වන බවයි. ඉහත අර්බුද දෙකම ධනවාදී ආර්ථිකයේ අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා කරණ කොටගෙන ඇති වූ ඒවාය. නමුත්, කොරෝනා අර්බුදය එවැන්නක් නොවේ. එය අනපේක්ෂිත සොබාවික ව්‍යසනයක් පැන නැගීම හේතු කොටගෙන අපගේ සමාජ ආර්ථික ජීවිතය කඩා වැටීමට ලක් වීමකි. මේ වසංගතය ධනවාදය නිසා හෝ ගෝලීයකරණය නිසා ඇති වූවක්ය යන මතයෙහි තාර්කික පදනමක් නැත. 
මේ තත්ත්වය පැහැදිලි කිරීමට මා දැනට වසරකට පමණ පෙර "අවතාරය" සඟරාවට "සමාප්ත කාලය" (end times) යන තේමාව යටතේ ලියූ ලිපියකදී ගෙනා අදහසක් යළි උපුටා දැක්වීමට කැමැත්තෙමි. එනම්, අද ධනවාදය අර්බුදයකට පත්ව තිබෙන්නේ එහි අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා මගින් පමණක් නොවන බවයි; ඊට අමතරව ධනවාදය සහ එහි පරිබාහිරත්වය අතර නිර්මාණය වී තිබෙන ගැටුමද අතිශය බරපතලය. මන්ද යත්, කාර්මික විප්ලවයෙන් පසුව මානව වර්ගයා ස්වභාව ධර්මයට සිදු කොට ඇති හානිය අති මහත්ය. විශේෂයෙන්ම 2015 පැරිස් පරිසර සමුළුවෙන් පසුව අපට පිළි ගන්නට සිදුව ඇති පරිදි වත්මන් අධිපති සංවර්ධන මාවතේ මිනිස් වර්ගයාට තව දුරටත් ගමන් කළ නොහැකිය. එසේ ගමන් කරනවා යනු මානව වර්ගයාගේත් සමස්ත ජෛව ගෝලයේත් විනාශය කරා ගමන් කිරීමකි. ඒ අනුව, ස්ලේවෝයී ශිෂෙක්ගේ වචනයෙන් කිව හොත් අප දැන් ප්‍රවේශ වෙමින් සිටින්නේ සමාප්ත කාලයකටය. 

සර්ව-අසුබවාදී පර්යාලෝකයක්      

මෙම අර්බුදය ධනවාදයේ අත්‍යාවශ්‍ය අර්බුදය සහ බිඳ වැටීම සම්බන්ධයෙන් මාක්ස්වාදය විසින් ඉදිරිපත් කර තිබූ ප්‍රවාදයෙන් පමණක් තේරුම් කළ නොහැකිය. මාක්ස්ට ධනවාදී සංවර්ධනය පිළිබඳව තිබුණේ සුබවාදී අපේක්ෂාවකි. ඔහුගේ "ආර්ථික සහ දාර්ශනික අත් පිටපත්" (1844) තුළ මාක්ස් ස්වභාව ධර්මය සහ මිනිසා අතර අන්තර්-බැඳියාව මනරම් ලෙස පැහැදිලි කරන බව සැබෑය. නමුත්, ඔහු ධනවාදී සංවර්ධනය අවසාන වශයෙන් එහිම විනාශය කරා, එනම් සමාජවාදී පරිවර්තනය කරා, දිශානත වේ යැයි කල්පනා කළේය. එබැවින්, ඒ පිළිබඳව ඔහුට තිබුණේ සුබවාදී දැක්මකි. නමුත්, අප දැන් පැමිණ සිටින්නේ ධනවාදී සංවර්ධනය තවත් දශක කිහිපයක් මේ මාර්ගයේම ගමන් කළ හොත් එය සමාජවාදය දෙසට නොව අපගේ සමස්ත විනාශය කරා දිශානත විය හැකි තැනකටය. 
ධනවාදයට පසු සමාජවාදය පරිකල්පනය කළ නොහැකි නම්, ධනවාදයට පසු ලෝක විනාශය පරිකල්පනය කරන්නට අපට සිදු වනු ඇත. සංක්ෂිප්තව කිව හොත්, මේ නව තත්ත්වය තුළ ධනවාදයට දෙයාකාරයක සීමාවන් මුණ ගැසී  තිබේ;එනම් (1) එහිම අභ්‍යන්තර ප්‍රති-විරෝධතා (2) එයට පරිබාහිර ලෝකය සමග ඇති ආතතිය සහ ගැටුම. 
පසුගිය දශක දෙක තුළදී කාලගුණ විපර්යාසයේ මුහුණුවරින් මතු වූ දෙවන සීමාව දැන් කොරෝනා වසංගතයේ මුහුණුවරින් වඩාත් තීව්‍ර ලෙස මතුව ඇත. කාලගුණ විපර්යාසය අපගේ පැවැත්ම අනතුරට හෙලන ආකාරයට වඩා සෘජුව සහ ඉක්මනින් වසංගතය අපව අනතුරේ හෙලයි. එබැවින්, පරිසරය පිළිබඳ ප්‍රශ්නය කල් දැමිය හැකි ආකාරයෙන් මේ ප්‍රශ්නය කිසිවෙකුටත් කල් දැමිය නොහැකිය. ඔබ එක්කෝ එයට මුහුණ දීමේ මාර්ග වහාම සොයා ගත යුතුය. නොඑසේනම්, සාමූහික සිය දිවි නසා ගැනීමේ මුග්ධ තෝරා ගැනීම කළ යුතුය. 

ජස්ටිනියානු වසංගතයේ සිට කොවිඩ් 19 දක්වා..,
   
මෙහිදී සැබවින්ම මෙවන් ස්වභාවික ව්‍යසන අපගේ සමාජ දේශපාලන ජීවිතවල මහා පරිවර්තන ඇති කරන්නට සමත් වේදැයි යමෙකු විමසිය හැකිය. ඔව්, ස්වභාවික ව්‍යසනවලට එවන් පරිවර්තන ඇති කළ නොහැකිය. නමුත්, එම ව්‍යසනවලට අපගේ සමාජයේ ඇති ගැඹුරු ප්‍රතිවිරෝධතා වෙතට අපව වඩාත් ප්‍රචණ්ඩ ලෙස නිරාවරණය කළ හැකිය. දේවල් කවර ආකාරයෙන් පරිවර්තනයට ලක් වේද යන්න නිශ්චය වන්නේ අප මේ නව තත්ත්වයට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද යන කාරණය අනුවය. (පුළුල් අරුතින් හෙජමොනික දේශපාලනය යනු එයයි).
ශිෂෙක් ඔහුගේ නවතම කෘතිය (Pandemic!) තුළ විමසන වැදගත් ප්‍රශ්නයක් වන්නේ "අපට මෙවන් ව්‍යසනයක් පිළිබඳව විද්‍යාඥයින් වසර ගණනාවක් මුළුල්ලේ අනතුරු හඟවා තිබියදීත් අප මෙයට සූදානමකින් තොරව හසු වූයේ අපගේ ක්‍රමයේ කුමන වරදක් නිසාද?" යන්නයි. ස්වභාවික ව්‍යසන විසින් අපගේ ක්‍රමයේ ප්‍රතිවිරෝධතාවලට අපව නිරාවරණය කරනු ලබන්නේ එලෙසය. 
මේ කාරණය තවත් හොඳින් අවබෝධ කර ගැනීමට අප හැරී බැලිය යුත්තේ ඉතිහාසය දෙසටය. කෙටියෙන් කිව හොත්, ක්‍රි.ව හය වන සියවසේදී ඇති වූ මහා ජස්ටිනියානු වසංගතය රෝමානු අධිරාජ්‍යයේ බිඳ වැටීමට බලපෑ සාධකයක් විය. ක්‍රි.ව 1347 දී ඇති වූ කළු මරණ වසංගතය යුරෝපීය මධ්‍යකාලීන වැඩවසම් තන්ත්‍රයන්හි මෙන්ම රෝමානු පල්ලියේ බලය පිරිහීමට බලපෑවේය. දහ සය වන සියවසේදී යුරෝපීය යටත් විජිතවාදීන් විසින් ඇමෙරිකානු මහද්වීපයට රැගෙන ගිය මසූරිකා වසංගතය හේතුවෙන් මායා සහ ඉන්කා වැනි සුවිසල් ශිෂ්ටාචාර තැනූ ස්වදේශික ඇමෙරිකානු ජන සමාජයන් මහා සංහාරයකට ලක් විය. (නූතන ඇමෙරිකා එක්සත් ජනපදය ගොඩ නගන ලද්දේ එම වාර්ගික සංහාරයේ අළු මතය).
යළිත්, කොරෝනා වසංගතය එය විසින්ම ඉහත ආකාරයේ සාධනීය හෝ නිශේධනීය පරිවර්තනයක් ඇති කරනු ඇතැයි මෙයින් නොකියැවේ. ඉතිහාසය තනන්නේ මිනිසුන්ය. එහෙයින් දැන් ප්‍රශ්නය වනුයේ මේ මහා ව්‍යසනය විසින් උදා කරන ලද නව අවිනිශ්චිත නිමේෂය තුළ මිනිසුන් කෙසේ ඉතිහාසය නිර්මාණය කරනු ඇත්ද යන්නයි.

අධිකාරීමය ධනවාදයේ වියහැකියාව 

මෙහිදී සමීප අනාගතය තුළ අප ඉදිරියේ ඇත්තේ කොහෙත්ම සුබදායී චිත්‍රයක් නොවේ. බහු-විධ අර්බුදයක් ඉදිරියේ ග්‍රාම්ස්චි කතා කළ ආකාරයේ "දෛවයේ මිනිසුන්" ඉදිරියට ඒමට හොඳටම ඉඩ තිබේ. සැබවින්ම එවන් දෛවයේ මිනිසුන් දැනටමත් ඉදිරිපත්ව සිටී. ඔවුන් පෙරට ආවේ කොරෝනා ව්‍යසනයට පෙරය. ඒ දක්ෂිණාංශික ජනප්‍රියවාදයේ මුහුණුවරිනි; "ඇමෙරිකාව යළිත් ශ්‍රේෂ්ටත්වයට පත් කිරීම", "චීන සිහිනය", "ඉන්දියාව හින්දු රාෂ්ට්‍රයක් බවට පත් කිරීම', "විනයගත සමාජයක් නිර්මාණය කිරීම" යනාදී උදෘතයන් ඔස්සේය. 
අනෙක් අතින්, දැන් වසංගතයේ අතුරු ප්‍රතිපලයක් ලෙස පුද්ගලයන්ව සුපරීක්ෂාවට ලක් කිරීමට, ඔවුන්ව මිලිටරිමය විනයකින් හැසිරවීමට, ඔවුන්ව ආණ්ඩුකරණය කිරීමට රාජ්‍යයට ඇති හැකියාව විශාල වශයෙන් වර්ධනය වී තිබේ. 
ජියෝජි අගම්බෙන් පවසන පරිදි දැන් සාමාන්‍ය නීතිය අත් හිටුවා ඇත. හදිසි නීතිය නොහොත් ව්‍යතිරේඛීය නීතිය අන් කවරදාටත් වඩා සාමාන්‍යය බවට පත්ව තිබේ. "නිරුවත් ජීවිතය" සාමාන්‍ය පැවැත්ම බවට පත්ව තිබේ.
"හෝමෝසේපියන්ස්" කෘතියේ කතෘ යුවාල් නෝවා හරාරි පවසන පරිදි දැන් රාජ්‍යයේ සුපරීක්ෂාව ශරීරය තුළට පවා විනිවිද යන තත්ත්වයක් නිර්මාණය වී තිබේ. රාජ්‍යයට ඔබේ ශරීර ආතතිය සහ හෘද ස්පන්දනය පවා දුරස්ථ ලෙස පරීක්ෂා කළ හැකිය. මෙය මිචෙල් ෆූකෝ කතා කළ "ජීව බලය" (bio-power) යන්නෙහි වර්ධනීය තත්ත්වයකි. ජෝජ් ඕවල්ගේ "1984" නව කතාවේ එන ප්‍රබන්ධගත අධිකාරීවාදී රාජ්‍යය පවා පසුකොට යා හැකි තත්ත්වයකි. 
මීට සමාන්තරව වසංගතය ජය ගත හැක්කේ චීනය ආදර්ශ කොටගත් අතිශය පීඩාකාරී ධනවාදී මොඩලයකින්ය යන අදහසද ප්‍රකාශ වනු ඇසේ. ශ්‍රී ලංකාව තුළ "අපට සැබවින්ම පාර්ලිමේන්තුවක් අවශ්‍යද?" වැනි ප්‍රශ්න පවා ඇසෙමින් තිබේ. මෑතකදී එක්තරා ආණ්ඩු හිතවාදී බුද්ධිමතෙකු යෝජනා කොට තිබුණේ පාර්ලිමේන්තුව ජෙෆ්රි බාවාගේ කලාගාරයක් බවට පරිවර්තනය කළ යුතු බවය. මේ දැනුවත්ව ගොඩ නගන දෘෂ්ටිවාදී ව්‍යාපෘතියේ අරමුණ වටහා ගැනීම අසීරු නැත. සමස්ත බලය සංකේන්ද්‍රණය කොට ගත් අධිකාරීමය ධනවාදී මොඩලයක් කරා ගමන් කිරීමේ උත්සුකය එතරම්ම විවෘත ලෙස දැන් ප්‍රකාශයට පත් වෙමින් තිබේ. එවන් පාලනයක් විසින් පළමුව තලා පොඩි කර දමනු ඇත්තේ වාමාංශයේ හිසයි. 
මෙයින් පෙනී යන්නේ ලොව පුරාම මේ වසංගතය විසිනුත්, එමගින් කුළු ගැන්වෙන බහු-විධ අර්බුදය විසිනුත් වඩා අධිකාරීමය ධනවාදී සහ ස්වදේශිකවාදී ප්‍රවණතාවලට ක්ෂණික වාසියක් අත්පත් කර ගත හැකි බවයි. දාහතර වන සියවසේ කළු මරණ වසංගතයට වග කිව යුතු යැයි චෝදනා කොට යුදෙව්වන් සංහාරයට ලක් කළාක් සේ වත්මන් කොරෝනා වසංගතයට වග කිව යුතු යැයි යම් යම් සුවිශේෂී ජන ප්‍රජාවන් නම් කෙරෙනු දැන් දැන් අසන්නට ලැබේ. ශිෂෙක් "Pandemic!" කෘතියේ අවසන් කොටසේ සඳහන් කරන පරිදි එවන් ම්ලේච්ජත්වය කරා ගමන් කිරීමේ ප්‍රවණතා ඉදිරියේදී තවත් බිහි විය හැකිය.                                                 

නව දේශපාලනයක අපේක්ෂාව 

නමුත්, එම ම්ලේච්ජත්වය වෙනුවට ඇති වෙනත් මගකුත් තිබේ. ශිෂෙක් පවසන්නේ ඒ (සීමිත අරුතින් වුවත්) කොමියුනිස්ට්වාදී මාර්ගය බවයි.ඔහු මෙහිදී අදහස් කරන්නේ කොමියුනිස්ට් සමාජය පිළිබඳ පරමාදර්ශී ආකෘතියක් නොවේ.  ඒ වෙනුවට ඔහු කොමියුනිස්ට්වාදය ප්‍රායෝගික සහ සීමිත අරුතින් නැවත අර්ථකථනය කරයි. සරලව, ඔහු පෙන්වා දෙන්නේ මේ මහා වසංගතයට මුහුණ දීම සඳහා අප වෙළඳපලේ ඛණ්ඩාංකවලට පිටතින් නිෂ්පාදනය සහ බෙදා හැරීම සංවිධානය කර ගත යුතු බවයි; එසේම මානව වර්ගයා මුහුණ දී සිටින පොදු අභියෝගයට මුහුණ දීම සඳහා ගෝලීය සහයෝගීතාව සහ අන්තර්-බැඳියාව වර්ධනය කර ගත යුතු බවයි. ගෝලීය පොදු සෞඛ්‍ය සේවයක් ගොඩ නැගීමේ ඔහුගේ යෝජනාව ඉදිරිපත් වන්නේ එම පදනම මත පිහිටාය. ඔහු යෝජනා කරන්නේ නයෝමි ක්ලේන්ගේ විවේචනයට ලක් වන "ආපදා ධනවාදයට" ප්‍රතිපාක්ෂික වන "ආපදා කොමියුනිස්ට්වාදයකි."     
මෙහිදී ශිෂෙක් ප්‍රයත්න දරන්නේ වඩා ප්‍රායෝගික සහ සංයුක්ත විසඳුම් ක්‍රියා මාර්ගයක් වාමාංශයේ පාර්ශවයෙන් ඉදිරිපත් කිරීම බව පෙනේ. හෙජමොනික අරුතින් අප යම් විසඳුමක් ඉදිරිපත් කළ යුත්තේ තමන් වාමාංශික කඳවුරේ යැයි හඳුනා නොගන්නා අයවළුන් හටද පිළිගත හැකි ආකාරයටය. දැනටමත් ශිෂෙක්ගේ යෝජනාව වාම අනන්‍යතාව බෙදා නොගන්නා ඇතැමුන් හටද ඒත්තු ගොස් ඇති බව පෙනීම වමේ පාර්ශවයෙන් ලැබූ ජයග්‍රහණයක් බව මගේ අදහසයි. කෙසේ වුවද, මේ සියල්ල සැබවින්ම සංවාදයට විවෘතය.
අවසන් වශයෙන්, මෑතකදී මහාචාර්ය ජයදේව උයන්ගොඩ (මා දේශපාලන න්‍යාය උගත්තේ සහ දේශපාලන විශ්ලේෂණය පුහුණු වූයේ ඔහුගේ අධීක්ෂණය යටතේය) මා සමග පැවසූ යමක් සිහිපත් කරමින් මේ ලිපි පෙළේ පළමු කොටස නිමා කරන්නට අදහස් කරමි. ඔහුගේ නිරීක්ෂණය වූයේ ඉදිරි මහා අර්බුදය හමුවේ අන්ත දක්ෂිණාංශික ජාතිකවාදය සහ ස්වදේශිකවාදය ලොව පුරා ඉතාම අධිකාරීවාදී ස්වරූපයෙන් මතුව ආ හැකි වුවද, එම රැල්ල ඉක්මනින් බැස යාමටද ඉඩ තිබෙන බවයි. මන්ද යත්, එම දේශපාලනය පදනම් වන්නේම ඉතාම ආශ්චර්යාත්මක දියුණුවක් පිළිබඳ අපේක්ෂාවන් මත වීම නිසාය. එම ව්‍යාපාර වටා එක් වන නව ධනේශ්වර සහ මධ්‍යම පංතික කොටස්වල දෘෂ්ටිවාදී අනුමැතිය සඳහා එවන් අපේක්ෂා කුළු ගැන්වීම අවශ්‍ය වේ. නමුත්, ඉදිරියේදී ඔවුනට සිදු වනු ඇත්තේ එවන් දෘෂ්ටිවාදී අපේක්ෂාවන් ඉටු කිරීමට නොව ඉමහත් අසීරු ව්‍යසනකාරී යුගයකට මුහුණ දීමටය. නිදසුනක් ලෙස, ඩොනල්ඩ් ට්‍රම්ප් යටතේ එක්සත් ජනපදය "අසමත් රාජ්‍යයක්" බවට පත්ව ඇතැයි දැනටමත් නෝම් චොම්ස්කි ප්‍රකාශ කොට තිබේ. මෙය ට්‍රම්ප්ගේ දෘෂ්ටිවාදී මුහුණු ආවරණය ඉරා දමන ආකාරයේ ප්‍රහාරයකි. මහා බ්‍රිතාන්‍යයේ බ්‍රෙක්සිට් වීරයා වූ බොරිස් ජොන්සන් ඔහුගේ සමූහ ප්‍රතිශක්තිකරණය පිළිබඳ ප්‍රවාදය මුළුමනින්ම  හකුලාගෙන තිබේ. මෙලෙස ජාතිකවාදී සහ ස්වදේශවාදී වීරයින්ගේ රැස් බැස යාමද ඇතැම් විට ඉදිරියේදී අපේක්ෂා කළ හැකිය. 
මීට සමාන්තරව රැඩිකල්  වාම දේශපාලනයට නව අවකාශයක් ලැබීම වැළැක්විය නොහැකිය. 
එය නව දේශපාලනයකි. ඇතැම්විට, රැඩිකල් වාම දේශපාලනය ගෝලීයව සංවිධානය වීමේ නව යුගයකට අප ප්‍රවේශ වෙමින්  සිටිනවා විය හැකිය. එම නව දේශපාලනයේ ගාමක බලවේගය හඳුනා ගැනීමේදී අන්තෝනියෝ නෙග්‍රි සහ මයිකල් හාඩ් සංකල්පගත කළ "ජන සංඝ" පිළිබඳ අදහස නැවත සලකා බැලීම වටී. පසුගිය දශක කිහිපය මුළුල්ලේ නව-ලිබරල් ගෝලීයකරණයට එරෙහි ව්‍යාපාර ඔස්සේම ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වූ ගෝලීය විවේචක ප්‍රජාව අපගේ ලෝකය අධිකාරීවාදී ධනවාදයේ ග්‍රහණයට ලක් වීමට එරෙහි ලීවරයක් ලෙස ක්‍රියා කරනු ඇතැයි අපේක්ෂා කළ නොහැකිද? 
කොරෝනා අර්බුදය පැමිණුනේ එක්සත් රාජධානියේ ජෙරමි කෝබින් වටා සහ එක්සත් ජනපදයේ බර්නි සැන්ඩර්ස් වටා සංවිධානය වූ ලක්ෂ සංඛ්‍යාත රැඩිකල් තරුණ ජනයා ප්‍රධාන ධාරාවේ පක්ෂ දේශපාලන ධාරාව තුළ රඳවා ගන්නට එම නායකත්වයන් අසමත් වීමත් සමග බව අප අමතක නොකළ යුතුය. ඉන්දියාවේ අන්ත දක්ෂිණාංශික හින්දු රාෂ්ට්‍ර ව්‍යාපෘතියට එරෙහිව සංවිධානය වූ තරුණ, ශිෂ්‍ය සහ බහුජන බලවේගයද අපේක්ෂා දනවන්නකි. පාරිසරික විපර්යාසයට එරෙහිව ගෝලීයව සංවිධානය වූ යෞවන ප්‍රජාව තරුණ වියට පිවිසෙනු ඇත්තේ කොරෝනා ව්‍යසනයෙන් ජනනය කෙරෙන අර්බුදයේ රැළි නිමා නොවූ පරිසරයක් තුළය. 
මේ අනුව අනාගත ලෝකය කෙලෙසක සකස් වේද යන්න  නිශ්චය වනු ඇත්තේ හෙජමොනික අරගලයෙනි; දේශපාලනයෙනි. මෑතකදී ජූලියන් අසාන්ජ් තම මිතුරෙකුට මෙලෙස පැවසී යැයි ශිෂෙක් වාර්තා කරයි; "දැන් අප පැමිණ තිබෙන්නේ ඕනෑම දෙයක් සිදු විය හැකි තත්ත්වයක් කරාය." 

-සුමිත් චාමින්ද 

Comments